April 16, 2018

නාරං කැවුම් කතාවක්

අවුරුදු කාලේම ලියූවත් අවුරුදු කැවිල්ලක් ගැන ලියූවත් මේ අවුරුදු කතාවක් නම් නොවන බව මුලින්ම කිව මනාය. මේ, අද බොහෝ කලකට පසු නාරං කැවුමක් කන්නට අවස්ථාවක් ලැබුණු නිසා ඇවිස්සුණු මතකයක් පමණි. මෙල්බන් නගරයේ අවුරුදු කාලයට අඩු නැතිව කැවිලි පෙවිලි කන්නට ලැබෙන්නේ මෙහි ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන නිසාත් ඔවුන් සංවිධානය කරන අවුරුදු උත්සව, අවුරුදු පාටි නිමක් නැති නිසාත් ය. එහෙත් මේ අවස්ථා වලදී නිතර දකින්නට නැති කැවිල්ලකි- නාරං කැවුම්. ඒ ඇතැම් විට ඒවා ලංකාවෙත් හැම පළාතකම නොතැනෙන බැවින් විය යුතුය. ඊයේ පෙරේදා අප නිවසට ආ අවුරුදු පිඟානක නාරං කැවුම් තිබෙනු දැක මට දැනුණේ කියා විස්තර කරනු බැරි ප්‍රීතියකි.

බැලූ බැල්මට අග්ගලාවක් වැනි නාරං කැවුම් තනා ඇත්තේ පැණි පොල් ගුලි හාල් පිටි මිශ්‍රනයක දවටා බැද ගැනීමෙනි. නාරං ගෙඩියක හැඩය සහ ප්‍රමාණය ඇතුවා මිසක එහි නාරං හා වෙනත් නෑකමක් නම් නැත. කෑ විට එක නාරං කැවුමකින් ඉස්මුරුත්තේ වන තරමට  ඒවා බරැති ය.

නාරං කැවුම්
photo-lankadeepa

මා මුලින්ම නාරං කැවුම් හඳුනාගත්තේ ජපුර විශ්ව විද්‍යාලයේ කැන්ටිමක දී ය. බෝඩිම් ජීවිතයට අවතීර්ණ වූ අලුත, හැම කෑම වේලක් ගැනම කල් ඇතිව සිතන්නට සිදුවීම මටත් මගේ සගයන්ටත් මහත් හිසරදයක් විය. ගෙදරදී කිසිම මහන්සියක් හෝ අගයක් නැතිව අතට ආ 'හවස තේ එකේ' පවා වටිනාකම අපට වැඩි වැඩියෙන් දැනෙන්නට විය. දවසේ දේශන හමාර වී එගොඩවත්ත කන්ද බැස බෝඩිමට සේන්දු වූවත් එතැනත් තේ කෝප්පයක් සදා දෙන්නට කෙනෙක් නැති බවත්, එයත් තමන්ම සාදාගත යුතු බවත් මතක් වූ විට එහි යාමටද හදිසියක් දැනුණේ නැත. (මේ වෙද්දී අප බෝඩිමේ දී තුන් වේල උයාගනිමින් සිටි බැවින් මේ කුසීත කම තේ සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වුණු බව කරුණාවෙන් සලකන්න!) මේ නිසා දේශන හමාර වූ පසුත් තව ටික වෙලාවක් විශ්ව විද්‍යාලයේම රස්තියාදු වී තේ ද බී බෝඩිම වෙත යෑමට අපි නොදැනුවත්වම හුරු වුණෙමු. 

ජපුරේ කැන්ටින් ම බර ගණනක් තිබිණි. බණ්ඩාරනායක ශාලාව හෙවත් බශා එකට යන අතරමඟ තිබුණු කැලේ කඩේ, කැන්ටිමේ වරදක් නැතත් එහි බහුතර පාරිභෝගික ශිෂ්‍ය වර්ගය හැඳින්වීමට යොදාගත් 'ජපුර වචනයක්' නිසා නම් ලද බොග කැන්ටිම, 'වැඩක් කරගන්නට වඳින්නට සිදුවන' නිසා පන්සල යැයි ව්‍යවහාර වූ පරිපාලන ගොඩනැගිල්ලේ තිබුණු පන්සලේ කැන්ටිම, කෑම මිළ අධික වූ සුමංගලේ බිම් මහලේ ස්ටාෆ් කැන්ටිම ආදී මේ හැම එකකින්ම තේ සාම්පල් කර බැලූ අප, අවසානයේ නතර වූයේ ඕපන් කැන්ටිම ළඟ ය. 

