ඒ කඳුකර වතුයායේ සීතල දේශගුණයක් පැවතුණත් හාත්පස මීදුම් රහිතව තිබුණු බැවින් ඈතින් හිමාල කඳු පන්තිය පැහැදිලි ව දිස් විය. ඒ දිනවල වතුයාය ට පිවිසෙන මාර්ගවල තැන තැන හිම වැටී තිබුණි. මා වඩාත් ප්‍රිය කළේ නිවසේ ඇඳට වී උණුසුම් ව, පොතක් කියවමින් සිටීමට වුවත් පෙරදිනක අසල්වැසි කපාඩියා යුවළගේ සාදයකට කළ ඇරයුම මා පිළිගෙන තිබුණු බැවින් එහි නොගොසින් සිටීම නොතරම් බව මට සිතුණි. එබැවින් අන්තිමේදී මම ඝන කමිස දෙකක්, පැරණි ෆුට්බෝල් මෆ්ලරයක් සහ කබායක් පැළඳගෙන සඳ එළියෙන් ආලෝකවත් වූ පාර ඔස්සේ පිටත් වූයෙමි.
කපාඩියා නිවස තිබුණේ මගේ නිවසේ සිට හැතැප්මක් තරම් දුරිනි. මේ දුරින් අඩක් පමණ මා ගෙවූ පසු මාවත මැද තරුණියක් සිටගෙන සිටින අයුරු දුර සිටම මම දුටුවෙමි.
බැලූ බැල්මට ඇයට වයස දාසයක්, දාහතක් පමණ විය. ඉනට තරම් දිග කොණ්ඩයකින් යුතු වූ ඈ හැඳ පැළඳ සිටියේ පැරණි තාලයට ය. රෝස සහ දම් පැහැයෙන් යුක්ත වූ ඇගේ දිගු ගවුමේ තැන තැන දිලිසෙන සීක්වින්ස් අල්ලා තිබුණු අතර එය දුටු විට මට සිහි වූයේ මගේ අත්තම්මාගේ පින්තූර ඇල්බම් වල පින්තූරයි. ඈට කිට්ටු වෙද්දී ඇයට සුන්දර දෑසක් සහ මනස්කාන්ත සිනාවක් තිබුණු බව මට පෙනුණි.
“සුබ සන්ධ්‍යාවක්! අද බොහොම සීතල දවසක් නේද?” මම ඇගෙන් ඇසුවෙමි.
“ඔයා සාදයටද යන්නේ?” ඈ මගෙන් විමසුවාය.
“හරියට හරි, ඔයාගේ ලස්සන ගවුම දැක්කාම කියන්න පුළුවන් ඔයා යන්නෙත් එහෙ කියලා. එහෙනම් අපි දෙන්නාම යමු, දැන් ළඟයි.”
ඈ මා අසලින් ගමන් කරන්නට වූවාය. නොබෝ වේලාවකින් දේවදාර තුරු අතරින් කපාඩියා නිවසේ විදුලි ආලෝකය පෙනෙන්නට විය. තමන්ගේ නම ජූලි බව තරුණිය කීවාය. ඒ වෙද්දී මා ඒ වතුයාය ට පැමිණ ගත වී තිබුණේ මාස කීපයක් බැවින් මා ඉන් පෙර ඈ ව දැක තිබුණේ නැත.
සාදයේ සෑහෙන පිරිසක් සිටි නමුත් ඒ කිසිවකු ජූලි හඳුනන බවක් නොපෙනුණි. ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත. ඈ තනිකමින් පීඩා විඳි බවත් මිතුරු ඇසුරක් සොයමින් සිටි බවත් පැහැදිලි ව පෙනුණි. ඒ සාදයේදී ඈ බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු නොකළත් එහි හැම කෙනෙකු අසලටම ගොස් සිනාසෙමින්, කතාකරමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින් කාලය ගත කළාය. ඉනික්බිති සංගීතය වාදනය වීමත් සමඟම ඈ තනිවමත්, වෙනත් අය සමඟත් නටමින් බෙහෙවින් විනෝද වූවාය. බැලූ බැල්මට පෙනුණේ ඈ සංගීතයෙන් මත්ව සිටි බවකි.
