June 17, 2025

"ඉතින් මම ඉන්නවා..."




මෑතක ජනප්‍රිය වුණු සනුක වික්‍රමසිංහ ගේ 'ඉතින් මම ඉන්නවා' ගීතය අහන්නත් දකින්නත් ලැබුණු නිසා ඒ ගැන පුංචි සටහනක් හිතුණා. 

සනුකගේ සින්දුවක් මම 'හරියට' ඇහුව පළවෙනි වතාව මේක. මේ සින්දුවේ පද, තනු සහ ගායනය තුනම සනුකගෙන්. ඒක සුවිශේෂී දක්ෂකමක්. මොකද ඒ වචන බොහොම හැඟීම්බරයි, ඒ වගේම ලගන්නාසුළුයි. තනුවත්, හඬත් ඊටම ගැලපෙනවා.

අලුතෙන් නිකුත් වෙන සින්දුවලට අරුත්බර visual එකක් එකතු කරන එක මෑත කාලේදී ඇතිවෙලා තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක්. පහුගිය කාලේ ජනප්‍රිය වුණු සින්දු කීපයක්ම මේ ක්‍රමය අනුගමනය කරලා තිබුණා. සමහර වෙලාවට සින්දුවේ පද යටපත් වෙන තරමට රූප රාමු ප්‍රබල වුණු අවස්ථා නැත්තෙත් නැහැ. අද කාලේ visual එකක් නැතිව සින්දුවක් මාකට් කරගන්න බැරිවත් ඇති. 

මේ සින්දුවටත් බොහොම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු කරගෙන කළ visual එකක් තියෙන්නේ. පාසල් දැරියක් තරුණ ගුරුවරයෙක් ගැන හිතේ ඇතිවුණු අහිංසක crush එකක් සහ නොහිතූ විදිහට ඒක නිසා ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් මේ සින්දුවේ පුංචි ඉඩේ දී පෙන්නනවා. ඒ වගේම ඒ තරුණ ගුරුවරයා ඒ ප්‍රශ්නය ඇතිවෙන්න කළින් ඉඳන්ම anxiety, panic attacks වගේ දේවල් වලට ලක් වෙන කෙනෙක් බවත් බොහොම සියුම් ව පෙන්නනවා. පුංචි සිද්ධියක් නිසා මහා විනාසයක් වෙන්න පුළුවන් හැටි, ජීවිත පවා විනාස වෙන්න පුළුවන් හැටි හැබෑම දක්ෂයෝ ටිකක් එකතු වෙලා අපූරු නිර්මාණයකට එකතු කරලා. ධනුෂ්ක ඩයස්, කුෂන්‍යා ෆොන්සේකා, චන්ද්‍රලේඛා පෙරේරා රංගනයෙන් දායක වෙන මේ visual එක උසස් මට්ටමක වැඩක් බවට විවාදයක් නැහැ.

දැන් මේ ටික තමයි ඒ සින්දුව ගැන unpopular opinion වර්ගයට වැටෙන මගේ අදහස. මට නම් සින්දුවක වචන- තනුව- හඬ තමයි වැදගත්ම. visuals ඕනෑම නැහැ. සින්දුවේ පද වලට visual එකකින් බලෙන් අර්ථකථනයක් ඔබ්බනවට මගේ නම් වැඩි මනාපයක් නැහැ. මේ සින්දුවේ පද බොහොම හිත කම්පනය කරන සුළුයි, ඒ වගේම අනන්‍යයි. ඒවාට පවතින්න, ප්‍රසිද්ධ වෙන්න රූප රාමු අත්‍යවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස.

තමන් ආදරෙන් ඇදහූ රුවත්, හිතේ රැව් දුන්නු හඬත් නොඇසෙන නොපෙනෙන මානෙක ඉන්න වීම කෙනෙකුට කරන්න වෙන අමාරුම දෙයක් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වගේ දුෂ්කර දේවල් වලින් අපිට ගැලවීමක් නැහැ. 

අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ

අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ



//සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ// මේකත් මේ පද අතරේ තියෙන බොහොම සිත රිදවනසුළු කාරණාවක්. ලෝකයේ තියෙන සදාකාලික පෙම් කතා අතරේ සමහර අයගේ කතන්දර වටිනාකමක් නොලබාම මැකිලා යනවා. ඒත් ඊට සම්බන්ධ අයගේ රිදුම නොවෙනස් ව පවතිනවා. //නුඹේ සුවඳින් පිරී හසරේ හඹා එමි හැම භවේ සසරේ// අන්තිමට ඉතුරුවෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් විතරයි.

visual එක කොයිතරම් ලස්සන වුනත් මම නම් මේ සින්දුව අහන්න කැමති රූප රාමු නැතිව. සනුක ගේ පද, තනු වගේම හඬ හොඳටම හිතට දැනෙන්නේ එතකොටයි. මේ සින්දුවේ තරමක 'රූකාන්තමය' ලක්ෂණ තියෙන බවට සනුකට පොඩි චෝදනාවක් කරලා තියෙනවාත් මම කොහේ හරි දැක්කා. එහෙම බවක් නම් ගීතය අහද්දී දැනෙනවා තමයි. ඒත් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ. එකිනෙකා ඇසුරේ ඉන්දැද්දී නිර්මාණකරුවෝ එකිනෙකාගේ ආභාෂය ලබන එක සාමාන්‍ය දෙයක්. කොහොම කළත් සනුකත්, රූකාන්ත ත් දෙන්නෙක් මිසක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ, ඒ වගේම මේකට සනුකට රූකාන්තගේ ආශිර්වාදය ලැබුණු බව පැහැදිලියි.

හිත කම්පනය කරන්න පුළුවන් සින්දු වලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මේ සින්දුවත් අනිවාර්යයෙන් ඒ වර්ගයට අයිති වෙනවා.
.
.
.

සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නෑසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
.
.
.

ඉතින් මම ඉන්නවා
Lyrics - Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production - Sanuka Wickramasinghe
Mix & Master - Sanuka Wickramasinghe
Music Video Created by Chamil Pathirana

June 14, 2025

ඩිජිටල් චිත්‍ර- 2

මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා ගිය අවුරුද්දේ යෝජනා කළේ මගේ බ්ලොග් මිතුරු මිතුරියෝ තමයි. ඒ නිසා මම ඒ වෙද්දී ඇඳලා තිබුණු චිත්‍ර එකතු කරලා වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දෙත් තව වීඩියෝ එකක් දාන්න හිතුණේ ඊටපස්සේ ඇන්ද චිත්‍ර සෑහෙන්න තියෙන බව තේරුණු නිසා. මෙතැන චිත්‍ර 52ක් තියෙනවා. ගණන් හදලා බැලුවාම මම සතියට එක චිත්‍රයක් විතර ඇඳලා කියලා තේරුණේ තව මීට ඇතුළත් නොකළ ඩිජිටල් චිත්‍ර ටිකකුත් තියෙන නිසා! අතින් අඳින චිත්‍ර නම් sketch books පිරෙද්දී තියෙන ගාණ තේරුණත් ඩිජිටල් චිත්‍ර ටික මෙහෙම එක තැනකට එකතු කරනකම් මේ තරම් තියෙයි කියලා හිතුණේ නැහැ.

මෙහෙම චිත්‍ර අඳින්න වෙලාව කොයින්ද කියන එක මට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. බහුතරයක් ඩිජිටල් චිත්‍ර මම හරි ඉක්මණින් අඳිනවා. (සියුම් වැඩ කිඩ නැති ඒවා) මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්. ඒ කියන්නේ audio book එකක් අහද්දී, නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්. ඉස්සර ස්ටයිලස් එකෙන් ඇන්දාට ඒ කම්පියුටරේ ඇණ හිටි නිසා මේවා නම් ඔක්කොම වගේ mouse හෝ touch pad එකෙන් ඇන්ද ඒවා.

මම ඩිජිටල් චිත්‍ර ඇඳීම ගැන කිසිම හැදෑරීමක් කරලා නැති බවත්, තනිකරම self taught බවත්, හරියට අඳින්න පටන් අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ බවත් මේ එක්කම කියන්න ඕන. පොදුවේ කොයි මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් ඒක මට බොහොමත්ම හිත නිවන වැඩක්. මම ලියන, පරිවර්තනය කරන දේවල් ලස්සන කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් වීම බෝනස් එකක්. 

