May 30, 2025

මිලේනා!


මිලේනා, ඔබට කෝටියක් දෙනා ආදරය කළේ නම් මම ඒ පිරිස අතර එක් අයෙක් වෙමි. ඔබට ආදරය කරන්නන් ඇත්තේ එක් අයෙකු පමණක් නම් ඒ මම වෙමි. එහෙත් ඔබට ආදරය කරන්නන් කිසිවෙකු නොමැති නම් ඒ මා මියගොස් ඇති නිසා බව ඔබට වැටහෙනු ඇත. 

Franz Kafka, Letters to Milena

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

sketch- coloured pencils on paper


May 27, 2025

නෝනා පෝසත් ද?


“නෝනා කඩදාසි තියෙනවද?” 

ගෙදර ඉස්සරහ දොර ළඟ කුඩා දරු දෙදෙනෙක් මුවා වෙලා උන්නා. මට පෙනුණු හැටියට නම් එයාලා ඇඳගෙන හිටියේ තමන්ගේ තරමට වඩා සෑහෙන්න ලොකු කබා දෙකක්.. 

ඒ මම කාර්යබහුල වෙලාවක්. මට උවමනා වුණේ මෙයාලාගේ ප්‍රශ්නෙට ‘නැහැ’ කියලා උත්තර දෙන්න. ඒත් අහම්බෙන් වගේ මම මේ දෙන්නාගේ කකුල් දිහා බැලුවා. එයාලා දාගෙන හිටියේ බොහොම තුනී පටි සපත්තු. එළියේ වැටුණු හිම වැස්සෙන් ඒවා තෙතබත් වෙලා තිබුණා. 

“ගෙට එන්න, මම රස්නෙට කොකෝවා කෝප්ප දෙකක් හදලා දෙන්නම්.”

එයාලා ඇතුලට ආවේ නිහඬවමයි. ගිනි උදුන ළඟ අර තුනී සපත්තු කුට්ටම් දෙක ගලවලා තියද්දි එතැන තෙත පැල්ලමක් ඇඳුනා. 

එළියේ සීතල මැකෙන්නත් එක්ක මම එයාලට ජෑම් ගෑව ටෝස්ට් කළ පානුත්, රස්නෙට බොන්න කොකෝවාත් දුන්නා. ඉන්පස්සේ මම ආපිට කුස්සියට ගියේ ගෙදර වියහියදම් සටහන් කරන වැඩේ ඉවර කරන්න.

ටික වෙලාවකින් සාලය පැත්තේ පැතිරුණු නිහඬ බව නිසා මම ආයෙත් එබිකම් කරලා බැලුවා. 

දැරිය හිටියේ හිස් කෝප්පය අතේ තියාගෙන ඒ දිහා බලාගෙන. 

“නෝනා ඔයා පෝසත් ද?” පිරිමි දරුවා මගෙන් ඇහුවේ හැඟීමක් නැති කටහඬකින්.

“පෝසත්? දෙයියනේ නැහැ!” එහෙම කියලා වටපිට බලද්දී මට පෙනුණේ සාලේ පුටුවලට දාලා තිබුණු පරණ, පාට මැකුණු පුටු කවර. 

දැරිය බොහොම පරෙස්සමෙන් කෝප්පය පීරිසිය උඩින් තිබ්බා

“ඒත් ඔයාගේ කෝප්පයි පීරිසියි එකට ගැලපෙනවානේ.”

ඇගේ කටහඬේ තිබුණේ කෑමෙන් නිවන්න බැරි කුසගින්නක ලකුණු. 

ඒ දෙන්නා ටික වෙලාවකින් යන්න ගියේ සීතල හුළඟට මුවා වෙන්න තමන්ගේ කඩදාසි මිටි ඉහළට අල්ලාගෙන. එයාලා මට ස්තූතියි කිව්වේ නැහැ, එහෙම කියන්න උවමනා උනෙත් නැහැ. එයාලා ඊට වැඩිය වටිනා දෙයක් ඉතුරු කරලා ගිහින් තිබුණා. 

