June 17, 2025

"ඉතින් මම ඉන්නවා..."




මෑතක ජනප්‍රිය වුණු සනුක වික්‍රමසිංහ ගේ 'ඉතින් මම ඉන්නවා' ගීතය අහන්නත් දකින්නත් ලැබුණු නිසා ඒ ගැන පුංචි සටහනක් හිතුණා. 

සනුකගේ සින්දුවක් මම 'හරියට' ඇහුව පළවෙනි වතාව මේක. මේ සින්දුවේ පද, තනු සහ ගායනය තුනම සනුකගෙන්. ඒක සුවිශේෂී දක්ෂකමක්. මොකද ඒ වචන බොහොම හැඟීම්බරයි, ඒ වගේම ලගන්නාසුළුයි. තනුවත්, හඬත් ඊටම ගැලපෙනවා.

අලුතෙන් නිකුත් වෙන සින්දුවලට අරුත්බර visual එකක් එකතු කරන එක මෑත කාලේදී ඇතිවෙලා තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක්. පහුගිය කාලේ ජනප්‍රිය වුණු සින්දු කීපයක්ම මේ ක්‍රමය අනුගමනය කරලා තිබුණා. සමහර වෙලාවට සින්දුවේ පද යටපත් වෙන තරමට රූප රාමු ප්‍රබල වුණු අවස්ථා නැත්තෙත් නැහැ. අද කාලේ visual එකක් නැතිව සින්දුවක් මාකට් කරගන්න බැරිවත් ඇති. 

මේ සින්දුවටත් බොහොම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු කරගෙන කළ visual එකක් තියෙන්නේ. පාසල් දැරියක් තරුණ ගුරුවරයෙක් ගැන හිතේ ඇතිවුණු අහිංසක crush එකක් සහ නොහිතූ විදිහට ඒක නිසා ඇතිවෙන ලොකු ප්‍රශ්නයක් මේ සින්දුවේ පුංචි ඉඩේ දී පෙන්නනවා. ඒ වගේම ඒ තරුණ ගුරුවරයා ඒ ප්‍රශ්නය ඇතිවෙන්න කළින් ඉඳන්ම anxiety, panic attacks වගේ දේවල් වලට ලක් වෙන කෙනෙක් බවත් බොහොම සියුම් ව පෙන්නනවා. පුංචි සිද්ධියක් නිසා මහා විනාසයක් වෙන්න පුළුවන් හැටි, ජීවිත පවා විනාස වෙන්න පුළුවන් හැටි හැබෑම දක්ෂයෝ ටිකක් එකතු වෙලා අපූරු නිර්මාණයකට එකතු කරලා. ධනුෂ්ක ඩයස්, කුෂන්‍යා ෆොන්සේකා, චන්ද්‍රලේඛා පෙරේරා රංගනයෙන් දායක වෙන මේ visual එක උසස් මට්ටමක වැඩක් බවට විවාදයක් නැහැ.

දැන් මේ ටික තමයි ඒ සින්දුව ගැන unpopular opinion වර්ගයට වැටෙන මගේ අදහස. මට නම් සින්දුවක වචන- තනුව- හඬ තමයි වැදගත්ම. visuals ඕනෑම නැහැ. සින්දුවේ පද වලට visual එකකින් බලෙන් අර්ථකථනයක් ඔබ්බනවට මගේ නම් වැඩි මනාපයක් නැහැ. මේ සින්දුවේ පද බොහොම හිත කම්පනය කරන සුළුයි, ඒ වගේම අනන්‍යයි. ඒවාට පවතින්න, ප්‍රසිද්ධ වෙන්න රූප රාමු අත්‍යවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස.

තමන් ආදරෙන් ඇදහූ රුවත්, හිතේ රැව් දුන්නු හඬත් නොඇසෙන නොපෙනෙන මානෙක ඉන්න වීම කෙනෙකුට කරන්න වෙන අමාරුම දෙයක් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වගේ දුෂ්කර දේවල් වලින් අපිට ගැලවීමක් නැහැ. 

අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ

අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ



//සදාතන පෙම් කතා අතරේ අපේ පෙම මැකීයයි කතරේ// මේකත් මේ පද අතරේ තියෙන බොහොම සිත රිදවනසුළු කාරණාවක්. ලෝකයේ තියෙන සදාකාලික පෙම් කතා අතරේ සමහර අයගේ කතන්දර වටිනාකමක් නොලබාම මැකිලා යනවා. ඒත් ඊට සම්බන්ධ අයගේ රිදුම නොවෙනස් ව පවතිනවා. //නුඹේ සුවඳින් පිරී හසරේ හඹා එමි හැම භවේ සසරේ// අන්තිමට ඉතුරුවෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් විතරයි.

visual එක කොයිතරම් ලස්සන වුනත් මම නම් මේ සින්දුව අහන්න කැමති රූප රාමු නැතිව. සනුක ගේ පද, තනු වගේම හඬ හොඳටම හිතට දැනෙන්නේ එතකොටයි. මේ සින්දුවේ තරමක 'රූකාන්තමය' ලක්ෂණ තියෙන බවට සනුකට පොඩි චෝදනාවක් කරලා තියෙනවාත් මම කොහේ හරි දැක්කා. එහෙම බවක් නම් ගීතය අහද්දී දැනෙනවා තමයි. ඒත් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ. එකිනෙකා ඇසුරේ ඉන්දැද්දී නිර්මාණකරුවෝ එකිනෙකාගේ ආභාෂය ලබන එක සාමාන්‍ය දෙයක්. කොහොම කළත් සනුකත්, රූකාන්ත ත් දෙන්නෙක් මිසක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ, ඒ වගේම මේකට සනුකට රූකාන්තගේ ආශිර්වාදය ලැබුණු බව පැහැදිලියි.

හිත කම්පනය කරන්න පුළුවන් සින්දු වලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මේ සින්දුවත් අනිවාර්යයෙන් ඒ වර්ගයට අයිති වෙනවා.
.
.
.

සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නෑසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
.
.
.

ඉතින් මම ඉන්නවා
Lyrics - Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production - Sanuka Wickramasinghe
Mix & Master - Sanuka Wickramasinghe
Music Video Created by Chamil Pathirana

June 14, 2025

ඩිජිටල් චිත්‍ර- 2

මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා ගිය අවුරුද්දේ යෝජනා කළේ මගේ බ්ලොග් මිතුරු මිතුරියෝ තමයි. ඒ නිසා මම ඒ වෙද්දී ඇඳලා තිබුණු චිත්‍ර එකතු කරලා වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දෙත් තව වීඩියෝ එකක් දාන්න හිතුණේ ඊටපස්සේ ඇන්ද චිත්‍ර සෑහෙන්න තියෙන බව තේරුණු නිසා. මෙතැන චිත්‍ර 52ක් තියෙනවා. ගණන් හදලා බැලුවාම මම සතියට එක චිත්‍රයක් විතර ඇඳලා කියලා තේරුණේ තව මීට ඇතුළත් නොකළ ඩිජිටල් චිත්‍ර ටිකකුත් තියෙන නිසා! අතින් අඳින චිත්‍ර නම් sketch books පිරෙද්දී තියෙන ගාණ තේරුණත් ඩිජිටල් චිත්‍ර ටික මෙහෙම එක තැනකට එකතු කරනකම් මේ තරම් තියෙයි කියලා හිතුණේ නැහැ.

මෙහෙම චිත්‍ර අඳින්න වෙලාව කොයින්ද කියන එක මට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. බහුතරයක් ඩිජිටල් චිත්‍ර මම හරි ඉක්මණින් අඳිනවා. (සියුම් වැඩ කිඩ නැති ඒවා) මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්. ඒ කියන්නේ audio book එකක් අහද්දී, නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්. ඉස්සර ස්ටයිලස් එකෙන් ඇන්දාට ඒ කම්පියුටරේ ඇණ හිටි නිසා මේවා නම් ඔක්කොම වගේ mouse හෝ touch pad එකෙන් ඇන්ද ඒවා.

මම ඩිජිටල් චිත්‍ර ඇඳීම ගැන කිසිම හැදෑරීමක් කරලා නැති බවත්, තනිකරම self taught බවත්, හරියට අඳින්න පටන් අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ බවත් මේ එක්කම කියන්න ඕන. පොදුවේ කොයි මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් ඒක මට බොහොමත්ම හිත නිවන වැඩක්. මම ලියන, පරිවර්තනය කරන දේවල් ලස්සන කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් වීම බෝනස් එකක්. 

ඉතින් මේ අවුරුද්දේ මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය රස විඳින ගමන් තමන් කැමතිම චිත්‍ර ගැන කියන්න කියලා මගේ ෆෑන්ස්ලාට ආරාධනා කරනවා! 


Digital Art HG by Malie G

June 09, 2025

වැහි ලිලී මල්



වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා. 

අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්. 

වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.

අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.

දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි. 

Digital painting


June 06, 2025

A House for Mr. Biswas by V. S Naipaul



මිස්ටර් බිස්වාස් ට හැමදාම වුවමනා වුණේ තමන්ටම කියලා ගෙයක්. මුල ඉඳලාම එක එක්කෙනාගේ අගු පිල් වල ජීවත් වෙලා, පස්සේ කාලෙකදී බිරිඳගේ පවුලේ මහා සෙනඟක් එක්ක එකම ගෙදර ජීවත් වෙන්න සිද්ධ වෙලා, මේ ‘තමන්ගේම ගෙදරක්’ කියන හීනය එයාගේ හිත රිදවමින්, හිතට තදින් කා වැදිලා තිබුණේ. ඒත් ඒ හීනය එළි කරගන්න එයාට ජීවිත කාලයක්ම ගත වුණා. අපි කතාවට කියන විදිහට ඒ හීනේ එළි කරගන්න ගිහින් මිස්ටර් බිස්වාස් ට ‘හෙණ ගැහුවේ නැතිවා විතරයි’! 

A House for Mr. Biswas, V. S Naipaul 1961දී ලියූ නවකතාවක්. Naipaul ගේ නිර්මාණ ලෝකය පුරා ප්‍රචලිත වුණේ මේ පොත නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. උපහාසය, සෝපාහසය, හාස්‍යය වගේම නිර්මාණ රසය එකිනෙකට නොදෙවෙනි මාත්‍රා වලින් මේ වගේ කැටිවුණු වෙනත් පොතක් නම් මම මීට කලින් කියවලා නැහැ. ඒ වර්ණනාවන්, රූපක, උපමා! මේක ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි පදිංචි ඉන්දියානු සම්භවයක් ඇති පවුල් කීපයක කතාවක්. මේ කතාව පුරාවටම-ඒ කියන්නේ ළමා කාලයේ පටන් වැඩිහිටි වයස දක්වාම- කතා නායකයාව හඳුන්වන්නේ ‘මිස්ටර් බිස්වාස්’ නමින්. A House for Mr. Biswas පොතේදී මිස්ටර් බිස්වාස් ජීවිත ගමනේ ගිරි දුර්ග, දිනුම් කණු පහු කරන් යන ගමන පාඨකයාවත් එක පෙළට කැඳවාගෙන යන්න Naipaul සමත් වෙලා තියෙනවා. කියවාගෙන යද්දී මිස්ටර් බිස්වාස්ගේ ජීවිතයේ කරදර වැඩිහරියකට හේතුව එයාගේම උද්ධච්චකමත්, පණ්ඩිතකමත් බව තේරුණත් මොකක්දෝ නොතේරෙන හේතුවකට කියවන අපිත් වශී වෙලා ලේඛකයාගේ පස්සෙන් මේ ගමන යනවා. 

There is, in some weak people who feel their own weakness and resent it, a certain mechanism which, operating suddenly and without conscious direction, releases them from final humiliation. Mr. Biswas, who had up till then been viewing his blasphemies as acts of the blackest ingratitude, now abruptly lost his temper. “The whole pack of you could go to hell!” he shouted. “I not going to apologize to one of the damn lot of you.” Astonishment and even apprehension appeared on their faces. He noted this for a lucid moment, turned and ran up the stairs to the long room, where he began to pack with unnecessary energy. (Page 50)

මේ කතාවේදී ලේඛකයා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල ආර්ථික, දේශපාලනික අර්බුද වගේම සමාජ ගැටළු ස්පර්ශ කරන්නේ තමන්ට ආවේනික සැහැල්ලු ලිවීමේ ආරෙන්මයි. තමන්ගේ උපන් බිමින් වෙන රටකට සංක්‍රමණය වෙලා කොයි තරම් කාලයක් ගත වුණත්, ඒ මුල් රටේ සිරිත් විරිත් සහ ජීවන ක්‍රම කරපින්නාගෙන යන, ඒවායේ බරින් හෙම්බත් වන මනුස්ස ස්වභාවය ගැන හාස්‍යයෙන් කතා කරන්න ඔහු සමත්.  

He put fresh sandalwood paste on the foreheads of the gods, on the smooth black and rose and yellow pebbles, and on his own forehead; lit the camphor, circled the flame about the shrine with his right hand while with his left he tried to ring the bell; blew at the conch shell, emitting a sound like that of a heavy wardrobe scraping on a wooden floor; then, his cheeks aching from the effort of blowing the conch shell, he hurried out to eat. (Page 199)

මේ හැම දේටම වැඩිය මගේ නම් හිත ගන්නේ මේ කතාවේ තියෙන විචිත්‍ර විස්තර. ලේඛකයා විස්තර කරන්නේ දූවිලි පිරුණු අර්වකාස් ගමද, පොර්ට් ඔෆ් ස්පේන් නගරයේ මුඩුක්කු පේළියක්ද, සැඩ සුළං හමන සන් සුසී වෙරළ තීරයද, තනි කොළ පාටට පේන ෂෝට්හිල්ස් වතු යාය ද එහෙම නැත්නම් ඒ කොයි තැනක හරි තියෙන, හැම කාමරේම උතුරන තරමට සෙනඟ පිරුණු ගෙයක්ද කියන එක වැදගත් නැහැ. ඒ හැම තැනින්ම හමන හඳුන් කූරු සුවඳ, දාඩිය ගඳ, මුහුදු හුළඟ, පිළුණු කෑම ගඳ, බෙරි වුණු පළතුරු සුවඳ දැනි දැනී, දිය සෙවෙල් වල ලෙස්සමින්, මඩේ එරෙමින්, ලී බඩු වල හැප්පෙමින් මේ කතාව කියවන අපිවත් එකතු කරගෙන යන ගමන හරිම අපූරුයි.

The land between the road and the gully widened; the gully grew shallower. Beyond it Mr. Biswas saw the tall immortelles and their red and yellow flowers. And then the untrodden road blazed with the flowers. Mr. Biswas picked one up, put it between his lips, tasted the nectar, blew, and the bird-shaped flower whistled. Even as they stood flowers fell on them. Under the immortelles he saw the cocoa trees, stunted, their branches black and dry, the cocoa pods gleaming with all the colours between yellow and red and crimson and purple, not like things that had grown, but like varnished wax models stuck on to dead branches. Then there were orange trees, heavy with leaf and fruit. (Page 190)

නවකතා සහ සංචාරක සටහන් ඇතුළු වෙනත් කෘති තිහකට වඩා ලියලා තියෙන ලේඛක Naipaul ට 1990දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ උසස්ම සාහිත්‍ය සම්මානයත්, 2001 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. මේ තරම් කීර්තියක් ලැබුව Naipaul මුලදී තමන්ගේ ලේඛන ජීවිතයේ කොයි තරම් පසු බෑම් වලට ලක් වුණාද කියනවා නම් එයා A House for Mr. Biswas පොතේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් නැතිව ඒක සම්පූර්ණයෙන්ම ලීවේ පැන්සලෙන් ලු. 

A House for Mr. Biswas කෘතිය විසි වන ශතවර්ෂයේ පළ වුණු හොඳම නවකතා සීයට අයිති බව පිළිගත් කාරණාවක්. මේ කතාව Naipaul ගේ තාත්තාගේ ජීවිතය ඇසුරෙන් ලියවුණු එකක් බව ඔහු කියලා තියෙනවා. ඒ බව දැනගත්තාම මේ පොතේ මිස්ටර් බිස්වාස් ගේ එකම පුත්‍රයා වන ආනන්ද් ගේ මුරණ්ඩු කම්, දක්ෂකම්, මෝඩකම්, මුඛරිකම් ගැන ඔහු ලියලා තියෙන්නේ ස්වයං චරිතාපදානයක් හැටියට නේද කියලා අපට හිතෙන්න ගන්නවා. තමන්ගේත්, තාත්තාගේත් ජීවිතවල කටුක අත්දැකීම්, දුකත් සතුටත් තවරලා, අපේ ඇස් ඉස්සරහා මවලා දීලා අකුරු කළ V. S Naipaulගේ ලේඛන හැකියාව අති විශිෂ්ඨ බවට මේ පොත හොඳ සාක්කියක්. 


