March 22, 2021

සැලී

දවාලට හොඳට අව්ව පායලා තිබුණොත් කෑම වෙලාවේදී කකුල්වල හිරි ඇරගන්නත් එක්ක පොඩ්ඩක් අවිදින්න යන එක මගේ පුරුද්දක්. මම වැඩකරන ඉස්කෝලේ වත්ත අක්කර ගාණක් ලොකුයි. හැම සෘතුවටම මොකක් හරි ලස්සනක් ඉස්මතුවෙන විදිහට මල් පැල හිටවලා, ආරුක්කු හදලා බලන්න හැඩයි. ඉතින් ඔහොම මම වටපිට ලස්සන බලමින් ඇවිදගෙන යද්දී ගොඩාක් දවස්වලට පඳුරක සර සරයක් එක්ක එකපාරට මගේ ඉස්සරහින් මතුවෙන්නේ සැලී.

'හෙල්මලී! ඔයා ඈත එනවා දැක්කා මම!' ඒ වෙලාවට එයා ලොකු හිනාවක් එක්ක කියනවා.

සැලී අපේ ඉස්කෝලේ වත්ත නඩත්තු කරන කණ්ඩායමේ කෙනෙක්. මේ කණ්ඩායමේ හත් අට දෙනෙක්ම ඉන්නේ ඒ තරම් කරන්න රාජකාරි තියෙන නිසායි. සැලී ට අමතරව තව කාන්තාවන් කීපදෙනෙක්ම ඒ කණ්ඩායමේ ඉන්නවා. ලොකු විවෘත හිනාවක් තියෙන සැලී මගේ වයසේ තරම් ඇති. අව්වෙත්, වැස්සේත්, හීතලෙත් වෙනසක් නැතිව කොට කලිසමක් එක්ක අත් කොට කමිසයක් ඇඳලා, බූට්ස් දාලා, කැප් තොප්පියක් දාලා ඉන්න සැලී හරි කඩිසරයි. ඕනෑම වෙලාවක ඉස්කෝලේ වත්තේ කොහේ හරි තැනක සැලී ගස්වල අතු පාහිමින්, පාත්ති වලට පෝර දමමින්, පුංචි නඩත්තු ට්‍රක් එක හැටට හැටේ එලවමින් එහෙ මෙහෙ යනවා දකින්න පුළුවන්.

මගේ ඇවිදිලි වලදී මුණගැහිලා කතාකරලාම සැලී මාත් එක්ක හරි යාලුයි. කොහේදී දැක්කත් දුවගෙන ඇවිත් එයාගේ වැඩත් පාඩු කරගෙන මාත් එක්ක පොඩි කතාවක් දාගෙන ඉන්නවා. සරත් කාලයට ලොකු ගස් වල කොළ හැලිලා පළාතේම බිම රතු- කහ-තැඹිලි පාටයි. සැලී blower එකක් (හුළං පිඹින යන්ත්‍රයක්) අරගෙන ඒ කොළ ගොඩවල් ගහලා ඉවත් කරනවා. 'මම ආසාම autumn එකට' සැලී මට කියන්නේ තව වැටෙන්න ඉතුරු වුණු කොළ පිරුණු ගස් වල මුදුන් දිහා ආදරයෙන් බලමින්.

'ඉතින් සැලී ඔයාට කරදරම කාලේ නේ autumn එක. කොළ අයින් කරලා ඉවරයක් නැහැනේ.' සැලී ගේ මේ ආදරය තේරුම් ගන්න බැරිව මම අහනවා.

'මට ටිකක් කරදර වුණා වගේද මේ ලස්සන!' සැලී කියන්නේ ගස් මුදුන් වල හිතෙන් සැරිසරන ගමන්.

ඉස්කෝලෙට කිට්ටුව පාක් එකක තාරා ජෝඩුවක් හැම අවුරුද්දෙම බිත්තර දාන්නත්, පැටවු ලොකු කරගන්නත් ඉස්කෝලේ වත්ත තෝරාගෙන. ඉස්කෝලේ තියෙන පොකුණ තමයි මේ අයගේ තාවකාලික නිවහන. පුළුන් බෝල වගේ තාරා පැටවු එක්ක දෙමව්පියෝ දෙන්නා ඉස්කෝලේ පුරා ඇවිදින්නේ හරිම ආඩම්බරයෙන්.

'අනේ සැලී අර බලන්නකෝ අර තාරා පැටවු ටික, උන්ව අතට ගන්න ඇත්නම්!' දවසක් අපේ කතාවක් වෙලාවක ලඟින් ගිය තාරා පවුල පෙන්නමින් මම කීවා.

'The %^#$@*!* little shits!' සැලී කේන්තියෙන් කීවේ කුණුහරුපයකුත් මුමුණමින්.

මට හොඳටම හිනා! තාරා පවුල එක්ක ඔය තරම් තරහා ඇයි කියලා මම සැලීගෙන් ඇහුවා.