ඒ තනි නිල් පාට පීරිසි කෝප්ප කුට්ටම්- බාල වර්ගයක ඒවා. ඒත් ඇත්තටම ඒ කෝප්ප පීරිසි වලට ගැලපුණා. මම ආපිට ඇවිත් ලිප උඩ පැහෙමින් තිබුණු අල සාස්පාන හැඳි ගෑවා. රෑ කෑමට අලත් මස් හොදි ත්, අපේ ඉහට උඩින් වහලක්, ස්ථිර රස්සාවක් කරන සැමියෙක් - ඇත්තටම ඒ හැමදේම ත් ගැලපුණා. 

උදුන ළඟ තිබුණු පුටු ඉවත් කරලා මම සාලය අස් කළා. යන්න ගිය දරුවන් දෙන්නාගේ තුනී සපත්තු වලින් ඉතුරුවුණු තෙත පැල්ලම තාමත් උදුන ළඟ බිම. ඒ පැල්ලම මම එහෙමම තියෙන්න ඉඩ ඇරියේ මගේ පෝසත්කම ගැන අමතක වේවි කියලා බයට. 

Translation of the story ‘Lady are you Rich?’ by Marion Doolan 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

AI generated image


May 17, 2025

එක්තරා වර්ගයක උමතුවක් අගය කිරීමකි



මගේ අත්තම්මා සතුව තිබුණේ 
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි   

සීතල සැන්දෑවරුවල 
නිවසේ පිල මත 
ඈ පත්තර පිටු අතුරන්නීය 
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා 
බ්ලැන්කට්ටුවක් යටදී මෙන් 
උණුසුම් වීම පිණිසයි 

කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන් 
මටත් 
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි 

Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital Art


May 09, 2025

Whereabouts- Jhumpa Lahiri


ජීවිතය හරහා ගමන් කරද්දී අප ගැටී, නොගැටී, බැඳී, නොබැඳී පසුකරන මං සලකුණු කෙතරම් ද? නැවතී කල්පනා කළොත් ඒ හැම නිමේෂයක්ම කතන්දරයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ කතන්දර අකුරු කර, එකට පෙළගස්වා පොතක් බවට හරවා ඇති අවස්ථාවක් සිතේ මවාගන්න. Jhumpa Lahiri ගේ Whereabouts පොත ගැන කළ හැකි සරල ම විස්තරය එයයි.

නමක් නැති කතානයිකාවක් විසින්, නමක් නැති නගරයක තනිව සරද්දී ඈ දකින දේ, මුණගැසෙන අය සහ ඒ ඇසුරෙන් සිහිවෙන හා වටහාගන්නා දේ මේ කුඩා නවකතාවට ප්‍රස්තුත වේ. ‘පොත් සාප්පුවේදී’, ‘මහමඟ දී’, ‘රූපලාවන්‍යාගාරයේදී’ යනුවෙන් කුඩා කොටස් වලට බෙදා ලේඛිකාව අපට මේ හැම මොහොතක සේයා රූ වැනි නිමේෂයන් ඉදිරිපත් කරන්නීය. 

‘The city doesn’t beckon or lend me a shoulder today. Maybe it knows I am about to leave’
-Upon Waking


‘We stop in the middle and look at the wall that flanks the river, and the shadows of pedestrians cast on its surface. They look like skittish ghosts advancing in a row, obedient souls passing from one realm to another. The bridge is flat and yet it’s as if the figures- vaporous shapes against the solid wall- are walking uphill, always climbing. They are like inmates who proceed, silently, towards a dreadful end.’
-On the Street