මා සාදයෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. ඒ වෙද්දී මා සෑහෙන තරමට මධුවිත තොලගා තිබුණු අතර මට වුවමනා වූයේ නින්දට වැටෙන්නයි. මා නිවෙස් හිමියන්ගෙන් සමු ගෙන හැමට සුබ නත්තලක් පතද්දී ජූලි මා අසලට විත් ඇය ද නිවෙස බලා යන්නට සූදානම් බව පැවසුවා ය.
“ඔයාගේ ගෙවල් කොහෙද ජූලි?”
අප සාදයෙන් පිටවූ පසු මම ඇගෙන් විමසුවෙමි.
“මම ඉන්නේ වුල්ෆ්ස්බර්න් වල” ඈ කීවාය. “කන්ද උඩ.”
“මේ හුළඟ හරි සීතලයි. ඔයාගේ ගවුම ලස්සන වුණාට ඒකෙන් වැඩි උණුසුමක් ලැබෙන්නේ නැහැ වගෙයි නේද? මෙන්න, මගේ කබාය ඇඳගන්න. පේනවනේ, කබාය නැති වුණත් මම නම් සීතලෙන් ආරක්ෂිතයි.”
මා මගේ කබාය ගලවා අගේ උරහිස් මත රඳවද්දී ඈ විරෝධයක් පෑවේ නැත. ඉනික්බිති අපි නිවෙස් බලා ගමන් ඇරඹුවෙමු.
අප මුලින් මුණගැසුණු ඉසව්වේදීම ඈ නැවතත් නතර වූවාය.
“මෙතැනින් කෙටි පාරක් තියෙනවා. මම මේ කන්ද දිගේ දුවලා යන්නම්.” ඈ කීවාය.
“ඔයාට ඒ පාර පුරුදු ද? පටු පාරක් වගේනේ පේන්නේ.”
“අයියෝ මම මේ පාරේ හැම ගහක් ගලක්ම හොඳට දන්නවා, මම නිතර ඒ පාරේ යනවා එනවා. අනික අද හොඳට හඳ එළිය තියෙන දවසක්නේ.”
“එහෙනම් කබාය ඇඳගෙන ම යන්න. මම හෙට ඇවිත් ඒක ආපිට ගන්නම්.” මම කීවෙමි.
ඈ මොහොතක් නිසොල්මන් ව හිඳ ඉනික්බිති සිනාසී, හිස වනා, මා කී දේ අනුමත කර, ඒ කෙටි මඟ ඔස්සේ නොපෙනී ගිය අතර මම තනිවම නිවස බලා ගියෙමි.
ඊට පසු දින මම වුල්ෆ්ස්බර්න් වෙත ඇවිද ගියෙමි. කුඩා දිය කඳුරකින් එතෙර වී, විවර ව තිබුණු යකඩ ගේට්ටුවකින් ඇතුළු වූ විට මා එහි දුටුවේ ගරා වැටුණු නිවසකි. ඊට වහලයක් නොතිබුණු අතර, ගල් ගොඩක්, කඩා වැටුණු පෝරණුවක් සහ පෙරදී බරාඳයක් තිබුණු බවට ලකුණු පෙන්වූ කණු කිහිපයක් දක්නට විය.
ජූලි මට විහිළුවක් කළා ද? නොඑසේ නම් මා පැමිණ තිබුණේ වැරදි නිවසටද?
කඳු ගැටය වටා ඇවිද ගිය මම ඒ අසල ටේලර් යුවල පදිංචි පැරණි නිවස වෙත එළඹී, ජූලි නම් තරුණියක් ගැන විස්තර දන්නේදැයි වයස්ගත ටේලර් මහත්මියගෙන් විමසුවෙමි.
“නෑ මම හිතන්නේ මම එහෙම කෙනෙක් දන්නේ නැහැ,” ඈ කීවාය. “කොහෙද එයා පදිංචි?”
“වුල්ෆ්ස්බර්න් වල කියලා තමයි කිව්වේ නම්, ඒත් ඒ ගෙදර ගරා වැටිලානේ.”
