December 13, 2019

උගුලට හසුවූ කොටියා


Translation of the short story The Tiger, the Brahman, and the Jackal from Indian Fairy Tales by Joseph Jacobs



එකමත් එක රටක ජීවත් වුණු කොටියෙක් දවසක් උගුලකට අහුවුණා. මේ කූඩුවේ යකඩ කූරු වලින් පිටට එන්න කොයිතරම් උත්සාහ කළත් කොටියාට ඒක කරගන්න බැරිවුණා. කොටියා කේන්තියෙනුත් දුකෙනුත් කූඩුවේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙමින්, යකඩ කූරු හපමින් දඟලන්න වුණා.

මේ වෙලාවේ අහම්බෙන් වගේ දුප්පත් ගැමියෙක් මෙතැනින් යන්න ආවා. "අනේ..පින් අයිති වෙයි, මාව මේ කූඩුවෙන් එළියට ගන්න!" ඒ බව දැකලා කොටියා විලාප දුන්නා.

"එහෙම නම් කරන්න බැහැ මිත්‍රයා!" ගැමියා හෙමින් සැරේ කිව්වා. "එහෙම කළොත් උඹ මාව කයි!"

"එහෙම වෙන්නේ නැහැ කීයටවත්" කොටියා හතර අතේ දිවුරන්න ගත්තා. "ඇත්තටම ඒකෙ අනිත් පැත්තයි වෙන්නේ. මාව බේරුවොත් මම ඔබතුමාට හැමදාම ණයගැතියි! මම වහලෙක් වෙලා ඔබට සේවය කරන්නම්!"

ඉතින් මේ විදිහට කොටියා අඬමින්, වැළපෙමින්, සුසුම් හෙළමින්, දිවුරන හැටි දකිද්දී කරුණාවන්ත ගැමියාගේ පපුව උණු වෙලා අන්තිමට කූඩුවේ දොර අරින්න එයා කැමති වුණා. කූඩුව ඇරුණු මොහොතේම කොටියා පිටතට පැනලා ගැමියා ව අල්ලාගත්තා.

"උඹ මහා මෝඩයෙක්! දවස් ගාණක් තිස්සේ කූඩුවේ හිරවෙලා ඉඳලා මට දැන් හොඳටම බඩගිනියි. උඹව නොකා ඉන්න මට කිසිම හේතුවක් නැහැ!" කොටියා කෑගැහුවා.

ගැමියා තමන්ගේ ජීවිතේ බේරන්න කියලා කොටියාට බැගෑපත් වුණා. ඒ ගැන කල්පනා කළ කොටියා ගැමියාට මුලින්ම මුණගැහෙන තුන්දෙනා කොටියාගේ තීරණය ගැන දෙන තීන්දුව අනුව ගැමියාට අභය දානය දෙන්න සලකලා බලන්න එකඟ වුණා.

ගැමියා මුලින්ම මේ විස්තරය කීවේ ළඟ තිබුණු රූස්ස ගහකට.

"මොකක්ද උඹ ඔය කරන පැමිණිල්ල?" ගහ ගැමියාගෙන් ඇහුවේ කිසිම අනුකම්පාවක් නැතිව. "මම මෙතැනින් යන හැම කෙනෙකුටම හෙවනක් දෙනවා, ඒත් මට ආපිට ලැබෙන්නේ මොනවාද? මිනිස්සු මගේ අතු කඩලා හරකුන්ට කන්න දෙනවා…ඔතැන වැළපෙන්නේ නැතිව හරි පිරිමියෙක් වෙයන්!"

මේක අහලා ගැමියාට මහා දුකක් දැනුණා. තව ටිකක් ඉදිරියට යද්දී එයාට සෙක්කුවකට බැඳලා උන්නු එළදෙනක් මුණගැහුණා. උගෙනුත් ගැමියාට හොඳ පිළිතුරක් ලැබුණේ නැහැ.

"කළගුණ සැලකීමක් බලාපොරොත්තු වෙනවා නම් උඹ මහා මෝඩයෙක්! දැන් බලපන් මගේ දිහා… මගෙන් කිරි ලැබෙනකම් උන් මට රස කෑම දුන්නා… දැන් මට කිරි නැති නිසා මේ සෙක්කුවට බැඳලා මට කන්න දෙන්නේ පිදුරු!" ඌ කීවා.