Jhumpa Lahiri බෙංගාලි සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව 1967දී ලන්ඩනයේදී උපන්නියකි. ඈ කුඩා කාලයේදීම ඔවුන් ඇමෙරිකාවේ පදිංචි වූ අතර ඈ හැදී වැඩුණේ එහි ය. පසු කාලීන ව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ආචාර්ය උපාධියක් හැදෑරූ ඈ බොස්ටන් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය පිලිබඳ ව මහාචාර්ය ධූරයක් හෙබවූවා ය. 1999 දී පළ වූ Lahiri ගේ පළමු කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies කෘතියට පුලිට්සර් සම්මානයත්, හෙමිංවේ සම්මානයත් හිමිවිය. ඉනික්බිති ඈ ලියූ The Namesake, Unaccustomed Earth, The Lowland වැනි අනෙත් පොත්වලටත් විවිධ සම්මාන හිමි වූ අතර ඇතැම් නවකතා චිත්‍රපටි බවට ද හැරවිණි. ඉහත කී හැම කෘතියකින්ම Lahiri ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ ජීවිත සියුම් ව ගවේෂණය කිරීමත් විශේෂත්වයකි. 

පිටු 147ක කුඩා පොතක් වන Whereabouts නවකතාවේදී, පරිච්ඡේද 42ක් ඔස්සේ Lahiri අප ව විවිධ ගමනාන්ත වෙත රැගෙන යන්නීය. ඈ කියන්නේ කුඩා කතන්දර ද, ගද්‍ය කාව්‍ය ද කියා සිතෙන තරමට ඒවා අමුතු දුක්මුසු ලාලිත්‍යයකින් හෙබි ය. ඒ හැම පරිච්ඡේදයක් ම නවකතාවක නිර්මාණ සැලැස්මක කොටසක් නියෝජනය කරනු වෙනුවට සිතියමක අඳින ලද ගමන් සලකුණු ලෙස නිර්වචනය කළ හැක. 

Whereabouts නවකතාවේ අනෙත් සුවිශේෂත්වය නම් Lahiri එය ප්‍රථමයෙන් රචනා කළේ ඉතාලි බසින් වීමයි. තම සැමියා හා දරු දෙදෙනා සමඟ ඉතාලියේ පදිංචි වීමෙන් අනතුරුව ඉතාලි බසින් නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත් ඈ එතෙක් හුරු පුරුදු ව තිබුණු බෙංගාලි සහ ඉංග්‍රීසි භාෂාවන්ට වඩා ඒ බසට පෙම් කරන්නට ගත් බව පවසන්නීය. එහි සුමට, සුනම්‍ය බව තමන්ට ලගන්නා සුළු නිර්මාණ බිහි කිරීමට හේතු වන බව ඈ විශ්වාස කළා ය. Dove mi trovo නමින් ඈ ලියූ පළමු ඉතාලි නවකතාව, පසු කාලීනව ඇය විසින්ම ඉංග්‍රීසි බසට හරවා Whereabouts නමින් ප්‍රකාශයට පත් වූයේ මෙලෙසයි. 

‘Solitude: it's become my trade. As it requires a certain discipline, it's a condition I try to perfect. And yet it plagues me, it weighs on me in spite of my knowing it so well.’
-In My Head

Lahiri ගේ කෘතිවල ඉංග්‍රීසි බස ඉතා පොහොසත් ය. එමෙන්ම සමස්ත නිර්මාණයේ සරල බවත්, පාඨකයා ගේ අවධානය ග්‍රහණය කරගනීමේ ගුණයත්, එහි විචිත්‍ර බව තවත් ඔපවත් කරයි.