ඉතින් මේ අවුරුද්දේ මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය රස විඳින ගමන් තමන් කැමතිම චිත්‍ර ගැන කියන්න කියලා මගේ ෆෑන්ස්ලාට ආරාධනා කරනවා! 


Digital Art HG by Malie G

June 09, 2025

වැහි ලිලී මල්



වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා. 

අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්. 

වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.

අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.

දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි. 

Digital painting


June 06, 2025

A House for Mr. Biswas by V. S Naipaul



මිස්ටර් බිස්වාස් ට හැමදාම වුවමනා වුණේ තමන්ටම කියලා ගෙයක්. මුල ඉඳලාම එක එක්කෙනාගේ අගු පිල් වල ජීවත් වෙලා, පස්සේ කාලෙකදී බිරිඳගේ පවුලේ මහා සෙනඟක් එක්ක එකම ගෙදර ජීවත් වෙන්න සිද්ධ වෙලා, මේ ‘තමන්ගේම ගෙදරක්’ කියන හීනය එයාගේ හිත රිදවමින්, හිතට තදින් කා වැදිලා තිබුණේ. ඒත් ඒ හීනය එළි කරගන්න එයාට ජීවිත කාලයක්ම ගත වුණා. අපි කතාවට කියන විදිහට ඒ හීනේ එළි කරගන්න ගිහින් මිස්ටර් බිස්වාස් ට ‘හෙණ ගැහුවේ නැතිවා විතරයි’! 

A House for Mr. Biswas, V. S Naipaul 1961දී ලියූ නවකතාවක්. Naipaul ගේ නිර්මාණ ලෝකය පුරා ප්‍රචලිත වුණේ මේ පොත නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. උපහාසය, සෝපාහසය, හාස්‍යය වගේම නිර්මාණ රසය එකිනෙකට නොදෙවෙනි මාත්‍රා වලින් මේ වගේ කැටිවුණු වෙනත් පොතක් නම් මම මීට කලින් කියවලා නැහැ. ඒ වර්ණනාවන්, රූපක, උපමා! මේක ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි පදිංචි ඉන්දියානු සම්භවයක් ඇති පවුල් කීපයක කතාවක්. මේ කතාව පුරාවටම-ඒ කියන්නේ ළමා කාලයේ පටන් වැඩිහිටි වයස දක්වාම- කතා නායකයාව හඳුන්වන්නේ ‘මිස්ටර් බිස්වාස්’ නමින්. A House for Mr. Biswas පොතේදී මිස්ටර් බිස්වාස් ජීවිත ගමනේ ගිරි දුර්ග, දිනුම් කණු පහු කරන් යන ගමන පාඨකයාවත් එක පෙළට කැඳවාගෙන යන්න Naipaul සමත් වෙලා තියෙනවා. කියවාගෙන යද්දී මිස්ටර් බිස්වාස්ගේ ජීවිතයේ කරදර වැඩිහරියකට හේතුව එයාගේම උද්ධච්චකමත්, පණ්ඩිතකමත් බව තේරුණත් මොකක්දෝ නොතේරෙන හේතුවකට කියවන අපිත් වශී වෙලා ලේඛකයාගේ පස්සෙන් මේ ගමන යනවා. 

There is, in some weak people who feel their own weakness and resent it, a certain mechanism which, operating suddenly and without conscious direction, releases them from final humiliation. Mr. Biswas, who had up till then been viewing his blasphemies as acts of the blackest ingratitude, now abruptly lost his temper. “The whole pack of you could go to hell!” he shouted. “I not going to apologize to one of the damn lot of you.” Astonishment and even apprehension appeared on their faces. He noted this for a lucid moment, turned and ran up the stairs to the long room, where he began to pack with unnecessary energy. (Page 50)

මේ කතාවේදී ලේඛකයා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල ආර්ථික, දේශපාලනික අර්බුද වගේම සමාජ ගැටළු ස්පර්ශ කරන්නේ තමන්ට ආවේනික සැහැල්ලු ලිවීමේ ආරෙන්මයි. තමන්ගේ උපන් බිමින් වෙන රටකට සංක්‍රමණය වෙලා කොයි තරම් කාලයක් ගත වුණත්, ඒ මුල් රටේ සිරිත් විරිත් සහ ජීවන ක්‍රම කරපින්නාගෙන යන, ඒවායේ බරින් හෙම්බත් වන මනුස්ස ස්වභාවය ගැන හාස්‍යයෙන් කතා කරන්න ඔහු සමත්.  