A House for Mr. Biswas (1961)
By V.S. Naipaul (1932-2018)
Published by André Deutsch

June 03, 2025

පැක්ල්ටයිඩ් මහත්මියගේ කොටියා


පැක්ල්ටයිඩ් මහත්මියට කොටියෙකු මැරීමට නොතිත් ආශාවක් තිබිණි. මේ ආශාව හදිසියේ ඇතිවූවක් නම් නොවේ. එමෙන්ම ඉන්දියාවේ ජන සංඛ්‍යාවෙන් මිලියනයකට එහි සිටින රුදු සතුන් ගණන අඩු කර ඈ එහි පැමිණෙද්දීට වඩා ඉන් පිටවෙද්දී එහි සුරක්ෂිත බව වැඩි කර තබා යන්නට ඇයට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. මේ අමුතු ආශාවට හේතු වූයේ ලූනා බිම්බර්ටන් මෑත දිනයක ඇල්ජීරියානු ගුවන් නියමුවෙකු සමඟ හැතැප්ම එකොළහක් ගුවන් යානයක ගමන් කර තිබීමත්, නොනවත්වාම ඒ ගැන විස්තර කීමත් ය. මෙවැනි උදම් ඇනීමක් යටපත් කළ හැකි වූයේ තමන්ම කොටියෙකු වෙඩි තැබීම, ඒ ගැන පුවත්පත්වල ඡායාරූප පල වීම සහ කොටි හමෙන් පලසක් ලබා ගැනීම වැනි කාරණා වලින් පමණක් බව පැක්ල්ටයිඩ් මහත්මිය දැන සිටියාය. තම කර්සන් වීදියේ නිවසේ ලූනා බිම්බර්ටන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරන අයුරුත්, එදින එහි සභාවේ කතාබහ කෙරෙද්දී බිම කොටි හම් පලස අතුරා තිබෙන අයුරුත් මේ වෙද්දී පැක්ල්ටයිඩ් මහත්මිය සිතෙන් මවාගෙන අවසන් ව තිබිණි. මීට අමතරව කොටියාගේ නිය පහුරින් හාරිච්චියක් නිර්මාණය කිරීමට මෝස්තරයක් ඈ දැනටමත් සිතා තිබුණු අතර එය ලූනා බිම්බර්ටන්ගේ ඊළඟ උපන්දිනයට තෑගි දීම ඇගේ අදහස විය. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවීම් තීරණය වූයේ කුසගින්නත්, ප්‍රේමයත් මත වූවත් පැක්ල්ටයිඩ් මහත්මියගේ ලෝකයේ නම් ඇගේ ක්‍රියාවන් සහ අරමුණු මූලික වශයෙන් තීරණය වූයේ ලූනා බිම්බර්ටන් වෙත ඇගේ තිබුණු නොකැමැත්ත මතයි. 

පැක්ල්ටයිඩ් මහත්මියට වාසි වන අයුරින් සියලු දේ පෙළගැස්වෙන්නට විය. වැඩි මහන්සියක් හෝ අවදානමක් රහිතව කොටියෙකු වෙඩි තැබීමේ අවස්ථාව වෙනුවෙන් ඈ රුපියල් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබිණි. වයස්ගත වීම නිසා ඇතිවූ දුර්වලකම් හේතුකොටගෙන වන සතුන් දඩයම් කිරීම නවතා අවට ගම්මානවල නිවෙස්හි ඇතිකරන සතුන් දඩයම් කිරීමට තෝරාගෙන තිබුණු කොටියෙකු ගැන ආරංචියක් ලැබුණේ මේ වකවානුවේදී ය. රුපියල් දහසක් ලැබීමේ පොරොන්දුව නිසා ඒ ගම්වැසියන්ගේ වාණිජමය සහ ක්‍රීඩාකාරී සහජාශය පිබිදී තිබිණි. මේ නිසා ඔවුන් දිවා රෑ නොබලා වනයේ මායිම් හි ගැමි දරුවන් රැඳවූයේ කොටියා තම ගොදුරු බිමින් ඈතට යාම වැළක්වීමටයි. මීට අමතරව මිළෙන් අඩු එළුවන් නොපරීක්ෂාකාරී ලෙසින් තැන තැන රඳවා තිබුණේ කොටියා ව තවදුරටත් ගම්මානය වෙතට ආකර්ෂණය කර ගැනීමේ අදහසිනි. නගරයේ නෝනා ගේ කොටි දඩයම් දිනයට පෙර වයෝවෘද්ධ බව නිසාම කොටියා මිය යයිද යන්න ගම්වැසියන්ගේ එකම ගැටලුව විය. ගැමි ගැහැනුන් කුඹුරු වැඩ කිරීමෙන් පසු කැලය මැද්දෙන් තම බිළිඳුන් වඩාගෙන ගමන් කරද්දී ගී ගැයීම නැවත්වූයේ ගරු කටයුතු ගව පට්ටි පහරන්නාගේ නින්ද කැඩේවි යන බියෙනි. 

අන්තිමේදී වැදගත් දවස උදා විය. එය සඳ එළිය දිලිසුණු, වළාකුළු රහිත දිනයක් විය. ගසක් මත තැනූ වේදිකාවක පැක්ල්ටයිඩ් මහත්මියත් ඇගේ පඩි ලබන සේවිකාවක් වන මෙබින් මෙනෙවියත් උක්කුටිකව වාඩි වී සිටියෝය. නියමිත දුරකින් වූ ගසක බැඳ තිබුණු එළුවා උපතින්ම තියුණු හඬක් හිමි වූ එකෙකු වූ අතර උගේ හඬ නිහඬ රාත්‍රියක තරමක් බිහිරි කොටියෙකුට වුව ඇහෙන මට්ටමේ විය. දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්නිය රයිෆලයක් සහ කාලය ගත කිරීමට කාඩ් කුට්ටමක් අතැතිව දඩයම පැමිණෙන තුරු බලා සිටියාය. 

“අපිට මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්ද?” මෙබින් මෙනෙවිය විමසුවාය.

ඇත්ත වශයෙන්ම ඈ තුළ වන සත්ත්වයා ගැන බියක් නොතිබුණු අතර ඇයට මාරාන්තික බියක් තිබුණේ තමන්ට ගෙවන ලද ගාස්තුවට වඩා ක්ෂුද්‍ර හෝ සේවාවක් සැපයීම ගැනයි. 

“පිස්සුද?” පැක්ල්ටයිඩ් මහත්මිය පිළිතුරු දුන්නාය. “මේ හොඳටම වයසක කොටියෙක්. ඌට උවමනා උනත් මේ තරම් උසකට පැනගන්න බැරිවෙයි.”

“කොටියා වයසයි නම් ඔයිට ලාබෙට ඔය වැඩේ කරගන්න තිබුණා කියලා මට හිතෙනවා. රුපියල් දාහක් කියන්නේ ලොකු ගාණක්නේ.”

කවර රටක කොයි වර්ගයක මුදලක් ගැනත් ලුවීසා මෙබින් දැක්වූයේ පරීක්ෂාකාරී ආකල්පයකි. ඇගේ උනන්දු සහගත මැදිහත් වීම නිසා මොස්කව් නගරයේ හෝටල් වලදී සන්තෝසම් ලෙස රූබල් අතුරුදන් වීම වැළකුණු අතර, ප්‍රංශයේදී අනුකම්පා විරහිත ඩැහැගැනීම් වලින් බේරෙන්නට ෆ්‍රෑන්ක් නෝට්ටු ඇගේ අතේ එල්ලිණි. කොටියා වෙනුවෙන් ගෙවිය යුතු වෙළඳපොල මිල ගැන ඇගේ ගණනය කිරීම් හදිසියේ නැවතුණේ අදාළ සත්ත්වයා හදිසියේම පෙනී සිටි බැවිනි. ගැට ගසා තිබුණු එළුවා දුටු සැණින් කොටියා බිමට පහත් වනු පෙනිණි. ඌ මෙසේ කළේ මුවා වීමේ අරමුණකට වඩා කඩා පනින්නට පෙර විවේකයක් ගැනීමේ අරමුණින සේ විය.

“මම හිතන්නේ ඌ අසනීපෙන්’ ලුවීසා මෙබින් හින්දි බසින් හඬ නඟා කීවේ යාබද ගසක උන් ගම්මුලාදෑනියාට ඇසෙන්නයි. 

“ෂ් ෂ් ..” පැක්ල්ටයිඩ් මහත්මිය කීවාය. මේ මොහොතේ ම කොටියා හෙමි හෙමින් ගොදුර වෙත කිට්ටු වන්නට විය. 

“දැන්!.. දැන්!” මෙබින් මහත්මිය උද්යෝගයෙන් කෑ ගැසුවාය. “කොටියා එළුවාගේ ඇඟට පැනලා නැත්නම් අපි එළුවා වෙනුවෙන් ගෙවන්න ඕන නැහැ.” (ඇම සඳහා අයකිරීම වෙනම සිදුවිය.)

රයිෆලය මහා හඬක් නඟමින් පත්තු වූ අතර කොටියා පසෙකට පැන මරණයේ නිසොල්මන් බව පාමින් බිම වැතිරුණි. මොහොතින් උද්යෝගිමත් ගම් වැසියන් එහි රොක් වූ අතර ඔවුන්ගේ කෑ ගැසීම් වලින් මේ සතුටු ආරංචිය ගම්මානයට සැළ වී, එහි බෙර හඬ නැඟෙන්නත්, ප්‍රීති ඝෝෂා ඇසෙන්නත් විය. කර්සන් වීදියේ නිවසේ සැලසුම් කළ සාදය සැබෑ වෙමින් තිබුණු නිසා මේ ජය හඬ පැක්ල්ටයිඩ් මහත්මියගේ සිත තුළ ද දෝංකාර දෙන්නට විය. 

එළුවා වෙඩිල්ලක් වැදීම නිසා මාරාන්තික තුවාල ලබා සිටි බව මුලින්ම දුටුවේ ලුවීසා මෙබින් ය. කොටියාගේ සිරුරේ රයිෆලය සිදු කළ කිසිම හපන්කමක් දක්නට තිබුණේ නැත. වෙඩිල්ල වැදී තිබුණේ වැරදි සතාට බවත්, වයස්ගත කොටියා මිය ගියේ වෙඩි හඬ නිසා ඇතිවූ හෘදයාබධයකින් බවත් අවසානයේදී නිගමනය විය. මේ සොයාගැනීමෙන් පැක්ල්ටයිඩ් මහත්මියට යම් නොරිස්සීමක් ඇති වූවද ඈ මියගිය කොටියාගේ අයිතිකාරිය නිසාත්, රුපියල් දහස ලබාගැනීමට ගම්වැසියන් විශාල උනන්දුවක් දැක්වූ නිසාත්, ඈ විසින් කොටියා ව වෙඩි තබා මරණ ලද බව ප්‍රසිද්ධ කරන්නට එකඟතාවයක් ඇති විය. මෙබින් මෙනවිය වැටුප් ලබන සේවිකාවක් පමණක් වූ බැවින් ඈ ගැන වධ වීමක් සිදු වූයේ නැත. අවසානයේදී පැක්ල්ටයිඩ් මහත්මිය ප්‍රීතිමත් මුහුණින් කැමරාවට මුහුණ දුන් අතර ඇගේ සේයාරූ ටෙක්සාස් සිට රුසියාව දක්වා පරාසයක පුවත්පත්වල පළ විය. ලූනා බිම්බර්ටන් නම් දෙසතියක්ම ගත වන තුරු පුවත් පතක් දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ අතර කොටියාගේ නිය පහුරින් තැනූ හාරිච්චිය තෑගි ලැබූ විට ඊට ස්තූති කර පිළිතුරු යැව්වේ මැඩගත් ආවේගයෙනි. 

කොටි හමෙන් තැනු පලස කර්සන් වීදියේ නිවසේ සිට පළාතේ ප්‍රභූ මන්දිරය වෙත ගමන් කර ප්‍රභූවරුන් ගේ ප්‍රශංසාවට ලක් විය. මේ නිසා මන්දිරයේ පැවැත්වූ බාල් නැටුම වෙනුවෙන් පැක්ල්ටයිඩ් මහත්මිය දඩයමට අධිපති ඩයනා දෙවඟන ලෙස සැරසී යාම ඉතා ගැලපෙන බව පිළිගැනිණි. ඇගේ මිතුරෙකු වන ක්ලොවිස් යෝජනා කළ ලෙස ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ හැම කෙනෙකුම තමන් මෑතක දඩයම් කළ සතෙකුගේ ලොමින් සෑදුණු ඇඳුමක් ඇඳගෙන බාල් නැටුමට යාම නම් ඈ ප්‍රතික්ෂේප කළා ය. 

“එහෙම කළොත් හැබැයි මට නම් අත දරුවෙක් වගේ තමයි ඇඳගෙන යන්න වෙන්නේ,” ක්ලොවිස් පාපොච්චාරණය කළේය. “මොකද මට අඳින්න වෙන්නේ ළඟදී දඩයම් කළ හාවෙක්ගේ දෙන්නෙක්ගේ ලොමින් හැදුව පොඩි ඇඳුමක්.”

“ඇත්තටම සිද්ධ වුණු දේ දැනගත්තොත් නම් හැමෝම හරි විනෝදයට පත් වේවි නේද?” බාල් නැටුමට දින කීපයකට පසු ලුවීසා මෙබින් කීවාය.

“ඒ කියන්නේ මොකක්ද?” පැක්ල්ටයිඩ් මහත්මිය ඉක්මණින් ඇසුවාය.

“නෑ ඉතින්, ඔයා එළුවා ට වෙඩි තියලා ඒකට බය වෙලා කොටියා මළා කියලා,” මෙබින් මෙනවිය කීවේ ප්‍රසන්න සිනාවකිනි.

“දැනගත්තත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.” පැක්ල්ටයිඩ් මහත්මිය කියද්දී ඇගේ මුහුණේ පැහැය වෙනස් විය.

“ලූනා බිම්බර්ටන් නම් විශ්වාස කරයි,” මෙබින් මෙනවිය කීවාය.

එය අසා පැක්ල්ටයිඩ් මහත්මියගේ මුව කොළ පැහැය මුසු සුදුමැලි පාටක් විය. 

“ඔයා මගේ රහස එළි කරන්නේ නැහැනේ?” ඈ ඇසුවාය.

“ඩොර්කින්ග් කිට්ටුව මම සල්ලිවලට ගන්න කැමත්තක් තියෙන පොඩි බංගලාවක් තියෙනවා,” මාතෘකාවට අදාළ නැතිව මෙබින් මෙනවිය කියවාගෙන ගියාය. “හයසිය පනහක් දුන්නාම නිරවුල් අයිතිය ලැබෙනවා, සෑහෙන්න ලාබයි. එකම ප්‍රශ්නේ මගේ අතේ සල්ලි නැති එක.” 

----------------------

ලුවිසා මෙබින් ගේ අලංකාර බංගලාවට ඈ දුන් නම ‘වන සත්ත්ව පියස’යි. ගිම්හාන කාලයේදී එහි ගෙඋයනේ ටයිගර්-ලිලී මල් පිපී අලංකාර ව දිස් වෙද්දී ඊට ඇගේ මිතුරු මිතුරියන්ගේ විශ්මය ත් ප්‍රශංසාවත් හිමිවිය. 

“ලුවීසා කොහොම මේවා කරගන්නවාද මන්දා,” පොදු මතය එය විය. 

පැක්ල්ටයිඩ් මහත්මිය නම් නැවත සත්ත්ව දඩයමේ ගියේ නැත. 

“ඒකට යන අමතර වියදම් වැඩියි,” ඒ ගැන විමසන මිතුරියන්ට ඈ පිළිතුරු දුන්නාය.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Mrs Packletide’s Tiger’ by Saki 

සිසිල සඟරාව - ජුනි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

May 30, 2025

මිලේනා!


මිලේනා, ඔබට කෝටියක් දෙනා ආදරය කළේ නම් මම ඒ පිරිස අතර එක් අයෙක් වෙමි. ඔබට ආදරය කරන්නන් ඇත්තේ එක් අයෙකු පමණක් නම් ඒ මම වෙමි. එහෙත් ඔබට ආදරය කරන්නන් කිසිවෙකු නොමැති නම් ඒ මා මියගොස් ඇති නිසා බව ඔබට වැටහෙනු ඇත. 

Franz Kafka, Letters to Milena

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

sketch- coloured pencils on paper


May 27, 2025

නෝනා පෝසත් ද?


“නෝනා කඩදාසි තියෙනවද?” 

ගෙදර ඉස්සරහ දොර ළඟ කුඩා දරු දෙදෙනෙක් මුවා වෙලා උන්නා. මට පෙනුණු හැටියට නම් එයාලා ඇඳගෙන හිටියේ තමන්ගේ තරමට වඩා සෑහෙන්න ලොකු කබා දෙකක්.. 