‘Every blow in my life took place in spring. Each lasting sting. That’s why I’m afflicted by the green of the trees, the first peaches in the market, the light flowing skirts that the women in my neighborhood start to wear. These remind me only of loss, of betrayal, of disappointment. I dislike waking up and feeling inevitably pushed forward.’
-In Spring

තමන්ට හුරු බසින් නිර්මාණකරණයේ පර තෙරට ගිය පසු නුහුරු බසක් මුල සිට උගෙන එවැනිම හාස්කම් දක්වන Lahiri ගේ එඩිතර බව මම ප්‍රිය කරමි. වෙනත් රටක සම්භවයක් ඇති කෙනෙකු සමාජයක මුහුණදෙන කුඩා සමාජයීය, සංස්කෘතික අතරමං වීම් වල අහු මුළු ඈ විස්තර කරන සුන්දර බව මා සිත් ගනී. ඉතින් Jhumpa Lahiri මා ප්‍රිය කරන ලේඛිකාවක් වන්නේ එබැවිනි. Whereabouts නවකතාව මේ බැඳීම තවත් තර කළ බව මට දැනේ. 

Whereabouts (2021)- Jhumpa Lahiri
Bloomsbury Publishing

May 01, 2025

බැංකුව බංකොලොත්



සෙත් ගෝවින්ද් රාම් ට අයත් පිපාල්නගර් බැංකුවේ පඩිපෙළ අතුගාමින් උන් නාතු තමන්ටම මොනවාදෝ මුමුණමින් සිටියේය. ඔහු තම කුඩා කොස්ස ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් එහා මෙහා ගෙන යද්දී විසිරුණු දූවිල්ල, වළාකුලක් සේ ඉහළ නැඟී නැවතත් පඩි පෙළ මත පතිත විය. නාතු කුණු ඉවත් කරන තැටිය කුණු කූඩය මත වැරෙන් හඬවද්දී රෙදි අපුල්ලන්නාගේ පුත්‍රයා වන සීතාරාම් එතැනින් ගමන් කළේය. 

සීතාරාම් ගේ හිස මත අලුතින් අපුල්ලන ලද රෙදි සහිත පොට්ටනියක් විය. ඔහු යමින් සිටියේ ඒවා බෙදා හැරීමටයි.

“ඔච්චර දූවිලි අවුස්සන්න එපා බං!” ඔහු නාතු ට හඬගා කීවේය. “උඹ ඉල්ලුව විදිහට මෙයාලා පඩිය මාසෙකට රුපියල් දෙකකින් වැඩි නොකළ නිසා නිසා උඹ තාම කෙන්තියෙන්ද ඉන්නේ?”

“මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න,” අතුගාමින් සිටි ගැටවරයා කීවේය. “ඒක තියා මගේ මාසේ පඩිය වත් ලැබුණේ නැහැ. දැන් මාසේ විසිවෙනිදාත් වෙලා. කවුද හිතන්නේ බැංකුවක් මේ විදිහට දුප්පත් මිනිහෙක්ගේ පඩිය නොගෙවා තියාගෙන ඉඳීවී කියලා? මගේ පඩිය හම්බවුණ ගමන් මම නම් මෙතන තව සතියක් වත් වැඩකරන්නේ නැහැ, අස්වෙලා යනවා යන්න.”

නාතු මෙසේ කියමින් නැවතත් තම අත වූ තැටියෙන් වැරෙන් කුණු බාල්දියට තඩි බාන්නට වූයේ තමන් කී කරුණ ඔප්පු කිරීමටත් තම ආත්ම විශ්වාසය වැඩි කරගැනීමටත් මෙනි.

“උඹේ වැඩේ හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා” සීතාරාම් කීවේය. “මාත් බලන්නම්කෝ උඹට ගැලපෙන රස්සාවක් තියේද කියලා.” ඇපිල්ලූ රෙදි පොට්ටනියෙන් හිසත් උරයත් අඩක් පමණ වැසී ගොස් තිබුණු ඒ තරුණයා, නිරුවත් දෙපයින් යන්නට ගියේය. 

සීතාරම් ගිය හතරවෙනි නිවසේදී එහි ගෙහිමි කාන්තාව ගෙවත්ත අතුගාන්නට කොලුවෙකු සොයන බව ඔහුට අසන්නට ලැබිණි. ඔහු තම පොට්ටනිය ගැටගසමින් මෙසේ කීවේය. 