He put fresh sandalwood paste on the foreheads of the gods, on the smooth black and rose and yellow pebbles, and on his own forehead; lit the camphor, circled the flame about the shrine with his right hand while with his left he tried to ring the bell; blew at the conch shell, emitting a sound like that of a heavy wardrobe scraping on a wooden floor; then, his cheeks aching from the effort of blowing the conch shell, he hurried out to eat. (Page 199)

මේ හැම දේටම වැඩිය මගේ නම් හිත ගන්නේ මේ කතාවේ තියෙන විචිත්‍ර විස්තර. ලේඛකයා විස්තර කරන්නේ දූවිලි පිරුණු අර්වකාස් ගමද, පොර්ට් ඔෆ් ස්පේන් නගරයේ මුඩුක්කු පේළියක්ද, සැඩ සුළං හමන සන් සුසී වෙරළ තීරයද, තනි කොළ පාටට පේන ෂෝට්හිල්ස් වතු යාය ද එහෙම නැත්නම් ඒ කොයි තැනක හරි තියෙන, හැම කාමරේම උතුරන තරමට සෙනඟ පිරුණු ගෙයක්ද කියන එක වැදගත් නැහැ. ඒ හැම තැනින්ම හමන හඳුන් කූරු සුවඳ, දාඩිය ගඳ, මුහුදු හුළඟ, පිළුණු කෑම ගඳ, බෙරි වුණු පළතුරු සුවඳ දැනි දැනී, දිය සෙවෙල් වල ලෙස්සමින්, මඩේ එරෙමින්, ලී බඩු වල හැප්පෙමින් මේ කතාව කියවන අපිවත් එකතු කරගෙන යන ගමන හරිම අපූරුයි.

The land between the road and the gully widened; the gully grew shallower. Beyond it Mr. Biswas saw the tall immortelles and their red and yellow flowers. And then the untrodden road blazed with the flowers. Mr. Biswas picked one up, put it between his lips, tasted the nectar, blew, and the bird-shaped flower whistled. Even as they stood flowers fell on them. Under the immortelles he saw the cocoa trees, stunted, their branches black and dry, the cocoa pods gleaming with all the colours between yellow and red and crimson and purple, not like things that had grown, but like varnished wax models stuck on to dead branches. Then there were orange trees, heavy with leaf and fruit. (Page 190)

නවකතා සහ සංචාරක සටහන් ඇතුළු වෙනත් කෘති තිහකට වඩා ලියලා තියෙන ලේඛක Naipaul ට 1990දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ උසස්ම සාහිත්‍ය සම්මානයත්, 2001 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. මේ තරම් කීර්තියක් ලැබුව Naipaul මුලදී තමන්ගේ ලේඛන ජීවිතයේ කොයි තරම් පසු බෑම් වලට ලක් වුණාද කියනවා නම් එයා A House for Mr. Biswas පොතේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් නැතිව ඒක සම්පූර්ණයෙන්ම ලීවේ පැන්සලෙන් ලු. 

A House for Mr. Biswas කෘතිය විසි වන ශතවර්ෂයේ පළ වුණු හොඳම නවකතා සීයට අයිති බව පිළිගත් කාරණාවක්. මේ කතාව Naipaul ගේ තාත්තාගේ ජීවිතය ඇසුරෙන් ලියවුණු එකක් බව ඔහු කියලා තියෙනවා. ඒ බව දැනගත්තාම මේ පොතේ මිස්ටර් බිස්වාස් ගේ එකම පුත්‍රයා වන ආනන්ද් ගේ මුරණ්ඩු කම්, දක්ෂකම්, මෝඩකම්, මුඛරිකම් ගැන ඔහු ලියලා තියෙන්නේ ස්වයං චරිතාපදානයක් හැටියට නේද කියලා අපට හිතෙන්න ගන්නවා. තමන්ගේත්, තාත්තාගේත් ජීවිතවල කටුක අත්දැකීම්, දුකත් සතුටත් තවරලා, අපේ ඇස් ඉස්සරහා මවලා දීලා අකුරු කළ V. S Naipaulගේ ලේඛන හැකියාව අති විශිෂ්ඨ බවට මේ පොත හොඳ සාක්කියක්. 


