September 21, 2017

පොත්, පුස්තකාල සහ මම

ඉස්සර හැම සෙනසුරාදාම අක්කලාත් මාත් පුස්තකාලේ යනවා. අම්මයි තාත්තයි සතියට ගෙදරට වුවමනා දේවල් ගන්න යන්නේ අපිව එතැන තියලා. ඉතින් අපි පැයක් හමාරක් එතැන ගත කරනවා. ඒ සේෂෙල්ස් වල වික්ටෝරියා නගරේ ප්‍රධාන පුස්තකාලය. නගරයේ කෙළවරකට වෙන්න තිබුණු වහල උස, තට්ටු දෙකේ පරණ ගොඩනැගිල්ලක්. ඒකෙ පොත් නම් සෑහෙන්න තිබුණා. ඒත් පුංචි පරහකට තිබුණේ ළමා පොත් වැඩිපුර නොතිබුණු එක. ඒ වෙද්දී මට අවුරුදු හයක් හතක් විතර. ඒ පුස්තකාලේ තිබුණු ළමා පොත් එකතුව ඉවර කරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සෙනසුරාදා ගේන පොත් ටික ඉරිදා වෙද්දී කියවලා ඉවරයි. ඉතින් ඊළඟ සෙනසුරාදා වෙනකම් මොනවාද කියවන්නේ!! කියවන්න පොත් නැතිව සතියක් ගත කරන්න අමාරු වෙන තරමේ පොත් ගුල්ලියක් වෙලා තිබුණා මම ඒ වෙද්දීත්. ඒනිසාම වෙන්න ඇති මගේ පොත් ටික ඉරිදා වෙද්දී ඉවර කරලා එතැන ඉඳන් පොඩි අක්කා ගෙනාව පොත් ටික කියවන්න පටන් ගත්තේ. පොඩි අක්කා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. ඒ නිසා අපි දෙන්නාගේ කියවීමේ මට්ටම් පැහැදිලිවම දෙකක්. එයා ඒ කාලේ Famous Five, Secret Seven කියවන කාලේ. මම මුලින්ම Secret Seven පොතක් කියවද්දී මට අවුරුදු හතයි. එදා පොතෙන් බාගෙට බාගයක් තේරුණේ නැහැ කියලා නම් පැහැදිලිවම මතකයි. ඒත් එහෙමයි කියලා මම අක්කාගේ පොත් කියවන එක අත ඇරියේ නැහැ. කාලයක් යද්දී නොතේරෙන ප්‍රමාණය අඩු වුණා. කියවන්න ආසාව වැඩි වුණා. පොඩි අක්කා කියව කියවා හිටිය පොතම මමත් කියවන්න අරන් ගෝරි ඇතිවුණේ නැත්තෙත් නැහැ. ඒත් මේ විදිහට මම පොඩි කාලයක් ඇතුලත බොහොම තදින් කියවීමට ඇබ්බැහි වුණා. ආපස්සට බලද්දී මම ඒ කාලේ හරි වේගෙන් කියවීම් මට්ටම් කීපයක්ම පහු කරලා කියලා හිතෙනවා. ටික කලක් යද්දී මම රහස් පරීක්ෂක කතා කියවන්න ඇබ්බැහි වුණේ Nancy Drew, Hardy Boys පොත් කියවලා වෙන්න ඇති. Erle Stanley Gardnerගේ Perry Mason පොත්, Agatha Christieගේ පොත් කියවන මට්ටමට මම ආවේ අවුරුදු දහයක් වෙන්න කළින් නේද කියලා තේරෙන්නේ මට අවුරුදු දහයේදී අපි පදිංචියට ලංකාවට ආව නිසායි, ලංකාවේදී මට ඒ විදිහට පොත් කියවන්න පහසුකමක් තිබුණේ නැති නිසායි. වික්ටෝරියා පුස්තකාලෙන් ඒ පොත් ගනිද්දී ගැටළුවක් නොවුණේ අපි තුන්දෙනාගෙම පොත් එකට ගත්තු නිසා වෙන්න ඇති. නැත්නම් අවුරුදු අටක නමයක ළමයෙකුට ඒවගේ පොත් පුස්තකාලෙකින් ගන්න ලැබෙන එකක් නැති බව නම් මට විස්වාසයි, ඒ කාලේ වුණත්!