“මම දන්න කොල්ලෙක් ඉන්නවා අතුගාන වැඩේ කරන, ඌ මේ දවස්වල රස්සාවක් හොයනවා. ලබන මාසේ ඉඳන් වැඩ පටන්ගන්න පුළුවන්. දැනට ඒකා වැඩකරන්නේ බැංකුවේ, ඒත් එහෙ හරියට පඩි ගෙවන්නේ නැහැලු, ඒ නිසායි අයින් වෙන්න හදන්නේ.”

“හැබෑට?” ශ්‍රීවස්තා මැතිණිය කීවාය. “හෙට ඇවිත් මාව හම්බවෙන්න කියපන්කො.”

තම සේවාදායකයාට මෙන්ම මිතුරාට සේවයක් කිරීමට ඉඩ ලැබීම ගැන සතුටින් සීතාරාම් යන්නට ගියේය. 

ශ්‍රීවස්තා මහත්මියට වෙළඳපලට යාමට අවශ්‍යතාවයක් තිබිණි. බිළිඳා බලාගැනීම ගැන ආයාට උපදෙස් දුන් ඈ දිවා ආහාරය ඉක්මණින් සූදානම් කරන්නැයි කෝකියාට අණ කළා ය. ඉනික්බිති ඈ පිපාල්නගර් වෙළඳපොල වෙත ගියේ සුපුරුදු ලෙස එහි රෙදි කඩ වල සැරිසැරීමට ය. 

කඩ වීදියේ එක කෙළවරක වූ විශාල සියඹලා ගස නිසා ඒ පෙදෙසම සෙවන වී තිබිණි. ශ්‍රීවස්තා මහත්මියට තම මිතුරිය වූ භූෂන් මහත්මිය ව මුණගැසුණේ ඈ මේ සෙවනේ ගිමන් හරිමින් සිටිද්දීය.භූෂන් මහත්මිය විශාල ලේන්සුවකින් පවන් ගසමින් සිටියාය. මේ ගෙවෙන්නේ පිපාල්නගර් ඉතිහාසයේ රස්නයෙන් වැඩිම ගිම්හාන කාලය බව ඈ සපථ කළාය. ඉනික්බිති ඈ ශ්‍රීවස්තා මහත්මියට තමන් මිළදීගැනීමට බලාපොරොත්තුවන රෙදි වර්ගයේ සාම්පලයක් පෙන්වූවා ය. විනාඩි පහක් තිස්සේ ඒ දෙදෙනා ඒ රෙද්දේ පාට, මෝස්තරය සහ වියමන ගැන කතා කළහ. ඒ මාතෘකාව අවසන් වූ පසු ශ්‍රීවස්තා මහත්මිය මෙසේ කීවාය. 

“දන්නවද මෙයා, සෙත් ගෝවින්ද් රාම්ගේ බැංකුවට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැහැලු. බැංකුව අතුගාන කොල්ලාට මාසෙකින් පඩි ගෙවලා නැහැ කියලා අද උදේ මට අහන්න ලැබුණා!”

“දෙයියනේ!” භූෂන් මහත්මිය පුදුම වූවාය. “අතුගාන කොල්ලාට ගෙවාගන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක් ඇති. එකත් එකටම අනෙත් සේවකයන්ට ගෙවන්නෙත් නැතිව ඇති.”

ඈ සියඹලා ගස සෙවනේ ශ්‍රීවස්තා මහත්මියව තනි කර තම සැමියා සොයා ගියා ය. ඔහු සිටියේ කමල් කිෂෝර් ගේ ඡායාරූප සාප්පුව ඉදිරියේ අසුන්ගෙන එහි හිමිකරු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 

“කොහෙද අනේ ගියේ?” භූෂන් මහත්මිය නෝක්කාඩු කීවාය. “මම පැයක විතර තිස්සේ ඔයාව හොයනවා!”