A House for Mr. Biswas (1961)
By V.S. Naipaul (1932-2018)
Published by André Deutsch

June 03, 2025

පැක්ල්ටයිඩ් මහත්මියගේ කොටියා


පැක්ල්ටයිඩ් මහත්මියට කොටියෙකු මැරීමට නොතිත් ආශාවක් තිබිණි. මේ ආශාව හදිසියේ ඇතිවූවක් නම් නොවේ. එමෙන්ම ඉන්දියාවේ ජන සංඛ්‍යාවෙන් මිලියනයකට එහි සිටින රුදු සතුන් ගණන අඩු කර ඈ එහි පැමිණෙද්දීට වඩා ඉන් පිටවෙද්දී එහි සුරක්ෂිත බව වැඩි කර තබා යන්නට ඇයට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. මේ අමුතු ආශාවට හේතු වූයේ ලූනා බිම්බර්ටන් මෑත දිනයක ඇල්ජීරියානු ගුවන් නියමුවෙකු සමඟ හැතැප්ම එකොළහක් ගුවන් යානයක ගමන් කර තිබීමත්, නොනවත්වාම ඒ ගැන විස්තර කීමත් ය. මෙවැනි උදම් ඇනීමක් යටපත් කළ හැකි වූයේ තමන්ම කොටියෙකු වෙඩි තැබීම, ඒ ගැන පුවත්පත්වල ඡායාරූප පල වීම සහ කොටි හමෙන් පලසක් ලබා ගැනීම වැනි කාරණා වලින් පමණක් බව පැක්ල්ටයිඩ් මහත්මිය දැන සිටියාය. තම කර්සන් වීදියේ නිවසේ ලූනා බිම්බර්ටන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරන අයුරුත්, එදින එහි සභාවේ කතාබහ කෙරෙද්දී බිම කොටි හම් පලස අතුරා තිබෙන අයුරුත් මේ වෙද්දී පැක්ල්ටයිඩ් මහත්මිය සිතෙන් මවාගෙන අවසන් ව තිබිණි. මීට අමතරව කොටියාගේ නිය පහුරින් හාරිච්චියක් නිර්මාණය කිරීමට මෝස්තරයක් ඈ දැනටමත් සිතා තිබුණු අතර එය ලූනා බිම්බර්ටන්ගේ ඊළඟ උපන්දිනයට තෑගි දීම ඇගේ අදහස විය. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවීම් තීරණය වූයේ කුසගින්නත්, ප්‍රේමයත් මත වූවත් පැක්ල්ටයිඩ් මහත්මියගේ ලෝකයේ නම් ඇගේ ක්‍රියාවන් සහ අරමුණු මූලික වශයෙන් තීරණය වූයේ ලූනා බිම්බර්ටන් වෙත ඇගේ තිබුණු නොකැමැත්ත මතයි. 

