October 11, 2017

වැටුණා...වැටුණා!!


සාමාන්‍ය පෙළ පන්තිවල උගනිද්දී මම විද්‍යාව විෂය සඳහා අමතර පන්තියකට සහභාගී වූයෙමි. ළමුන් විස්සක් විසිපහක් පමණ උන් මෙම පන්තියට පණ පිහිටුවා විද්‍යාව ඉගැන්වූයේ දේවිකා මිස් ය. ඈ ඉතා සාර්ථක ගුරුවරියක් වූ අතර ඇගේ පැහැදිලිකිරීම් අතිශයින්ම සිතට කාවදිනසුළු විය. ඇගේ බරපතල රසිකාවියක් වශයෙන් හැමදාම මේ පන්තියේ පළමු පේළියම අරක් ගන්නට මම වග බලා ගතිමි. එහෙත් මා මේ ලෙස ඇසිපිය නොහෙලා දේවිකා මිස්ගේ විද්‍යා පාඩම් අසා සිටීමේ එක සෘණාත්මක අතුරුඵලයක් විය. එනම් ඇතැම් පාඩම් උගන්වද්දී විෂය කරුණු මැවී පෙනීම නිසා මා 'දඩිං' ගා ක්ලාන්ත වී වැටීමයි! සාමාන්‍ය පෙළ විද්‍යාව ගැන පරතෙරට දැන සිටියත් දේවිකා මිස් නොදත් එක් කාරණයක් විය. එනම් ඇතැම් දේ ගැන විස්තර ඇසූ පමණින් සිහිසුන් වන අයවලුන් කලාතුරකින් ලොව පහළ වන බවයි!

මේ පන්තියේ මෙවැනි පළමු සිදුවීම වූයේ 'මිනිස් ඇස' පාඩම උගන්වද්දී ය. දේවිකා මිස් කළු ලෑල්ලේ හුණු කූරෙන් ඇඳි සටහනේ දෘෂ්ටි විතානය, තාරා මණ්ඩලය පෙන්වද්දීත් මා ක්ලාන්ත වී අවසානය. එදා නම් මුළු පන්තියම කලබල විය. සිහිය එද්දී මා බංකුවක බාවා තිබිණි. මුළු පන්තියේම කොල්ලන් කෙල්ලන් බියපත් දෑසින් මා දෙස බලා සිටියහ. දේවිකා මිස් ද සුදුමැලි වී සිටියා ය. පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාව පසෙකලා මෙය සාමාන්‍ය සංසිද්ධියක් බව ඈට ඒත්තු ගන්වන්නට මා දැරූ උත්සාහය ව්‍යර්ථ විය. එදා පන්තිය වේලාසන නිම කෙරිණි. එහෙත් ඉන්පසු විෂය මාලාවේ පිළිවෙලට මිනිස් කණ, හෘද වස්තුව ආදී හැම පාඩමකදීමත් මා සුපුරුදු ලෙස ක්ලාන්ත විය. එවිට නම් එය සාමාන්‍ය සිද්ධියක් බව පිළිගන්නට දේවිකා මිස් ට සිදු විය. 'අද නම් ක්ලාන්ත නොවෙමි!' යැයි දිව හපාගෙන තිර අදිටනින් පාඩම පටන්ගන්නා මා ඊළඟට බලද්දී බංකුවේ සතපවා ඇත. "මේ මේ පාඩම් වලට ඔය ළමයා පන්ති එන්න එපා!' යැයි කීමට නොහැකි තරමේ කාරුණික හදක් තිබුණු දේවිකා මිස් එවැනි පාඩම් කෙරෙන දිනවලට වැඩිපුර වතුර බෝතලයක් පමණක් ගෙන ආවාය. ඉක්මණින් සිහිය ලැබෙන මගේ ක්ලාන්තයට වඩා ඈ ට හිරිහැරයක් වූයේ පන්තියේ නොසන්ඩාල කොලු රැළ ය. 'ක්ලාන්ත දමන සුළු' පාඩමක් කෙරෙද්දී පාඩමට අවධානය යොමු නොකර ඔවුන් මා දෙස බලමින් 'ඔන්න මචං වැටුණා...වැටුණා!!" යනුවෙන් එකිනෙකාට කෑගසා ගන්නට විය. කෙතරම් ඉක්මණින් එය සිදුවේදැයි ඔට්ටු අල්ලන්නට විය. ඔවුන් නොදත් වඩාත්ම හාස්‍යජනක සිද්ධිය වූයේ එම පාඩම ම යළිත් පාසැලේදී උගන්වද්දී මා මුල සිට නැවත ක්ලාන්ත වන වගයි!