ලංකාවට ආවාට පස්සේ මගේ කියවීම එහෙමම අඩාල වුණා. අපේ ගෙවල් කිට්ටුව තිබුණු පුස්තකාලේ පොත් තිබුණේ ඉබි යතුරු දාලා. මං වගේ දොඩම් ගෙඩි දෙකක් උස නැති කෙල්ලෙක් ගිහින් ඒවා කියවන්න ඉල්ලන එක අමුතු දෙයක් වුණා. ඒත් මම මගේ උත්සාහය අත් ඇරියේ නැහැ. දවස් දෙකතුනකට සැරයක් ඇවිත් පොත් ඉල්ලන මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන ඉංග්‍රීසි නවකතා තිබුණු අල්මාරියේ දොර මං වෙනුවෙන් ඇරුනා. ඒ පොත් ඔක්කොම කොළ පාට හම් බැම්මෙන් බැඳලා තිබුණේ. පොතේ නම බලන්න අතට අරගෙන පෙරළලා බලන්නම වුණා. එතැන තිබුණු සමහර පොත් සෑහෙන්න පරණයි. ඒවා වැඩි හරියක්ම මට ඇල්ලුවේ නැහැ. ඒත් කියවන්න වටිනා පොත් නොතිබුණාමත් නෙමෙයි. මදි පාඩුවට මම ගෙදර මිටි ගණන් තිබුණු තාත්තාගේ පරණ Readers Digest පොත් ආයෙත් ආයෙත් කියෙව්වා. මේ කාලේ වෙද්දී අපේ ගෙවල් වලට තරමක් එහා, ප්‍රජා සංවිධානයකින් පෞද්ගලික පුස්තකාලයක් පටන්ගත්තා. සාමාජිකයින්ට එක සැරයකට පොත් දෙකයි, ඒ පොත් දෙක ගනිද්ද්දී රුපියල් දෙකක් ගෙවන්න ඕන. මෙතැනට බස් එකේත් ටිකක් දුර යන්නත් ඕන, තනියම ඒ වගේ ගමන් යන්න ගෙදරින් අවසර ලැබෙන්නෙත් නැහැ. මේවගේ බාධක තිබුණත්, පොත් කියවන්න තිබුණු උනන්දුව නිසාම ඒවා විසඳාගන්න පුළුවන් වුණා. අහල පහළ අක්කලා කවුරුහරි එක්ක ඒ පුස්තකාලෙට යන්න මට අවසර ලැබුණා. පිටරටවලින් ප්‍රදාන ලැබුණු පොත් මහා තොගයක් ඒ පුස්තකාලේ තිබුණා. බොහොම වේගයෙන් කියවන්න තිබුණු හැකියාව නිසා මට සතියකින් පොත් දෙකක් ඉවරකරන්න පුළුවන් වුණා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග නිසා පහු කාලෙක විවේකයක් නැති වෙනකම්ම මම ඒ පුස්තකාලෙන් පොත් කියෙව්වා.
ඊළඟට මගේ පොත් ඉල්ලම වුණේ ජ'පුර සරසවියේ පුස්තකාලය. බෝඩිම් ජීවිතය නිසා ඉක්මනට ගෙදර යන්න හදිසියක් නොතිබුණු කාලයක් ඒක. සරසවියේ වැඩ ත් දාහකුත් එකක් අමතර රාජකාරිත් අතරතුරේදී වුනත් දේශන පටන්ගන්නකම්. දේශන අතර කාලවල, හවස දේශන ඉවරවෙලා හය හත වෙනකම් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. එතැන සිංහල පොත් එකතුවත් ඉංග්‍රීසි පොත් එකතුවත් දෙකටම මම එක විදිහට රස වැටුණා. කියවීම් ශාලාවේ කෙළවරක මේසයක් අල්ලාගෙන, ෆෑන් වල ගහලා තිබුණු අංක බලලා හරියටම ඉහට ඉහළින් තිබුණු ෆෑන් එකත් දාගෙන පොත් මිටියක් ළඟ තියාගෙන එක හුස්මට කියවගෙන යන්න කාගෙන්වත් බාධාවක් තිබුණේ නැහැ. මගේ තනියට ඒ වගේම පොත් පිස්සුව තියෙන යාලුවොත් හිටියා. සමහර දාට පොත් කියවලා හෙම්බත් වෙලා අපි එහෙමම මේසෙට ඔලුව තියාගෙන නිදාගත්තා. මේ පොත් කියවිල්ලට තිබුණු එකම බාධාව කාලෙන් කාලෙට පැවරුම්, පරීක්ෂණ තිබුණු එක. පාඩම් වැඩ තිබුණු දාට විතරක් පුස්තකාලේ යටම තට්ටුවේ reference hall එකට යන්නත් අනිත් හැමදාම පොත් කියවීමේ ඇබ්බැහියට නතු වෙලා ඉහළ තට්ටුවල සැරිසරන්නත් අපි පුරුදු වුණා. පැවරුම් වලට කරුණු හොයන්නත් අමතර කියවීම් වලටත් British Council Library එකේ සාමාජිකත්වය ගන්න අපිට ඒ කාලේ වුවමනා වෙලා තිබුණා. ඒත් ගෙදරින් මාසෙට වියදමට දෙන සල්ලි වලින් ඒ වගේ ලොකු වියදමක් දරන්න බැරි වුණා. ඒ නිසා අපි දෙතුන්දෙනෙක් එකතුවෙලා එක සාමාජිකත්වයක් අරගත්තා. විජේරාමේ ඉඳන් 112 බස් එකේ කොල්ලුපිටියට ගිහින් පොත් තෝරාගෙන ආයෙත් එන්න දවසෙන් බාගයක් ගතවුනත් කිසිම දවසක ඒක කරදරයක් හැටියට අපි සැලකුවේ නැහැ. සමහරවිට විෂය කරුණු පොත් එකක් ගනිද්දී නවකතා දෙකක් අරගෙන ඇවිත් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා නවකතා කියවන්න පුළුවන් නිසා වෙන්න ඇති.