තවත් දුක හිතුණු ගැමියා තමන් ඇවිදගෙන යන පාරෙනුත් මේ ගැන අහලා බලන්න කල්පනා කළා.

"මහත්තයෝ.. ආපිට උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඔබ මහා මෝඩයි. දැන් බලන්න මම... බාල මහලු, දුප්පත් පෝසත් හැමෝටම මගෙන් ප්‍රයෝජනයි, ඒත් ඒගොල්ලෝ මාව පාගලා දාලා යන එක විතරයි කරන්නේ. ඒ අයගේ දුම් පයිප්ප වල අළුයි ධාන්‍ය වල පොතුයි විතරයි මට ආපිට ලැබෙන්නේ" පාර කීවා.

මේක අහලා ගැමියා බොහොම දුකෙන් ආපිට හැරිලා එද්දී නරියෙක් මුණගැහුනා.

"මොකද ගමරාළ මේ දුකෙන් වගේ?" නරියා ගැමියාගෙන් ඇහුවා. "ඔහේ නිකම් දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ නේ"

ඉතින් ගැමියා සම්පූර්ණ විස්තරයම නරියාට කිව්වා.

"මේක හරිම අවුල්සහගතයි නේ." කතාව අහගෙන උන්නු නරියා කීවා. "මට හැමදෙයක්ම පැටලුණා, තරහා නැතිව ආයෙත් ඒ සිද්ද වුණු දේ කියනවාද?"

ගැමියා ආයෙත් වතාවක් මුළු කතාවම නරියාට කීවා. ඒත් නරියා උන්නේ වෙන කල්පනාවක වගේ. එයාට කිසි දෙයක් තේරුම්ගන්න බැරි වුණා.

"හරි පුදුමයි" නරියා දුකෙන් කීවා. "මට ඔය විස්තරය ඔලුවේ රඳන්නේම නැහැනේ. එක කණකින් අහන දේ අනෙත් කණෙන් පිටවෙනවා වගේ. මම ඔය සිද්දිය වුණු තැනට යන්නම්. එතකොට මට ඒ ගැන හරි තීන්දුවක් දෙන්න පුළුවන් වේවි."


ඉතින් නරියාත් ගැමියාත් කළින් කොටියා උගුලට අහුවුණු කූඩුව ළඟට ආවා. කොටියා ගැමියා එනකම් කූඩුව ළඟ වාඩිවෙලා තමන්ගේ නියත් දතුත් උල් කරමින් හිටියා.

"උඹ සෑහෙන්න වෙලාව ගත්තා!" නපුරු කොටියා ගොරවන්න වුණා. "හරි, දැන් අපේ කෑම පටන්ගමු"

"අපේ කෑම කියලා කියන ලස්සන!" අසරණ ගැමියා බයෙන් වෙව්ලමින් හිතුවා "පුදුම සංවේදී කමක් තියෙන්නේ මෙයාගේ කතාවේ"

"අනේ ස්වාමීනි, මට විනාඩි පහක් දෙන්න!" ගැමියා බැගෑපත් වුණා. "මේ නරියා ටිකක් මෝඩ පහේ කෙනෙක්. මෙතැන සිද්ද වුණු දේ ඌට කියලා දෙන්න මට ටිකක් වෙලාව දෙන්න"

මේ ඉල්ලීමට කොටියාගේ අනුමැතිය ලැබුණා. ගැමියා ආයෙත් වතාවක් පුළුවන් තරම් වෙලාව අරගෙන අකුරක් වත් නෑර මුල ඉඳන්ම කතාව කියන්න ගත්තා.

"අනේ මගේ අසරණ ඔලුව!" නරියා දෑත් පටලමින් කෑ ගැසුවා."කෝ බලන්න, කොහොමද මේක පටන් ගත්තේ..ඔහේ කූඩුවේ හිටියා, එතැනින් කොටියා ඇවිදගෙන ගියා..."