නාරං කැවුම් ගැන කියන්නට පෙර ඕපන් කැන්ටිම ගැන ද කිව යුතුමය. නම පරිදි ම එය බිත්ති අඩු 'ඕපන්' වැඩි ගොඩනැගිල්ලකි.  ජපුර භූමිය මැද ම අටපට්ටම් හැඩයකට පිහිටා තිබෙන මෙය නිතර සෙනඟ ගැවසුණු තැනකි. මෙහි අති-ඕපන් බව නිසාම වැස්ස ත් සුළඟත් ඒ අතින් විත් මේ අතින් පිටවූවත් කැන්ටිමේ පාරිභෝගික ජනතාව ඉන් සැලුනේ නැත. මේසයක් අල්ලා ගන්නට එක කණ්ඩායමක් තේ බී අවසන් වනතුරු අසලට වී තවත් කණ්ඩායමක් හොර ගල් අහුලන්නට සිදුවන තරමේ ජනප්‍රිය බවක් එහි තිබිණි. 

ඕපන් කැන්ටිමේ තේ බොද්දී 'හපන්නට යමක්' සෙවූ දිනක මට අහම්බෙන් නාරං කැවුම් හඳුනාගන්නට ලැබිණි. වඩාත්ම ලැජ්ජා සහගත කරුණ නම් ඒ වෙද්දීත් විසි එක්වෙනි වයසේ තරම් උන් මා ඊට පෙර කිසි දිනෙක නාරං කැවුම් රස බලා තිබුණේ නැත. කළුතර ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු මගේ උපන් ගමේ දී වත් අම්මාගේ ගම වූ ගාල්ලේ දී වත් අවුරුදු මේස වලදී මේ කැවිල්ල මුණගැසී තිබුණේ නැත. කුතුහලය නිසා කැන්ටිමෙදී පලවෙනි දවසේ එය අත්හදා බැලු මට එදා ඇතිවූයේ love at first sight නොව love at first bite යැයි කිව හැක. එතැන් පටන් හැම දිනකම හවස තේ වේලාවට මා ඕපන් කැන්ටිමේ තේ කෝප්පයත්, නාරං කැවුමත් අතර පුංචි දෙව්ලොවක අතරමං වූයෙමි. මිතුරු මිතුරියන්ගේ විහිලු තහළු අරියාදු ආදියෙන් නොසැලුණු මා එකම ප්‍රතිපත්තියෙන් හැම දිනකම නාරං කැවුම් ම ගිල දැමුවෙමි. 'උණු පොල් රොටි කන්න පන්සලට යමු, කැලේ කඩෙන් කොත්තුවක් කමු' ආදී ඔවුන්ගේ සෑම යෝජනාවක්ම මා සලකා බැලුවේ මගේ කැවුම් කන පිළිවෙත අවසන් වූ පසු ය. මෙම පුරුද්ද කොතෙක් මුල් බැස ගත්තාද යත්, හවසට මා දුර එන විට "ටී එකායි.. නාරං කැවුම් එකා..යි' යැයි කෑ ගසන්නට කැන්ටිමේ අයියාද හුරු වී සිටියේ ය. 

ඕපන් කැන්ටිම- ජපුර.
photo dineshftu on instagram

ජපුරේ දී පමණක් මා රස බැලූ නාරං කැවුම් ඉන් පෙර හෝ පසු මේ වනතුරු කොතැනකදීවත් මට මුණගැසුනේ නැත. ඉතින් ඉන් දශක දෙකකට පමණ පසු පිටරටකදී ලැබුණු කැවිලි පිඟානක මගේ පරණ මිතුරා මුණගැසීම මට සිත පිනා යන සතුටක් වීම පුදුමයක්ද? එහි තිබුණේ අග්ගලා නොවන බවට සැක හැර දැන ගත් මා  තේ කෝප්පයක් ද සාදාගෙන හරි බරි ගැසී කැවුමක් අතට ගත්තේ අතීතයට ඉගිලෙමිනි. ඕපන් කැන්ටිම මට අතළඟ සේ දැනුණි. දෑස වසාගත් විට එහි කවුළුවලින් පිටත වල් ඇහැල ගස්වල අඳුරු හේඩාව, කැන්ටිමේ කුස්සියේ අඬු නැති තේ කෝප්ප සේදෙන හඬ, සුළඟට මේස මතට ගසාගෙන එන කහ පැහැති ඇහැල මල්පෙති මට මැවෙන්නට විය. එක පසෙක උණුසුම් දේශපාලන සංවාදයක්, තවත් පසෙක ආර්ථික විද්‍යාව කුප්පියක්, පසුබිමින් කැන්ටිමේ මිදුලේ රඟ දැක්වෙන වීදි නාට්‍යයක බෙර හඬක් හා උස් සිනා හඬක් ඇසෙන්නට විය.  