සාමාන්‍යයෙන් මිනිසුන් ක්ලාන්ත වන්නේ ලේ දුටු විට ය. නො එසේ නම් තුවාලයක් සිදු වූ විට ය. එහෙත් මෙලෙස විස්තරයක් ඇසු පමණින් ක්ලාන්ත වීමේ සුවිශේෂ හැකියාව මට මතක ඇති කලෙක සිට තිබිණි. මේ ගැන මගේ පළමු මතකය මට දස හැවිරිදි වියේ දී පමණ ය. දිනක් අප නිවෙසට පැමිණි නැන්දා කෙනෙක් මුළුතැන්ගෙහි තේ බොමින් වෙනත් කාගේදෝ දුෂ්කර දරු ප්‍රසූතියක් ගැන ඕපාදූපයක් අපේ අම්මාට කියමින් සිටියා ය. කැපීම්, ලේ ගැලීම් ආදී විස්තර වලින් විචිත්‍ර වූ මේ කතාවට, මා සීරුවෙන් කන් යොමා සිටියේ වැඩිහිටියන්ගේ කතාවලට කන් දීමේ ළමා පුරුද්ද නිසා විය හැක. මා එතැන උන් බව ඔවුන් දැන සිටියේ නැත. දැන සිටියා නම් පොඩි ළමුන් අහල පහළ සිටිද්දී ඔවැනි මාතෘකාවක් ගැන කතා නොකරනුද ඇත. කෙසේ හෝ හොරෙන් කතාව අසා සිටියත් හොරෙන් ක්ලාන්ත වන්නට නොහැකි නිසා මා ඔවුන්ගේ අතටම අසුවිණි. කතාව අසද්දී සිටගෙන සිටි නිසාත්, අල්ලාගන්නට කෙනෙක් අසලක නොසිටි නිසාත්, මා බිමටම ඇද වැටී ඔලුව ද බිම ඇනී ඇත. සිහි එද්දී මා කෑම මේසය උඩ හාන්සිකර තිබිණි. එදා නම් 'ලොකු අයගේ පැහිච්ච්කම් අහගෙන හිඳීම' සහ ඒවා ක්ලාන්ත වන තරමට සිතට ගැනීම නිසා මා අම්මාගෙන් හොඳ බැනුමක් අසා ගත්තෙමි. එහෙත් ඒ එදා ඇතිවූයේ ආරම්භයක් පමණි!