ලංකාවේ මම මුලින්ම රස්සාවකට ගිය තැනත් පුංචි පුස්තකාලයක් තිබුණා. හැබැයි ඒක තිබුණේ එතැන මෙඩිකල් සෙන්ටර් එකේ-පොත් නිකුත් කළේ නර්ස්! ඉරුවාරදයකට සහනයක් හොයාගෙන එතැනට ගිය දවසක ඒ පොත් අල්මාරිය දැකලා මගේ අසනීප ඉබේම හොඳ වුණා. ඒ රස්සාවට යන්න උදේ හවස පැය තුනක් මම මඟ ගත කළා. ඒ ගමනේ එකම සහනය වුණේ ඒ පුංචි පුස්තකාලයෙන් ලැබුණු පොත් ටික. එතැන හිටිය කෙටි කාලේදී මට ඒ පොත් අල්මාරිය කියවලා ඉවරකරන්න පුළුවන් උනා. ලංකාවෙන් එද්දී මගේ පොත් එකතුව එතැනට දීලා එන්නත් පුළුවන් වුණා.
ඒත් මේ හැම කාලෙටම වැඩියෙන් මගේ හිතේ හැටියට සිංහල පොත් කියවන්න ලැබෙන්නේ පිටරටකදී කියලා කවුරුහරි මට ඒ කාලේ කීවා නම් මම හිනාවෙනවා සිකුරුයි. මගේ පොත් කියවීමේ දොළදුක හරියටම සංසිඳුනේ මෙල්බන් නගරයේ පුස්තකාලවලින්. මෙහේ, ගෙදර ඉඳන් පයින් යන දුරකින් තියෙන පුස්තකාලයක අලුත්ම සිංහල පොත් එකතුවක් තිබීම හීනයක් හැබෑ වීමක්මයි. එතැන නැති පොත් අවට සිංහල පොත් තියෙන වෙන පුස්තකාලවලින් ඉල්ලලා ගෙන්නගන්න පුළුවන් වීමත් ඒ හීනයේම තවත් කොටසක්. ඉංග්‍රීසි පොත් නම් ඉතින් කොහොමත් ඕන තරම් තියෙනවානේ. මතක ඇති කාලෙක ඉඳන් පොත් ගැන තිබුණ ආසාවේ ලොකුම හීනය Master of Library Studies තරම් දුර ඉගෙන ගන්න ලැබීම.මේ හැබෑ වුණු හීනේ අතුරුඵල තමයි අළුත් සුවඳ පොත් එක්ක හැමදාම දවස ගත කරන්න ලැබෙන, පුස්තකාලෙට අලුතින්ම ගන්නේ මොන පොත් ද කියලා නිරන්තරයෙන්ම තීරණය කරන්න ලැබෙන (ඒ පොත් කියවලා බලන්නත් ලැබෙන!) රස්සාවක් කරන එක.
මේ විදිහට කියවන්න පොත් නම් ඕන තරම් තිබුණත් ඉස්සර වගේ එක දිගට, එක හුස්මට කියවගෙන කියවගෙන යන්න වෙලාවක් නැති කම තමයි දැන් නම් තියෙන බාධකය. වගකීම යුතුකම් වැඩිවෙද්දී පොඩි කාලේ වගේ ඒ වෙනුවෙන් වෙන්කරන්න තියෙන කාලේ අඩුයි. ඒත් මම වෙලාව හොයා හොයා පොත් කියවනවා කොහොමහරි. කෑම කන ගමන් පැය බාගයයි, (කෑම කද්දී පොත් කියවිල්ල ඉස්සර තාත්තාගෙන් බැනුම් අහන වැඩක්) පුතාව පන්තියෙන් ගන්න ගිහින් වාහනේ ඉඳන් විනාඩි දහයයි... නිදාගන්න කළින් පැය කාලයි. කියවන්න ඕන තරම් පොත් හැම තිස්සෙම අත පාත තියෙන එකම එක විදිහක සැනසිල්ලක්. ඉතින් පොත් තියෙනකම් ජීවිතේ කවදාවත් තනි නැති බව මම දන්නවා. “I have always imagined that Paradise will be a kind of library.” කියලා මම කොහේ හරි කියෙව්වා මතකයි.
Pic- September book purchases at my library