ඒ නාරං කැවුමට නම් වැඩි ආයුෂ නොතිබුණත්, එහි බලයෙන් මට නොමිලයේම අතීතයේ රවුමක් ගොස් එන්නට ලැබිණි. ආයෙත් ඒ පැත්තේ ගිය දිනක ඕපන් කැන්ටිමේ නාරං කැවුමක් රස බලන්නට ඉටා ගත් මම ජපුර මතකයට අකමැත්තෙන් වුව සමු දුනිමි. 

19 comments:

  1. මම නම අසා තිබුණත් ඒ කියන්නේ මේවට කියා දැනගෙන හිටියේ නැහැ. අද උදෙත් මෙයින් එකක් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. ඉයන්, මේවාට නම් කීපයක්ම තියෙනවා වගෙයි

      Delete
  2. මුංගුලි, ගොඩපර කැවුම් කියන්නෙත් මේවාට නේද?
    ඒ සියල්ලටම වඩා අර ජ'පුරේ පාරිභාෂික වචන (බශා - බණ්ඩාරනායක ශාලාව, පන්සලේ කැන්ටිම, බොග කැන්ටිම වගේ) වචන ඒ අකාරයටම දිගටම භාවිත කර කවදා හරි Blog posts වලින් හෝ කෙටිකථා වලින් සාහිත්‍යයටත් එකතු වේවි.දැනටමත් ජයවර්ධනපුර කියන නම ජ'පුර කියා රෙජිස්ටර් වෙලානේ. වැඩි කල් නොගොස් එහි විරාම ලකුණත් (')ඉවත්වී ඒකත් නිකම්ම ජපුර වෙයි.

    ReplyDelete
    Replies
    1. මුංගුලි කියන්නේ මුං කැවුම ම ගුලි කරලා.
      නාරං කැවුම ඇතුලෙ තියෙන්නෙ පැණි පොල්

      Delete
    2. ඔව් මුංගුලි වෙනස්, ඒත් ගොඩපර කැවුම් කියන්නේ මේවාට තමයි මං හිතන්නේ. ගොඩපර ගෙඩිය වගේ නිසා වෙන්න ඇති. ජපුර යෙදුම් නම් සෑහෙන්න තියෙනවා. හැබැයි ආවේනිකද කියලා දැනගන්න වෙන්නේ වෙන කැම්පස් වැල අයත් එක්ක කතා කලොත් තමයි. 'කුප්පිය'ත් ආවේනික ද මන්දා.

      Delete
  3. මේ පෝස්ට් එකත් නාරං කැවුමක් වගේ රහයි.

    ReplyDelete
    Replies
    1. :) එහෙනම් තේ එකක් විතරයි අඩු!

      Delete
  4. Replies
    1. නාරං කැවුම් රස?

      Delete
  5. දැන් නාරං කැවුම් නෑ ��

    ReplyDelete
    Replies
    1. අයියෝ අපරාදේ- ඒ කාලේ ඒක නිකම් ඕපන් කැන්ටිමේ අනන්‍යතාවය වගේ වෙලා තිබුණේ. මල්ලිගේ ෆොටෝ එකට තැන්ක්යූ!

      Delete
  6. My wife is also a naran kewum fan. We prepared them this year wondering why its not popular like other sweets even though its not difficult to make them.

    ReplyDelete
    Replies
    1. I was wondering the same! why people don't make them more considering how easy they are to make!

      Delete
  7. චැක් කාපු කාලයක් මතක නැ .... ඕක හදන්ඩනං ලේසියි .... පැනිපොල් වලට කරදමුංගු කරාබු නැටි කුඩු කරලා දාන්ඩ ඹ්න යහමින් ... ඔය වටේ තියෙන්නේ .... මුං කැවුමට දාන අයිසිං එකම තමා

    ReplyDelete
    Replies
    1. //මුං කැවුමට දාන අයිසිං එක// :D ඒක නියම definition එක! මුං කැවුම් තියෙන්නෙත් මගේ කැමතිම ලිස්ට් එකේ තමයි. කොන්ඩ කැවුම් නම් ආසා නැහැ. අවුරුදු කාලෙට ගෙදර කොන්ඩ කැවුම් ඉතුරුවෙනවා අනිවාර්යෙන්ම. අපේ ගෙදර බල්ලෙක් හිටියා කොන්ඩ කැවුමක් දුන්නාම ගෙනිහින් කොන්ඩේ උඩට හිටින්න වළලනවා!

      Delete
    2. මටත් කාලෙකින් හමුවුණේ නැහැ අර අටම කියල තියෙන තාලෙ නියම නාරං කැවුම්.. අපේ පැත්තෙත් වැඩිපුර හැදෙන්නෙ මුං ගුලි තමයි. මේ සැරේ අවුරුද්දට ගලගෙදර ගිය නිසා ඇතිවෙන්න පැණි වළලු නම් කෑවා.

      Delete
  8. මද්දාට පැනිසරස අප්පිරායාය.
    ලිවිල්ල නම්රසය.

    ReplyDelete