පාසලේ විද්‍යා පාඩමේදී සිදුවන මගේ ක්ලාන්ත සැසි, අමතර පන්තියේදී තරම් හාස්‍යට ලක් නොකිරීමට මගේ පාසැල් මිතුරියෝ කාරුණික වූහ. එහෙත් "විද්‍යාව වෙලාවට මෙයා මේ ඉන්නවා- මේ මේසේ යට!" වැනි උසුළු විසුළු නොතිබුණා නොවේ. කෙසේ වෙතත් ක්ලාන්ත වෙමින් හෝ විෂය කරුණු තදින් සිතට කාවැදීම නිසා මට විද්‍යාව විෂයට ලකුණු අඩු වූයේ ද නැති අතර සාමාන්‍ය පෙළ සඳහා ඊට D අකුරක් ගන්නටත් හැකිවිය. (ඒ A- B වෙනුවට D-C තිබුණු කාලයයි). උසස් පෙළ විෂය ධාරාවක් තෝරාගැනීමේදී ජීව විද්‍යා අංශය මඟහරින්නට මටනම් ඕනෑවටත් වඩා හේතු තිබිණි. එහෙත් ඒ 'ෆේල් වෙන්නට හෝ සයන්ස් කළ යුතුයැයි' ඇතැම් අය තදබල ලෙස විශ්වාස කළ කාලයකි. මා උසස් පෙළ සඳහා ජීව විද්‍යාව නොකරන්නේදැයි එක් ගුරුවරියක් තවත් ගුරුවරියකගෙන් අසනු මට දිනක් අහම්බෙන් කණ වැකිණි. " ඒ ළමයා කොහේ සයන්ස් කරන්නද.. කලන්තේ දායි හතර අතට!" යැයි ඊට ලැබුණු පිළිතුර මා මුවගට සිනාවක් ගෙනාවේය. එහෙත් වාණිජ විෂය ධාරාව තෝරාගත් පසුත් යළිත් පාසැලේදී ක්ලාන්ත වීමට වරම් ලැබේයැයි මම හීනෙන් වත් නොසිතුවෙමි. තර්ක ශාස්ත්‍රය විෂයේ විද්‍යාත්මක ක්‍රමය කොටසේ විවිධ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට මුල් වූ තාර්කික ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කිරීමට අපට නියමිත වී තිබිණි. විලියම් හාවී ගේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ පරීක්ෂණය දෛවෝපගත ලෙස මා සොයා පැමිණ විෂය මාලාවේ සැඟවී සිටියේ 'දෙන්නම් බැටේ!' යන සිතිවිල්ලෙන් විය යුතු ය. ඒ අපට තර්ක ශාස්ත්‍රය ඉගැන්වූ ගුරුවරියගේ මුළු ගුරු ජීවිතය පුරාවටම තර්ක ශාස්ත්‍රමය විෂය කරුණු නිසා සිසුවෙක් ක්ලාන්ත වූ පලවෙනි වතාව බව ඈ පසුව පැවසුවා ය. පසු කලෙක මා මුණ ගැසුණු විටෙක ඈ කීවේ දැන් නම් ඒ පාඩම අරඹන්නට පෙර ඈ පන්තියට අනතුරු හැඟවීමක් නිකුත් කරන බව යි.

අතක් පයක් සොලවාලිය නොහැකි, හුස්මක් කටක් ගනු නොහැකි සෙනඟ පිරුණු බස් රථ, දුම්රිය ආදියේ මිනිසුන් කෙතරම් සැත්කම් හා ලේ ගලන තුවාල ගැන කතාරනවාදැයි ඔබ දන්නවාද? රස කරමින් මෙවැනි කතාවක් තලු මරණ දෙදෙනෙකු අතර පලා යනු නොහැකි ලෙස සිරවී සිටින මා වැනි අයට අත්වන ඉරණම අතිශයින් සංවේගජනක ය. පාසැල් කාලය නිම වූ පසුත් මගේ කෙසඟ සිරුර නිසා පාසැල් වයසේ ළමයෙක් ලෙස සැලකුණු බැවින් "අනේ මේ දරුවාට සීට් එකක් දෙන්න කවුරු හරි, උදේට කාලා ඇවිල්ලා නැද්ද කොහේද!" ලෙස එවැනි අවස්ථාවල 'වැඩිහිටියන්ගේ' නොමඳ අනුකම්පාව මට හිමිවිය. වරක් මට එලෙස අසුන පිදූ තරුණයෙක් නංගී.. කබරයාද? නෑ නේද? මගේ බෑග් එක තියෙනවා ඔතන සීට් එක යට!යැයි මට කීවේය. අඩ සිහියෙන් සිටි මට ඔහු අදහස් කළ දේ නොතේරුණු අතර හරියාකාරව සිහිය එනතුරුම සීට් එක යට කබරයෙක් ඇතැයි චකිතයෙන් උන්නෙමි! එහෙත් එලෙස අසුනක් ලැබීමේ ප්‍රීතිය එය ලැබුණු ලජ්ජා සහගත ක්‍රමය නිසා අනිවාර්යයෙන් යටපත් වූ බව කිව යුතුමය. 