“පහුගිය අවුරුදු හතලිහට කවුරුවත් වුල්ෆ්ස්බර්න් වල ජීවත් වෙලා නැහැ. මේ පළාතේ මුලින්ම පදිංචි වුණ මැකිනන් ලා තමයි එහෙ හිටියේ. ඒත් එයාලගේ දුව මැරුණා ට පස්සේ..” ටේලර් මහත්මිය හදිසියේම කතාව නවතා මා වෙත අමුතු බැල්මක් එල්ල කළා ය. “මම හිතන්නේ ඒ දැරිවි නම ජූලි, කොහොමහරි ඒ ළමයා මළා ට පස්සේ එයාලා ඒ ගේ විකුණලා කොහේ හරි ගියා. ඊටපස්සේ කවුරුවත් ඒකෙ ජීවත් වුණේ නැහැ, ගේ ටික ටික ගරා වැටුණා. ඔයා හොයන ජූලි එයා වෙන්න බැහැ. ඒ දැරිවි මැරුණේ ක්ෂය රෝගේ හැදිලා. ඒ කාලේ ඒ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයාගේ සොහොන තියෙන්න ඔය පාරේ කෙලවර තියෙන සොහොන් පිට්ටනියේ.”
මා ටේලර් මහත්මියට ස්තූති කර සොහොන් පිටිය වෙත ඇවිද යන්නට විය. ඒ වෙද්දී මට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට වුවමනාවක් නොමැති වුවත් නොදැනුවත්වම මෙන් මා ඒ වෙත ඇදී යමින් තිබිණි.
ඒ කුඩා සොහොන් පිටිය තිබුණේ දේවදාර තුරු පෙළ පාමුලයි. එතැනට තනි නිල් අහස් පසුබිමේ හිමාල කඳු පෙළේ සදාකාලික හිම පතනය මනාව පෙනුණි. අධිරාජ්‍ය ගොඩ නඟන්නට වෙහෙසී මේ වෙද්දී ලෝකයට අමතක වූ සොල්දාදුවන්, වෙළෙන්දන්, ගවේෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සිරුරු වල නටබුන් මේ බිමේ වැළලී තිබිණි. ජූලි ගේ සොහොන සොයා ගන්නට මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. වැඩි මෝස්‌තර නොමැති සරල සොහොන් කොතක ඇගේ නම පැහැදිලි ව සඳහන් ව තිබිණි.
ජූලි මැකිනන්
1923-39
“මොහොතක් ඈ අප ළඟ සිටියාය
දැන් සදාකාලික සැතපුමට
ඈ දෙවියන් වහන්සේ ළඟ යි”
මෝසම් වැසි ගණනාවක් මේ සොහොන් පිටිය පිස හමා ගොස් එහි සොහොන් කොත් වල අකුරු මකා දමා තිබුණද, ඒ කිසිවකින් මේ කුඩා සොහොන් කොත පීඩාවට පත් වූ බවක් නොපෙනුණි.
මා ආපසු යාමට හැරෙද්දී සොහොන් කොත පසුපස මා මීට පෙර දැක පුරුදු යමක් මගේ නෙත ගැටුණු බැවින් මම එතැනට පා නැඟුවෙමි.
පිළිවෙලට නවන ලද මගේ කබාය එහි විය.
Translation of the short story ‘The Overcoat’ by Ruskin Bond
මම ඒක අනුමාන කළා
ReplyDeleteඑක්කෝ ....මේකම නැතත් මේ වගේ වෙන එකක් හරි කියවල තියෙනවා වගේ
සුන්දර පරිසරය නම් හිතේ මැවෙනවා
කුමුදු මං හිතන්නේ මේක ඉස්සර අපි කියවපු පොත්වල තිබුණු කතාවක්. මාත් අවුරුදු අටක් දහයක් කාලේ කියවලා තියෙනවා කියලා මතකයි.
Deleteමේක පරිවර්තනය කරද්දී හබී ට "ඔන්න මං කතාවක් කියනවා අහගන්න" කියලා කියන්න ගත්තා ට මැදක් හරියේදීම එයා ඇහුවා "කෝට් එක සොහොන ළඟ නවලා තිබ්බ කතාවද" කියලා :D
Canva AI වලින් මෙච්චර ලස්සනට චිත්‍ර අන්දවා ගන්න අපිට තමයි බැරි. අකැමැති නැත්නම්, මේක අන්දවා ගන්න දීපු කී වර්ඩ් ටික දෙන්න ඇහැකිද? එතකොට දැන ගත්තෑකි මොකක්ද මම කරන වැරැද්ද කියලා.