“කොහේ යන්නද?” භූෂන් මහතා කීවේය. “ඔයා එක කඩේක හිටියා නම් මට ඔයාව හොයාගන්න තිබුණා. ඒත් කොහෙද ඔයා මලෙන් මලට යන මී මැස්සියෙක් වගේ කඩෙන් කඩේට යනවානේ.”

“කියවන්න එපා අනේ, මේ රස්නේ නිසා තියෙන කරදර හොඳටම ඇති. පිපාල්නගර් වලට මොනවා වේගෙන එනවාද මන්දා, අන්න බැංකුවත් බංකොලොත් වෙන්න යනවාලු.”

මෙය ඇසු කමල් කිශෝර් වහා වහා මේ කතාව වෙත අවධානය යොමු කළේ ය. “ඒ මොන බැංකුවද?” 

“පිපාල්නගර් බැංකුව ඇර වෙන මොකක්ද? දැන් ඒකෙ සේවකයන්ටත් පඩි ගෙවන්නේ නැහැ කියලා ආරංචියි. මොකද? මට කියන්න එපා කිශෝර් මහත්තයාටත් ඒකෙ ගිණුමක් තියෙනවා කියලා!”

“මට නම් නෑ, ඒත් මගේ අසල්වැසියාට ගිණුමක් තියෙනවා!” ඉනික්බිති ඔහු අසල ඇති ලැටිස් වැටෙන් ඔබ්බෙහි සිටි කරණවෑමියා ඇමතුවේය. 

“දීප්චන්ද් ආරංචිද? අන්න පිපාල්නගර් බැංකුව බංකොලොත් වෙන්න ලු යන්නේ. පුළුවන් තරම් ඉක්මණින් තමුසෙගෙ සල්ලි ටික ගන්නවා!”

මෙය අසා කලබල වූ දීප්චන්ද් ගේ අත ලෙස්සා ගිය අතර ඒ මොහොතේ ඔහු හිසකෙස් කපමින් උන් වයස්ගත මහත්මයාගේ කණ මඳක් තුවාල විය. වේදනාවෙන් සහ ඒ මොහොතේ ඇසුණු පුවතෙහි කම්පනයෙන් කෑ ගැසූ ඒ මහතා අඩක් බාන ලද රැවුලින් යුතුව පාර පැන සිල්ලර භාණ්ඩ වෙළඳසැල වෙත දිව ගියේ එහි දුරකතනයක් වූ බැවිණි. ඉනික්බිති ඔහු වහා වහා සෙත් ගෝවින්ද් රාම් ගේ අංකය ඇමතුවේය. නමුත් ඒ මොහොතේ සෙත් නිවසේ නොසිටි අතර ඔහු කාශ්මීරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව කියැවිණි. වයස්ගත මහත්මයා මේ කතාව විශ්වාස කළේ නැත. ඔහු ඉක්මන් ගමනින් බාබර් සාප්පුව වෙත නැවත ගොස් දීප්චන්ද් ට මෙසේ කීවේය. 

“අන්න කුරුල්ලා පියාඹලා! සෙත් ගෝවින්ද් රාම් ගම රට දාලා ගිහින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් බැංකුව කඩා වැටෙනවා.” මෙසේ කී ඔහු ඉක්මණින් තම කාර්යාලය වෙත ගියේ තම චෙක්පොත ගැනීමටයි. 

මේ පුවත කඩ වීදිය ඔස්සේ පැතිරුණේ ලැව් ගින්නක වේගයෙනි. සිල්ලර බඩු කඩයේ ගැනුම්කරුවන් වෙත ඉගිලී ගිය එය ඉන්පසු බුලත් වෙළෙන්දා, ඇඳුම් මසන්නා, රන් බඩු තනන්නා සහ පදික වේදිකාවේ උන් හිඟන්නා දක්වා ද පැතිරිණි. 

