March 29, 2024

මතක-තාල


 

මේ සටහන පින්තූරේ තියෙන පොත ගැන නම් නෙමෙයි කියලා මුලින් කියන්න ඕන!

Good Friday වෙනුවෙන් ලැබුණු නිවාඩුවේ උදේම ගේ අස්පස් කරලා, මල් පැල වලට සාත්තු කරලා මම තේ එකක් හදාගෙන එළිමහනේ තියෙන සනීප පුටුවට ගියේ අලුතින් අතට ලැබුණු මේ පොත පෙරළලා බලන්න. එසැණින් එහා ගෙදර පැත්තෙන් බොහොම හුරුපුරුදු තාලයක් වාදනය වෙනවා ඇහුණා. ටිකක් කල්පනා කරලා බලද්දී තමයි මතක් වුණේ ඒ ගීතිකාවක් බව. එහා ගෙදර ඉන්නේ බොහොම වයසක ජෝඩුවක්. ඒ දෙන්නා ගෙදරින් එළියට බහින්නෙම නැති තරම්. ඒ නිසා අද පල්ලි යන්නත් අමාරු ඇති. ඒ වුණත් තමන්ගේ ඒ ඇදහීම වෙනුවෙන් එයාලා ගීතිකාවක් වාදනය කරන්න තෝරාගෙන. මගේ හිත මොහොතින් දශක ගානක් ආපස්සට ඉගිලිලා ගියා.

මම පුංචි කාලේ අපි ජීවත් වුණේ සේෂෙල්ස් වල. සේෂෙල්ස් වැසියෝ වැඩිහරියක් බොහොම බැතිමත් කතෝලික අය. එහෙ අපේ ගෙවල් කිට්ටුවෙන්ම තිබුණා Mont Fleuri නගරයේ Good Shepherd පල්ලිය. හැම ඉරිදාම අපිට උදේට පල්ලියේ සීනු හඬ ඇහුණා. පල්ලිය කිට්ටුවෙන් යද්දී නිතරම මේ විදිහටම බොහොම ලයාන්විත ගීතිකා හඬත් හරි ලස්සනට ඇහුණා. අපි කතෝලික නොවුණත් ඒ හඬවල් අපේ ඉරිදා දවස්වලට සුන්දර කමක් එකතු කළා. මට නම් නොදැනුවත්වම ඒ ගීතිකා කටපාඩම් හිටියා.

අක්කලාත් මාත් ගිය ඉස්කෝලේ තිබුණේ පල්ලියට එහාපැත්තෙ. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි පන්තිවල ළමයි ආගම පාඩමට පල්ලියට එක්කගෙන එනවා. කොයිම ආගමක් ගැනවත් ලොකුවට ඔලුවේ නොතිබුණු කාලෙක මම මේ ගමන් වලට හරි ආසයි. එක හේතුවක් තමයි පල්ලියේ ජනෙල් වලට අල්ලලා තිබුණු stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි බලාගෙන ඉන්න ලැබෙන එක. ඒ පාට ආලෝක තීරු පල්ලිය ඇතුළේ පුංචි දිව්‍ය ලෝකයක් මැව්වා. අනිත් හේතුව තමයි එහෙම පල්ලියට ගියාම මේ ගීතිකා හඬ ළඟින්ම ඇහෙන්න ලැබෙන එක. ඒවායේ uplifting ගතියක් පුංචිම වයසේ හිටියත් මට දැනුණා.

කල්පනා කරලා බලද්දී මගේ ළමා කාලයේ සැහැල්ලු සුන්දර සෙල්ලම් මතක එක්ක තැනින් තැන පසුබිම් හඬක් වගේ මේ ගීතිකා හඬත් තියෙනවා.

"Alleluia, Alleluia.."

අන්තිමේදී එහා ගෙදරින් ඇහෙන ගීතිකාවක හඬ දිගේ අවුරුදු ගාණක් ආපස්සටත්, හැතැප්ම දාස් ගාණක් දුරටත් ගිහින් සතුටු මතකයක සැරිසරන්න මට ඉඩ ලැබුණා

The Little Book of Hygge පොතේ අන්තිමට මෙහෙම තියෙනවා

'Happiness consists more of small conveniences or pleasures that occur everyday than in great pieces of good fortune that happen but seldom' - Benjamin Franklin

~හෙල්මලී~


4 comments:

  1. ඇත්ත
    පුංචි කාලෙත් දැනුත් පල්ලියක් දැක්කම හිතට එන අමුතුම හැඟීමක් තියෙනවා
    එකට මම හරිම කැමතියි

    ReplyDelete
    Replies
    1. කුමුදු, ඉස්සර පන්සල් ගියාම රෑට බෝ ගහ යට වාඩිවෙලා ඉන්න එකත් මම ආසම වැඩක්. ඒක ආගමික භක්තියක් නෙමෙයි, සන්සුන් හැඟීමක්. දැන්නම් පන්සල්වලට ගියාම ඒවායේ අරුමෝසම් දැකලා තියෙන සන්සුන් හිතත් නැතිවෙනවා!

      Delete
  2. මමත් ආසම දෙයක් තමයි පල්ලියේ ගීතිකා සහ stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි. මම පල්ලි බලන්න යන්නෙම ඒකට.

    ReplyDelete
    Replies
    1. බස්සා- පල්ලි වල ඔක්කොමත් හරි සීතල තමයි උහුලන්න බැරි! :D
      සේෂෙල්ස් වල නම් ඒ ප්‍රශ්නේ තිබ්බේ නැහැ. හැබැයි මේ රටේ සීතල කාලේදී එහෙම පල්ලිවල පූජා වලට යන්නම වෙන වෙලාවල් වලදී පල්ලි ගැන තියෙන ආසාව පලුදු වෙනවා

      Delete