ඒ මම කාර්යබහුල වෙලාවක්. මට උවමනා වුණේ මෙයාලාගේ ප්‍රශ්නෙට ‘නැහැ’ කියලා උත්තර දෙන්න. ඒත් අහම්බෙන් වගේ මම මේ දෙන්නාගේ කකුල් දිහා බැලුවා. එයාලා දාගෙන හිටියේ බොහොම තුනී පටි සපත්තු. එළියේ වැටුණු හිම වැස්සෙන් ඒවා තෙතබත් වෙලා තිබුණා. 

“ගෙට එන්න, මම රස්නෙට කොකෝවා කෝප්ප දෙකක් හදලා දෙන්නම්.”

එයාලා ඇතුලට ආවේ නිහඬවමයි. ගිනි උදුන ළඟ අර තුනී සපත්තු කුට්ටම් දෙක ගලවලා තියද්දි එතැන තෙත පැල්ලමක් ඇඳුනා. 

එළියේ සීතල මැකෙන්නත් එක්ක මම එයාලට ජෑම් ගෑව ටෝස්ට් කළ පානුත්, රස්නෙට බොන්න කොකෝවාත් දුන්නා. ඉන්පස්සේ මම ආපිට කුස්සියට ගියේ ගෙදර වියහියදම් සටහන් කරන වැඩේ ඉවර කරන්න.

ටික වෙලාවකින් සාලය පැත්තේ පැතිරුණු නිහඬ බව නිසා මම ආයෙත් එබිකම් කරලා බැලුවා. 

දැරිය හිටියේ හිස් කෝප්පය අතේ තියාගෙන ඒ දිහා බලාගෙන. 

“නෝනා ඔයා පෝසත් ද?” පිරිමි දරුවා මගෙන් ඇහුවේ හැඟීමක් නැති කටහඬකින්.

“පෝසත්? දෙයියනේ නැහැ!” එහෙම කියලා වටපිට බලද්දී මට පෙනුණේ සාලේ පුටුවලට දාලා තිබුණු පරණ, පාට මැකුණු පුටු කවර. 

දැරිය බොහොම පරෙස්සමෙන් කෝප්පය පීරිසිය උඩින් තිබ්බා

“ඒත් ඔයාගේ කෝප්පයි පීරිසියි එකට ගැලපෙනවානේ.”

ඇගේ කටහඬේ තිබුණේ කෑමෙන් නිවන්න බැරි කුසගින්නක ලකුණු. 

ඒ දෙන්නා ටික වෙලාවකින් යන්න ගියේ සීතල හුළඟට මුවා වෙන්න තමන්ගේ කඩදාසි මිටි ඉහළට අල්ලාගෙන. එයාලා මට ස්තූතියි කිව්වේ නැහැ, එහෙම කියන්න උවමනා උනෙත් නැහැ. එයාලා ඊට වැඩිය වටිනා දෙයක් ඉතුරු කරලා ගිහින් තිබුණා. 

ඒ තනි නිල් පාට පීරිසි කෝප්ප කුට්ටම්- බාල වර්ගයක ඒවා. ඒත් ඇත්තටම ඒ කෝප්ප පීරිසි වලට ගැලපුණා. මම ආපිට ඇවිත් ලිප උඩ පැහෙමින් තිබුණු අල සාස්පාන හැඳි ගෑවා. රෑ කෑමට අලත් මස් හොදි ත්, අපේ ඉහට උඩින් වහලක්, ස්ථිර රස්සාවක් කරන සැමියෙක් - ඇත්තටම ඒ හැමදේම ත් ගැලපුණා. 

උදුන ළඟ තිබුණු පුටු ඉවත් කරලා මම සාලය අස් කළා. යන්න ගිය දරුවන් දෙන්නාගේ තුනී සපත්තු වලින් ඉතුරුවුණු තෙත පැල්ලම තාමත් උදුන ළඟ බිම. ඒ පැල්ලම මම එහෙමම තියෙන්න ඉඩ ඇරියේ මගේ පෝසත්කම ගැන අමතක වේවි කියලා බයට. 

Translation of the story ‘Lady are you Rich?’ by Marion Doolan 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

AI generated image


May 17, 2025

එක්තරා වර්ගයක උමතුවක් අගය කිරීමකි



මගේ අත්තම්මා සතුව තිබුණේ 
සිහිකල්පනාවෙන් අඩක් පමණි.
ඉතිරි අඩ බොහීමියාවට ආපිට ඉගිල ගොසිණි   

සීතල සැන්දෑවරුවල 
නිවසේ පිල මත 
ඈ පත්තර පිටු අතුරන්නීය 
ඒ, ගෙවත්තේ කුහුඹුවන්ට
එහි යටට රිංගා 
බ්ලැන්කට්ටුවක් යටදී මෙන් 
උණුසුම් වීම පිණිසයි 

කාලයේ අකුණු සර වැදුණු පසු,
ඉතිරි වී ඇති සිහියෙන් 
මටත් 
ඈ වැනිම වන්නට ඇත්නම්
ඒ තරමටම ආදරණීය වන්නට හැකිනම් ,
ඒ මගේ පැතුමයි 

Translation of the poem 'In Praise of Craziness, of a Certain Kind'
by Mary Oliver 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital Art


May 09, 2025

Whereabouts- Jhumpa Lahiri


ජීවිතය හරහා ගමන් කරද්දී අප ගැටී, නොගැටී, බැඳී, නොබැඳී පසුකරන මං සලකුණු කෙතරම් ද? නැවතී කල්පනා කළොත් ඒ හැම නිමේෂයක්ම කතන්දරයක් බව ඔබට වැටහෙනු ඇත. ඒ කතන්දර අකුරු කර, එකට පෙළගස්වා පොතක් බවට හරවා ඇති අවස්ථාවක් සිතේ මවාගන්න. Jhumpa Lahiri ගේ Whereabouts පොත ගැන කළ හැකි සරල ම විස්තරය එයයි.

නමක් නැති කතානයිකාවක් විසින්, නමක් නැති නගරයක තනිව සරද්දී ඈ දකින දේ, මුණගැසෙන අය සහ ඒ ඇසුරෙන් සිහිවෙන හා වටහාගන්නා දේ මේ කුඩා නවකතාවට ප්‍රස්තුත වේ. ‘පොත් සාප්පුවේදී’, ‘මහමඟ දී’, ‘රූපලාවන්‍යාගාරයේදී’ යනුවෙන් කුඩා කොටස් වලට බෙදා ලේඛිකාව අපට මේ හැම මොහොතක සේයා රූ වැනි නිමේෂයන් ඉදිරිපත් කරන්නීය. 

‘The city doesn’t beckon or lend me a shoulder today. Maybe it knows I am about to leave’
-Upon Waking


‘We stop in the middle and look at the wall that flanks the river, and the shadows of pedestrians cast on its surface. They look like skittish ghosts advancing in a row, obedient souls passing from one realm to another. The bridge is flat and yet it’s as if the figures- vaporous shapes against the solid wall- are walking uphill, always climbing. They are like inmates who proceed, silently, towards a dreadful end.’
-On the Street

Jhumpa Lahiri බෙංගාලි සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව 1967දී ලන්ඩනයේදී උපන්නියකි. ඈ කුඩා කාලයේදීම ඔවුන් ඇමෙරිකාවේ පදිංචි වූ අතර ඈ හැදී වැඩුණේ එහි ය. පසු කාලීන ව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳව ආචාර්ය උපාධියක් හැදෑරූ ඈ බොස්ටන් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය පිලිබඳ ව මහාචාර්ය ධූරයක් හෙබවූවා ය. 1999 දී පළ වූ Lahiri ගේ පළමු කෙටිකතා සංග්‍රහය වන Interpreter of Maladies කෘතියට පුලිට්සර් සම්මානයත්, හෙමිංවේ සම්මානයත් හිමිවිය. ඉනික්බිති ඈ ලියූ The Namesake, Unaccustomed Earth, The Lowland වැනි අනෙත් පොත්වලටත් විවිධ සම්මාන හිමි වූ අතර ඇතැම් නවකතා චිත්‍රපටි බවට ද හැරවිණි. ඉහත කී හැම කෘතියකින්ම Lahiri ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ ජීවිත සියුම් ව ගවේෂණය කිරීමත් විශේෂත්වයකි. 

පිටු 147ක කුඩා පොතක් වන Whereabouts නවකතාවේදී, පරිච්ඡේද 42ක් ඔස්සේ Lahiri අප ව විවිධ ගමනාන්ත වෙත රැගෙන යන්නීය. ඈ කියන්නේ කුඩා කතන්දර ද, ගද්‍ය කාව්‍ය ද කියා සිතෙන තරමට ඒවා අමුතු දුක්මුසු ලාලිත්‍යයකින් හෙබි ය. ඒ හැම පරිච්ඡේදයක් ම නවකතාවක නිර්මාණ සැලැස්මක කොටසක් නියෝජනය කරනු වෙනුවට සිතියමක අඳින ලද ගමන් සලකුණු ලෙස නිර්වචනය කළ හැක. 

Whereabouts නවකතාවේ අනෙත් සුවිශේෂත්වය නම් Lahiri එය ප්‍රථමයෙන් රචනා කළේ ඉතාලි බසින් වීමයි. තම සැමියා හා දරු දෙදෙනා සමඟ ඉතාලියේ පදිංචි වීමෙන් අනතුරුව ඉතාලි බසින් නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත් ඈ එතෙක් හුරු පුරුදු ව තිබුණු බෙංගාලි සහ ඉංග්‍රීසි භාෂාවන්ට වඩා ඒ බසට පෙම් කරන්නට ගත් බව පවසන්නීය. එහි සුමට, සුනම්‍ය බව තමන්ට ලගන්නා සුළු නිර්මාණ බිහි කිරීමට හේතු වන බව ඈ විශ්වාස කළා ය. Dove mi trovo නමින් ඈ ලියූ පළමු ඉතාලි නවකතාව, පසු කාලීනව ඇය විසින්ම ඉංග්‍රීසි බසට හරවා Whereabouts නමින් ප්‍රකාශයට පත් වූයේ මෙලෙසයි. 

‘Solitude: it's become my trade. As it requires a certain discipline, it's a condition I try to perfect. And yet it plagues me, it weighs on me in spite of my knowing it so well.’
-In My Head

Lahiri ගේ කෘතිවල ඉංග්‍රීසි බස ඉතා පොහොසත් ය. එමෙන්ම සමස්ත නිර්මාණයේ සරල බවත්, පාඨකයා ගේ අවධානය ග්‍රහණය කරගනීමේ ගුණයත්, එහි විචිත්‍ර බව තවත් ඔපවත් කරයි.

‘Every blow in my life took place in spring. Each lasting sting. That’s why I’m afflicted by the green of the trees, the first peaches in the market, the light flowing skirts that the women in my neighborhood start to wear. These remind me only of loss, of betrayal, of disappointment. I dislike waking up and feeling inevitably pushed forward.’
-In Spring

තමන්ට හුරු බසින් නිර්මාණකරණයේ පර තෙරට ගිය පසු නුහුරු බසක් මුල සිට උගෙන එවැනිම හාස්කම් දක්වන Lahiri ගේ එඩිතර බව මම ප්‍රිය කරමි. වෙනත් රටක සම්භවයක් ඇති කෙනෙකු සමාජයක මුහුණදෙන කුඩා සමාජයීය, සංස්කෘතික අතරමං වීම් වල අහු මුළු ඈ විස්තර කරන සුන්දර බව මා සිත් ගනී. ඉතින් Jhumpa Lahiri මා ප්‍රිය කරන ලේඛිකාවක් වන්නේ එබැවිනි. Whereabouts නවකතාව මේ බැඳීම තවත් තර කළ බව මට දැනේ. 

Whereabouts (2021)- Jhumpa Lahiri
Bloomsbury Publishing

May 01, 2025

බැංකුව බංකොලොත්



සෙත් ගෝවින්ද් රාම් ට අයත් පිපාල්නගර් බැංකුවේ පඩිපෙළ අතුගාමින් උන් නාතු තමන්ටම මොනවාදෝ මුමුණමින් සිටියේය. ඔහු තම කුඩා කොස්ස ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් එහා මෙහා ගෙන යද්දී විසිරුණු දූවිල්ල, වළාකුලක් සේ ඉහළ නැඟී නැවතත් පඩි පෙළ මත පතිත විය. නාතු කුණු ඉවත් කරන තැටිය කුණු කූඩය මත වැරෙන් හඬවද්දී රෙදි අපුල්ලන්නාගේ පුත්‍රයා වන සීතාරාම් එතැනින් ගමන් කළේය. 

සීතාරාම් ගේ හිස මත අලුතින් අපුල්ලන ලද රෙදි සහිත පොට්ටනියක් විය. ඔහු යමින් සිටියේ ඒවා බෙදා හැරීමටයි.

“ඔච්චර දූවිලි අවුස්සන්න එපා බං!” ඔහු නාතු ට හඬගා කීවේය. “උඹ ඉල්ලුව විදිහට මෙයාලා පඩිය මාසෙකට රුපියල් දෙකකින් වැඩි නොකළ නිසා නිසා උඹ තාම කෙන්තියෙන්ද ඉන්නේ?”

“මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න,” අතුගාමින් සිටි ගැටවරයා කීවේය. “ඒක තියා මගේ මාසේ පඩිය වත් ලැබුණේ නැහැ. දැන් මාසේ විසිවෙනිදාත් වෙලා. කවුද හිතන්නේ බැංකුවක් මේ විදිහට දුප්පත් මිනිහෙක්ගේ පඩිය නොගෙවා තියාගෙන ඉඳීවී කියලා? මගේ පඩිය හම්බවුණ ගමන් මම නම් මෙතන තව සතියක් වත් වැඩකරන්නේ නැහැ, අස්වෙලා යනවා යන්න.”

නාතු මෙසේ කියමින් නැවතත් තම අත වූ තැටියෙන් වැරෙන් කුණු බාල්දියට තඩි බාන්නට වූයේ තමන් කී කරුණ ඔප්පු කිරීමටත් තම ආත්ම විශ්වාසය වැඩි කරගැනීමටත් මෙනි.

“උඹේ වැඩේ හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා” සීතාරාම් කීවේය. “මාත් බලන්නම්කෝ උඹට ගැලපෙන රස්සාවක් තියේද කියලා.” ඇපිල්ලූ රෙදි පොට්ටනියෙන් හිසත් උරයත් අඩක් පමණ වැසී ගොස් තිබුණු ඒ තරුණයා, නිරුවත් දෙපයින් යන්නට ගියේය. 

සීතාරම් ගිය හතරවෙනි නිවසේදී එහි ගෙහිමි කාන්තාව ගෙවත්ත අතුගාන්නට කොලුවෙකු සොයන බව ඔහුට අසන්නට ලැබිණි. ඔහු තම පොට්ටනිය ගැටගසමින් මෙසේ කීවේය. 

“මම දන්න කොල්ලෙක් ඉන්නවා අතුගාන වැඩේ කරන, ඌ මේ දවස්වල රස්සාවක් හොයනවා. ලබන මාසේ ඉඳන් වැඩ පටන්ගන්න පුළුවන්. දැනට ඒකා වැඩකරන්නේ බැංකුවේ, ඒත් එහෙ හරියට පඩි ගෙවන්නේ නැහැලු, ඒ නිසායි අයින් වෙන්න හදන්නේ.”

“හැබෑට?” ශ්‍රීවස්තා මැතිණිය කීවාය. “හෙට ඇවිත් මාව හම්බවෙන්න කියපන්කො.”

තම සේවාදායකයාට මෙන්ම මිතුරාට සේවයක් කිරීමට ඉඩ ලැබීම ගැන සතුටින් සීතාරාම් යන්නට ගියේය. 

ශ්‍රීවස්තා මහත්මියට වෙළඳපලට යාමට අවශ්‍යතාවයක් තිබිණි. බිළිඳා බලාගැනීම ගැන ආයාට උපදෙස් දුන් ඈ දිවා ආහාරය ඉක්මණින් සූදානම් කරන්නැයි කෝකියාට අණ කළා ය. ඉනික්බිති ඈ පිපාල්නගර් වෙළඳපොල වෙත ගියේ සුපුරුදු ලෙස එහි රෙදි කඩ වල සැරිසැරීමට ය. 

කඩ වීදියේ එක කෙළවරක වූ විශාල සියඹලා ගස නිසා ඒ පෙදෙසම සෙවන වී තිබිණි. ශ්‍රීවස්තා මහත්මියට තම මිතුරිය වූ භූෂන් මහත්මිය ව මුණගැසුණේ ඈ මේ සෙවනේ ගිමන් හරිමින් සිටිද්දීය.භූෂන් මහත්මිය විශාල ලේන්සුවකින් පවන් ගසමින් සිටියාය. මේ ගෙවෙන්නේ පිපාල්නගර් ඉතිහාසයේ රස්නයෙන් වැඩිම ගිම්හාන කාලය බව ඈ සපථ කළාය. ඉනික්බිති ඈ ශ්‍රීවස්තා මහත්මියට තමන් මිළදීගැනීමට බලාපොරොත්තුවන රෙදි වර්ගයේ සාම්පලයක් පෙන්වූවා ය. විනාඩි පහක් තිස්සේ ඒ දෙදෙනා ඒ රෙද්දේ පාට, මෝස්තරය සහ වියමන ගැන කතා කළහ. ඒ මාතෘකාව අවසන් වූ පසු ශ්‍රීවස්තා මහත්මිය මෙසේ කීවාය. 