 ගණපත් නම් මහලු හිඟන්නා කොර වූ පාදයක් සහිත වූවෙකි. වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ හිගමන් යැදි ඔහුව හැම දිනකම සවස් යාමයේදී එතැනින් ඉවතට ගෙන යනු ලැබුවේ යමෙකු විසින් වීල්බැරක්කයක් තබා තල්ලු කිරීමෙනි. ඔහු කිසි දිනක ඇවිදිනු කිසිවෙකු දැක තිබුණේ නැත. නමුත් බැංකුව බංකොලොත් වන බවට ලද ආරංචිය නිසා එක්වරම ගණපත් හුන් තැනින් නැගිට බැංකුව වෙත දිව යනු දැක හැම දෙනෙක්ම පුදුමයෙන් පුදුමයට පත් වූහ. ඔහුගේ ඉතිරුම් ගිණුමේ රුපියල් දහසක්ම තිබුණු බව පසුව ආරංචි විය. 

මේ ඇතිවූ අර්බුදය ගැන වීදි කෙළවරවල එකතු වූ මිනිසුන් කණ්ඩායම් සාකච්ඡා කරන්නට විය. පිපාල්නගර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කිසි ව්‍යසනයක් සිදු වූයේ නැත. ඊට ගංවතුරක්, භූ චලනයක් හෝ නියඟයක් එළඹුණේ කලාතුරකිනි. මේ නිසා ළඟදීම සිදුවීමට නියමිත පිපාල්නගර් බැංකුවේ කඩාවැටීම ගැන හැම කෙනෙක්ම මහත් සේ කලබල වූහ. ඇතැම්හු කල් ඇතිව දුරදක්නා නුවණින් තම මුදල් ඉන් ඉවත් කර ගැනීම ගැන හෝ එහි මුදල් තැන්පත් නොකිරීම ගැන උදම් ඇනූහ. තවත් අය මේ කඩාවැටීමට හේතු විය හැකි හේතු කාරණා ගැන තර්ක කළහ. ඔවුන්ගේ අදහස වූයේ සෙත් ගෝවින්ද් රාම්ගේ අනවශ්‍ය වියදම් මීට හේතු වූ බවයි. එක් අයෙකු කීවේ ඔහු නිසැකවම ප්‍රාන්තය හැර ගොස් ඇති බව වූ අතර තවත් අයෙක් ඔහු රට ද හැර ගොස් ඇති බව විශ්වාස කළේය. ඔහු පිපාල්නගර්හි ම කොහේ හෝ සැඟවී වටින බව තෙවැන්නෙක් තර්ක කළේය. සිව්වැන්නා කීවේ ඔහු සියඹලා ගසේ අත්තක ගෙල වැල ලා ගෙන සිටිද්දී එදින උදෑසන අතුගාන කොලුවා විසින් ඔහුව සොයා ගත් බවයි.

එදින මධ්‍යහ්නය වෙද්දී ඒ කුඩා බැංකුව සතුව තිබුණු මුදල් සංචිත සියල්ල අවසන් වී තිබිණි. ගනුදෙනුකරුවන්ගේ හිරිහැරයට ලක්වූ බැංකු කළමනාකරු මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. හදිසි මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට නම් කිලෝමීටර් තිහකට එපිටින් වූ වෙනත් බැංකුවකින් ඉල්ලීමක් කළ යුතුය. නමුත් මේ රැස්ව සිටි පිරිසට එතෙක් ඉවසා සිටින්නට පෙරැත්ත කළ හැකිදැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. යාත්‍රාවක නැඟී කාශ්මීරයේ සංචාරයක යෙදෙමින් සිටි සෙත් ගෝවින්ද් රාම් සමඟ මේ ගැන සන්නිවේදනය කිරීමට ක්‍රමයක් තිබුණේ ද නැත. 