"පිස්සුද?" කොටියා මැදට පැන්නා. "උඹ නම් මහා මෝඩයෙක්! මමයි කූඩුවේ උන්නේ!"

"ආ ඔව් ඔව්" නරියා බයෙන් වෙව්ලන බවක් පෙන්නමින් කීවා " ඔව්! කූඩුවේ උන්නේ මම... නෑ මම නෙමෙයි… අයියෝ! මට සිහිකල්පනාව නැතිවේගෙන යනවාද? ඉන්නකෝ බලන්න... කොටියා හිටියේ මිනිහාගේ ඇතුළේ, එතකොට එතැනින් කූඩුව ඇවිදගෙන ගියා… නෑ එහෙම වෙන්නත් බැහැ! අනේ මං ගැන වද වෙන්න එපා ඔබතුමා කෑම කන්න පටන් ගන්න, මට නම් කවදාවත් මේක තේරුම් ගන්න බැරිවෙයි!"

"උඹ මේක තේරුම් ගන්නවාමයි!" නරියාගේ මෝඩකමෙන් කුපිත වුණු කොටියා කෑගැහුවා. "මම මේක කොහොමහරි උඹට තේරුම් කරනවා! මේ බලපන්... මමයි කොටියා!"

"එහෙමයි ස්වාමීනි!"

"අර ඉන්නේ මිනිහා..."

"එහෙමයි ස්වාමීනි!"

"අර තියෙන්නේ කූඩුව..."

 "එහෙමයි ස්වාමීනි!"

"මම හිටියේ කූඩුව ඇතුළේ... තේරෙනවාද උඹට?"

"ඔව්… නෑ… අනේ මට සමාවෙන්න ස්වාමීනි"

"ඒ පාර මොකක්ද?" කොටියා නොඉවසිල්ලෙන් කෑගැහුවා

"අනේ ස්වාමීනි, ඔබතුමා කොහොමද කූඩුව ඇතුළට ගියේ?"

"ඇයි? සාමාන්‍ය විදිහට තමයි ගියේ!"

"අනේ… මගේ ඔලුවත් කැරකෙනවා! මෙහෙම ඇහුවාට තරහා ගන්න එපා ස්වාමීනි, ඒත් සාමාන්‍ය විදිහ කියන්නේ මොකක්ද?"

මේ කතාව අහලා කොටියාගේ ඉවසීමේ සීමාව පැන්නා. ඌ වහාම කූඩුව ඇතුලට පැනලා "මෙන්න මෙහෙමයි මම ඇතුළට ගියේ, දැන්වත් උඹට තේරුණාද?" කියලා කෑගැහුවා.

නරියා බොහොම දක්ෂ විදිහට වහා වහා කූඩුවේ දොර වහලා අගුලු දැම්මා.

"දැන් නම් හොඳටම තේරුණා!” ඉන්පස්සේ නරියා කපටි හිනාවකින් කීවා.

“තරහා අවසරයි, මම නම් හිතන්නේ අපි කරන්න ඕන හොඳම දේ තමයි හැම දෙයක්ම කළින් විදිහටම තියෙන්න අරින එක!"


Illustration by John D. Batten (1912)

Published in Sannasa Newspaper- Dec 2019 Page 32



3 comments:

  1. ඒක නම් ඇත්ත...

    ReplyDelete
  2. කොටියයි , ගැමියයි දෙන්නම සෑහෙන්න මෝඩයි නේද?
    කොටියා මිනිහට තනියම යන්න දුන්නද තුන් දෙනෙක්ගෙන් අහන්න?
    එහෙම යන්න දුන්නනම් මිනිහා මොකටද ආපහු ආවෙ?
    නරියාට කියන්න තිබුනා මිනිහට "පිස්සු කෙලින්නෙ නැතුව දැන් ගෙදර යනවා" කියල. එහෙම නොකර නරියගෙ පණ්ඩිතකම ප්‍රදර්ශන කරන්න හෝ කොටියා නිදහසේ ඉන්න එක වලකන්න නරියාත් එන්න ඇති.

    sorry, if I spoiled the good story without letting හොඳම දේ තමයි හැම දෙයක්ම කළින් විදිහටම තියෙන්න අරින එක!" ) :-DD

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...