“දන්නවද මෙයා, සෙත් ගෝවින්ද් රාම්ගේ බැංකුවට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැහැලු. බැංකුව අතුගාන කොල්ලාට මාසෙකින් පඩි ගෙවලා නැහැ කියලා අද උදේ මට අහන්න ලැබුණා!”

“දෙයියනේ!” භූෂන් මහත්මිය පුදුම වූවාය. “අතුගාන කොල්ලාට ගෙවාගන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක් ඇති. එකත් එකටම අනෙත් සේවකයන්ට ගෙවන්නෙත් නැතිව ඇති.”

ඈ සියඹලා ගස සෙවනේ ශ්‍රීවස්තා මහත්මියව තනි කර තම සැමියා සොයා ගියා ය. ඔහු සිටියේ කමල් කිෂෝර් ගේ ඡායාරූප සාප්පුව ඉදිරියේ අසුන්ගෙන එහි හිමිකරු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 

“කොහෙද අනේ ගියේ?” භූෂන් මහත්මිය නෝක්කාඩු කීවාය. “මම පැයක විතර තිස්සේ ඔයාව හොයනවා!”

“කොහේ යන්නද?” භූෂන් මහතා කීවේය. “ඔයා එක කඩේක හිටියා නම් මට ඔයාව හොයාගන්න තිබුණා. ඒත් කොහෙද ඔයා මලෙන් මලට යන මී මැස්සියෙක් වගේ කඩෙන් කඩේට යනවානේ.”

“කියවන්න එපා අනේ, මේ රස්නේ නිසා තියෙන කරදර හොඳටම ඇති. පිපාල්නගර් වලට මොනවා වේගෙන එනවාද මන්දා, අන්න බැංකුවත් බංකොලොත් වෙන්න යනවාලු.”

මෙය ඇසු කමල් කිශෝර් වහා වහා මේ කතාව වෙත අවධානය යොමු කළේ ය. “ඒ මොන බැංකුවද?” 

“පිපාල්නගර් බැංකුව ඇර වෙන මොකක්ද? දැන් ඒකෙ සේවකයන්ටත් පඩි ගෙවන්නේ නැහැ කියලා ආරංචියි. මොකද? මට කියන්න එපා කිශෝර් මහත්තයාටත් ඒකෙ ගිණුමක් තියෙනවා කියලා!”

“මට නම් නෑ, ඒත් මගේ අසල්වැසියාට ගිණුමක් තියෙනවා!” ඉනික්බිති ඔහු අසල ඇති ලැටිස් වැටෙන් ඔබ්බෙහි සිටි කරණවෑමියා ඇමතුවේය. 

“දීප්චන්ද් ආරංචිද? අන්න පිපාල්නගර් බැංකුව බංකොලොත් වෙන්න ලු යන්නේ. පුළුවන් තරම් ඉක්මණින් තමුසෙගෙ සල්ලි ටික ගන්නවා!”

මෙය අසා කලබල වූ දීප්චන්ද් ගේ අත ලෙස්සා ගිය අතර ඒ මොහොතේ ඔහු හිසකෙස් කපමින් උන් වයස්ගත මහත්මයාගේ කණ මඳක් තුවාල විය. වේදනාවෙන් සහ ඒ මොහොතේ ඇසුණු පුවතෙහි කම්පනයෙන් කෑ ගැසූ ඒ මහතා අඩක් බාන ලද රැවුලින් යුතුව පාර පැන සිල්ලර භාණ්ඩ වෙළඳසැල වෙත දිව ගියේ එහි දුරකතනයක් වූ බැවිණි. ඉනික්බිති ඔහු වහා වහා සෙත් ගෝවින්ද් රාම් ගේ අංකය ඇමතුවේය. නමුත් ඒ මොහොතේ සෙත් නිවසේ නොසිටි අතර ඔහු කාශ්මීරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව කියැවිණි. වයස්ගත මහත්මයා මේ කතාව විශ්වාස කළේ නැත. ඔහු ඉක්මන් ගමනින් බාබර් සාප්පුව වෙත නැවත ගොස් දීප්චන්ද් ට මෙසේ කීවේය. 

“අන්න කුරුල්ලා පියාඹලා! සෙත් ගෝවින්ද් රාම් ගම රට දාලා ගිහින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් බැංකුව කඩා වැටෙනවා.” මෙසේ කී ඔහු ඉක්මණින් තම කාර්යාලය වෙත ගියේ තම චෙක්පොත ගැනීමටයි. 

මේ පුවත කඩ වීදිය ඔස්සේ පැතිරුණේ ලැව් ගින්නක වේගයෙනි. සිල්ලර බඩු කඩයේ ගැනුම්කරුවන් වෙත ඉගිලී ගිය එය ඉන්පසු බුලත් වෙළෙන්දා, ඇඳුම් මසන්නා, රන් බඩු තනන්නා සහ පදික වේදිකාවේ උන් හිඟන්නා දක්වා ද පැතිරිණි. 

 ගණපත් නම් මහලු හිඟන්නා කොර වූ පාදයක් සහිත වූවෙකි. වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ හිගමන් යැදි ඔහුව හැම දිනකම සවස් යාමයේදී එතැනින් ඉවතට ගෙන යනු ලැබුවේ යමෙකු විසින් වීල්බැරක්කයක් තබා තල්ලු කිරීමෙනි. ඔහු කිසි දිනක ඇවිදිනු කිසිවෙකු දැක තිබුණේ නැත. නමුත් බැංකුව බංකොලොත් වන බවට ලද ආරංචිය නිසා එක්වරම ගණපත් හුන් තැනින් නැගිට බැංකුව වෙත දිව යනු දැක හැම දෙනෙක්ම පුදුමයෙන් පුදුමයට පත් වූහ. ඔහුගේ ඉතිරුම් ගිණුමේ රුපියල් දහසක්ම තිබුණු බව පසුව ආරංචි විය. 

මේ ඇතිවූ අර්බුදය ගැන වීදි කෙළවරවල එකතු වූ මිනිසුන් කණ්ඩායම් සාකච්ඡා කරන්නට විය. පිපාල්නගර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කිසි ව්‍යසනයක් සිදු වූයේ නැත. ඊට ගංවතුරක්, භූ චලනයක් හෝ නියඟයක් එළඹුණේ කලාතුරකිනි. මේ නිසා ළඟදීම සිදුවීමට නියමිත පිපාල්නගර් බැංකුවේ කඩාවැටීම ගැන හැම කෙනෙක්ම මහත් සේ කලබල වූහ. ඇතැම්හු කල් ඇතිව දුරදක්නා නුවණින් තම මුදල් ඉන් ඉවත් කර ගැනීම ගැන හෝ එහි මුදල් තැන්පත් නොකිරීම ගැන උදම් ඇනූහ. තවත් අය මේ කඩාවැටීමට හේතු විය හැකි හේතු කාරණා ගැන තර්ක කළහ. ඔවුන්ගේ අදහස වූයේ සෙත් ගෝවින්ද් රාම්ගේ අනවශ්‍ය වියදම් මීට හේතු වූ බවයි. එක් අයෙකු කීවේ ඔහු නිසැකවම ප්‍රාන්තය හැර ගොස් ඇති බව වූ අතර තවත් අයෙක් ඔහු රට ද හැර ගොස් ඇති බව විශ්වාස කළේය. ඔහු පිපාල්නගර්හි ම කොහේ හෝ සැඟවී වටින බව තෙවැන්නෙක් තර්ක කළේය. සිව්වැන්නා කීවේ ඔහු සියඹලා ගසේ අත්තක ගෙල වැල ලා ගෙන සිටිද්දී එදින උදෑසන අතුගාන කොලුවා විසින් ඔහුව සොයා ගත් බවයි.

එදින මධ්‍යහ්නය වෙද්දී ඒ කුඩා බැංකුව සතුව තිබුණු මුදල් සංචිත සියල්ල අවසන් වී තිබිණි. ගනුදෙනුකරුවන්ගේ හිරිහැරයට ලක්වූ බැංකු කළමනාකරු මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. හදිසි මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට නම් කිලෝමීටර් තිහකට එපිටින් වූ වෙනත් බැංකුවකින් ඉල්ලීමක් කළ යුතුය. නමුත් මේ රැස්ව සිටි පිරිසට එතෙක් ඉවසා සිටින්නට පෙරැත්ත කළ හැකිදැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. යාත්‍රාවක නැඟී කාශ්මීරයේ සංචාරයක යෙදෙමින් සිටි සෙත් ගෝවින්ද් රාම් සමඟ මේ ගැන සන්නිවේදනය කිරීමට ක්‍රමයක් තිබුණේ ද නැත. 

බැංකුවේ මුදල් ආපිට ගැනීමට පොදි කමින් සිටි මිනිසුන්ට, ඒ සඳහා පසු දින නැවත ඒමට දැනුම් දෙන ලදී. මේ ගැන මනාප නොවූ ඔව්හු එහි පඩිපෙළ මත රැස් කමින් කෑ ගසන්නට වූහ. “අපේ සල්ලි දීපල්ලා, නැත්නම් අපි බැංකුව කඩනවා” “සේප්පුවේ හැංගිලා ඉන්න සෙත් ව එළියට දාපල්ලා!” මෙවැනි වැකි දසත රැව් දෙන්නට විය. බැංකුවේ තැන්පතු ලෙස පයිසයක් වත් නොතිබුණු රස්තියාදුකරුවෝ මේ සෙනඟට එකතු වී ඔවුන්ව තවත් අවුළුවන්නට වූහ. බැංකුවේ දොරකඩ සිටගෙන සිටි කළමණාකරු රැස්ව සිටි පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේය. බැංකුව සතුව විශාල ධනයක් ඇති බවත්, මේ මොහොතේදී නැතත් ඉක්මණින් ම එය ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි බවත්, ඒ සඳහා පසු දින නැවත පැමිණෙන ලෙසත් ඔහු පැහැදිලි කළේ ය. 

“අපිට සල්ලි ඕන දැන්!” සෙනඟ අතරින් හඬක් මතු විය. “දැන්, දැන්, දැන්!” 

ඈත සිට එල්ල වූ ගඩොලකින් පිපාල්නගර් බැංකුවේ වීදුරු කවුළුවක් සුණු විසුණු විය. 

පසු දින උදෑසන බැංකුවේ පඩිපෙළ අතුගෑමට නාතු ආ විට වීදුරු කැබලි, ගල් මුල් සහ වෙනත් කසලින් එය හැඩි වී තිබිණි. කෝපයෙන් සහ පිළිකුලින් දෑත එසවූ ඔහු මෙසේ කෑ ගසන්නට විය. 

“දාමරිකයෝ, බූරු පැටව්! මට බැංකුවෙන් පඩි පරක්කු මදිවට දැන් වැඩත් වැඩි වෙලා!”

ඔහු කුණු විසුරුවමින් වේගයෙන් අතුගාන්නට විය. 

“සුබ උදෑසනක් නාතු” රෙදි අපුල්ලන්නාගේ පුතා තම බයිසිකලයෙන් බසිමින් කීවේය. “ලබන මාසේ ඉඳන් අලුත් රස්සාවකට යන්න උඹ ලෑස්ති ද? කොහොමත් දැන් බැංකුව බංකොලොත් නිසා උඹට අලුත් රස්සාවක් හොයාගන්නම වෙනවානේ.”

“ඒ කොහොමද?” නාතු ඇසුවේය. 

“ඇයි උඹට ආරංචි වුණේ නැද්ද? තව ටික වෙලාවකින් පිපාල්නගර් වලින් බාගයක්ම මෙතනට එයි එයාලගේ සල්ලි ගන්න, එතකොට උඹට බලාගන්න පුළුවන්.” තමන්ගේ නමින් බැංකු ගිණුමක් නොවූ බැවින් මෙසේ කියා සතුටින් ආචාර කළ තරුණයා, තම බයිසිකලයේ නැඟී යන්නට ගියේය. 

නාතු තමන්ටම මුමුණා ගනිමින් නැවතත් තම කාර්යයේ යෙදිණි. වැඩ අවසන් වූ පසු ඔහු ඉහළම පඩියේ වාඩි වී කළමණාකරු පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහුගේ අරමුණ වූයේ කෙසේ හෝ තම පඩිය ලබා ගැනීමයි. 

“බැංකුවක් මෙහෙම කඩා වැටෙයි කියලා කවුද හිතුවේ!” ඈත බලමින් කල්පනාවේ නිමග්නව ඔහු තමන්ටම කියා ගත්තේය. “කොහොමද දන්නේ නැහැ මේක වුණේ..”


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story ‘The Boy who Broke the Bank’ by Ruskin Bond


Picture generated by Canva AI

සිසිල සඟරාව - මැයි 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



April 21, 2025

පරිසරයේ සෙනෙහෙවත් බව කවියේ සෞන්දර්යයට නඟන මේරි ඔලිවර්



කවියක් යනු සියුම් ලෙස මිනිස් සන්තානය ස්පර්ශ කළ හැකි බලගතු මායා යෂ්ටියක් බැව් කව් රස විඳින්නෝ දනිති. මේවා අතුරින් පරිසරයෙන් උකහා ගත් සෞන්දර්යයද, නැණවත්කම්ද එකට කැටි කර ගෙන සරල භාෂාවෙන් ලියවුණු කවි අප ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මේරි ඔලිවර්ගේ ‘ඩිවෝශන්ස්’ කවි එකතුව මට නම් මෙවැනි රස පිරි ආකරයක් හා සමානය.

වර්ෂ 1935දී අමෙරිකාවේ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයේ උපන් මේරි ඔලිවර් කාව්‍යකරණයට පිවිස ඇත්තේ දාහතර වැනි වියේදීය. කටුක ළමාවියක් ගෙවා ඇති ඈ කවි ලිවීමට පෙලඹී ඇත්තේ සිය තනිකම දුරු කර ගැනීම සඳහාය. යොවුන් වයසේදී මෙන්ම පසුකාලීනවද මේරි ඔලිවර් තම කවි සඳහා නිමිති සපයා ගෙන ඇත්තේ අවට පරිසරයෙනි. තම නිවෙස අසල ඇවිදින්න යද්දී ඇස ගැටුණු ගහකොළ, පක්ෂීන්, පොකුණු සහ ඒවායේ නිවසන ජලජ සතුන්, තෘණ මල් ආදිය ඇයගේ හැම කවියකම පාහේ හිස ඔසවනු දක්නට හැකිය.

නිවෙසින් නික්ම
විවිධ දෑ බලන්න යමි

දකිමි,
දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බිය
ලිහිසි වේල් පටක් වැනි ඇයගේ බිත්තර
රන් පැහැති දාර ඇති දෑස

ඉහළට මතු වූ නෙලුම් මල් සහිත විල
තැන තැන රෝස පැහැ මල් ඉහිරුණු
එහි උණුසුම් ඉවුරු
සහ දීර්ඝ, නිශ්චල හවස් වරුව

බිමට වට සුදු වලාකුළක් වැනි
සුදු කෙකින්න
සෙමෙන් එක් අඩියක් තබා
මඳක් නැවතී
අනෙක තබන්නීය

බලා සිටිමි
නිසල දිය මත
තමන්ගේම මෘදු පා සටහන් කවිය
ලියන අයුරු
(‘සමර් පොයම්’)

‘ඩිවෝශන්ස්’ කවි එකතුව දශක පහක් තිස්සේ මේරි ඔලිවර් ලියූ පැදි අතුරින් ඈ විසින්ම තෝරා ගත් කවිවලින් සමන්විතය. මෙහි කවි දෙසියයකට වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර, ඊට ඈ 1963දී ලියූ කවි මෙන්ම 2015දී කළ නිර්මාණද ඇතුළත්ය. එකම කිවිඳියක මේ තරම් කාල පරාසයකදී කළ නිර්මාණ එකතුවක් රස විඳිද්දී පාඨකයා ඇයගේ ජීවන දෘෂ්ටියේ භක්තිවන්තයකු බවට පත් වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. මේරි ඔලිවර් සියලු මනුෂ්‍ය හැඟීම් පරිසරයේ කෝණයෙන් දකින්නියකි. ඇයට අනුව නම් මිනිසුන් සහ සතුන් වෙන් කර අඳින ඉර අහසත් පොළොවත් වෙන් කරන කඩයිම මෙන් අස්පෘශ්‍ය රේඛාවකි.

