මට
මේ රතු රෙද්ද-හැට්ටය යන්තම් මතක ය. එය අම්මාගේ ඔසරියක් කපා නිමවූවකි. කාලයක් තිස්සේ
මේ පුංචි හැට්ටය අපගේ මහගෙදර පරණ ඇඳුම් තිබුණු අල්මාරිවල ගැවසෙමින් තිබුණු බවත්
මතකය. එහෙත් සිහිවටනවල වැදගත්කම වැටහෙන වයස වෙද්දී එය සොයාගන්නට නැත. මේ සේයාරුව
ගනිද්දී මා හට වයස අවුරුදු හතරක් තරම් බව අනුමාන කිරීමට සිදුව ඇත්තේ ඒ අවස්ථාව ගැන
කිසිම දෙයක් මගේ මතකයේ නැති වීම නිසා යි. පවුලේ අන් අයට ද මේ ගැන මතකයක් නොමැති
වීම ගැන මගේ පුදුමයක් නැත. පවුලේ බඩපිස්සී ගේ ළමා පින්තූර ගැන මතක තිබීම තබා
පින්තූරයක් තිබීම ම පුදුමයට කරුණකි!
මෙහි
පසුබිමේ ඇති අඹ පැළය අපගේ
ගෙමිදුලේ සිටුවා ඇත්තේ මා උපදින්නට ටික කලකට පෙර ය. මට මතක එය ඵල දරන කාලයයි. එහි
අඹ ඉතා මිහිරි රසයෙන් යුතු විය. නෑදෑයින්ට, අසල්වැසියන්ට බෙදූ පසුත් හැම අඹ
වාරයේදීම අපට රස විඳින්නට මහා අඹ කන්දක් ඉතිරි විය. අඹ ගස වැඩුණු පසු සෑම සිංහල අවුරුද්දට ම එහි ඔන්චිල්ලාවක් බැඳිනි. ‘අඹ මල් තියෙද්දී ඔන්චිලි බැඳලා ගහ හෙලවුනහම ගෙඩි
හැදෙන්නේ නැහැ!’යැයි ලද විවිධ උපදෙස් ගණනකට නොගත් තාත්තා අඹ මල් පිපෙන හැම අවුරුදු
කාලයකදී ම ඔන්චිල්ලාව බැන්දේය. මා ඇතිතරම් ඔන්චිලි පැද්ද අතර කිසිකලෙක අඹ පලදාව
අඩු වූයේ ද නැත.
සේයාරුවේ පසුබිම ඈතින් පෙනෙන්නේ අප නිවස ඉදිරිපිට ඇති
පන්සලයි. එයත් අඹ ගස මෙන්ම මගේ ළමා මතකයේ අනිවාර්ය කොටසකි. උදෑසන අවදි වූ සැණින්
කවුළුවෙන් දිස් වන චෛත්‍යය ගැන මතකයත්, හවස බෝධි පූජාවට එක් වන්නට අතට වතුසුදු මල්
මිටක් කඩාගෙන පාර පැන පන්සල් ගිය මතක ත්, අදත් සිතේ නොවෙනස් ව පවතී.
එහෙත්
මේ වෙද්දී මා ඇතුළු මෙහි ඇති සෑම දෙයක් ම කාලය මවන වෙනසට හසු වී ඇත. පන්සල දැන්
චාම් සුදු වත හැර දමා රන් පැහැයෙන් බබලයි. රන් වැට, රන් පවුරු ආදියෙන් ගහණ එයට දැන්
මල් මිටක් අතට ගෙන ගොඩවෙන්නට සැදැහැ සිතක් ඇතිවන්නේ නැත. අපගේ මහගෙදර ද දැන්
අන්සතු වී ඇත. එය සිදුවූයේ දෙමව්පියන් පදිංචියට පිටරටට සංක්‍රමණය වෙද්දී ය. අලුත්
හිමිකරුවන් මේ අඹ ගස කපා දමා ඇත. දැන් මේ ගෙවත්ත වල් බිහිවී ඇත. කාලය පැමිණි විට
ජීවිතය ද අත් හල යුතු නම් ගේ දොර, ගහ කොළ ආදිය අත්හැරීම ඒ මඟෙහි ම එක් පියවරක්
පමණක් බව සිතීමෙන් ඒ ගැන පපුවේ දැනෙන සියුම් රිදුම තුනී කර ගත හැක.