කාලයක් ගතවෙද්දී තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. මේ වෙද්දී මා ද මගේ මේ සුවිශේෂ හැකියාව වැඩිදියුණු කරගෙන ඇති බව මා වටහා ගත්තේ අහම්බෙනි. දිනක් උදෑසන මෙල්බන් නගරයේ තදබද දුම්රියක අසුනක හිඳ මා පාඩුවේ පොතක් කියවමින් උන්නෙමි. ඉතා රසවත් කතාවක් වූ එහි මා කිමිදී සිටියේ අවට ලෝකය ගැන කිසිම නිනව්වක් නොමැතිවම ය. අවාසනාවකට එහි ද ලේ ගැලීම් බහුල එක් පරිච්ජේදයක් විය. කතාව ගැන තිබුණු මහත් උනන්දුව නිසා එක හුස්මට කියවාගෙන ගියා මිස ඉන් අත්විය හැකි අතුරුඵල ගැන මට සිහි නොවිණි. මට සිහිය එද්දී කවුදෝ කාන්තාවක් මගේ බෑගය ම ඇර එහි තිබුණු වතුර බෝතලයෙන් මට දිය ඉසිමින් සිටියා ය. තවත් කවුදෝ හදිසි අවස්තාවකදී දුම්රිය නවතාගැනීමට යොදාගන්නා emergency බොත්තම තද කළ යුතුදැයි තර්ක කරමින් සිටියේ ය. ඒ උදෑසන දුම්රියේ ගමන් කළ දෙතුන් සියයක් පමණ කාර්යාල සේවකයන්ගේ ගමන් පමා කර පිං අනුමෝදනාවක් ලැබීමට පෙර මා වහා ක්‍රියාත්මක වී ඒ ක්ලාන්තය දුම්රිය මැදිරියේ තදබදය නිසා සිදු වුවක් බවත්, මට දැන් සුව බවත් හඬගා කීවෙමි. ඉන් ඒ හදිසි තත්ත්වය මඟ හැරිණි.

එහෙත් එතෙක් කල් අන් අයගේ කතා අසා ක්ලාන්ත වූ මම, මටම කියා ක්ලාන්තයක් නිපදවාගත හැකි මට්ටමට වැඩිදියුණු වී සිටීම ගැන මට එදා දැනුණේ සුළු පටු ආඩම්බරයක් නොවේ!






15 comments:

  1. හම්මේ දැනෙන සනීපයක්... වෙල්කම් ටුද ක්ලබ්!!! මමත් ඔයා ජාතියෙන්මයි .. එමමයි.. කලන්ත රෙකෝඩ් කඩා ඇත්තේ ඉස්කෝලේ විතරක් නෙවෙයි. යන යන හැම තැනම සලකුණු තබා යමි

    :-)

    ReplyDelete
    Replies
    1. ආ ඔයාත් ඒ බෝට්ටුවේමද? අහන්නත් සතුටුයි! ප්‍රසිද්ධ තැනක ඔහොම කලන්තයක් දැම්මහම දැනෙන්නේ එසේ මෙසේ ආඩම්බරකමක් නෙමේ නේ? :D හා ලියමුකො බලන්න ඔයාගෙත් කලන්ත කතා ටික!

      Delete
    2. මගේ කලාන්ත ඉතිහාසය ගැන මෙහෙම කෙටියෙන් ලියන්න බැහැ අය්යෝ. ඒවා අති රමණීය කතා. රෙදි නැහැ!

      මමත් ඔහොම පොතක් කියෝගෙන කියෝගෙන ගිහින්.... ( හැබැයි තිබ්බේ වේදනාව ගැන, ලේ ගැන වැඩි දෙයක් තිබ්බේ නැහැ) දැම්මනේ කලන්තේ!!! වෙලාවට හිටියේ ඇඳක් උඩ. මම විසින්ම සිහිය ආවට පස්සේ ඊළඟ ජේදේ ඉඳල කියෙව්වා මුකුත් උනේ නැහැ වගේ. අදටත් ඒ ජේදේ තිබ්බ දේ දන්නේ නැහැ.

      මට ලේ විතරක් නෙවෙයි, වේදනාව දැනුනත් දෝය්යා !! අත දොරට අහු උනත් ඇති.. පටෝරියන් වෙනවා. හම්මේ...... මේවා නොකියා හිටියේ මගේ කොයිල් වැඩේට හැමෝම හිනාවෙන හන්දා. හම්මේ... මේක නම් ජොලි සිද්දියක්..

      මගේ කලාන්ත කතා දුසිමක් විතර ඇත. ඔය ඇහෙන විට දාන ජබර කලන්තේ නම් අන්තිම කුජීතය. සිහිය එනකොට වටේ උන්ගේ ප්‍රතිචාර ඇහෙනකොට පොලවේ වැලලෙන්නට සිතේ!