ඒ රතු කුරුල්ලා
වෙන කිසිවකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනි ලමින්
මුළු සීත කාලය පුරා පැමිණීම ගැන
මම කෘතඥ වෙමි
(‘රෙඩ් බර්ඩ්’ කවියේ කොටසක්)

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවිද?
ගංගා නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

අන්තිමේදී මේ වද වීම් කිසිවකින්
කිසිම පලක් නැති බව වැටහුණු නිසා
මම එය අත්හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි
(‘අයි වොරීඩ්’ කවියේ කොටසක්)

ඩිවෝශන්ස් කෘතියේ කවි අතර තනිකම, ප්‍රතික්ෂේප වීම සහ මරණය යන තේමා ඔස්සේ කවි ද තිබුණත් එහි පොදු තේමාව ලෙස ඈ ජීවිතය කෙරෙහි දක්වන විස්මයත්, කෘතඥ බවත් පැහැදිලිය. ඉතා සරල දේ තුළින් දෙවියන් දකින ඈ ඒ දෘෂ්ටිය පාඨකයා තුළද ඇති කරන්නට වැර දරයි.

දෙවියන්ගෙන් අනන්‍යතා සහතික සොයමින්
මිනිසුන් වෙහෙසෙන්නේ ඇයි?
අඳුර බිඳී අරුණලු නැඟීමම ඊට ප්‍රමාණවත් නොවේද?
(‘අයි වේක් ක්ලෝස් ටු මෝනින්’ කවියේ කොටසක්)

අවට පරිසරයේ සෙනෙහෙවත් බවත්, කවියේ සෞන්දර්යයත් බොහෝ අවස්ථාවලදී තමාගේ දිවි බේරා දුන් බව ඈ තම නිර්මාණ ගැන කළ සාකච්ඡාවකදී පවසා තිබේ. ජීවිතයේ නේකවිධ කඩාවැටීම් හමුවේ නොවැටී ඉන්නට ඈ පන්නරය ලබා ඇත්තේ මේ අරමුණු දෙකෙනි.

ශෝකය රහසින් නුඹේ පසුපස එන විට
තණ පිටිය වෙත යෑම ගැන
කල්පනා කර බලන්න
මින් පෙර කිසි දිනක නොදුටු දෙයක් දකින්න

ඔබේ මහපටැඟිල්ලක් තරම් වූ
හිම පළඟැටියකුගේ
ටැම්බරීන් නාදයක් වැනි හඬ අසන්න

ගිම්හාන වැස්සේ සරන
හමිංබර්ඩ් කුරුල්ලකු
තම තටුවලින් දිය බිඳු විසුරුවන යුරු බලන්න
(‘ද ලීෆ් ඇන්ඩ් ද ක්ලවුඩ්’ කවියේ කොටසක්)

1984දී ‘පුලිට්සර්’ සම්මානයත්, 1992දී ‘නැෂනල් බුක් අවෝඩ්’ සම්මානයත් ඇතුළු ඇගයීම් රාශියක් දිනා ඇති මේරි ඔලිවර්, අමෙරිකාවේ වැඩිම කවි පොත් අලෙවියක් ඇති කිවිඳිය ලෙස නම් දරා සිටින්නීය. එරට අද්‍යතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණක් ඉතිරි කළ කිවිඳිය 2019 වසරේදී ජීවිතයෙන් සමු ගත්තද, පරිසරය හා ඇය සතුව පැවති ගැඹුරු බැඳීමත්, පරම්පරා කිහිපයක පුළුල් රසික පිරිසකගේ හද බැඳ ගත් සරල කාව්‍ය රටාවත් තවත් බොහෝ කාලයක් පාඨක සිත් තුළ නොනැසී පවතිනු ඇත.

-හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
20.04.2025


පසු සටහන

දිනමිණ පුවත්පතේ කවි පිටුවේ 'විදෙස් කවිය' කියන විශේෂාංගයට මම අඛණ්ඩ ව පරිවර්තිත කවියක් යවපු යුගයක් තිබුණා. හැම සතියටම එක බැගින් අවුරුදු හතක විතර කාලයක් මම මෙහෙම කවි යැව්වේ ඒ පිටුවේ කතෘ, මගේ මිතුරියක් වන කාංචනා අමිලානිගේ ඉල්ලීමට. ඇත්තටම නම් සතිය ගානේ සිංහලට ගැලපෙන, පුවත්පතේ වචන සීමාවන්ට ගැලපෙන ඉංග්‍රීසි කවියක් හොයන එක ටිකක් අමාරු වැඩක්. ඒත් මම ඒ මුළු කාලයම ඒ කටයුත්ත බොහොම සතුටින් කළා. ගණන් කර කියන්න බැරි තරමට විදෙස් කවි කියවමින්, ඉන් සමහරක් පරිවර්තනය කරමින් මම ගිය ඒ නිර්මාණ චාරිකාව මගේ ජීවිතයත් පොහොසත් කළා වගේම වර්ණවත් කළා කියලා කියන්න පුළුවන්. මේ ගමනේදී මට නිතරම මුණගැහුණු කෙනෙක් Mary Oliver. ඇගේ කවි මම සෑහෙන්න ප්‍රමාණයක් පරිවර්තනය කරලා ඇති. ඒ වගේම අවට ලෝකයේ සුන්දරත්වයෙන්, සාමයෙන් ටිකක් මගේ ලෝකයටත් එකතු කරගන්න ඒවා හේතු වෙන්න ඇති.


අන්තර්ජාලයෙන් Mary Oliver. ගේ කවි කියෙව්වත් මුලදී ඇගේ පොතක් මගේ සතුව තිබුණේ නැහැ, අනෙක ඈ ලියා ඇති කවි පොත් වලින් වැඩි ප්‍රමාණයක් දැන් මුද්‍රණයේත් නැහැ. ඔය අතරේ දවසක මට මෙල්බර්න් පොත් සාප්පුවකින් gift card එකක් ලැබුණා. පුස්තකාලයක රැකියාව කරන මම ඊට අමතරව පොත් ලක්ෂ ගණනක් තියෙන මෙල්බර්න් නගරයේ පුස්තකාල ජාලයක සාමාජිකාවක්. ඒ නිසා මට මෙරට දී පොතක් මිළදී ගන්න ඕන වෙන්නේ හරිම කළාතුරකින්. (ලංකාවෙන් නම් සිංහල පොත් තොග පිටින් අරගෙන එන එක වෙනමම කතාවක්) අනෙක, පොතකට ආදරේ වුණත් ඒ පොත මගේ ළඟ තිබිය යුතුයි කියලා මගේ අදහසක් නැහැ. ඒ නිසා මේ gift card එකෙන් මිළදී ගන්න ඕන පොත ගැන මම සෑහෙන්න කල්පනා කළා. අන්තිමේදී මගේ මතකෙට ආවේ Mary Oliver. ඇගේ කවි නම් ළඟ තියාගෙන ආයෙත් ආයෙත් කියවන්න පුළුවන් බව මට මතක් වුණා. ඇගේ පොත් ගැන හොයද්දි මට Devotions පොත ගැන දැනගන්න ලැබුණා. ඒ දශක ගාණක් තිස්සේ ඈ ලියූ කවි අතරින් ඈ ම තේරූ කවි දෙසීයක එකතුවක්! ඉතින් මටම තෑග්ගක් හැටියට මීට වැඩිය ගැලපෙන වෙන මොනවාද? මම Devotions පොතේ අයිතිකාරිය වුණේ එහෙමයි.

Devotions පොත නිතරම අත පාතින් තියාගෙන, අහඹුව දිග ඇරලා, ඒ පිටුවේ තියෙන කවිය කියවන්න මම කැමතියි. ඒ හැම වතාවකම ජීවිතය ගැන, ලෝකය ගැන හිතේ මතක හිටින සලකුණක් ඉතිරි කරන්න Mary Oliver කිවිඳිය සමත් .

April 02, 2025

හොඳින් නිම කළ රාජකාරිය


ධුකී නම් උයන්පල්ලා, අත්හැර දමන ලද ළිඳ වටා වැවී තිබුණු වල් පැලෑටි සුද්ධ කරමින් සිටියේය. කෙසඟ සිරුරක් සහ බකල ගැසුණු දෙපා සහිත වූ ඔහු බෙහෙවින් වයස්ගත අයෙකු විය. බැලූ බැල්මට දුර්වල බවක් පෙනුණත් ඔහුගේ සවිය තිබුණේ දෑතේ ත් දිගටි ඇඟිලි වලත් ය. ඔහු පෙටුනියා පැළයක් තරම් දුර්වල සේ පෙනුණත් ගසක එතුණු සවිමත් ලතාවක් තරම් ශක්ති සම්පන්න විය. 

“උඹ ළිඳ වහන්නද හදන්නේ?” මම ඇසුවෙමි. අට හැවිරිදි වූ මා ධුකී කැමතිම තැනැත්තා විය. මා උපදින්නත් පෙර සිට අප ගෙවත්ත රැක බලාගෙන තිබුණු ඔහු, මගේ පියා අන්ත්‍රා වන්නට පෙර ඔහුට සේවය කළ අතර දැන් මගේ මවත් සුළු පියා ත් වෙනුවෙන් සේවය කළේ ය. 

“වහලා දාන්න වෙයි මගේ හිතේ,” ධුකී පැවසුවේය. “මේජර් මහත්තයා ඒකනේ කරන්න කිව්වේ. අද හෙටම මහත්තයා ගෙදර එද්දී ළිඳ වහලා නැති බව දැක්කොත් වෙනදා වගේම හොඳටම කේන්ති අරන් මාව රස්සාවෙනුත් එළවයි!” 

ඔහු සඳහන් කළ ‘මේජර් මහත්තයා’ මගේ සුළු පියා වන මේජර් සමර්ස්කිල් විය. උත්තුංග දේහ ධාරී පුද්ගලයෙකු වූ ඔහු පෝලෝ ක්‍රීඩාවටත් වල් ඌරු දඩයමටත් ප්‍රිය කළේ ය. එමෙන්ම ඔහු මගේ පියාට වඩා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු විය. මගේ පියා නිරතුරුව මා පොත පත වෙත නැඹුරු කළ මුත් මේජර් ට අනුව නම් වුවමනාවට වඩා පොත් කියවීමෙන් මා අලස සිහින දකින්නකු බවට පත්වීමට ඉඩ තිබිණි. මේ නිසා ඔහු මගේ පොත් පත් මවෙතින් ඉවත් කළේ ය. මා මේජර් වරයාට වෛර කළ අතර මගේ අම්මා ඔහු හා විවාහ වීම ගැන මගේ පැහැදීමක් තිබුණේ නැත. 

“කොල්ලා නෝන්ජල් වැඩියි” ඔහු මගේ මවට කියනු මට ඇසී තිබිණි. “ඌ ට අශ්වයෝ පදින්න උගන්නන්න කවුරු හරි කතාකරගන්න ඕන” 

නමුත් අශ්වයන් පැදීමේ පන්තිය ආරම්භ වීමට පෙර මේජර් ගේ රෙජිමේන්තුව පේශ්වාර් වෙත අනුයුක්ත කරන ලදී. ඒ පෙදෙසේ යම් ගෝත්‍රිකයන් පිරිසකගේ කලහකාරී හැසිරීමක් අපේක්ෂාවෙන් මෙය සිදු වී තිබිණි. මේ රාජකාරිය වෙනුවෙන් මාස දෙකක් පමණ නිවසින් පිටව සිටි ඔහු, ඒ ගමන පිටත් වීමට මත්තෙන් වත්තේ වූ පැරණි ළිඳ වසා දැමීමට ධුකී ට අණ කළේය.  

“වත්තක් මැද්දේ මේ වගේ ළිඳක් ඇරලා දාලා තියෙන එක බොහොම භයානකයි. මම එද්දී මේක සම්පූර්ණයෙන් ම වහලා දාලා තියෙන්න ඕන.”

නිවස තනන්නත් පෙර සිට, වසර පනහක් තිස්සේ ගෙවත්තේ තිබුණු මේ ළිඳ වසා දැමීමට ධුකී ගේ කැමැත්තක් තිබුණේ නැත. එහි බිත්ති වල පරෙවි රංචුවක් විසූ අතර උන්ගේ මුදු හඬ නිසා ගෙවත්තේ නිතරම සොඳුරු ගුම් නදක් පැතිරිණි. රස්නය අධික ගිම්හාන මාසවලදී නිවසේ ජල කරාම සිඳී ගිය විට ජලය ලබා ගැනුණේ මේ ළිඳෙනි. ගෙවත්ත පිරිසිදු කරන මෙහෙකරුවා දුහුවිල්ල දුරු කිරීමට මේ ළිඳෙන් තම එළු හම් පැසට වතුර පුරවාගෙන ගෙවත්ත පුරා ඉස්සේ ය. 

ළිඳ නොවසා තැබීමට අවසර දෙන මෙන් ධුකී අම්මාගෙන් බැගෑපත් ව ඉල්ලා තිබිණි. 

“මේක වහලා දැම්මොත් පරෙවියන්ට මොකද වෙන්නේ?’ ඔහු ඇසුවේය.

“උන්ට නම් වෙන ළිඳක් හොයාගන්න බැරියැ” අම්මා කීවාය. “අනේ ධුකී ඔන්න ඕක වහලා දාන්න. මහත්තයා ආයෙත් ආවාම ඕක වහලා නැහැ කියලා දකිනවට මම කැමති නැහැ.”

මගේ මව ත් මේජර්වරයාට තරමක බියෙන් පසු වූ බව මට පෙනුණි. අප ආදරය කරන අයට බියවන්නේ කෙසේදැයි එදා මෙන්ම අදත් මට තේරුම් ගැනීමට අපහසු දෙයකි. 

මේජර් නිවසේ නොසිටි නිසා ඒ දිනවල මගේ ජීවිතය සුන්දර ලෙස ගෙවුණි. මා නැවතත් පොත් කියවීම ඇරඹූ අතර මගේ ප්‍රියතම නුග ගසේ අතු පතරේ ගැවසීමත්, අඹ බාල්දි පිටින් කා දැමීමත්, ධුකී එක්ක කතාබස් කරමින් ගෙවත්තේ සැරිසැරීමත් මගේ දින චරියාවේ කොටස් විය. 

මා මෙන්ම ධුකී ද මේජර්වරයාගේ ආගමනය ගැන කැමැත්තක් දැක්වූයේ නැත. තාත්තාගේ සේවකයෙකු වූ ඔහු, අම්මගේ දෙවෙනි කසාදයෙන් අනතුරුව තව දුරටත් අප නිවසේ රැඳී සිටියේ අම්මාට දැක්වූ භක්තියත් මා වෙත දැක්වූ සෙනෙහසත් නිසා පමණි. නමුත් මගේ අම්මාගෙන් නිරතුරුව දිස් වූයේ කෙනෙකු රැවටීමට තරම් සමත් දුර්වල බවක් සහ අසරණ ගතියකි. මේ නිසා සමර්ස්කිල් මේජර්වරයා ඇතුළු වැඩිමනත් පිරිමි ඈ ව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූහ. තමන්ට මෙලෙස උදවු උපකාර ලැබීම ඇය ද ප්‍රිය කළා ය. 

“බේබිගේ තාත්තා ඉස්සර මේ ළිඳට හරි කැමතියි.” ධුකී කීවේය. “හවස්වරු වලට මහත්තයා මෙතැන ඉඳගෙන පොතක මල්, කුරුල්ලෝ, කෘමි සත්තු එහෙම අඳිනවා”

ධුකී සඳහන් කළ ඒ චිත්‍ර මගේ මතකයේ තිබිණි. එමෙන්ම මේජර්වරයා අප නිවසේ පදිංචියට ආ පසු ඔහු විසින් ඒවා විසි කර දමන ලද බවත් මගේ මතකයේ විය. මා කිසි දෙයක් ධුකීගෙන් නොසැඟවූ බැවින් ඔහු ද ඒ බව දැන සිටියේය. 

“මට නම් හරිම දුකයි මේ ළිඳ වහලා දාන්න. මේකට වැටුනොත් වැටෙන්නේ මෝඩයෙක් හරි බේබද්දෙක් හරි විතරයි” ඔහු කීවේය. 

නමුත් ඔහු ළිඳ වසා දැමීමේ කාර්යය සඳහා සූදානම් වූවේය. ඒ වෙනුවෙන් ගෙනා ලෑලි ද, ගඩොල් සහ සිමෙන්ති ද ළිඳ වට ගොඩ ගසා තිබිණි. 

“හෙට” ධුකී පැවසුවේය. “හෙට මම ළිඳ වහලා දානවා, අද නෙමෙයි. කුරුල්ලෝ තව එක දවසක් ඒකෙ හිටියාදෙන්. හෙට උදේට බේබිට පුළුවන් ළිඳෙන් කුරුල්ලෝ ටික එළවන්න මට උදවු කරන්න.”

මගේ සුළු පියා නැවත පැමිණෙන්නට නියමිත දින උදෑසන අම්මා කුලී අස් රියක් ගෙන්වාගෙන වෙළඳපොළට ගියාය. ඒ යුගයේ දී මෝටර් රථ සතු වූයේ සීමිත කිහිප දෙනෙකුට පමණි. කර්නල්වරු පවා ගමන් ගත්තේ මෙවැනි අස් රිය වලිනි. 

