'I have a shocking memory - I remember everything.'― Melinda Chapman

March 25, 2025

රාජා



රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.

රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.

රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා. 

දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා. 

රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ. 

මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා. 

රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ  ඒ දුක්බර ආරංචියත් එක්කමයි. 

-හෙල්මලී 

photo- unsplash


10 comments:

  1. දුක හිතෙන කතාවක්!

    "රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා" එච්චර මොළයක් තිබුනු කෙනෙකුට රේල් පාර දිගේ ඇවිදගෙන යන එක රිස්ක් එකක් කියලා නොතේරුනු හැටි පුදුමයි.

    ReplyDelete
    Replies
    1. Lotus- සමහර වෙලාවට වැඩි දුර නොහිතා ගෙවන එක විනාඩියක් ඇති හැමදේම වෙනස් වෙන්න.

      Delete
    2. ඔව් නේද. මේ ළඟදි සිදු වුණු, පොඩි බබාලා තුන් දෙන්නාට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණු හදිසි අනතුරේදි වුණත්, එක වැඩිහිටියෙකුට නිදා ගන්නෙ නැතුව ඇහැරිලා ඉන්න, බබාලත් ඉන්න නිසා අනවශ්‍ය වේගයෙන් යන්න එපා කියන්න, පොඩ්ඩක් නවත්තලා රෙස්ට් එකක් ගමු, කෝපි එකක් බොමු කියන්න හිතුණා නම්...... (අපිට කියන්න ලේසියි තමයි නමුත් ඉතින්.. )

      Delete
  2. සමාන වෙනත් කතා කියල තියනවා කියල හිතුනා. ඒත් මේකත් ලස්සනයි.👌🙏

    ReplyDelete
    Replies
    1. බස්සා සමාන කිව්වේ මේ වගේ කතාවක්ද? මේ වගේ චරිතයක් ගැන නම් ලියලා නැහැ, හැබැයි මේ වගේ සමාජේ මුණගැහෙන චරිත ගැන නම් ලියලා තියෙනව මම.

      Delete
    2. සමාන කිව්වෙ, ගොළු එහෙත් විශේෂ හැකියා තිබ්බ අය ගැන වෙනත් අය ලියපු කතා. එකක් චිත්‍ර කතාවක් වගෙයි මතක.

      Delete
  3. ත්‍රීවිල් හාදයෙක් හිටියා අපි දන්න
    කන් ඇහෙනවා හොඳටම අඩු කතාවත් හොඳටම අඩු නිසා හැමෝම කිව්වේ ගොළුහදවත කියල
    නමක් දන්නේ නැහැ තමයි
    එත් හැමෝම එයාව හෙව්වා ගමන් යන්න
    ටිකක් පරිස්සමෙන් යන්න ඕන හදිසියේ නවත්තන්න කිව්වට පොඩ්ඩක් ඉන්න කිව්වට ඇහෙන්නේ නැහැනෙ
    හිටපු ගමන් ගමේ යනවා මාසෙකින් විතර පස්සේ තමයි එන්නේ
    මස දෙකක් විතර එන්නතුව ඉන්නකොට තමයි කවුරුත් හොයන්න ගත්තේ
    එතකොට මැරිලා ටිකක් කල් ගතවෙලා
    ඉතින් මට "රාජා"එක්ක "ගොළුහදවත" මතක් වුනා දැන් අවුරුදු 17 ක්

    ReplyDelete
    Replies
    1. අනේ ගොළු හදවත!
      මෙහෙම අයව මිනිස්සු හොයන්න ගන්නෙත් නැතිවෙලා ටිකක් කල් ගියාම කියන එකත් හරි දුක දෙයක් නේද?

      මේක කියවද්දී හිතුණේ, ශ්‍රවණාබාධිත අයට ඩ්‍රයිවින් ලයිසන් ගන්න පුළුවන් ද?

      Delete