      Delete
    3. තවත් කොයිල් ජනතාව සිටින බව ඇසීමෙන් ඇතිවන්නේ මහත් ප්‍රීතියකි නැගණිය!! :D :D

      Delete
    4. කලාන්ත හැදීමට අවදානම් අවස්ථා

      දැකීම
      1. ඕනෑම ඉස්පිරිතාලයක වාට්ටුවක් ( ලේ දැකීම අවශ්‍ය නැත. කෙඳිරියක් හෝ ඇසීම ඇති)
      2. ලේ ඩිංගක් කොහේ හරි තිබ්බම ඇති
      3. අතක්/කකුලක්/වෙනත් අවයවයක් තුවාල වෙලා එල්ලගෙන යන කෙනෙක් දැක්කහම
      4. තවත් කෙනෙකුගේ දුකක් ( සංවේදී: ළමයෙකුගේ හෝ කාගේ හරි අකල් මරණයක්, හදිස්සි අනතුරක්)


      ඇසීම
      1. ඉහත ඔක්කොම කාටහරි කියනවා ඇහුවොත්
      2. සංවේදී වෙනත් සිදුවීමක් කිව්වහම
      3. ලේ දන්දෙනවා කිව්වහම
      4. පොතක ඒ වගේ කොටසක් කියවීම

      අනේ එක්කෝ ඕනේ නැහැ.. මේවා ලියන්න ගිහින් දැන් මගේ අත්දෙක හිරිවැටිලා

      Delete
  2. මේ පෝස්ට් එක ලියද්දි පරණ ඒවා මතක් වෙලා කලන්තෙ දැම්මෙ නැත්ද? මෙවන් දෙයක් ගැන කලින් අහල තිබුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම ආපහු කියද්දී කලන්තේ වෙන්නේ නැහැ ඉයන්, first hand විතරයි! තනිකර මනසින්ම හදාගත්තු දෙයක්. හැබැයි අපේ තාත්තාටත්, මගේ අක්කලා දෙන්නාටත් අඩු වැඩි වශයෙන් මේක තියෙනවා. ඒ නිසා පොඩි ජානමය බලපෑමක් තියෙනවාදත් මන්දා. හැබැයි ඒ ගොල්ලන්ට දෙයක් දකින්න ඕන. මම ඊට දියුණුයි..මට නම් ඇහුවත් ඇති! :D

      Delete
  3. හෙහ්..වැටුනා කිව්ව මට එක පාරටම මතක් වුනේ ඉරාජ්ගෙ අර මේ දවස්වල කුප්‍රකට වීඩියෝ එක..."දැනුනා"...

    ඔන්න වැඩේ නෝන මහත්තය......ඔහෙටත් තියෙන්නෙ මේ මහඟු අවස්ථාවෙන් වහාම ප්‍රයෝජන ගන්ට නොහොත් "කල දුටු කල වලට කණයා පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්ටත් බෑ" කිව්ව වගෙ වැටුනා කියල වීඩියෝ එකක් හදල පබිලිස් කොරන්ට..

    ඔය ඒ කාලෙ ඉඳලම පන්සලේ කෝවිලේ පල්ලියේ පුදබිමේ එහෙම ගෙම්බ පොළවෙ ගැහැව්ව වගෙ ඇදං වැටිච්චි සීන්සුයි ඒ කාලෙ යාලු මිත්‍රයො, දෙමව්පියන්ගෙ එහෙම වොයිස් කට් එහෙමත් දාල එහෙම එකක් හැදුවනම් අනිවාර්යයෙන් හිට් වෙයි....

    Your writing style is amazing malee, hilarious no doubt but there is something more to it...:)

    ReplyDelete
    Replies
    1. Ravi, thanks boss, honoured :)

      ඔබතුමාගේ අදහස අනුව නිර්මාණය කළ 'වැටුණා!' මියුසික් වීඩියෝවේ රූප රාමුවක් සහ වොයිස් කට් කිහිපයක්. :D

      පසුබිමින් බස් නැවතුම්පලක්. කොළඹ බස් පෝලිම අසල මිනිසුන් එක් රැස් වී ඇති අතර ටයිම් කීපර් කූඩුවෙන් පිටතට ගත් පුටුවක හිඳ හිස පහලට නවා සිටින තරුණියක්. ඈ සරසවි සිසුවියක් බව අනුමාන කළ හැක. ඇගේ දෙපා මුල ෆයිල් කවර කිහිපයක් ඇති බෑගයකි.