මේජර්වරයාගේ ආගමනය අපේක්ෂා කෙරුණේ හවස් වරුවේ වූ බැවින් මගේ අවසාන නිදහස් උදේ වරුව උපරිමයෙන් විඳ ගැනීමට මම ඉටා ගත්තෙමි. පළමුවෙන්ම මම මගේ ප්‍රියතම පොත් මට නිරතුරුව කියවීමට ගනු හැකිවන ලෙස වැසිකිළියක සැඟවූයෙමි. ඉනික්බිති මගේ සාක්කු දෙකේම අඹ ගෙඩි පුරවාගෙන නුග ගසට නැග ගත්තෙමි. ජුනි මාසයේ උෂ්ණාධික දවසකට ඒ අතු පතරේ සිසිල සහ අඳුර මැනවින් ගැලපුණි. 

අතු අතර සිටි මා වසන් වූ පත්‍ර තිරයට එපිටින් ධුකී ළිඳ අසල එහා මෙහා යනු මට පෙනුණි. ළිඳ වසා දැමීමට ඔහුගේ බලවත් අකමැත්ත පැහැදිලි ව දිස් විය. 

ඔහු “බේබි!” යැයි කීප වරක් හඬගා කතා කළ ද මට නුග ගසින් බැසීමට මහත් මැලිකමක් දැනෙන්නට විය. ධුකී දිග ලෑල්ලක් ගෙන ළිඳ හරහා තබා එහි එක කෙළවරකට ඇණ ගසන්නට විය. නුග ගසේ සිට මට ඔහුව පෙනුණේ බෙහෙවින් වයස්ගත ව, කුදු ගැසී ඇති ලෙසයි.

මේ වෙලාවේ අශ්ව රියක ගෙජ්ජි හඬ සහ රෝද වල කිරි කිරියක් ඇසුණු බැවින් කිසිවෙකු ගේට්ටුව දෙසට ළඟා වන බව පැහැදිලි විය. අම්මා ආපිට ඒමට වේලාසන වැඩි බැවින් ඒ පැමිණෙන්නේ කවුදැයි දැනගැනීමට මම ඝන නුග පත් අතරින් එබී බැලුවෙමි. මා ඇස ගැටුණු දෙයින් ඇති වූ පුදුමය නිසා මා හිඳ සිටි අත්තෙන් නොවැටී බේරුණේ අනූ නමයෙනි. ඒ පැමිණ සිටියේ මගේ සුළු පියා වන මේජර් වරයා ය. සිතුවාට වඩා කලින් ඔහු පැමිණ තිබිණි. 

මා නුග ගසින් පහළට බැස්සේ නැත. අම්මා එනතුරු මේජර් වරයාට සම්මුඛ වීමට මගේ බලාපොරොත්තුවක් නොතිබුණි.. 

අස් රියෙන් බට මේජර්වරයා තම බඩු මලු බරාඳය වෙත රැගෙන යන සේවකයන් දෙස මඳ වෙලාවක් බලා සිටියේය. ඔහුගේ මුහුණ රතු වී තිබුණු අතර බ්‍රිලන්ටයින් ආලේප කළ ඔහුගේ උඩු රැවුල මුහුණෙන් මතු වී පෙනුණි. ධුකී ඔහු වෙතට ළඟා වූයේ අකමැත්තෙන් මෙන් ආචාර කරමිනි.

“ආ, මේ ඉන්නේ මෝඩ බූරුවා!” මේජර්වරයා විහිළුවක් කරන්නට උත්සාහ කරමින් උස් හඬින් කීවේය. “මේ වත්තේ වැඩිපුර තියෙන්නේ කැලේ නේ. උඹ දැන් මේ වැඩ වලට වයස වැඩියි, උඹට විශ්‍රාම ගන්න කාලේ හරි වගේ. කෝ නෝනා?”

“නෝනා කඩේට ගියා.” ධුකී පිළිතුරු දුන්නේය.

“එතකොට කොල්ලා?” 

ධුකී ඊට පිළිතුරු ලෙස තම උරිස් හැකිලුවේය. “අද දවසටම මම බේබි ව දැක්කේ නැහැ මහත්තයා.”

“මොකක් කිව්වා?” මේජර් කෝපයෙන් කීය. “මදැයි ගෙදර ආවා, මං එද්දී පිළිගන්න කිසි කෙනෙක් නැහැ. පලයන්, ගිහින් උයන කොල්ලා ව ඇහැරවලා මට බොන්න සෝඩා මොනවා හරි ගෙන්න කියපන්.”

“උයන කොල්ලා යන්න ගියා.”

“මොන කෙහෙල්මලක්ද?” මේජර් නොරිස්සුමෙන් කීවේය.

මේ වෙද්දී අස් රිය යන්නට පිටත් වූ අතර මේජර්වරයා කෝපයෙන් ගෙවත්තේ ඒ මේ අත ඇවිදින්නට විය. අඩක් වසා දැමුණු ලිඳ ඔහුගේ ඇස ගැටුණේ එවිටයි. කෝපයෙන් දම් පැහැ වූ මුහුණෙන් යුතුව වහා වහා එහි ගිය ඔහු, මහා හඬින් මහලු උයන්පල්ලාට බැණ වදින්නට විය. 

ධුකී තම නිදහසට කරුණු ලෙස බොහෝ දේ කීය. ගඩොල් හිඟයක්, ඥාති දියණියකගේ අසනීපයක්, ප්‍රමිතියට නැති සිමෙන්ති වර්ගයක්, අයහපත් කාලගුණය, දේව කෝපය වැනි විවිධ හේතු කීවත් ඒ එකකින්වත් මේජර්වරයා සෑහීමකට පත් වූයේ නැත. අන්තිමේදී ධුකී ළිඳේ පතුලෙන් යමක් බුබුළු දමමින් මතුවන අයුරු ගැන කියමින් අත දිගු කර පෙන්වන්නට විය. මෙය බලන්නට මේජර් ළිඳ වටා වූ කෙටි තාප්පයට ගොඩවිය. තවදුරටත් ධුකී ළිඳ පතුලේ වූ යමක් පෙන්වමින් සිටි නිසා ඔහු මඳක් ළිඳට එබුනි.

ධුකී ගේ අත සෙලවුණේ මැජික් කරුවකුගේ අතක් මෙන් ඇසුරු සැණකිනි. ඔහු මේජර්වරයා ව තල්ලු කළ බවක් නොපෙනුණි, පෙනුණේ ඔහුගේ පශ්චාත් පෙදෙසට තට්ටුවක් දැමූ බවක් පමණි. මගේ සුළු පියා ළිං පතුලට අතුරුදන් වෙද්දී ඔහුගේ බූට්ස් සපත්තු වල දසුනක් මගේ නෙත ගැටුණි. විස්මලන්තයේ ඇලිස් ගේ කතාවත් ඈ හාවකුගේ ගුලක් පත්ලට අතුරුදන් වූ අයුරුත් ගැන මට එවෙලේ නොසිතා සිටින්නට නොහැකි විය. 

ඉනික්බිති දිය මතට යමක් වැටෙන මහා හඬක් නැඟුණු අතර ළිං බිත්තියේ උන් පරෙවියෝ අහසට නැඟී තෙවරක් ළිඳට ඉහළින් කැරකී නිවසේ වහලයේ වැසුවෝ ය. 

දිවා ආහාර වෙලාව වෙද්දී ධුකී ළිඳ සම්පූර්ණයෙන්ම ලෑලි ගසා ආවරණය කර තිබිණි. 

“මේජර් මහත්තයා හරි සතුටු වෙයි,” අම්මා නිවසට පැමිණි විට කීවාය. “හවස් වෙද්දී ඔය වැඩේ ඉවර කරන්න පුළුවන් නේද ධුකී?”

සන්ධ්‍යාව එළඹෙද්දී ළිඳ මුළුමනින්ම ගඩොලෙන් බැඳ වසා දමා තිබිණි. මෙතුවක් කල් ධුකී කළ වැඩ අතරින් වඩාත් වේගයෙන් නිම කළ රාජකාරිය මෙය විය. 

එළඹුණු සති කිහිපයේදී අම්මා වුමනාවෙනුත්, කරදර සිතිනුත්, වේදනාවෙනුත් අවසානයේදී පරාජය භාර ගන්නා විලසිනුත් මේජර් වරයාගේ ආගමනය ගැන බලා සිටියාය. මම නම් විනෝදයෙන් සහ උද්යෝගයෙන් ඇගේ ශෝකය දුරු කිරීමට උත්සාහ ගත්තෙමි. මේජර්වරයාගේ රෙජිමේන්තුවේ කර්නල්වරයාට අම්මා ලිපියක් ලියා තොරතුරු විමසූ විට ඔහු දන්වා තිබුණේ මේජර් ඊට දෙසතියකට පෙර නිවාඩු ලබා සිය නිවස වෙත යන්නට පිටත් වූ බවයි. ඉන්දියාවේ විශාල භුමි ප්‍රදේශයේ කොතැනකදී හෝ මේජර්වරයා අතුරුදන් වී තිබිණි.

ඒ කාලයේදී කෙනෙකුට මෙලෙස සදහටම අතුරුදන් වීම දුෂ්කර කාර්යයක් වූයේ නැත. මේජර්වරයා අතුරුදන් වී මාස කීපයක් ගතවූ පසු එක්කෝ ආපිට දුම්රිය ගමනේදී කිසිවකු විසින් ඔහු ව ඝාතනය කර ඔහුගේ සිරුර ගඟකට වීසි කරන ලද බව හෝ ඔහු යම් ගෝත්‍රික කාන්තාවක් සමඟ පැන ගොස් රටේ කොතැනක හෝ කෙළවරක වසන බව නිගමනය විය. 

අප ඔහු රහිතව ජීවිතය ගෙන යා යුතුව තිබිණි. ඒ වෙද්දී මෝසම් වැසි අවසන් වී තිබුණු අතර පේර වාරය එළඹෙමින් තිබිණි. මේ වෙද්දී අම්මා ව බලන්නට රාජකීය පාබල සේනාවේ කර්නල් වරයෙකු නිවසට යමින් එමින් සිටියේය. තරමක් වයස්ගත වූ මොහු, සැරවැරකම් නැති, දේවල් නිතර අමතක වන සුළු පුද්ගලයෙකු විය. ඔහුගෙන් කිසි කරදරයක් නොතිබුණු අතර ඔහුට නිවසේ තැන තැන චොකලට් තබා යන පුරුද්දක්ද විය.

“හොඳ මහත්තෙයෙක්” ධුකී කීවේය. ඔහුත් මමත් බෝගන්විලියා ගස පසුපස සිටගෙන කර්නල්වරයා නිවසට පිවිසෙන පඩි තරණය කරනු බලා සිටියෙමු. “බලන්න ඒ මහත්තයා අර සෆාරි තොප්පිය දාන ලස්සන, ඔලුව හොඳටම වැහෙන විදිහටයි දාන්නේ”

“ඒ තොප්පිය යට එයාට තට්ටේ තියෙන්නේ.” මම කීවෙමි.

“කමක් නැහැ, මං හිතන්නේ එයා හරියයි.”

“හරි නොගියොත් අපි ආයෙත් ළිඳ අරිමු.” මම පිළිතුරු දුන්නෙමි. 

එය අසා ධුකී ගේ අත වූ හෝස් පයිප්පය අත හැරුණු අතර ඔහුගේ දෙපා තෙමමින් ජලය ගලා යන්නට විය. නමුත් ඔහු ඉක්මනින්ම පියවි සිහිය ලබා, මගේ අත ගෙන පැරණි ළිඳ වෙත ගියේය. මේ වෙද්දී එය තට්ටු තුනකින් යුත් වේදිකාවක ස්වරූපය ගත් අතර ඉන් දිස් වූයේ මඟුල් කේක් ගෙඩියක පෙනුමකි. 

“අපි අපේ පරණ ළිඳ අමතක කරන්න නරකයි.” ඔහු කීවේය. “එන්න බේබි, අපි මල් පෝච්චි ටිකක් තියලා ඒක ලස්සන කරමු.”

ඉනික්බිති අපි විවිධ මීවන සහ ජෙරනියම් මල් ගස් සහිත පෝච්චි ගෙනැවිත් එතැන සැරසුවෙමු. ඒ කාර්යය ඉතා හොඳින් නිම කිරීම ගැන බොහෝ දෙනා ධුකී ට සුබ පැතූ හ. මගේ නම් එකම පසුතැවිල්ල වූයේ ළිඳෙන් පරෙවියන් ඉවත්ව යාමයි. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the story 'A Job Well Done' by Ruskin Bond 

Picture generated by Canva AI
සිසිල සඟරාව - අප්‍රේල් 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


March 25, 2025

රාජා



රාජාගේ නම රාජා බව අපි දැනගත්තේ ග්‍රාමසේවකගෙන්. ඒ වෙනකම් අවුරුදු ගාණක් තිස්සේ එයාට හැමෝ ම කීවේ ‘ගොළුවා’ කියලා. ඒක අපහාසෙටවත්, සමච්චලයටවත් කීව නමක් නෙමෙයි. ඇත්තට ම කවුරුවත් එයාගේ නම නොදැන හිටි නිසාත්, දැනගන්න විදිහක් නොතිබුණු නිසාත් කීව නමක්. රාජාට උපතින් කන් ඇහුණේ නැහැ. ඒ නිසා එයාට කතා කරන්නත් බැහැ. ඒත් අවුරුදු ගාණක් තිස්සෙ ම අපි එයාටත්, එයා අපිටත් බොහොම ලෙන්ගතුව ඉන්න ඒක කිසි බාධාවක් වුණේ නැහැ.

රාජා ජීවත් වුණේ ගෙයින් ගෙට ගිහින් කුලී වැඩ කරමින්. උදේට කොතැනක හරි ගෙයක් ළඟින් මතුවෙලා, ඒ අය පවරන ඕනෑම වැඩක් කරන්නත් හවසට දවසේ කුලී අරගෙන අතුරුදහන් වෙන්නත් රාජා පුරුදුවෙලා හිටියා. එයා ජීවත්වෙන තැනක් කවුරුවත් දැනගෙන නොහිටියේ ඒක අහගන්න ක්‍රමයක් නොතිබුණු නිසායි. පවරන ඕනෑම වැඩක් ‘යකෙක් වගේ’ කරන්න රාජා දක්ෂයි. එහෙම වැඩ පවරන්නත් වැඩේ පවරන කෙනාට යම් තරමක සංඥා භාෂා දැනුමක් වුවමනා වුණා. ඒත් රාජාට තියුණු බුද්ධියක් තිබුණු නිසා අනෙත් අය යන්තම් අතින් පයින් කියන දේවල් එයා එක සැණින් තේරුම් ගත්තා.

රාජා අපේ ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න නිතර ම ආවා. කළුම කළු හමක් තිබුණු රජාට තිබුණේ සුදුම සුදු හිනාවක්. රාජා පොඩි ළමයින්ටත්, සත්තුන්ටත් අසීමිතව ආදරය කළා. එයා අපේ වත්තේ වැඩකරන කාලේ ලොකු අක්කා එයාගේ අලුත උපන් පුතා වඩාගෙන ගෙමිදුලට එනවා දැක්කොත් රාජා කරමින් හිටිය ඕනෑම බරපතල වැඩක් නවත්තලා එතැනට යනවා. ඉන්පස්සේ ආදරය පිරුණු ඇස් වලින් ඈත ඉඳන් දරුවා දිහා බලාගෙන ඉන්නවා. තවත් ටික කාලයකින් ඒ පුතා මිදුලේ දුව පැන ඇවිදිද්දී, රාජාට ‘ගෝ මාමා’ කියලා කතාකරද්දී රාජා තමන්ගේ වැඩ නවත්තලා වත්තෙන් කඩාගත්ත මලක්, අහුලාගත්ත පිහාටුවක් පුතාට ගෙනත් දෙන්නේ පිරිකරක් පූජා කරනවා වගේ භක්තියෙන්. රාජාත් කසාද බැඳලා ද, එයාටත් දරුවෝ හිටිය ද කියලා අපිට දැනගන්න වුවමනා වුණත් අනෙත් හැම දේම තේරෙන රාජා අපි සංඥා වලින් ඇහුව ඒ ප්‍රශ්න විතරක් මඟ ඇරියා. 

දරුවන්ට ආදරය වුණා වගේ නෙමෙයි, සත්තුන්ට ආදරේ පෙන්නන්න ගිහින් රාජාට සිහිවටන කීපයකුත් ලැබිලා තිබුණා. එයා වැඩ කළ ගෙවල්වල බල්ලන්ව අතගාන්න ගිහින් උන් රාජාව හපා කාලා මැහුම් දාපු විස්තර රඟපාලා පෙන්නමින් සමහර දවස්වලට රාජා හිනාවුණා. සමහරවිට ඒ බල්ලෝ, තමන් ළඟට එන්න එපා කියලා රජාට අනතුරු අඟවන්න ගොරවද්දී ඒ බව නෑහිලා එයා උන්ව අතගාන්න ගියාද කියලා අපිට ඒවා දකිද්දී හිතුණා. අපේ ගෙදර හිටිය බලු පරම්පරාව නම් රාජාට පණ වගේ ආදරය කළා. රාජා ඉන්න දාට උන් අනෙත් හැම රාජකාරියක් ම අමතක කරලා වත්තේ එයා වැඩකරන තැන කිට්ටුවෙන් ඉන්න හරි කැමැත්තක් පෙන්නුවා. රාජාට කෑමට බත් බෙදලා දෙද්දී බල්ලන්ව එතැනින් එළවලා කූඩුවට නොදැම්මොත් රාජා බිම වාඩිවෙලා තමන්ගේ බත් පිඟානෙන් වැඩි කොටසක් බල්ලෝ එක්ක බෙදාගන්න බව අපි දැනගෙන හිටියා. 