බැංකුවේ මුදල් ආපිට ගැනීමට පොදි කමින් සිටි මිනිසුන්ට, ඒ සඳහා පසු දින නැවත ඒමට දැනුම් දෙන ලදී. මේ ගැන මනාප නොවූ ඔව්හු එහි පඩිපෙළ මත රැස් කමින් කෑ ගසන්නට වූහ. “අපේ සල්ලි දීපල්ලා, නැත්නම් අපි බැංකුව කඩනවා” “සේප්පුවේ හැංගිලා ඉන්න සෙත් ව එළියට දාපල්ලා!” මෙවැනි වැකි දසත රැව් දෙන්නට විය. බැංකුවේ තැන්පතු ලෙස පයිසයක් වත් නොතිබුණු රස්තියාදුකරුවෝ මේ සෙනඟට එකතු වී ඔවුන්ව තවත් අවුළුවන්නට වූහ. බැංකුවේ දොරකඩ සිටගෙන සිටි කළමණාකරු රැස්ව සිටි පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේය. බැංකුව සතුව විශාල ධනයක් ඇති බවත්, මේ මොහොතේදී නැතත් ඉක්මණින් ම එය ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි බවත්, ඒ සඳහා පසු දින නැවත පැමිණෙන ලෙසත් ඔහු පැහැදිලි කළේ ය. 

“අපිට සල්ලි ඕන දැන්!” සෙනඟ අතරින් හඬක් මතු විය. “දැන්, දැන්, දැන්!” 

ඈත සිට එල්ල වූ ගඩොලකින් පිපාල්නගර් බැංකුවේ වීදුරු කවුළුවක් සුණු විසුණු විය. 

පසු දින උදෑසන බැංකුවේ පඩිපෙළ අතුගෑමට නාතු ආ විට වීදුරු කැබලි, ගල් මුල් සහ වෙනත් කසලින් එය හැඩි වී තිබිණි. කෝපයෙන් සහ පිළිකුලින් දෑත එසවූ ඔහු මෙසේ කෑ ගසන්නට විය. 

“දාමරිකයෝ, බූරු පැටව්! මට බැංකුවෙන් පඩි පරක්කු මදිවට දැන් වැඩත් වැඩි වෙලා!”

ඔහු කුණු විසුරුවමින් වේගයෙන් අතුගාන්නට විය. 

“සුබ උදෑසනක් නාතු” රෙදි අපුල්ලන්නාගේ පුතා තම බයිසිකලයෙන් බසිමින් කීවේය. “ලබන මාසේ ඉඳන් අලුත් රස්සාවකට යන්න උඹ ලෑස්ති ද? කොහොමත් දැන් බැංකුව බංකොලොත් නිසා උඹට අලුත් රස්සාවක් හොයාගන්නම වෙනවානේ.”

“ඒ කොහොමද?” නාතු ඇසුවේය. 

“ඇයි උඹට ආරංචි වුණේ නැද්ද? තව ටික වෙලාවකින් පිපාල්නගර් වලින් බාගයක්ම මෙතනට එයි එයාලගේ සල්ලි ගන්න, එතකොට උඹට බලාගන්න පුළුවන්.” තමන්ගේ නමින් බැංකු ගිණුමක් නොවූ බැවින් මෙසේ කියා සතුටින් ආචාර කළ තරුණයා, තම බයිසිකලයේ නැඟී යන්නට ගියේය. 

නාතු තමන්ටම මුමුණා ගනිමින් නැවතත් තම කාර්යයේ යෙදිණි. වැඩ අවසන් වූ පසු ඔහු ඉහළම පඩියේ වාඩි වී කළමණාකරු පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහුගේ අරමුණ වූයේ කෙසේ හෝ තම පඩිය ලබා ගැනීමයි. 

“බැංකුවක් මෙහෙම කඩා වැටෙයි කියලා කවුද හිතුවේ!” ඈත බලමින් කල්පනාවේ නිමග්නව ඔහු තමන්ටම කියා ගත්තේය. “කොහොමද දන්නේ නැහැ මේක වුණේ..”


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story ‘The Boy who Broke the Bank’ by Ruskin Bond


Picture generated by Canva AI

සිසිල සඟරාව - මැයි 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)