      බස් පෝලිමේ සිටි මගියෙක්- 'ඔය ගෑණු ළමයා අපි ළඟ හිටියේ, එකපාරට වැටෙන්න ගියා.. අපි පැනලා අල්ලා ගත්තා.. මේ සමරෙයි මායි ලොකු කතාවක හිටියේ.. අපේ තාත්තාට ළඟදී බයිපාස් එකක් කළා නේ.. එකේ විස්තර කතා කර කර අපි හිටියේ..තව පොඩ්ඩෙන් මෙයා වැටෙනවා දකින්නෙත් නැහැ.."

      අසල බස් රථයක සිටි තරුණයෙක්- 'ඔය නංගි දවසක් කලන්තයක් දාලා මාත් සීට් එකක් දීලා තියෙනවා.. පවු මොකක් හරි හාට් එකේ අවුලක් වෙන්නැති.. හැබැයි මම සීට් එක දීපු දවසේ නම් බයෙන් වගේ සීට් එක යට බල බල හිටියා"

      බයික් එකක යමින් සිටි තරුණයෙක්- "ආ... ඔය කෙල්ල ඉස්සර අපේ ඕලෙවල් පන්ති ආවා..නම නම් මතක නැහැ- මොකක්ද අමුතු නමක් තිබ්බේ.. සිටි සිටි ගාල කලන්තේ දානවා සමහර පාඩම් වලට..අපිට ඉතින් මරු ආතල්!!"

      බස් නැවතුම්පල අසලින් පාසලට ඇවිද යන දේවිකා මිස්-"ඔව්.. ඔව් මම හොඳට දන්නවා ඒ ළමයාව... මගේ විද්‍යාව පන්ති ආවා නේ.. ඔය කලන්තේ දැමිල්ල අසනීපයක් නෙමේලු- පවුලෙන් එන දෙයක් කියන්නේ.. අනේ මන්දා ඉතින් එහෙම කිව්වට නේද? දොස්තර කෙනෙකුට වත් පෙන්නලා බලන්න තියෙන්නේ.."

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Dayawee ඇයි මේක අයින් කලේ???? :-(

      Delete
    4. සිංහල ඉංග්‍රීසි මාරුවෙලා පොඩි වැරදීමක් උනා. ඒකයි delete කළේ. ඔන්න ආයිත් දානවා.

      මලී දුවගේ මේ පොස්ට් එකට reply එකක් දාන්නම ඕනෑ‍. මටත් ඔය ගතිය තිබෙන එක ලියලා තියෙනවනේ. ඒක හරියට හරි. මටත් මුලින්ම කලන්තේ දැම්මේ අටේ පන්තියේ ඉගෙන ගනිද්දී (විශ්වාස කරන්න 1952 අවුරුද්දේ) ඒ කාලේ තිබුණේ සෞඛ්ය්ය සහ සාමාන්ය විද්යා ව එක විෂයයක් ලෙසට. අපට ඒ විෂයය ඉගැන්වූයේ PTI (ක්රී‍ඩා උපදේශක). හෘදය සහ රුධිර සංසරණය පාඩමකදී මට කලන්තේ දාලා වැටෙනවා යන්තම් මතකයි. මට සිහි වෙන විට මේසයක් උඩ මාව දිග අතට බාවලා. ඇඳුම් බුරුල් කරලා. ඒ මදිවට නාවලා වගේ මුහුණෙත් ඔලුවෙත් වතුර. මුළු පන්තියේම කෙල්ලෝ කොල්ලෝ මාව වට කරගෙන. අපේ ගුරුවරයා First aid පාඩමකට ආදර්ශයක් ලෙසට මාව අරගෙන. දෙන්නෙක් මගේ අත් අල්ලාගෙන නාඩි බලනවා. මම දඩි බිඩි ගාලා නැගිටලා අත් ගසා දාලා කලිසම උස්ස ගත්තා.
      ඒ උනාට ඊට පස්සේ මම A Level Zoology වලදිනම් ගෙම්බන්, මියන් වැනි සත්තු ඕන තරම් dissect කළා. Degree එකටත් Zoology කළා. දැනුත් ඒ අමාරුව තිබෙන්නේ වෙන ස්වරූපයකින්. තවම injection කටුවට නම හරිම බයයි. අනින කොටම බොහෝ වෙලාවට කලන්තේ දානවා. දැන් සති කිහිපයකට උඩදී මගේ ඇසකට cataract ඔපරේෂන් එකක් කළා. එතෙන්දි වෙච්ච හදිය ගැන මගේ blog පොස්ට් එකක් ලියන්නද හිතමින් අදි මදි කරමින් සිටියේ. අපේ 'blood group' එකේ තවත් අයත් සිටින නිසා දැන් බය නැතුව ලියන්නට පුළුවන්. ඉදිරියේදී ඒක ලියනවා.
      අර ලිඛිතා කියන //හම්මේ දැනෙන සනීපයක්... වෙල්කම් ටුද ක්ලබ්!!! // එකට මටත් බැඳෙන්න පුළුවන් නේද වැඩිහිටි සාමාජිකයෙක් විධියට?.