රාජාට තිබුණු බුද්ධිය අප නිරන්තරයෙන් ම පුදුම කළා. ඕනෑම කැලැන්ඩරයක් අරගෙන දවස් හරියට පෙන්නන්න, ලබන සතියේ එයා ආයෙත් එන දවස හරියටම පෙන්නන්න එයා දැනගෙන හිටියා. කැලැන්ඩරේ මාස, දවස් මුද්‍රණය කරලා තිබුණේ සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට අමතරව කඩේකට ගිහින් බඩු මිලදී ගෙන හරියට ම මුදල් ගෙවලා ඉතුරු සල්ලි ගණන් කරලා ගන්න, දුර ගමන් බස් කීපයක නැඟලා තමන්ට වුවමනා තැනට හරියට ම යන්න එයාට පුළුවන්කම තිබුණේ එක අකුරක්වත් නොදැනයි. ඒ වගේම රාජාට සමාජ බුද්ධියත් හොඳට ම පිහිටලා තිබුණා. රාජා කතෝලික ආගමේ බවට සාක්ෂියකට තිබුණේ බෙල්ලේ එල්ලාගෙන හිටිය ලොකු රිදී කුරුසය. ඒත් අප්‍රේල් මාසයේ අවුරුදු පහු වුණු ගමන් කොහෙන්දෝ හොයාගත්ත බුලත් අතක් අරගෙන එයා කුලී වැඩ කළ හැම ගෙදරට ම යන්න රාජා පුරුදු වෙලා හිටියා. එහෙම ගිහින් ඒ ගෙවල්වල පොඩි ළමයින්ට පවා බුලත් දීලා බිම වැටිලා වඳින්න උත්සාහ කරන රාජාට ඒ ගෙවල් වලින් සතුටු පඬුරුත්, තෑගි බෝගත්, කෑම බීමත් සෑහෙන්න තරමට ලැබෙන බව එයා පළපුරුද්දෙන් දැනගෙන හිටියා. එහෙම යන දවසට බෙල්ලේ එල්ලුණු රිදී කුරුසය ගලවලා තියලා යන්න එයා අමතක කළේ නැහැ. 

මේ වගේ අහිංසක කපටිකම් තිබුණත් රාජාගෙන් කාටවත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැතිව එයා වැඩ කළ හැම ගෙදර ම විශ්වාසය රකිමින් එයා රාජකාරි කළා. රාජාට වැඩ පැවරුව හැම කෙනෙකුටම හැමදාම තිබුණු ප්‍රශ්නේ රාජාට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන එක. එයා හිටිය ඉසව්වක් දැනගෙන හිටියත් කවුරුවත් එයාගේ ගෙදරක් තියෙන තැනක්වත්, පවුලක විස්තරයක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නිසා රාජාට ම හිතිලා ගෙදරකට එනකම් කාටවත් එයාට පණිවිඩයක් යවලා ගෙන්නගන්න නම් බැරි වුණා. 

රාජා මාස ගාණකින් ආවේ නැති බව කාට කාටත් මතක් වෙන්න ගත්තේ වතු පිටි කැලෑ වෙද්දී, ගස්වල පොල් පැහිලා එක දෙක බිම වැටෙද්දී, වැට ඉණි දිරලා වැටෙද්දී. රාජා නිතර යන එන කීප තැනකින් ආරංචි කරලා බැලුවත් ඒ කිසි තැනකට මාස ගාණකින් රාජා ඇවිත් නැති බව අපිට දැනගන්න ලැබුණා. සමහරවිට එයා ඈත පළාතක වැඩකට යන්න ඇති කියලා හැමෝම කතා වුණා. තවත් මාස කීපයක් ගතවුණා. රාජා ගැන ඇත්තම විස්තරය දැනගන්න ලැබුණෙත් බොහොම අහඹු විදිහට. පන්සලේ කඨින පිංකම දවසේ රාජාගේ ගම් පළාතේ ග්‍රාමසේවක මහත්තයාව අපේ තාත්තාට මුණගැහිලා තිබුණා. රාජාගේ හැඩහුරුකම් එක්ක කියලා විස්තර අහද්දී තමයි තාත්තාට හරි විස්තරය දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වෙද්දීත් රාජා ජීවිතෙන් සමු අරන් මාස කීපයක්. කුළී වැඩකට ගිය පළාතක බුලත් විටක් ගන්න රේල් පාර දිගේ ඇවිදගෙන යමින් හිටිය රාජා මහා දවාලක කෝච්චියක හැප්පිලා මිය ගිහින්. කෝච්චියේ නලා සද්දයත්, වටපිට මිනිසුන්ගේ කෑ ගැහීමත් නොඇහුණු හේතුවෙන් එහෙම අවාසනාවන්ත විදිහට රාජාට ජීවිතෙන් සමුගන්න යෙදිලා තිබිලා. ඒ තරම් කාලයක් කළුම කළු මූනකින් අපිට සුදුම සුදු හිනාවක් දුන්නු මිත්‍රයාගේ ඇත්ත නම ‘රාජා’ කියලාත් අපි දැනගත්තේ  ඒ දුක්බර ආරංචියත් එක්කමයි. 

-හෙල්මලී 

photo- unsplash


March 16, 2025

එකම ලෝකයක්

අද උදෑසන
අලංකාර ශ්වේත පැහැ කෙකින්න
ජල තලයට ඉහළින් පාව ගියාය

ඉනික්බිති ඈ
අප හැම අයිති මේ ලෝකයට ඉහළින් ඇති
නිල් අහසේ නොපෙනී සැඟවිණි

මේ ලොව හැම දෙයක්ම
කෙදිනක හෝ
අන් හැම දේකම කොටස් වේ

ඒ සිතිවිල්ල නිසා
මොහොතකට
මා ද ලස්සන බව මට දැනුණි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of 'Poem of the One World' by Mary Oliver

Digital art


March 11, 2025

මනුසත් හැසිරුම් කදිමට විනිවිද දකින ඈන් ටයිලර්

“හැම විවාහයක්ම විවිධ අවධි පසු කරයි. ඒවා තුළ බොහෝ විට නැවත ඉපදීම් ඇත. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දෙදෙනකු අතර කාල දෙකකදී හොඳ විවාහයක් සහ නරක විවාහයක් යන දෙකම පැවතිය හැකිය.”

අලුත් පොතක තේමාව වත් අන්තර්ගතය වත් නොදැන පාඨකයන් ලෙස අප එය තෝරාගන්නා අවස්ථාවක් ඇත් නම් ඒ, ඒ කතුවරයා පෙර නිර්මාණවලදී පා ඇති දස්කම්වල රස අප හඳුනන බැවිනි. මට නම් අමෙරිකානු ජාතික කතුවරියක වන ඈන් ටයිලර්ගේ පොත් ගෙන එන්නේ එවැනි හැඟීමකි. ඈන් ටයිලර් මානුෂීය හැඟීම් මනා සේ කියවන, පුද්ගල හැසිරීම් කදිමට විනිවිද දකින ලේඛිකාවකි. මිනිස් හැසිරීම්වල සංකීර්ණ බව සරලව සහ රසවත් ලෙස තම නිර්මාණ මඟින් විදහා පෑම ඇයගේ දස්කමයි. මේ, ඈ 2022දී ප්‍රකාශයට පත් කළ ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ නවකතාව ගැන සටහනකි.

ඈන් ටයිලර්ගේ සෙසු පොත් මෙන්ම ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ පොතද ලියවී ඇත්තේ පවුලක් තුළ දිගහැරෙන අතිශය සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීම පෙළගස්වමිනි. 1959 සිට 2020 දක්වා කාල වකවානුව ඔස්සේ දිවෙන මේ කතාව අමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ එක්තරා මධ්‍යම පාන්තික පවුලක් තුළ සිදු වන හැලහැප්පිලි, කඩාවැටීම්, දිනුම් සහ සුළු සුළු දිලියුම් මැනවින් විස්තර කරයි.

“එහෙනම් මෙහෙමයි දේවල් වෙන්නේ,” ඕ කීවාය. “පවුල්වල සාමාජිකයෝ මෙහෙම දේවල් තමයි එකිනෙකා වෙනුවෙන් කරන්නේ. ඇත්ත බව පිළිගන්න අපහසු දේවල් ටිකක් හැංගීම, ආත්ම වංචාවන් කීපයකට, ඒ වගේම කරුණාවන්තකම් කීපයකට ඉඩ දීම...”

“ඇයි පොඩි කුරිරුකම්?” ඔහු විමසීය.

“ඔව්, පොඩි කුරුරුකම්වලටත් ඉඩ දීම!” ඕ පිළිතුරු දුන්නාය.

‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතියේ කතානායක ගැරට් පවුල, පිටතින් බලද්දී සාර්ථක, ආදරණීය පවුලක් සේ පෙනුණද, එක් වහලයක් යට ජීවත් වන එහි සාමාජිකයෝ එකිනෙකාගෙන් වියුක්ත උප ඒකක වැනිය. ඔවුන් එකිනෙකාගේ අපේක්ෂා නොහඳුනන අතර, ඔවුන්ගේ සිතුම් පැතුම්වල පවා කිසිදු සමාන බවක් නැත. පවුලේ මව වන මර්සි ජීවිත කාලයක්ම චිත්‍ර ශිල්පිනියක වන්නට හීන දකිමින් උන් අයෙකි. ඇයගේ මේ සැබෑ නොවුණු සිහිනය තම දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේද දරුවන්ගේ ජීවිතවලට පවා විවිධ මට්ටමින් බලපෑ බව මේ කතාව ගලා යද්දී පැහැදිලි වේ.

ගැරට් පවුලේ එකම පුතු වන ඩේවිඩ් වැඩෙන්නේ තම පියා තමා නොරුස්නා බව අදහමිනි. මේ නිසා ඔහු නිරතුරුවම සිය පවුලෙන් දුරස්ව වෙසෙන්නට උත්සාහ දරයි. මෙවැනි කුඩා ඉරිතැළීම් බහුල මේ පවුලේ කතාව කියවන්නන්ගේ හදවත් තුළට කාවදින්නේ ඔවුන්ද ඒ පවුලේ සාමාජිකයන් බවට පත්කරමිනි.

මේ කතාවේ හැම පරිච්ඡේදයක් සමඟම ලේඛිකාව ගැරට් පවුලේ සාමාජිකයන් අතීතයේ සිට වර්තමානයට ගෙන එන්නීය. කියවන්නාද ඔවුන් සමඟම ඒ ගමන එන්නේ අලුතින් පවුල තුළ ඇති වන හැලහැප්පිලිවලට තමාද මැදි වෙමිනි. ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතිය ගැන කළ කතාබහකදී ඈන් ටයිලර් මේ චරිතවල විකාශය අපූරු ලෙස විස්තර කරන්නීය. පවුලක සාමාජිකයන් අතර ඇති ආදරය ඔවුන් එකිනෙකා හා නොකියන දේවල සහ එකිනෙකා වෙනුවෙන් නොකරන දේවල පවා ගැබ්ව ඇති බව එහිදී ඇය අපට සිහිපත් කර දෙයි. ඇතැම් විට තමා මවන චරිත තමගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත්, ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන තමාට වගකිව නොහැකි බවත් ඈ කියන්නේ තම චරිතයේද ඇති විනෝදයට බර පැතිකඩක් විවර කරමිනි.

වර්ෂ 1941දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ උපන්නියක වන ඈන් ටයිලර් 1964 සිට මේ වන විට නවකතා 24ක් පළ කර ඇත. ඇයගේ පොත් අතුරින් ‘ඩිනර් ඇට් ද හෝම්සික් රෙස්ටෝරන්ට්’ (1982), ‘ද ඇක්සිඩෙන්ටල් ටුවරිස්ට්’(1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වූ අතර, ‘බ්‍රීදින් ලෙසන්ස්’ (1988) නවකතාව 1989 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව මේ වෙද්දී ඈන් සිය ලේඛනය වෙනුවෙන් ‘මෑන් බුකර්’ ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන තිබේ. ඇයගේ 25 වැනි නවකතාව වන ‘ත්‍රී ඩේස් ඉන් ජූන්’ පසුගිය දා නිකුත් විය.



හෙල්මලී ගුණතිලක

විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය  09.03.2025



March 08, 2025

කතන්දර - චිත්‍ර!

මගේ කෙටිකතා පොත් දෙක පළ වෙලා දැන් අවුරුදු කීපයක් වෙනවා. සහස් පියවර පොත ලියලා නම් අවුරුදු හයකුත් වුණා. ඒත් තාම මට පොත් කියවූ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙන එක හරිම සතුටු කාරණයක්. මම හිතන්නේ ලියන කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් අනිත් අය රස වින්දා කියලා අහන්නට ලැබීම තමයි උපරිම සතුට. 

මට ළඟදී එහෙම පණිවිඩයක් ලැබුණා දක්ෂිණා වික්‍රමසිංහ නංගීගෙන්. මගේ කෙටිකතා රස වින්දා ට අමතරව ඈ තව පියවරක් ඉස්සරහට ගිහින්. ඒ සමහර කෙටිකතා කියවද්දී ඇගේ හිතේ මැවුණු රූප ඈ ඩිජිටල් චිත්‍ර බවට පත් කරලා. දක්ෂිණා මේවා මාත් එක්ක බෙදාගත්තාම මට පුදුම හිතුණා. ඒ කතාවල සාරය ඇගේ හිතට කා වැදුණු බව මේ නිර්මාණවලින් පැහැදිලියි. අනික මේවා මම ආසම විදිහේ සරල, සුන්දර චිත්‍ර!

ඉතින් දක්ෂිණා, මගේ කතන්දර වලට තව මානයක් එක් කළාට, ඒවා මාත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි නංගි 🩷










March 04, 2025

විෂ්ණු ලකුණ



“මේක කාල නාගයා ට.” ගංගා රාම් පීරිසියකට කිරි වත්කරමින් කීවේය. “හැම රෑ ම මම බිත්තියේ මුල්ලේ තියෙන මේ කුහරය ළඟින් කිරි පීරිසියක් තියනවා. උදේ වෙද්දී කිරි ටික අතුරුදන්.”

“ඕක බොනවා ඇත්තේ බළලා.”ළමෝ කීහ. 

“බළලා!” ගංගා රාම් කේන්තියෙන් කෑ ගැසීය. “ඔය කුහරේ ළඟට මොනම බළලෙක් වත් යන්නේ නැහැ. කාල නාගයා තමයි ඕකේ ජීවත් වෙන්නේ. මම ඌට කිරි දෙන තාක් ඌ මේ ගෙදර කිසි කෙනෙක්ව දෂ්ඨ කරන්නේ නැහැ. බේබිලාට හිතේ හැටියට වත්තේ සපත්තු නැතිව සෙල්ලම් කරන්න පුළුවන්.”

ගංගා රාම් ගෙන් උපදෙස් ගන්නට අපගේ සූදානමක් තිබුණේ නැත.

“තමුසේ මහා මොඩ බ්‍රාහ්මින් කාරයෙක්,” මම කීවෙමි. “තමුසේ දන්නේ නැතිද නයි කිරි බොන්නේ නැති බව? බිව්වත් දවස ගානේ කිරි පීරිසියක් බොන්නේ නැති බව? අපේ සර් කීවා සර්පයෝ කෑම කන්නේ දවස් කීපයකට සැරයක් කියලා. දවසක් අපි දැක්කා ගෙම්බෙක් ව ගිලපු ගැරඬියෙක් ව. ඒ ගොදුර දවස් ගානක් යනකම් ගුලියක් වගේ උගේ උගුරේ හිරවෙලා තිබුණා. ඒක දියවෙන්න සෑහෙන දවසක් ගතවුණා. අපේ ඉස්කෝලේ ලැබ් එකේ ස්ප්‍රීතු වල දාලා සර්පයෝ දුසිම් ගණන් තියෙනවා. ගිය මාසේ අපේ සර් නයි නටවන කෙනෙක්ගෙන් නයෙක් සල්ලිවලට අරන් තිබ්බා, ඌට දෙපැත්තටම දුවන්න පුළුවන්! උගේ වලිගෙත් ඔලුවකුයි ඇස් දෙකකුයි තියෙනවා. ඌ ව දාන්න හිස් බෝතලයක් නොතිබුණු නිසා පොළඟෙක් හිටිය බෝතලයකට දැම්මේ. බෝතලේ ඇතුළේ නිකම් කුණාටුවක් වගේ වුණා එකපාරට. දිරාපත්වෙමින් තිබුණු පොළඟා ව නයා තත්පරෙන් කීතු කීතු කළා.”