'ඕකුන්ගේ ජරාව නිකම් ලාටු වගේ, පඩිපෙළවල් වල එහෙම ඇලුනාම හෝදලා මිසක් යවන්න බැහැ. තාරාවෝ ඕන නම් ඉස්කෝලෙන් හදනවනේ, මේ කොහෙවත් ඉඳන් ඇවිත් ටික කලක් ඉඳලා යනවා අපිට වද දීලා!' සැලී කීවේ නොරිස්සුමෙන්. සරත් කාලෙට කොලයක් නෑර හලන මහා ගස් වලට ආදරේ කළත් සැලී අනුන්ගේ තාරාවන්ට නම් පොඩ්ඩක් වත් ආදරේ නැති බව ඉතින් මම එදා ඉගෙනගත්තා.

මම ඉස්කෝලෙ වැඩට ආව අලුත දවසක් සැලී ඈත මල් පාත්තියක් සුද්ද කරනවා පුස්තකාලේ ජනේලෙන් මම දැක්කා. සැලීගේ එහා පැත්තෙ මොකෙක්දෝ ලොකු සතෙකුත් හෙලවෙනවා පේනවා. බැලූ බැල්මට බල්ලෙකුටත් වඩා ලොකුයි. මම කණ්නාඩි දෙකත් දාලා බැලුවට ඒ මොකෙක්ද කියලා හිතාගන්න බැරි වුණා. මාත් එක්ක පුස්තකාලේ වැඩකරන ජූලියා මගේ විපරම දැක්කා.

“ආ ඔයා Mr. Pork දිහාද බැලුවේ?” ජූලියා ඇහුවේ හිනාවෙමින්.

"මොකා?? ඒ මොකෙක්ද ඒ? හරියට පේන්නේ නැහැ මෙතෙන්ට." මම තවත් හොඳට බැලුවා.

"ඒ සැලීගේ හුරතල් ඌරා. එයා මේ අපි වගේ බල්ලෝ පූසෝ හදන කෙනෙක් නෙමෙයිනේ. ඔය ඌරාව පැටියා කාලේ කොහෙද ගොවිපොළකින් බේරාගෙන තියෙන්නේ. ඒකයි Mr. Pork නම දාලා තියෙන්නේ." ජූලියා හයියෙන් හිනාවුණා. "පාත්ති සුද්ද කරන දවසට සැලී ඌව ඉස්කෝලේ අරගෙන එනවා. Mr. Pork හරි දක්ෂයි ඒ වැඩේට. එයා සැලීට පොළොව හාරන්න එහෙම උදවු කරනවා. අනික එයා ඉස්කෝලේ කෙල්ලෝ එක්කත් යාලුයි. බලන්නකෝ දවල් වෙද්දී.'

මම ඒ විස්තරේ අහගෙන හිටියේ කටත් ඇරගෙන! හුරතල් ඌරෙක්... සැලී මරුනේ!

දවල් කෑම වෙලාවේ මම වුවමනාවෙන්ම මේ ජෝඩුව හොයාගෙන ගියා. Mr. Pork ඇවිල්ලා කිලෝ හාර පන්සීයක බඩුවක් බව මම ළඟට ගියාමයි දැක්කේ! අනික ජූලියා කීවා හරි! මම යද්දී ඉස්කෝලේ කෙල්ලෝ Mr. Pork එක්ක සෙල්ෆි ගහනවා! Mr. Pork ත් ඒවාට ලස්සනට හිනාවෙනවා!

වත්ත නඩත්තු කරන කණ්ඩායමේ තව කට්ටිය හිටියත් සැලී රාජකාරිය කළේ ඒක තමන්ගේ වැඩක් විදිහට බව කැපී පෙනුණා. එතැන රාජකාරී යුතුකමට එහා ගිය කැපවීමක් මම නිතරම දැක්කා. සැහෙන්න කාලයක් ගිහින් ඒකට හේතුව මම දැනගත්තෙත් අවුරුදු ගාණක් තිස්සේ ඉස්කෝලේම වැඩකළ ජූලියාගෙන් මිසක් සැලීගෙන් නම් නෙමෙයි.