      ඊට පස්සේ, අර රවී කියන වර්ගයේ movie එකක් කරනකොට මටත් පොඩි acting කෑල්ලක් දාන්නටත් හැකිවේවි මෙන්න මේ විධියට. (..... වැඩකරන කාර්යාලයට හදිසි ටෙලිෆෝන් පණිවුඩයක් ලැබෙයි.)
      ' ඔය මිස්ටර් .......... ද?. මලී කියන්නේ දුව නේද? මෙන්න එයා පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ ...... බස් පෝලිමේ කලන්තේ දාලා වැටිලා. ටිකක් අමාරු වගෙයි. ළඟ හිටපු ලේ ගලන තුවාල කාරයෙක් දැකලා.'
      ‘අනේ.....! සහෝදරයා........’
      'බොහොම ස්තුතියි පණිවුඩය දුන්නට . මම මේ කිට්ටුවමයි වැඩ කරන්නේ. විනාඩි දහයකින් එනවා. කරුණාකර මා එනතුරු ඉන්න.'

      Delete
    5. ලිඛිතා, රවී- දැන් පේනවා නේද මම තනිකර අහිංසකයි- මේක අපේ තාත්තාගෙන් ලැබුණු තෑග්ගක් කියලා? :D මම ඉතින් පොඩ්ඩක් ඒක වැඩි දියුණු කරගත්තු එක වෙනම කතාවක්!

      තාත්තා කියලා තියෙන ජවනිකාවේ අන්තිම කොටස-

      ක්ලාන්ත වූ තරුණියගේ පියා වහා වහා සිද්ධිය වූ තැනට එයි. කෙතරම් ඉක්මනට පැමිණියේද යත් ඔහු එද්දිත් තුවාල කරුවන් ඉවත් කර නැත. එය දැක ඔහුද එසැණින් ක්ලාන්ත වෙයි! :D

      Delete
  4. අර ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් වල ගහන්නේ "වහා ගිනි ඇවිලෙන සුළුයි" කියලා, ඒ වගේ, "වහා ක්ලාන්තය දමන සුළුයි" කියලා ටැග් එකක් එල්ලගෙන ඉන්න තිබ්බේ වටේ පිටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. :)

    ReplyDelete
    Replies
    1. තිසර, එහෙම බෝඩ් එකක් ගහගෙන හිටියා වගේ තමයි සමහර වෙලාවට.'උගත් පාඩම්' නිසා සමහර මිනිස්සු මාව දුර එද්දී අඳුනනවා. එක සැරයක් blood test එකකට ගිහින් ඉන්ජෙක්ෂන් කටුව අතේ ගහල තියෙද්දීම ලේ ගත්තු ගෑණු ළමයාගේ ඇඟ උඩට කලන්තේ දාලා වැටිලා එයාවත් පෙරළාගෙන බිමට වැටුණා. දැන් මාව එතැනින් බ්ලැක්ලිස්ට් කරලාද කොහේද.. දොරෙන් එද්දීම ලේ ගන්න ඕන නම් හාන්සි වෙන්න කියලා ඇඳ පෙන්නනවා. එතන වැඩ කරන පොඩි කෙල්ලෝ ටික මාරු වෙලා වයසකම, සැර ම එක්කෙනා ඒ වැඩේට එවනවා! :D

      Delete