May 31, 2023

'කළු-සුදු' රේඩියෝ කෙටිකතාවක් ලෙස

ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය ගැන සොඳුරු මතක සටහන් ගොන්නක්ම මට තියෙනවා. බෝඩිම් වල නැවතිලා, හරියට කෑමක් බීමක් නැතිව, පාඩම් කරමින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඒ සොඳුරු මතක නිසා අමතක කරලා දාන්න පුළුවන්. මගේ ලියවිලි කීපයකටම ජ' පුරේ අත්දැකීම් මුහු කරලා තියෙනවා. සිරිදාස අයියාත් නයිස් නම් බල්ලා ත් ඉන්න 'කළු සුදු' කතාව ඉන් එකක්. ඒ කතාව මගේ 'සහස් පියවර' කෙටිකතා පොතෙත් පළවූණා. ඒත් දැන් ඒ කතාවට අලුතින් හුස්ම පිඹලා රේඩියෝ නාට්‍යයක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට. මේ වෙනුවෙන් මගේ කෙටිකතා තෝරාගන්න ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට මගේ හද පිරි ස්තූතිය. ඉනෝකාගේ හඬින් මේ කතාව අහන එක අපූරුම අත්දැකීමක්.


May 30, 2023

'සුසුමකින් සුළි සුළඟ' - ලක්ශාන්ත අතුකෝරල


සුසුමකින් සුළි සුළඟක් මවන්න පුලුවන්ද? සමහර සුසුම් වලින් හොඳටම පුළුවන්.

'සුසුමකින් සුළි සුළඟ' ලක්ශාන්ත අතුකෝරල කවියාගේ කෙටිම කෙටි කවි සහිත කවි පොතක්. ඔහුගේ 'සමහර කමටහන්' සහ 'යටි වියන' කවි පොත් දෙක මම නිතර කියවන්නේ ඔහුගේ කවි ආරට මම බොහොම කැමති නිසා. ඒත් ඊයේ පෙරේදා දවසක ඔහුගේ මේ කවි පොත පුස්තකාලයේ තිබිලා මට හම්බවුණා. මේකේ කවි ලියවිලා තියෙන්නේ කළින් පොත් දෙකේම කවි රටාවන්ට වඩා වෙනස් ආරක බව දැක්කාම මට පුදුම හිතුණා. මීට කලින් ලක්ශාන්ත ගේ කෙටි කවි මම දැකලා තිබුණේ නැහැ. බොහොම දුර අතීතයේ දී මමත් සෑහෙන්න කෙටි කවි ලීව නිසා මේ කවි හරි ඉක්මණින් මගේ හිත ගත්තා. ලක්ශාන්ත ගේ පරිකල්පනය, නිර්මාණ ශක්තිය වගේම බොහොම ලොකු කතා වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් මේ හැකියාව ඉතාමත් ප්‍රසංශනීයයි. 

මේ එයින් කවි කීපයක්.





සංජීවී සෙනෙවිරත්නගේ දියසායම් සිතුවමින් මේ කෙටි කවි තවත් හැඩ වෙලා තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොතට නියමිත කවි 150 ට අමතරව කවියාගේ මුල් කවි සංග්‍රහයෙන් කවි 150කුත් නොමසුරුව පොතේ අගට එකතු කරලා තියෙනවා.  සරලව කියනවා නම් මේ කවි පොතම රසබර අත්දැකීමක්. ස්තූතියි ලක්ශාන්ත, මේ සුසුමින් නම් සුළි සුළං මැවෙනවා! 
 



May 28, 2023

දරුවන්



Translation of the poem 'May we raise children' by Nicolette Sowder

ආදරය නොලැබෙන දේ ට
ආදරය කරන්නට හැකි දරුවන්
තනන්නට අපට හැකි වේවායැයි පතමි

ඩැන්ඩිලයන් මල්වලට,
පනුවන්ට, මකුළු පැටවුන්ට
ආදරේ දරුවන්

රෝස මලට කටු අවැසි ඇයි දැයි
තේරුම් ගතහැකි දරුවන්

හිරු රැසින් පිරි දවස් වෙත මෙන්ම
වැසි වැටෙන දවස් වෙතත්
එක ලෙසටම දිව යා හැකි දරුවන්

ඔවුන් වැඩුණු විට
පෙර කලෙක
මට සිලුටු දේ රැක බලාගෙන
ලද අත්දැකීම් නිසා ම
හඬක් නොමැති වූවන් වෙනුවෙන්
හඬක් වීමට ඔවුන්ට හැකි වනු ඇත

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Pencil sketch

May 24, 2023

දේව දූතයන්



Translation of the prose poem 'Angels' by Lang Leav

එය සිදුවන්නේ මෙසේ යි.

කවදා හෝ දවසක ඔබට මුණගැසෙන යම් කෙනෙක් ගැන ඔබට විස්තර කළ නොහැකි තරමේ දැඩි බැඳීමක් දැනෙනු හැක. මෙය ඔබ මින් පෙර කිසිදිනක අත් දකින ලද්දක් නොවේ.

මේ තැනැත්තා ඔබේ ජීවිතයට එන්නේ එක්කෝ කරදර කාලයක ඔබව සුරැකිව තබාගැනීමට යි, නැතිනම් ඔබට ජීවිතයේ වැදගත් පාඩමක් ඉගැන්වීමට යි.

සමහරවිට මේ තැනැත්තා තුළ දේව දූතයෙක් සිටිනවා විය හැක, ඒ අදිසි බලයක් විසින් එවන ලද කෙනෙක් වන්නට ඉඩ ඇත. 

ඔබ කළ යුත්තේ ඔවුන් ව විශ්වාස කිරීමයි- ඔවුන් ඔබ ව සුවපත් කරන චාරිකාවේදී ඔබ වෙත වේදනාවන් සහ දෝමනස්සයන් ගෙන ආවත් නොකඩවා ඔවුන්ව ව විශ්වාස කිරීමයි. ඔවුන් ඔබ වෙත පැමිණි හේතුව කාලයක් ගත වූ පසු පැහැදිලි වනු ඇත. 

නමුත් එක් අනතුරු ඇඟවීමක් කළ යුතුමය- ඔබ මේ තැනැත්තාට කෙමෙන් ආදරය කරන්නට පටන් ගන්නට ඉඩ තිබේ. 

මතක තබා ගන්න, ඔවුන් ඔබට හිමි වන්නේ නැත. ඔවුන්ගේ අරමුණ ඔබව ගලවාගැනීම නොව ඔබට ඔබවම ගලවාගැනීමට මඟ පෙන්වීමයි. 

මේ කාර්යය සම්පූර්ණ වූ විට රැස් වළල්ල ගිලිහී එහි වූ දේව දූතයා නික්ම යනු ඇත. ඔවුන් ඔබගේ ජීවිතයෙන් ඉවත් වන්නේ එවිටයි. 

ඉනික්බිති ඔබ දෙදෙනා පෙර සේම නැවතත් නාඳුනන්නන් බවට පත්වනු ඇත.  



පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Digital painting