පැක්ල්ටයිඩ් මහත්මියට වාසි වන අයුරින් සියලු දේ පෙළගැස්වෙන්නට විය. වැඩි මහන්සියක් හෝ අවදානමක් රහිතව කොටියෙකු වෙඩි තැබීමේ අවස්ථාව වෙනුවෙන් ඈ රුපියල් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබිණි. වයස්ගත වීම නිසා ඇතිවූ දුර්වලකම් හේතුකොටගෙන වන සතුන් දඩයම් කිරීම නවතා අවට ගම්මානවල නිවෙස්හි ඇතිකරන සතුන් දඩයම් කිරීමට තෝරාගෙන තිබුණු කොටියෙකු ගැන ආරංචියක් ලැබුණේ මේ වකවානුවේදී ය. රුපියල් දහසක් ලැබීමේ පොරොන්දුව නිසා ඒ ගම්වැසියන්ගේ වාණිජමය සහ ක්‍රීඩාකාරී සහජාශය පිබිදී තිබිණි. මේ නිසා ඔවුන් දිවා රෑ නොබලා වනයේ මායිම් හි ගැමි දරුවන් රැඳවූයේ කොටියා තම ගොදුරු බිමින් ඈතට යාම වැළක්වීමටයි. මීට අමතරව මිළෙන් අඩු එළුවන් නොපරීක්ෂාකාරී ලෙසින් තැන තැන රඳවා තිබුණේ කොටියා ව තවදුරටත් ගම්මානය වෙතට ආකර්ෂණය කර ගැනීමේ අදහසිනි. නගරයේ නෝනා ගේ කොටි දඩයම් දිනයට පෙර වයෝවෘද්ධ බව නිසාම කොටියා මිය යයිද යන්න ගම්වැසියන්ගේ එකම ගැටලුව විය. ගැමි ගැහැනුන් කුඹුරු වැඩ කිරීමෙන් පසු කැලය මැද්දෙන් තම බිළිඳුන් වඩාගෙන ගමන් කරද්දී ගී ගැයීම නැවත්වූයේ ගරු කටයුතු ගව පට්ටි පහරන්නාගේ නින්ද කැඩේවි යන බියෙනි. 

අන්තිමේදී වැදගත් දවස උදා විය. එය සඳ එළිය දිලිසුණු, වළාකුළු රහිත දිනයක් විය. ගසක් මත තැනූ වේදිකාවක පැක්ල්ටයිඩ් මහත්මියත් ඇගේ පඩි ලබන සේවිකාවක් වන මෙබින් මෙනෙවියත් උක්කුටිකව වාඩි වී සිටියෝය. නියමිත දුරකින් වූ ගසක බැඳ තිබුණු එළුවා උපතින්ම තියුණු හඬක් හිමි වූ එකෙකු වූ අතර උගේ හඬ නිහඬ රාත්‍රියක තරමක් බිහිරි කොටියෙකුට වුව ඇහෙන මට්ටමේ විය. දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්නිය රයිෆලයක් සහ කාලය ගත කිරීමට කාඩ් කුට්ටමක් අතැතිව දඩයම පැමිණෙන තුරු බලා සිටියාය. 

“අපිට මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්ද?” මෙබින් මෙනෙවිය විමසුවාය.

ඇත්ත වශයෙන්ම ඈ තුළ වන සත්ත්වයා ගැන බියක් නොතිබුණු අතර ඇයට මාරාන්තික බියක් තිබුණේ තමන්ට ගෙවන ලද ගාස්තුවට වඩා ක්ෂුද්‍ර හෝ සේවාවක් සැපයීම ගැනයි. 

“පිස්සුද?” පැක්ල්ටයිඩ් මහත්මිය පිළිතුරු දුන්නාය. “මේ හොඳටම වයසක කොටියෙක්. ඌට උවමනා උනත් මේ තරම් උසකට පැනගන්න බැරිවෙයි.”

“කොටියා වයසයි නම් ඔයිට ලාබෙට ඔය වැඩේ කරගන්න තිබුණා කියලා මට හිතෙනවා. රුපියල් දාහක් කියන්නේ ලොකු ගාණක්නේ.”

කවර රටක කොයි වර්ගයක මුදලක් ගැනත් ලුවීසා මෙබින් දැක්වූයේ පරීක්ෂාකාරී ආකල්පයකි. ඇගේ උනන්දු සහගත මැදිහත් වීම නිසා මොස්කව් නගරයේ හෝටල් වලදී සන්තෝසම් ලෙස රූබල් අතුරුදන් වීම වැළකුණු අතර, ප්‍රංශයේදී අනුකම්පා විරහිත ඩැහැගැනීම් වලින් බේරෙන්නට ෆ්‍රෑන්ක් නෝට්ටු ඇගේ අතේ එල්ලිණි. කොටියා වෙනුවෙන් ගෙවිය යුතු වෙළඳපොල මිල ගැන ඇගේ ගණනය කිරීම් හදිසියේ නැවතුණේ අදාළ සත්ත්වයා හදිසියේම පෙනී සිටි බැවිනි. ගැට ගසා තිබුණු එළුවා දුටු සැණින් කොටියා බිමට පහත් වනු පෙනිණි. ඌ මෙසේ කළේ මුවා වීමේ අරමුණකට වඩා කඩා පනින්නට පෙර විවේකයක් ගැනීමේ අරමුණින සේ විය.