ඒ හේතුව කියන්න කලින් මේ ඉස්කෝලේ ගැනත් පොඩි විස්තරයක් කියන්න ඕන. මේක අපිට හුරු විදිහට කියනවා නම් Private School එකක්. අවුරුද්දකට ළමයෙක්ගෙන් අයකරන ගාස්තුව $35000ක් විතර. (ලංකාවේ සල්ලිවලින් අවුරුද්දකට පනස් ලක්ෂෙකට වැඩියි) ඒ නිසා ඒ මුදල වියදම් කරන්න පුළුවන් පවුල්වල දැරියන් තමයි මේ ඉස්කෝලෙට එන්නේ. සැලී මේ තරම් ආදරෙන් ඉස්කෝලේ වත්ත බලාගන්නේ එයා මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යාවක් නිසා බවයි මට ජූලියාගෙන් දැනගන්න ලැබුණේ. ජූලියා කීව හැටියට සැලී උසස් පෙළ විභාගේ කරන්න කලින් එයාගේ තාත්තා තදට අසනීප වෙලා. ඒ වියදම් නිසා පවුලේ ආර්ථිකය කඩාගෙන වැටිලා. සැලීට ඉගෙනගන්න උදවු කරන්න නෑදෑයෝ ඉදිරිපත් වුණත් බොහොම ස්වාධීන ගති තිබුණු සැලී ඒ උදවු කරුණාවෙන් ප්‍රතික්ෂේප කරලා. ඉන්පස්සේ වැඩි කල් නොගිහින් සැලී ගේ තාත්තා අන්තරා වෙලා. ඒ වෙද්දී සැලීගේ ඉගෙනුම යම් තරමකට කඩා වැටුණු නිසා එයාට විශ්ව විද්‍යාලේ යන්න බැරි වෙලා. ඒත් ඉන්පස්සේ එයා උද්‍යාන විද්‍යාව හදාරන්න පටන්ගෙන තියෙන්නේ පොඩි කාලේ ඉඳන් ගහ කොළට තිබුණු ආදරේ නිසාමයි. ඉස්කෝලේට තිබුණු ආදරේත් ඒ වෙද්දීත් නොවෙනස්ව තිබුණු නිසා එයා අන්තිමේදී ඉස්කෝලේම වැඩට ඇවිල්ලා! මේ වගේ ඉහළ පෙළේ ඉස්කෝලෙකට ගිය කෙනෙක් ඒ ඉස්කොලේම වත්ත නඩත්තු කරන කණ්ඩායමට එකතුවුණේ ඒ විදිහටයි. ඒත් ඒක මට පුදුමයක් වුණත් මට ඒ විස්තරේ කීව ජූලියාත් ඒක කීවේ සාමාන්‍ය දෙයක් විදිහකට. ඊට අමතරව නිතර සාමීචියේ යෙදෙන මාත් එක්ක වුණත් තමන් මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යාවක් බව කියන එක අවශ්‍ය දෙයක් හැටියට සැලී සලකලා තිබුණෙත් නැහැ. ඉතින් සැලී ලා එහෙමයි!

මට මේ සටහන ලියන්න හිතුණේ ඊයේ පෙරේදා සැලී එයා ආදරය කළ මේ ඉස්කෝලේ දාලා වෙන රස්සාවකට ගිය නිසායි. මෙල්බර්න් නගරයේ ප්‍රසිද්ධ ගෙවතු අලංකරණ ආයතනයකින් කාලයක ඉඳන් සැලීට කළමනාකරණ තනතුරකට ඒ අය එක්ක එකතුවෙන්න කියලා ඉල්ලීමක් තිබිලා. ඉස්කෝලෙට ආදරේ නිසාම මෙතරම් කල් ඒකට නොගිහින් හිටිය සැලී අන්තිමේදී රැකියාවේ දියුණුව ගැන හිතලා ඒ ඉල්ලීමට එකඟ වෙලා. එයා ආදරේ කළ ඉස්කෝලේ දාලා යද්දී සැලී හොඳටම ඇඬුවා. ආයෙත් අපිවත්, එයා ආදරය කළ ගහ කොළත් බලන්න එන බවට මඟින් මඟට පොරොන්දු වුණා.

අදත් දවාලේ මම ඉස්කෝලේ වත්තේ ඇවිදින්න ගියා. මේ දවස්වල ආයෙත් සරත් කාලේ. හැමතැනම රතු පාට, කහ පාට කොළ ඉහිරිලා. මැග්නෝලියා ගස් පේළිය සීත කාලෙට කළින් ඉක්මණින් අන්තිම මල් ටික පුබුදවලා ඉවර කරමින්. ගොඩනැගිලි වල පිටත බිත්ති පුරා යවලා තියෙන රෝස වැල් වල නම් තාම මල් පිරිලා. සැලී යි, Mr Pork යි එකතු වෙලා හදපු පාත්ති සරුවට තියෙනවා. තාරා ජෝඩුව ගහක් මුල නිදි. මේ පරිසරයේ සැලී විතරයි අඩු. ඒත් කල්පනා කරලා බලද්දී ඇත්තටම ඒ හැමතැනම එයාගේ අර ලොකු හිනාවත් එක්ක සැලී හිටියා!

පින්තූර - සැලී ලාගේ මල් පාත්ති සහ තාරා ජෝඩුව







2 comments:

  1. බොහොම අපූරු ලියමනක්. ස්තූතියි.

    - නොවරදවාම එන, ඉඳහිට කොමෙන්ට් දමන පක්සියෙක් -

    ReplyDelete
    Replies
    1. බස්සා!
      ඉඳහිට කමෙන්ට් දැම්මත් මොකෝ නොවරදවාම එන පක්සියෙක් නම්! :)

      Delete