15 comments:

  1. මම පොත්ගුල්ලියක් කියලා කියන්න අමාරුයි. ඒ උනාට පොඩිකාලේ නුවර ළමා පුස්තකාලෙට අපිව 'අතහැරලා' යන අම්මෙක් හිටපු නිසා මම ඒ පොත් අතරේ කිමිදුනා. තාමත් ඒ මතකය බොහොම අපුරුයි. ජිවිතේ අනිත් කාලවල් වල එක එක විදිහේ පොත්වල මම ඇලිල හිටියත් වාහනයක යද්දී පොතක් කියවන්න බැරි (හෝටල් දානවා සහ ඔලුවේ කැක්කුම හැදෙනවා) ප්‍රශ්නේ නිසා මගේ කාලය ගොඩක් අපතේ ගියා.

    ආසයි මම මේ සටහනට.Thx

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා.. ඔව් කල්පනා කරලා බැලුවහම පොත් එක්ක බොහොම සොඳුරු මතක අපිට තියෙනවා නේද? මට නම් මොකක් හරි හේතුවකට වාහන වල කිසිම අවුලක් නැතිව කියවන්න පුළුවන්. ඒකෙන් වෑන් එකේ ඉස්කෝලේ යන ගමන් අන්තිම මොහොතේ කරන පාඩම් වලටත්, දුර ගමන් යද්දී තඩි පොත් ඉවර කරන්නත් හරිම පහසුවක් වුණා! :)

      Delete
  2. මටත් වයස 6 7 වෙනකොට හොඳට කියවන්න පුලුවන් උනා... අතට අහුවෙන හැම පොතම තේරුනත් නැතත් කියවන නිසා එහෙම වෙන්නැති... ඒත් කියවන්න තිබුණු පොත් අඩුයි... අලුත් පොත් සුවඳට මගෙ තියෙන්නේ පුදුම කැමැත්තක්... මං අදටත් පොත් එකතු කරනවා... ඕඩියෝ කරන හැම පොතක්ම අහනවා.... නැත්නම් කියවනවා...