ගංගා රාම් භක්තිය නිසා උපන් ත්‍රාසයෙන් තම දෑස් වසාගත්තේය. 

“මේ කියන දේවල් වලට බේබිලාට කවදාහරි පටිසන් දෙනවා..ඔව්, ඔව් පටිසන් දෙනවා…”

ගංගා රාම් සමඟ තර්ක කිරීමේ පලක් නොවිණි. හැම යහපත් හින්දු බැතිමතෙකු මෙන්ම ඔහු ද බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන බල ත්‍රිත්වය, එනම් මැවීම, සුරැකීම සහ විනාශ කිරීම යන බලයන් ගැන විශ්වාස කළේය. මේවා අතරින් ඔහු වඩාත්ම භක්තිමත් වූයේ විෂ්ණු ගැන වූ අතර හැම උදෑසනක ම ඔහු සඳුන් ආලේපනයෙන් V ලකුණක් තම නළලතේ සටහන් කළේය. බ්‍රහ්මින් කුලයට අයත් වූවත් ඔහු සාක්ෂරතාවයෙන් තොර වූ අතර මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටියේය. ඔහුට අනුව නම් සෑම ජීවියෙකුම - සර්පයන්, ගෝනුස්සන් සහ පත්තෑයන් පවා - පුජනීය විය. මෙවැනි සතෙකු ඇස ගැටුණු විට ඔහු උන් ව ඉක්මණින් වසන් කළේ අප උන්ව මරණු ඇතැයි බියෙනි. අප බැඩ්මින්ටන් පිති වලින් පහර දුන් දෙබරුන් ව ඔහු බේරාගෙන උන්ගේ කැඩුණු තටු පිරියම් කරමින් සාත්තු කළේ ය. ඇතැම් අවස්ථාවලදී මේ දෙබරුන් ඔහුට දෂ්ඨ කළ නමුත් එයින් ඔහුගේ භක්තිමත් බව වෙනස් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. යම් සතෙකුගේ විෂ සහිත බව වැඩි නම් ගංගා රාම් ඌට දැක්වූ භක්තිය වැඩි විය. සර්පයන් ගැන ඔහු දැක්වූ උනන්දුව මීට උදාහරණ වූ අතර ඒ අතරිනුත් කාල නාග නම් සර්පයාට ඔහු තදින් බැඳී සිටියේය. 

“අපිට උඹේ කාල නගයාව අහු වුණොත් අපි ඌව මරලා දානවා.”

“මම ඒකට ඉඩ තියන්නේ නැහැ. ඌ බිත්තර සීයක් දාලා තියෙන්නේ. ඌව මැරුවොත් බිත්තර සීයෙන් නයි පැටවු සීයක් එළියට ඇවිත් මේ ගේ පුරාම යයි. එතකොට බේබිලා මොකද කරන්නේ?”

“එතකොට අපි උන්ව පණ පිටින් අල්ලලා බොම්බායට යවනවා. එහෙ උන්ගේ විෂ දොවලා ගන්නවලු නයි විස නසන බෙහෙත් හදන්න. පණ ඇති නයෙකුට රුපියල් දෙකක්ම ගෙවනවා ලු. එතැනම රුපියක් දෙසීයක්නේ!”

“බේබිලා ඔය කියන දොස්තරලාට කිරි බුරුළු ඇති, මොකද නයින්ගේ විෂ දොවන්න කිරි බුරුළු තියෙනවා මම දැකලා නැහැ. ඒත් මූට නම් කිට්ටු කරන්න හිතන්න වත් එපා. මේ කාල නාගයාට වියත් තුනක් විතර මහා විසාල පෙනයක් තියෙනවා,” ඔහු පෙනයක් සේ දෑත හිස මතින් අල්ලා දෙපැත්තට වැනෙන්නට විය. “ඌ තණ බිස්සේ අව්ව තපිනවා බලන්න වටිනවා”

“ඒකෙන්ම පේනවා උඹ කීව බොරු වල තරම. එහෙම පෙනයක් තියෙනවා නම් ඌ පිරිමි සතෙක්. එහෙනම් ඌ අර බිත්තර සීය දැම්මා වෙන්න බැහැ. ඒවා දාන්න ඇත්තේ උඹම තමයි”

කොලු රැළ මහා හඬින් සිනාසෙන්නට වූහ. 

“ඒවා ගංගා රාම් බිත්තර, ළඟදීම අපිට ගංගා රාම් පැටවු ලැබෙනවා!”

මෙයින් ගංගා රාම් ගේ සිත බලවත් සේ රිදිණි. සාමාන්‍යයෙන් නිවසක මෙහෙකරුවෙකු ට මෙවැනි අපහාස ලැබීම සාමාන්‍ය දෙයක් වූවත් නිවසේ දරුවන් අතින් මෙසේ ලැජ්ජාවට පත් වීම ඔහුට පවා ඉසිලිය නොහැකි විය .ඔවුහු නිරතුරුවම ඔවුන්ගේ අලුත් මනස්ගාත අදහස් කියමින් ඔහු ව පාච්චල් කළහ. එපමණක් නොව ඔවුන් කිසි විටක වත් දේව වාක්‍ය පොත කියවූයේ නැත. අවිහිංසාව ගැන මහත්මා ගාන්ධි කී දේවල් පවා ඔවුහු පිළිපැද්දේ නැත. ඔවුන්ගේ උනන්දුව තිබුණේ කුරුල්ලන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ හැකි තුවක්කු ගැනත් සර්පයන් ගිල්වා මරා දැමිය හැකි ස්ප්‍රීතු ගැනත් පමණි. තමන් අදහන පිළිවෙලට හැම ජීවියෙකුම උතුම් බව ගංගා රාම් දිගටම විශ්වාස කළේය. නොකඩවා සර්පයන් ආරක්ෂා කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේ උන් දෙවියන් මැවූ සතුන් අතරින් විසකුරුම වර්ගය වූ බැවිනි. උන් ව නොමරා උන්ට ආදරය කළ හැකි නම් ඒ තර්කය ඔප්පු වන බව ඔහු නිතරම පැවසුවේය.. 

ගංගා රාම්ට ඔප්පු කිරීමට අවශ්‍ය වූ තර්කය පැහැදිලි වූයේ නැතත් නයා වෙසෙන ගුල අසල කිරි පීරිසියක් තැබීමෙන් සහ උදෑසනදී එය අතුරුදන් බව දැකීමෙන් ඔහුගේ යම් තර්කයක් නම් ඔප්පු විය. 

දිනක් අපි කාල නාගයා ව දුටුවෙමු. පෙරදා රාත්‍රියේ දරුණු ලෙස මෝසම් වැසි ඇද හැලී තිබිණි. ගිම්හානයේ කුරිරු උණුසුම නිසා වේලී කර වී තිබුණු මහා පොළොව ජීවයෙන් උතුරමින් පසු විය. කුඩා දිය කඩිති වල ගෙම්බන් කෑ ගසමින් සිටි අතර මඩ වූ පොළොවෙන් ගැඩවිලුන්, පත්තෑයන් සහ කුරුමිණියන් සිය ගණනක් මතු විය. තැන තැන තණකොළ මතු වී, කෙසෙල් පත් කොළ පැහැයෙන් බැබලෙමින් තිබිණි.

කාල නාගයා ගේ ගුල වැහි වතුරෙන් පිරී තිබුණු බැවින් ඌ තණ බිස්සේ වැතිරී සිටියේය. උගේ කළු පැහැති පෙනය අව්වට දිලිසුණි. අඩි හයක් තරම් දිග වූ ඒ නාගයා මගේ අතක් තරම් වට ප්‍රමාණයෙන් යුතුව තරබාරු ව පෙනුණි. 

“අන්න නයෙක්, ඌ ව අල්ලමු!”

එදින පොලොව ලිස්සනසුලු වූ බැවින්ද, කානු සහ අනෙත් විවර වැසි දියෙන් වැසී ගොස් තිබුණු බැවින් ද, ගංගා රාම් නිවසේ නොසිටි බැවින් ද කාල නාගයාට බේරීමට ක්‍රමයක් තිබුණේ නැත.

දිග බට කෝටු රැගෙන අප ඌ ව වට කළේ ඌ ට අපගේ ඉව දැනෙන්නටත් පෙර ය. ඌ අප ව දුටු විට උගේ දෑස ගිනි රතු පැහැයක් ගත් අතර ඌ සතර අතට පිඹිමින් එසැණින් කෙසෙල් ගාලට ඇදී යන්නට විය. නමුත් පොළොවේ වූ මඩ ගතිය නිසා අඩි පහකට වඩා ඇදී යාමට පෙර පිට හරහා කෝටුපහරක් වැදී ඌ අඩපණ විය. ඉනික්බිති පහර පිට පහර වැදුණු බැවින් බරපතල ලෙස තුවාල ලැබූ ඌ අන්තිමේදී දිස් වූයේ මඩ සහ ලේ වැකුණු කළු- සුදු ජල්ලියක් ලෙසිණි. එහෙත් උගේ හිසට හානි සිදුව තිබුණේ නැත. 

“පෙනයට ගහන්න එපා,” එක කොලුවෙක් කෑ ගැසුවේය. “අපි මූව ඉස්කෝලෙට අරගෙන යමු”

බට කෝටු වලින්ම ඔසවා අඩපණ ව සිටි නාගයා ව විස්කෝතු ටින් බඳුනකට දමා ගන්නට අපි සමත් වූයෙමු. ඉනික්බිති එය ලණුවකින් ගැට ගසා ඇඳ යට සඟවා තැබුවෙමු. 

ඒ රාත්‍රියේ ගංගා රාම් නාගයාට කිරි පීරිසිය තබන තෙක් මම හොර ගල් ඇහිලුවෙමි. 

“අද කාල නාගයාට කිරි තියන්නේ නැද්ද?”

“මම තියන්නම්, බේබි නිදාගන්නකො” ඔහු නොරිස්සුමෙන් කීවේය.

ඊට වඩා ඒ ගැන කතා කිරීමට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත. 

“ඌ ට ආයෙත් නම් කිරි ඕන වෙන්නේ නැහැ”

මෙය අසා ගංගා රාම් මොහොතක් නිසොල්මන් විය. 

“නෑ මම මේ කිව්වේ වැස්ස නිසා ඕන තරම් ගෙම්බෝ ඉන්නවනේ. උඹේ කිරි වලට වඩා ගෙම්බෝ රස ඇති. අනික උඹ කවදාවත් කිරි වලට සීනි දාන්නෙත් නැහැනේ”

ඊට පසු දින ගංගා රාම් කිරි සහිත පීරිසිය නැවත ගෙන ආවේය. ඔහු බුම්මාගෙන සිටි අතර ඔහුගේ මුහුණෙන් සැකයක් දිස් විය. 

“මම උඹට කිව්වා සර්පයෝ කිරි වලට වැඩිය ගෙම්බෝ කන්න කැමතියි කියලා”

අප පාසල් යාමට සූදානම් වෙද්දී ගංගා රාම් අප අවටම ගැවසෙමින් පසුවිය. පාසල් බස් රථය පැමිණි විට නාගයා සහිත ටින් එකද අතින් ගෙන දනි පනි ගා අප එයට නැඟ ගත්තෙමු. බස් රථය පිටත් වෙද්දීම අප ටින් බඳුන ඔසවා ගංගා රාම් ට පෙන්වා මෙසේ කීවෙමු.

“උඹේ කාල නාගයා මේ ටින් එකේ හොඳ පරෙස්සමට ඉන්නවා. අපි ඌව ස්ප්‍රීතු වල දාන්න ඉන්නේ”

බස් රථය ඈතට ඇදී යද්දී ගංගා රාම් තම සවනට වැකුණු දේ අදහා ගනු නොහැකිව, විවර මුවින් යුතුව දෑස් අයාගෙන බලා සිටිනු පෙනුණි. 

එදින පාසලේදී මහත් උද්යෝගයක් ඇති විය. සහෝදරයන් වන අප සිව් දෙනා අපගේ මුරණ්ඩු බව නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි අයයි. මේ සිද්ධියෙන් ඒ බව තවත් තහවුරු වී තිබිණි. 

“විසාල නයෙක්”

“අඩි හයක් දිගයි!”

නයා සහිත විස්කෝතු ටින් බඳුන විද්‍යා ගුරුවරයාට ඉදිරිපත් කරන ලදී. අපට අවශ්‍ය වූයේ ඔහු අපගේ දඩයම අගය කරනු ඇසීමයි. නමුත් මේ ගැන ගණන් නොගත් බවක් පෙන්වූ ඔහු අපට විසඳන්නට විද්‍යා ගැටළු කිහිපයක් ලබා දුන්නේය. මෙසේ ටික වෙලාවක් ගතවූ පසු ඔහු තම ඩැහි අඬු අතට ගත්තේ තාලයක් මුමුණමිනි. තවත් විෂ සර්පයෙකු ස්ප්‍රීතු වල බහා තිබුණු වීදුරු බෝතලයක් ද ලං කරගත් ඔහු විස්කෝතු ටින් බඳුන ගැට ගසා තිබුණු ලණුව ලෙහන්නට විය.

ලණුව තරමක් බුරුල් වූ සැණින් එහි පියන වීසි වී ගියේ ගුරුතුමාගේ නහය යන්තමින් මඟ හරිමිනි. ටින් බඳුනෙන් නැගී සිටියේ රතු අඟුරු මෙන් දිලිසෙන දෑස් සහිත කාල නාගයා ය. කිසිදු හානියක්වී නොතිබුණු උගේ පෙනය විහිදී තිබිණි. එක්වරම වේගයෙන් පිඹින්නට වූ නාගයා ගුරුතුමාගේ මුහුණට පහර දෙන්නට පැන්නේය. පුටුවද පෙරළාගෙන බිය වී පස්සට පැන බිමට ඇද වැටුණු ගුරුතුමා බියෙන් ගල් වී නයා දෙස දෑස් අයා බලා සිටියේය. පන්තියේ ළමෝ තම ඩෙස්කු මතට නැඟී වියරුවෙන් කෑ ගැසූහ. 

කාල නාගයා ලේ රත් පැහැති දෑසින් හාත්පස බැලුවේය. උගේ බෙදුණු දිව වරින් වර මුවින් මතුවනු පෙනුණි. නොකඩවා වේගයෙන් පිඹිමින් උන් ඌ එක්වරම නිදහස සොයා යන්නට තීරණය කළේය. මේසය මත වූ ටින් බඳුනෙන් මිදී බිමට වැටුණු ඌ තම බිඳුනු සිරුර අද්දවමින් වේදනාවෙන් මිරිකෙමින් බිම දිගේ ඇදී යන්නට විය. ඔහු එළිපත්තට එළඹුණු විට නැවත පෙනය විහිදුවේ එහි තවත් අනතුරක් දක්නට තිබුණු බැවිනි. 

පන්ති කාමරයෙන් පිටත පීරිසියක් සහ කිරි ජෝගුවක් අතැතිව ගංගා රාම් සිටගෙන සිටියේය. කාල නාගයා තමන් වෙතට ඇදී එනු දුටු සැණින් ඔහු බිම දණ ගසා පීරිසියට කිරි වත් කර එය දොරකඩින් තැබුවේය. ඉනික්බිති දෑත එක් කර නළල බිම ඔබා ඔහු වැඳ වැටුණේ නාගයාගෙන් සමාව ඉල්ලන ලීලාවෙනි. එහෙත් මහත් සේ කැළඹී, අධික කෝපයෙන් සිටි නාගයා පිඹිමින් ගංගා රාම් ගේ හිසට පැන කිහිප වරක් දෂ්ඨ කළේ ය. ඉන්පසු ඌ ඉතාමත් අපහසුවෙන් ඇදී ගොස් කාණුවට රිංගා අතුරුදන් විය. 

තම මුහුණ දෑතින් වසාගෙන ගංගා රාම් බිමට ඇද වැටිණි. ඔහු වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියේය. නයි විෂ ඔහුව සැනෙකින් අන්ධ කර තිබුණු අතර විනාඩි කිහිපයක් යද්දී ඔහු සුදුමැලි වී කටින් සෙම දමන්නට විය. ඔහුගේ නළලේ මතු වී තිබූ ලේ බිඳු ගුරුතුමා තම ලේන්සුවෙන් පිස දැමුවේය. ගංගා රාම්ගේ නළලේ සඳුන් ආලේපනයෙන් ඇඳ තිබුණු V අකුරට යටින් කාල නාගයා දෂ්ඨ කළ තැන පැහැදිලි ව පෙනුණි. 


Translation of the story ‘Mark of Vishnu’ bu Kushwant Singh

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

සිසිල සඟරාව - මාර්තු 2025 කලාපය 

(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Photo generated by Canva AI