February 18, 2020

පදික මාරුව


ගිනිගහන මද්දහනක්. ඈ ඉන්නේ පාරේ විදුලි සංඥා එළි පුවරුව ළඟ, පාර මාරුවෙන්න බලාගෙන. දිග රතු සල්වාර් කමිසයක්. තනි කරලට ගෙතුව නිතඹට දිග කොණ්ඩයක්. මූණ වටේටම කෙස් කැරළි හුළඟට නටනවා- ඒත් ඈට ඒ ගැන වගක් නැහැ. ඇගේ මුළු අවධානයම ඇගේ ඉදිරිපිට තියෙන ප්‍රෑම් එකට යොමුවෙලා. ප්‍රෑම් එකේ ඉන්න පුංචි එකා මෙතැනට නොපෙනුණාට ඒ පැටියා අම්මා එක්ක හුරතල් වෙන බව අම්මාගේ ඉරියව් වලින් කියන්න පුළුවන්. ඈ හිනාවෙනවා, ඔලුව හොල්ලනවා, ප්‍රෑම් එකටම පහත් වෙනවා, මූණ වහන් කරනවා, ආයෙත් බලනවා. සමහරවිට ඒවාට පොඩ්ඩාගෙන් ආපිට හිනා සාගරයක් ලැබෙනවා ඇති. අම්මාට මේ ගිනි අව්ව ගැන වගක් නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඇගේ මූණ හරි ලාබාල පාටයි. හිනාව හරි සිරියාවයි. අලුත් අම්මෙක්! ප්‍රෑම් එකේ අත්වැටේ කළු පාට කබායක් රඳවලා. දැන් අව්ව වුණාට අද උදේ තද සීතලක් තිබුණා. මේ දෙන්නා මේ උදේ ආව ගමනක් ද දන්නේ නැහැ. ප්‍රෑම් එක යට බඩු මලු දාන්න පොඩි කොටසක් තියෙනවා. මෙතැනට ඒක යන්තමට පේනවා. එතැන උඩ හරියේම තියෙනවා කිරි පිටි ටින් එකක්. ඒක පොඩි පැටියාට වෙන්න ඕන. තව පේනවා බිත්තර තිස් හයේ ඇසුරුමක්. ඒතරම් බිත්තර! සමහරවිට ඈ ඇනවුම් වලට කේක් හදනවා ඇති. ලීක්ස් ගහක දෙකක කොළ මේවා අතරින් පේනවා. දැන් ඈ ගෙදර ගිහින් කිරි බෝතලයක් දීලා පැටියාව නිදිකරවාවී. ඉන්පස්සේ දවාලට උයාවී. ඩිංගක් පරක්කුයි තමයි. ඒත් හැමදාම නෙමෙයිනේ. ඉන්පස්සේ පැටියා නැගිටින්න කළින් ඉක්මණින් ඉක්මණින් කේක් එක හදන්න ගනීවි.

විදුලි සංඥා එළිය වෙනස් වුණා. ඈ ඉක්මන් ගමණින් පාර මාරුවුණේ පොඩ්ඩා එක්ක කෝලම් කරන ගමන්මයි. පදික වේදිකාවේ උස් පහත් තැන් ගැන ඈ ඉබේම වගේ ප්‍රවේසම් වුණේ ප්‍රෑම් එකේ යට හරියේ තියෙන බඩු මලු ගැන හිතුව නිසා වෙන්න ඕන. මේ කඩ පේලියක් කිට්ටුව නිසා අවට ගෙවල් නම් නැහැ. ඈ මේ අව්වේ ප්‍රෑම් එක තල්ලු කරගෙන තව බොහොම දුරක් යන්න නියමිත ඇති. ගෙදර යන්න කළින් රස්නේ වැඩිවෙලා පැටියා අඬාවිද?


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ලයිට් එක කොළ පාට වුණා අම්මා, යන්නේ නැද්ද? දැන් පිටිපස්සේ අය හෝන් ගහයි!"

"ආ! ඔව්නේ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මම මේ කතන්දරයක් පාර පනිනවා බලාගෙන හිටියානේ!"






2 comments:

  1. /දැන් ඈ ගෙදර ගිහින් කිරි බෝතලයක් දීලා පැටියාව නිදිකරවාවී. ඉන්පස්සේ දවාලට උයාවී. ඩිංගක් පරක්කුයි තමයි. ඒත් හැමදාම නෙමෙයිනේ. ඉන්පස්සේ පැටියා නැගිටින්න කළින් ඉක්මණින් ඉක්මණින් කේක් එක හදන්න ගනීවි./
    මම නම් හිතන්නේ ඔය හිතේ වැඩ කරලා තියෙන්නේ ඉහත දක්වන කාරනා ටිකයි. කේක් ඕඩර් එක හවසට බාර දීමට නියමිත ඇති!

    ReplyDelete
  2. මේකනම් ඇත්ත ම ඇත්ත අක්කේ. පාර පනින තැනත් කතන්දර, බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්දැද්දිත් කතන්දර, බස් එක ඇතුළෙත් කතන්දර, ට්‍රැෆික් එකේදිත් කතන්දර, යන එන හැම තැනම කතන්දර. ඔය කතන්දර අස්සට රිංගගත්තාම මටත් වෙලාවකට මගේ කතන්දරේ අමතක වෙනවා. :D කොටින්ම, බස් එකේ වෙච්ච චූටි කතන්දරයක් ලොකු කරලා මං නවකතාවක් ම ලිව්වා. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...