    ඔයාගෙ මේ සටහන හරිම අපූරුයි... මං අදයි මේ පැත්තෙ ආවෙ....

    ReplyDelete
    Replies
    1. අක්ක ජපුර නේද...මේ වෙලාවේ මං ඉන්නෙත් ජපුර....

      Delete
    2. නිර්මාණි- welcome! :) සතුටුයි තවත් පොත්ගුල්ලියක් සහ ජ'පුර සිසුවියෙක් අඳුනාගන්න ලැබුණු එක. මමත් කාලයක් ඕඩියෝ පොත් ඇහුවා වැඩට යනගමන්. ඒ වෙලාවෙනුත් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒත් ඒකාලේ මට යන්න තිබුණේ තදබද නැති පාරක. දැන් වැඩට යන්නේ බොහොම තදබද පාරක. එහෙම පාරක එලවාගෙන යද්දී කතාව ඔලුවට යන්නේ නැහැ කියලා මට තේරුනා. ඒනිසා බොහොම දුකෙන් ඒ වැඩේ අල්ලලා දැම්මා.

      Delete
  3. 'බොහොම අගෙයි ඔබේ ලියවිල්ල. පොත් මගේ නෙත් වගේ' කියල අලුතෙන් ගන්න පොත් වල ලියන මගේ හිතවත් මිතුරෙක් මතක් උනා. හැබැයි ඒ අලුත් පොත් එයා බෙදා හදාගෙන කියවන්න ආස කෙනෙක්. පොතේ ආරස්සාවට. යනකොට පොතක් බෑග් එකට දාගන්න බැරි උනා කියන්නෙ ගමන දිගටම මතක් වෙන එකක්. සමහරවිට එහෙම පොතක් දාගෙන ගියාට ටිකයි කියවන්න වෙන්නෙ ලඟ ඉන්න මනුස්සය කතාවට මාව අල්ල ගත්තොත් හරි මහන්සිපිට නින්ද ගියොත් හරි. කතා කරන්න ගත්තොත් 'පුස්තකාලය' වහල 'කතිකාලය' ඇරල.

    ReplyDelete
    Replies
    1. බොහොම අගෙයි ඔබේ ලියවිල්ල. 'පොත් මගේ නෙත් වගේ' කියල අලුතෙන් ගන්න පොත් වල ලියන මගේ හිතවත් මිතුරෙක් මතක් උනා. හැබැයි ඒ අලුත් පොත් එයා බෙදා හදාගෙන කියවන්න ආස කෙනෙක්. පොතේ ආරක්ෂක මන්තරේ තමයි ඒ. ගමනක් යනකොට පොතක් බෑග් එකට දාගන්න බැරි උනා කියන්නෙ ගමන දිගටම මතක් වෙන එකක්. සමහරවිට එහෙම පොතක් දාගෙන ගියාට ටිකයි කියවන්න වෙන්නෙ ලඟ ඉන්න මනුස්සය කතාවට මාව අල්ල ගත්තොත් හරි මහන්සිපිට නින්ද ගියොත් හරි. කතා කරන්න ගත්තොත් 'පුස්තකාලය' වහල 'කතිකාලය' ඇරල. (සමාවෙන්න. කලින් කොමෙන්ටුවෙ වරදක් දැක්කෙ ඒක පෝස්ට් කලාටත් පස්සෙ.)