මා
ද දැන් මේ රුවින් සම්පූර්ණයෙන් වෙනස් බව විශේෂයෙන් කිව යුතු නැත. මගේ කොණ්ඩය මෙලෙස
‘කොලු කට්’ එකක් කපා සිටි කාලයක් මතක නැත. එහෙත් මේ සිනහව නම් මම වෙනත් මුවක නිතර දකිමි.
ඒ දඟ වැඩක් කර අතටම අසු වූ විට මා පුතුගේ මුවිනි. එවන් විටක, ඔහු එක්තරා විදිහකට ‘මා ම බව’ දැනී මොහොතක්
හදවත නවතී. මෙය ලියද්දීත් ඔහු මා අසල දැවටෙමින් හිඳී. ඇයිදැයි ඇසූ විට ‘යමු ද අම්මා
සෙල්ලම් කරන්න?’ ඔහු අසයි. තමන්ගේ ස්ථිර සෙල්ලම් සගයා ලෙස අම්මා ව තෝරාගෙන සිටින
ඔහු හා හැංගිමුත්තමට, බැඩ්මින්ටන් ගැසීමට, කාර් රේස් ට්‍රැක් තැනීමට, රසකැවිලි
සැදීමට මා ද එක්වන්නේ මහත් රුචියෙනි. එබැවින් සමහරවිට අන් හැම දේම වෙනස් වූවත් මේ
සේයාරුවේ එක් දෙයක් වෙනස් වී නැති ව තිබීමට ඉඩ ඇත. සමහරවිට මෙහි සිනාසෙමින් සිටින
කුඩා දැරිය එලෙසම මා තුළ අදත් ජීවත්වනවා විය හැක.
හරිම අපූරුයි මලී....මතක සැමරුම් සටහන බොහොම ලස්සනයි...:)
ReplyDeleteස්තූතියි රවී, ලියන්නට තරම් මතක සැමරුම් තියෙන බව තේරෙන්නේ ලියන්න ගත්තහමයි!
Deleteසටහන කියවගෙන යද්දී පන්සල ළගින් ටිකක් හිත මගේ නතරවුණා. මලී කිව්වා වගේම දැන් දැන් පන්සල් දැක්කාම හිතේ භක්තියක් ඇතිවෙන්නෙම නෑ. බොහෝ පන්සල් දැන් මාළිගාවල් වගෙයි. කාලයේ වෙනස.
ReplyDeleteජයවේවා!!!
ඔව් දුමින්ද, මේ සැරේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක විශේෂ දෙයක් තමයි නගරාසන්න හැම පන්සලක් ම වගේ රත්තරන් පාට වෙලා බව! :)
Deleteඔව් මලී. බොහෝ පංසල් දැක්කාම ඒවායේ අත්හැරීම වෙනුවට ළංකර ගැනීම කියන සංකල්පය හොදින් ක්‍රියාත්මක වෙනවා කියලා හිතෙනවා.
Deleteමලී ලංකාවේ කොයි පළාතෙද ?
ජයවේවා!!!
මම කළුතර ට කිට්ටුව.
Deleteකාලයේ වෙනසත් එක්ක අර අඹ ගහේ ඔන්චිල්ලාවට වුනුදේ ගැන කියවද්දී එකපාරටම මට මතක් වුනේ මලීම රෙකමන්ඩ් කරපු පොතක තිබුණ වාක්‍යයක්...
ReplyDelete"තනිකමෙන් හිරිවැටුණ ඔංචිල්ලාවක්, අළුත් මිදුලක් හොයයි..." :)
බීට්ල්! දැක්ක කල්!රෙකමන්ඩ් කරපු පොත් කියවන්න පුංචි වෙලාවක් හම්බවෙලා වගෙයි :)
Deleteචූටි නංගි, ඔයාගේ හිනහව තවම ඔය වගේමයි. ඔයා කොහොමද තීරණය කලේ ඒක එහෙම නෙමෙයි කියලා. පුතු පැටියටත් තියෙන්නේ ඔයාගේ හිනහව නේද කියලා හිතුනෙ ඔයා ලියපු එක කියෙව්වහම.
