June 15, 2020

නරියෙක්!


නරියා කියන්නේ මම හරි ආස සතෙක්. ඒ ඌගේ අමුතු ලස්සනක් තියෙන නිසා. අපි වැඩියම දන්නේ පොඩි කාලේ කියවපු කතන්දර වල හිටිය මිදි තිත්තයි කිව්ව, නිල් බාල්දිය ඇඟේ හලා ගත්ත, සිංහයා ව රැවට්ටුව කපටි නරි හාමි ගැනනේ. ඒත් රුසියන් රූප පොත්වල හරි ලස්සන නරි හාමිලා හිටියා. 

ලංකාවේදී කොයිතරම් නරි ගැන අහලා තිබුණත් මම නම් ඇත්තටම නරියෙක් ව හරියකට දැක්කේ මෙහෙදී. ඕස්ට්‍රේලියාවට නරි ගෙනත් තියෙන්නේ යුරෝපයෙන්. ඒ ගෙනත් තියෙන්නෙත් යුරෝපීය ජාතිකයන්ට විනෝදයට දඩයමේ ගිහින් වෙඩි තියලා සතුටු වෙන්න! ඒත් නොහිතුව විදිහට මෙහෙ නරි හරි ඉක්මනට බෝ වෙලා. දැන් මෙහෙ නරි සලකන්නේ pests ලා හැටියට. දැන් නගර ආශ්‍රිතවත් ලඳු කැලෑ වල හැමතැනම මේගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා. රෑට ගෙවතු වලට පැනලා නිදැල්ලේ ඉන්නේ හාවෝ පූසෝ වගේ සුරතල් සත්තු කාලා දාන්නත් මේගොල්ලෝ හරි දක්ෂයි. ඒත් නරි නිශාචර සත්තු නිසා අපිට ඒගොල්ලන්ව ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. අපිට මෙහෙදී නරි දකින්න ලැබෙන්නේ මැරිලා ඉන්දැද්දී! පාර අද්දර වදුලේ ජීවත් වෙලා උන්නු නරි, පාර පනින්න ගිහින් වාහන වල හැපිලා මැරිලා ඉන්නවා උදේට අධිවේගී පාරේ වැඩට යද්දී නිතර දකින්න පුළුවන්. ඒ නරි අපි ඉස්සර කතන්දර පොත්වල දැක්ක විදිහටම හරිම ලස්සනයි. රතු-තැඹිලි බූසි ලොම්, උල් මූන, සුදු කෙලවරක් තියෙන ලස්සන පිම්බුණු වලිගෙ. උන් පාර අයිනේ වැතිරිලා ඉන්නේ හරියට නිදි වගේ. ඒත් ඉතින් ඒ ඉන්නේ මැරිලා බව තේරුම්ගන්න අමාරු නැහැ. එහෙම දේවල් දැකපු දවස්, දවසම ටිකක් අඳුරුයි.

මේ ඉස්සර එහෙම දවසක ලිව්ව කවියක්. පරණ සටහන් එකතුවක තිබිලා හම්බවුණේ.

a fox, by the freeway, dead.

මියෙන්නට පුලුවන්ද
මෙහෙම්මම සීරුවෙන්?
ගැඹුරු නින්දක පතුල
සෙමෙන් සැරිසරන මෙන්?
මියෙන්නට පුලුවන්ද
කිසිත් සිදු නොවූ ලෙසින්?
ලේ බිඳක් නොහලාම
සුව පහසු විලාසෙන්?
මැකෙන්නට පුලුවන්ද
ලෝකයක මතකයෙන්?
රතු- දුඹුරු කබායම
පොරවාගෙන සීතලෙන්?

-2013-


මගේ නරි obsession එක ගැන දන්නා පුතා තමයි කිව්වේ 'draw  fox, Amma!' කියලා. මේ චිත්‍රය ඇඳුනේ ඒ නිසායි


drawn with touchpad on Paint




8 comments:

  1. I love this poem very much!

    ReplyDelete
  2. මෙන්න මගේ ගානෙ. මේ මං හිත නිවෙන්න නිතරම හම්බවෙන්න යන නරියෙක්. එයාගෙ නම ෆිනිගන්, හරිම බුද්ධ්මත්, ඒත් අලිම,අලි හොර තඩියා.

    Laughing Fox
    Finnegan Fox wants you to come outside

    ReplyDelete
    Replies
    1. බස්සා ටූ ලේට්.. මම ෆිනිගන් ගේ ෆෑන් කෙනෙක් වෙලා ටිකක් කල්! මගේ මේ පිස්සුව නිසා පුතා තමයි මට ෆිනිගන් ව හොයලා දුන්නේ. එයාලගේ fb page එකකුත් තියෙනවා. රවුමක් දාලා බලන්න.
      https://www.facebook.com/SaveAFoxRescue/

      බලාගෙන ගියාම හැමතැනම ෆොක්ස් ෆෑන්ස්ලානේ.:D උන්ගේ කෙඳිරියයි බඩගෑවිල්ලයි තමයි මම ආසම.

      Delete
  3. ඔයා විශ්වාස කරයිද මන්දා... අපේ ගම් පළාතෙ තාම ඉඳහිට නරි දකින්න පුළුවන්. රෑට ඇහෙනවා කෑ ගහන සද්දෙ. දවසක් පාන්දරක මං දැක්කා අපේ වත්ත පිටිපස්සෙන් රෑ සංචාරෙ නිමවෙලා ආපහු යන නරි රංචුවක්. උන් බොහොම සංවර්ව, පේළියට ගියා හැබැයි. මම නම් නරි ෆැන් කෙනෙක් නෙවෙයි. ඔයාගෙ සිත්තමත්, කවියත් හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී
      නරින්ගේ සද්දේ ඇහෙනවා මිසක් ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ඔයාට කලාතුරකින් දෙන චාන්ස් එකක් දීලා තියෙන්නේ :)

      Delete