      Delete
    2. ස්තුතියි ඇනෝ!යාලුවාගේ පොත් පරෙස්සම් වුණාද මන්තරෙන්? යාළුවො ඉල්ලගෙන ගිහින් ගෙනැත් නොදුන් පොත් ගැන කතා නම් හැමෝටම තියෙනවා මම හිතන්නේ. මම නම් බෑග් එකේ පොතයි, වාහනේ පොතයි, ඇඳ ළඟ පොතයි තියාගෙන ඔක්කොම එක සැරේ කියවන කාල එහෙමත් තියෙනවා. serial reading!
      කතිකාලය නම් නියම වචනේ! ඇයි තවත් එපාවෙන වැඩක් නේද අපේ අතේ තියෙන පොත එහා පැත්තෙ ඉන්න කෙනා බෙල්ල දාලා කියවන/බලන එක?

      Delete
  4. මමත් පොත් කියවීමට ආසා නිසාමයි Readers Digest අවුරුදු 40 ක එකතුවක් සකස් කළේ. පසු කාලයකදී කළුතර බෝධිඥාන පුස්තකාලය ගොඩ නැගිමේදීත් පොත් වලට ඇති කැමැත්ත නිසාම එයට හැම අතින්ම දායක වෙන්නට ලැබුනා. Readers Digest එකතුව සහ ජීවිත කාලය මුළුල්ලේම එකතු කළ විවිධ විෂයය වලට අදාළ පොත් තොගය කළුතර බෝධිඥාන පුස්තකාලයට තෑගි කිරීමට ලැබීම ගැනත් සතුටු වෙනවා. Readers Digest ගැන මගේ Blog post එකක් ලියා ඇති. මේ තාත්තා

    ReplyDelete
    Replies
    1. තාත්තාගේ readers digest එකතුවේ හැම අවුරුද්දටම නියමිත සඟරා 12 ගානේ මිටි බැඳලා තිබුණා. කියවලා කියවලාම මට ඒවායේ කතා කටපාඩම් වෙලා තිබුණේ ඒ කාලේ. දැනුත් කවුරුහරි ඒවා කියවනවා නම් හොඳයි!

      Delete
    2. පොත් වලට ආදරය කිරීම ; වෙන කිසිම දෙයකට කරණ ඇලමට වඩා වෙනස්! පොත් ගැන තියෙන හොඳම මතකය තමයි ගුණසේන සාප්පුවෙන් පොත් දෙකක් ඉනේ ගහගෙන එනකොට අහුවෙලා පොලොව යට ගබඩා කාමරයක හිර කරලා දවසක් ගෙවන්න සිදුවීම. ඒ පොත් ගන්න සල්ලි නැති නිසාම කරපු දෙයක්! නමුත් ජිවිතය මට පොත් එකතුවක් දීලා තියෙනවා. දැන් තියෙන ලොකුම ගැටලුව තමයි මේ පොත් ටික මැරෙන කොට කාටද භාර කරන්නී කියන එක. මොකද පොත් එකතු කරණ්නන් හිටියාට කියවන්නන් අඩුවීම නිසා! රසවත් ලිපියක්! ඒක පොතක් කියවනවා තරම්ම රසවත්!

      Delete
    3. Thattaya: හැබෑටම! මේ මම ඉද්දි එහෙම බයවෙන්ට කාරියක් නැතුවා...... ( ලක්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා... ටටන් ටටන්)

      Delete
    4. Thattaya-ඒ දඬුවමෙන් පස්සේ ආයෙත් කවදාවත් කඩේකින් පොත් හොරකම් කරන්න හිතුවේ නැහැ නේද? :) අන්තිම කැමැත්තෙන් පොත් ටික පුස්තකාලෙකට දීලා දාමු.. එතකොට ලිඛිතාටත් බැරියැ ඇවිත් කියවන්න!

      Delete
    5. දැන් ඉතින් එහෙනම් තට්ටයා මැරෙනකල් ඉන්න වෙයිද? අපිට කෙටි ක්‍රම තමයි මතක් වෙනවා ඔන්න!

      Delete
    6. බුදු අම්මෝ.. මටත් සාක්කි දෙන්න වෙයිද දන්නේ නැහැ! :D

      Delete