“මම හිතන්නේ ඌ අසනීපෙන්’ ලුවීසා මෙබින් හින්දි බසින් හඬ නඟා කීවේ යාබද ගසක උන් ගම්මුලාදෑනියාට ඇසෙන්නයි. 

“ෂ් ෂ් ..” පැක්ල්ටයිඩ් මහත්මිය කීවාය. මේ මොහොතේ ම කොටියා හෙමි හෙමින් ගොදුර වෙත කිට්ටු වන්නට විය. 

“දැන්!.. දැන්!” මෙබින් මහත්මිය උද්යෝගයෙන් කෑ ගැසුවාය. “කොටියා එළුවාගේ ඇඟට පැනලා නැත්නම් අපි එළුවා වෙනුවෙන් ගෙවන්න ඕන නැහැ.” (ඇම සඳහා අයකිරීම වෙනම සිදුවිය.)

රයිෆලය මහා හඬක් නඟමින් පත්තු වූ අතර කොටියා පසෙකට පැන මරණයේ නිසොල්මන් බව පාමින් බිම වැතිරුණි. මොහොතින් උද්යෝගිමත් ගම් වැසියන් එහි රොක් වූ අතර ඔවුන්ගේ කෑ ගැසීම් වලින් මේ සතුටු ආරංචිය ගම්මානයට සැළ වී, එහි බෙර හඬ නැඟෙන්නත්, ප්‍රීති ඝෝෂා ඇසෙන්නත් විය. කර්සන් වීදියේ නිවසේ සැලසුම් කළ සාදය සැබෑ වෙමින් තිබුණු නිසා මේ ජය හඬ පැක්ල්ටයිඩ් මහත්මියගේ සිත තුළ ද දෝංකාර දෙන්නට විය. 

එළුවා වෙඩිල්ලක් වැදීම නිසා මාරාන්තික තුවාල ලබා සිටි බව මුලින්ම දුටුවේ ලුවීසා මෙබින් ය. කොටියාගේ සිරුරේ රයිෆලය සිදු කළ කිසිම හපන්කමක් දක්නට තිබුණේ නැත. වෙඩිල්ල වැදී තිබුණේ වැරදි සතාට බවත්, වයස්ගත කොටියා මිය ගියේ වෙඩි හඬ නිසා ඇතිවූ හෘදයාබධයකින් බවත් අවසානයේදී නිගමනය විය. මේ සොයාගැනීමෙන් පැක්ල්ටයිඩ් මහත්මියට යම් නොරිස්සීමක් ඇති වූවද ඈ මියගිය කොටියාගේ අයිතිකාරිය නිසාත්, රුපියල් දහස ලබාගැනීමට ගම්වැසියන් විශාල උනන්දුවක් දැක්වූ නිසාත්, ඈ විසින් කොටියා ව වෙඩි තබා මරණ ලද බව ප්‍රසිද්ධ කරන්නට එකඟතාවයක් ඇති විය. මෙබින් මෙනවිය වැටුප් ලබන සේවිකාවක් පමණක් වූ බැවින් ඈ ගැන වධ වීමක් සිදු වූයේ නැත. අවසානයේදී පැක්ල්ටයිඩ් මහත්මිය ප්‍රීතිමත් මුහුණින් කැමරාවට මුහුණ දුන් අතර ඇගේ සේයාරූ ටෙක්සාස් සිට රුසියාව දක්වා පරාසයක පුවත්පත්වල පළ විය. ලූනා බිම්බර්ටන් නම් දෙසතියක්ම ගත වන තුරු පුවත් පතක් දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ අතර කොටියාගේ නිය පහුරින් තැනූ හාරිච්චිය තෑගි ලැබූ විට ඊට ස්තූති කර පිළිතුරු යැව්වේ මැඩගත් ආවේගයෙනි. 