ReplyDeleteකුණාටු නං ආවෙ නෑ. ඒත් සීතල සහ හිම තිබුනා. සාපේක්ෂව උණුසුම් සිසිරයක්. ඒත් ටිකක් විතර සෑඩ්. Seasonal affective disorder (SAD)☹️
ආ කතාව පුරුදු පරිදිම මල් හතයි.🙏💐👌😊
Deleteඅයියෝ බස්සා කියන්න කිසිම අකමැත්තක් නම් නෑ, දැන් මතක නැති එකනේ වැඩේ. මම හිතන්නේ mountain road with pine trees, woman in long pink dress වගේ prompt එකක් දුන්නේ. මේවා වන් ෂොට් එනවා කියලා වැරදියට වටහාගන්න එපා ඉතින්! සමහර වෙලාවට Canva AI පිස්සු කරලා මාතෘකාවට අදාළ නැතිම පින්තූර දෙනවා. අනික මට තේරිලා තියෙන්නේ ඒක හරි ලිටරල් කියලා. ඒ කියන්නේ woman වෙනුවට girl දුන්නොත් අවුරුදු පහක විතර පොඩි කෙල්ලෙක්ගේ පින්තූරයක් දෙන්න පුළුවන්. මට canva edu account එකක් තියෙන නිසා පොඩි වාසියක් තියෙනවා එතකොට AI පින්තූර හදා ගන්න සීමාවක් නැති නිසා. ඒ නිසා වැරදි වැරදි ට්‍රයි කරන්න පුළුවන්. ඊළඟ පාර මම prompt එක ලියලා තියාගන්නම්
Deleteඅපිත් මේ දවස්වල සමර් එකේ රස්නෙට සෝ සෑඩ් (Seasonal affective disorder) වෙලා ඉන්නේ :D
Deleteමේ කතාව මීට වඩා වෙනස් විදියකට කොහෙදි හරි අහලා තියෙනවා. ලෝකල් වර්ෂ්න් එකක් - කනත්තක් ජැකට් එකක් පාලු පාරක් - චිත්‍රකතාවක්ද මන්දා! මේ පරිවර්තනය ලස්සනයි! අන්තිම වෙනකං මේ අර අහපු කතාව කියා හිතුණෙ නෑ මට!
ReplyDeletethank you වර්ෂා! මේවත් අර හැමෝම දන්න, කොහොමද ඒ දන්නේ කියලා නොදන්නා වර්ගයේ කතා නේද?
Deleteමාතෘකාවට අදාළ නැහැ - ඔයාගේ තාත්තා නම දාපු බබෙක් මුණගැහුනා මට ලංකාවට ගිය වෙලාවේ. සදම්සා :)
ලස්සන අහම්බයක්! මං තාත්තට කියන්නම්! සමහර විට මාත් දන්න බබෙක් වෙන්න පුළුවන් එයා!
Deleteඔයාත් දන්නා බබෙක් තමයි වර්ෂාජපුරටත් සම්බන්ධයක් තියෙනවා. :)
Deleteකතාව කියන කෙනා තරුණ කෙනෙක්ද, මැදිවියේ කෙනෙක්ද කියලා කෙලින්ම අඟවලා නැති එකට මම කැමතියි. ඒ වගේම එයාට ජූලි ගැන රොමෑන්ටික් ෆීලින්ග්ස් ආවද කියලා කෙලින්ම අඟවලා නැති එකත් හොඳයි. "ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත". ඒ හින්ට්ස් වඩා හොඳයි.
ReplyDeleteකලින් අහලා තිබුණත් මලීගෙ පරිවර්තනය ලස්සණ නිසා දිගටම කියෙව්වා.
"No thank-you note. But something soft and invisible brushed against my cheek, and I knew someone was trying to thank me". මේ කොටස මලී පරිවර්තනය කලේ නැත්ද. Too creepy වගේ හිතුනද.
මම කියවපු වර්ෂන් එකේ ඒ කෑල්ල තිබ්බේ නැහැනේ Lotus! තිබ්බා නම් මම අනිවාර්යයෙන් දානවා. මේ කතාවල හරියට එක එක සංක්ෂිප්ත වර්ෂන් තියෙනවා මගේ හිතේ. ඇත්තටම කල්පනා කරද්දී ඒ කෑල්ල creepy තමයි නේද? එහෙම නැතිව මෙහෙම හොඳයි වගේ හිතෙනවා.
DeleteRuskin Bond ගේ මේ වගේ පොඩි සරල කෙටිකතා සැහෙන්න තියෙනවා කියලා මම අහම්බෙන් හොයාගත්තේ. ඔයාලට ඉස්සරහට Ruskin Bondගේ කතා වැස්සක්ම එන්නයි යන්නේ! :D