ReplyDelete//පවුලේ බඩපිස්සී ගේ ළමා පින්තූර ගැන මතක නැති වුනාට// ළමා කාලය ගැන මට මතකයි. බඩපිස්සී නිසා පුංචි පුංචි අසාධාරනකම් නොවුනාම නෙමයි. ඒක ඉතින් හැම බඩපිස්සිටම පොදුයි!!! ඊයෙත් මට චෝදනා කලේ මම තනියම බයිසිකල් පදින්න පුරුදු වුනා ඔයාට ඉගැන්නුවේ නැහැ කියලා.
ඔය පින්තුරෙ ඉන්න කෙලි පොඩ්ඩිත්, හවස් වෙනකොට හඳුන්කූරු සුවඳ, මල් සුවඳ අපේ ගෙදරට ආපු සිත නිවපු පන්සලත්, කොළ වලට වැඩිය ගෙඩි හැදුන අඹ ගහත්, වැඩිය උඩ නොගියත් අඹ ගහේ බැඳපු ඔන්චිල්ලාවත්, ලස්සන මල් වත්තක් වගේ අම්මගේ අතින් හැඩවුන මිදුලත්, ඔය ගෙදර ගෙවුන අපේ ජීවිතත් වෙනස් වෙලා.... සමහර ඒවා නැති වෙලා.... වෙනස්වීම්, නැතිවීම් සොබාදහමේ කොටසක්. ඒ වෙනස්වීම් නැතිවීම් ගැන හිත හදා ගන්න මේ ටිකත් හොඳටම ඇති.
ලොකු අක්කා
කඳුළු!! :) <3
Deleteමලීගේ සටහන කඳුළු ගේන සටහනක්.. කාලය මවන වෙනස්කම්.. අර පුතාගේ හිනාවේ ඔයාව දකින එක මාත් මගේ පුතාගෙන් දකිනවා..
ReplyDeleteඔව් නිම්නා එහෙම හිනාවක් දකින එකම ඇති නේද කාලයේ වෙනස්කම් දරාගන්න?
DeleteSuch a pretty little thing <3
ReplyDelete(loved the story too.....)
thanks!
Deletedon't be deceived by looks Hiranya, I was a little tiger cub- scratching and all- according to my sisters! ;)
uh huh, then we have another thing in common ! :) but the sweet smile says that you may have been hot tempered but sweet and innocent at the same time :)
DeleteI guess it takes one to know one! ;) <3
Deleteමම blog ලියන්නට පටන් ගත්තාට පසුවයි මේ විස්තරය දැක්කේ. මහ ගෙදර, අඹ ගස. ඔන්චිල්ලාව, මල් වැවු ගෙමිදුල ආදී සියල්ලම අතහැර දැමීමට අපට ධෛරිය ලැබුනේ ඔබ තුන්දෙනාම ඕස්ට්‍රේලියාවේ හොඳින් ජීවත් වන නිසයි. දවසක සියල්ලම අතහැර දමා යාමට සිදුවෙනවානම් මෙය එතරම් ප්‍රශ්නයක්ද? දැන් පවුලේ සමීපතම දහතුන් දෙනාම සිටින්නේ එක කිට්ටුවනේ. ඒ හැරත් ගෙදරට අවුරුදු හතළිහකට වැඩි නිසා එය අතහැර දැමීමට ලැබීම (වටිනාකමක් සහිතව) වාසියක්. පන්සල නම තවම තිබෙනවා. කියා ඇති පරිදි අලුත් අරුව පිත්තල mod වැඩ නිසා එහි පැරණි අගය අඩුවෙලා. වෙනදා පන්සලට පැමිණ අප හමුවීමටත් එන බොහෝ අය අපට මොනවා උනාද කියා සොයනවාත් ඇති. හෙට අනිද්දා වන විට අපේ ගේ තිබුණු තැන මහල් කිහිපයක නව පන්නයේ ගෙයක් ඉදි වූ පසු, අප අලුතින් ගෙයක් තැනුවාද කියාත් විපරම් කරන අය සිටීවි. සියල්ලම අනිත්‍ය වන අතරම එම අනිත්‍ය දේවලින් නවීකරනයක්ද සිදුවිය හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
ReplyDeleteඅක්කගේ හිනාවමයි පොඩ්ඩටත් !!!!! පරණ මතක හරිම මිහිරියි අක්කා!
ReplyDelete