කොටි හමෙන් තැනු පලස කර්සන් වීදියේ නිවසේ සිට පළාතේ ප්‍රභූ මන්දිරය වෙත ගමන් කර ප්‍රභූවරුන් ගේ ප්‍රශංසාවට ලක් විය. මේ නිසා මන්දිරයේ පැවැත්වූ බාල් නැටුම වෙනුවෙන් පැක්ල්ටයිඩ් මහත්මිය දඩයමට අධිපති ඩයනා දෙවඟන ලෙස සැරසී යාම ඉතා ගැලපෙන බව පිළිගැනිණි. ඇගේ මිතුරෙකු වන ක්ලොවිස් යෝජනා කළ ලෙස ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ හැම කෙනෙකුම තමන් මෑතක දඩයම් කළ සතෙකුගේ ලොමින් සෑදුණු ඇඳුමක් ඇඳගෙන බාල් නැටුමට යාම නම් ඈ ප්‍රතික්ෂේප කළා ය. 

“එහෙම කළොත් හැබැයි මට නම් අත දරුවෙක් වගේ තමයි ඇඳගෙන යන්න වෙන්නේ,” ක්ලොවිස් පාපොච්චාරණය කළේය. “මොකද මට අඳින්න වෙන්නේ ළඟදී දඩයම් කළ හාවෙක්ගේ දෙන්නෙක්ගේ ලොමින් හැදුව පොඩි ඇඳුමක්.”

“ඇත්තටම සිද්ධ වුණු දේ දැනගත්තොත් නම් හැමෝම හරි විනෝදයට පත් වේවි නේද?” බාල් නැටුමට දින කීපයකට පසු ලුවීසා මෙබින් කීවාය.

“ඒ කියන්නේ මොකක්ද?” පැක්ල්ටයිඩ් මහත්මිය ඉක්මණින් ඇසුවාය.

“නෑ ඉතින්, ඔයා එළුවා ට වෙඩි තියලා ඒකට බය වෙලා කොටියා මළා කියලා,” මෙබින් මෙනවිය කීවේ ප්‍රසන්න සිනාවකිනි.

“දැනගත්තත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.” පැක්ල්ටයිඩ් මහත්මිය කියද්දී ඇගේ මුහුණේ පැහැය වෙනස් විය.

“ලූනා බිම්බර්ටන් නම් විශ්වාස කරයි,” මෙබින් මෙනවිය කීවාය.

එය අසා පැක්ල්ටයිඩ් මහත්මියගේ මුව කොළ පැහැය මුසු සුදුමැලි පාටක් විය. 

“ඔයා මගේ රහස එළි කරන්නේ නැහැනේ?” ඈ ඇසුවාය.

“ඩොර්කින්ග් කිට්ටුව මම සල්ලිවලට ගන්න කැමත්තක් තියෙන පොඩි බංගලාවක් තියෙනවා,” මාතෘකාවට අදාළ නැතිව මෙබින් මෙනවිය කියවාගෙන ගියාය. “හයසිය පනහක් දුන්නාම නිරවුල් අයිතිය ලැබෙනවා, සෑහෙන්න ලාබයි. එකම ප්‍රශ්නේ මගේ අතේ සල්ලි නැති එක.” 

----------------------

ලුවිසා මෙබින් ගේ අලංකාර බංගලාවට ඈ දුන් නම ‘වන සත්ත්ව පියස’යි. ගිම්හාන කාලයේදී එහි ගෙඋයනේ ටයිගර්-ලිලී මල් පිපී අලංකාර ව දිස් වෙද්දී ඊට ඇගේ මිතුරු මිතුරියන්ගේ විශ්මය ත් ප්‍රශංසාවත් හිමිවිය. 

“ලුවීසා කොහොම මේවා කරගන්නවාද මන්දා,” පොදු මතය එය විය. 

පැක්ල්ටයිඩ් මහත්මිය නම් නැවත සත්ත්ව දඩයමේ ගියේ නැත. 

“ඒකට යන අමතර වියදම් වැඩියි,” ඒ ගැන විමසන මිතුරියන්ට ඈ පිළිතුරු දුන්නාය.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Mrs Packletide’s Tiger’ by Saki 

සිසිල සඟරාව - ජුනි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)