August 15, 2018

කියවන්න! අරුණ ප්‍රේමරත්නගේ 'තරු විසුළ රැය'


මේ සටහන තරු විසුළ රැය පොත ගැන විචාරයක් නොවන බව පළමුවෙන්ම කිව යුතු ය. ඒ, ඒ ගැන විචාරයක් ලියන්නට වචන ගලපා පොතට සාධාරණයක් ඉටු කරන්නට මට නොහැකි බව දන්නා බැවිනි. මෙය පොත් කියවීමට ඇබ්බැහි වූවන්ට, කියවන්නට පොතක් සොයමින් ලතවෙන්නන්ට ඔත්තුවක් පමණකි.

අරුණ ප්‍රේමරත්න ප්‍රවීණ පරිවර්තකයෙක්, තිර පිටපත් රචකයෙක් බව මා දැනගත්තේ මේ පොත කියවා අවසන් වූ පසුවයි. මේ ඔහුගේ පළමු නවකතාව වූවත් එයා ලියා තිබෙන සංයමය ඔහුගේ ඒ පරිණත බව ඔප්පු කරයි. තරු විසුළ රැය නවකතාවේදී අරුණ, සංකීර්ණ චරිතයක අඳුරු අභ්‍යන්තරය වෙත අප ගෙන යන්නේ ඉතාමත් නිරායාස ගමනකි. කිසිදිනෙක නොබිඳෙන බවට සපථ කළ බැඳීම් ඔහු මොහොතින් සුණු විසුණු කර පෙන්වයි. ගැහැණු සිත් තේරුම් ගනු නොහැකි ලෙස පෙළ ගස්වා පාඨකයා වික්ෂිප්ත කරයි. කතාවට සමාන්තරව දිවෙන සමාජ, දේශපාලන සිදුවීම් ඇසුරෙන් සියුම් ලෙස චරිත වර්ණ ගන්වයි. මේ කතාවේ දිගහැරුම, ගලායාම විශිෂ්ට ය. කියවා අවසන් වූ පසු ඉතිරිවන කැළඹීම, මට නම් පොතක් නිසා සිදුවන්නේ කලාතුරකිනි.

ඔබත් මේ පොත කියවා බලන්න. ප්‍රවීණ යයි සැලකෙන ඇතැම් ලේඛකයන් ලියූ කුණු ගොඩවල් වෙනුවට මෙය තෝරාගන්න. කියවා අවසන් ව මා මෙන්ම කම්පනයට පත් ව, ඉන් මිදීමට නොහැකිව දින ගණනාවක් ගත කළේ නම් මේ පොත ගැන තවත් කීප දෙනෙකුට කියන්න. අරුණ ව සොයාගෙන තව තවත් නවකතා ලියන මෙන් ඔහු ට බල කරන්න!


තරු විසුළ රැය
 අරුණ ප්‍රේමරත්න
කතෘ ප්‍රකාශන  
ISBN: 9789553604002


1 comment:

  1. මේ පොත මටත් කියවීම සඳහා ලැබෙන්නට සලස්වන්න.

    ReplyDelete