December 19, 2018

වරකාගොඩ සීයා

මේ  මගේ තාත්තාගේ තාත්තා. අපි කිව්වේ වරකාගොඩ සීයා කියලා. සීයා හරි උසයි. පුංචි කොණ්ඩයක් බැඳලා, සරම ඇඳලා මහත හම් පටියක් බැඳලායි හැමතිස්සෙම හිටියේ. අවුරුදු අනූ හයක්  බොහොම නීරෝගීව හිටිය සීයා කිසිම දවසක කණ්නාඩි පාවිච්චි කළේ නැහැ. මහගෙදර ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳන් කිසිම අමාරුවක් නැතිව සිළුමිණ පත්තරේ දැන්වීම් පිටුවල පුංචි අකුරු කියවන සීයා මට දැනුත් පේනවා වගේ. අපි අවුරුදු දාසයෙන් දාහතෙන් කණ්නාඩි දාද්දි සීයා අපිට ඔච්චමට හිනාවුණා.  සීයා මට හැමදාම කිව්වේ 'මාලි' කියලා. "නෑ සීයේ, මට කියන්නේ මලී කියලානේ!" කිව්වාට කවදාවත් කණකට වත් ගත්තේ නැහැ.

ඉස්සර සීයා කෙසෙල් කැනක් කැපුවාම, වත්තේ මැන්ගුස් ඉදුනාම සීයාගේ දරුවෝ දහදෙනාගේම ගෙවල් වලට ඒවා ගිහින් දෙනවා. ඒ  දේවල් බරට බරේ උස්සගෙන යන්නේ බස් එකේ. එහෙම යද්දී ඒ හැම ගෙදරකම ඉන්න පුංචි ළමයින්ට අකුරු බිස්කට් කඩදාසි උරයකුත් ගෙනියනවා. කොයි තරම් දරුවන්ගේ ගෙවල් වල ගියත්, කිසිම දවසක රැයක් නවතින්න තියා කෑම වේලක් කන්නවත් ඒ ගෙවල් වල තාවර වෙන්න සීයා කැමති වුණේ නැහැ. කොහොම හරි, කීයට හරි ගෙදරම ගියා.

සීයා බොහොම මහන්සි වෙලා සීයාගේ දරුවන්ට උගන්නලා තියෙන බව, යහමඟ පෙන්නලා තියෙන බව අපිට  තේරෙන්නේ අපිත් වැඩිහිටියෝ උනාට පස්සෙයි. ඒ මහන්සිය නිසා සීයාගේ ඒ දරුවෝ දහදෙනාටම බොහොම යහපත් ජීවිත ලැබුණා. සීයා මුණුබුරු මිණිබිරියෝ රංචුවක්ම දකින්න, ඒ හැමෝගෙන්ම ආදරේ ලබන්නත් වාසනාවන්ත වුණා.

සීයා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්දැද්දී  පවුලේ දූ දරුවෝ, දරුවන්ගේත් දරුවෝ සෑහෙන්න පිරිසක් සීයාගේ ළඟ  හිටියා. අපි ඇඳ වටේ උන්නු බව සීයාත් දැනගෙන හිටියා.  අන්තිමට උඩට ගත්තු හුස්ම පල්ලෙහාට නොදාම සීයා යන්න ගිය හැටි මගේ හිතේ බොහොම පැහැදිලිව ඇඳිලා තියෙන රිදෙන මතක වලින් එකක්. මේ දෙසැම්බර් මාසෙට සීයා ගිහින් අවුරුදු විසිපහක්. අවුරුදු විසිපහක් ගියත් සමහර අය ඉතිරි කරලා යන සලකුණු මැකිලා යන්නේ නැති බවට සීයා හොඳ සාක්කියක්.

සීයා හිටියා නම්, මේ කාලේ සීයාගේ මිණිබිරියන්ගේ දරුවෝ අවුරුදු හතෙන් අටෙන් කණ්නාඩි දාන හැටි දැකලා හොඳටම හිනාවෙයි!


24 comments:

  1. නොදකින් වැටක් ගහන්නේ මෙච්චර් හොදට මතකයක් ලියාලා තියනකොට. කොහෙද නැහැදිච්ච කමයි උඩඟු කමයි !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇනෝ, මම ඒ වගේ වැටවල් වලට කැමතියි!:) වැට දිගෙන් වැඩියි කියන්නේ කැමැත්ත වැඩියි කියන එක. කියවලා මුකුත් කමෙන්ට් නොකරනවාට වඩා වැටක් හරි ගැහුවාම අපි දැනගන්නවානේ කියවපු කෙනා ඒ පෝස්ට් එකට කැමතියි කියලා. තාම ඉතින් බ්ලොග් වලට ලයික් ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ නැහැනේ fb වගේ. ඒ නිසා කිසිම අවුලක් නැහැ

      Delete
    2. ++++++++++++++++ Pra_J
      ++++++++++++++++++++++++++++++++ Ano
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++ Mali

      Delete
    3. Sorry!

      POst ekata...
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      :) Thanks

      Delete
  2. 😊😊😊😊Ape seeyath nathiwenakmma kannadi damme na poth kiyawaddi

    ReplyDelete
    Replies
    1. ඔව් සීයලා ආච්චිලා කල දේවල් වලින් හතරෙන් එකක් වත් කරන්න අපිට හයිය නැහැ මේ කාලේ! :)

      Delete
  3. අනගි මතක පුනරාලෝචනයක්. සීයා බලන්න ඔයාලා මහගෙදර ගිය දවස් ගැනත් ලියන්න ඉඩ තියෙන හැටියට. ඉතිහාසය වාර්තා කරන්නෙ මේ විදියට තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ, ඒ කාලේ ගැන සුවිශේෂ මතක තියෙන බව තේරෙන්නේ ලියන්න ගත්තාමයි! සීයාගේ මුණුබුරු මිණිබිරියෝ විස්සක් විතර හිටියාට එයින් හත් අට දෙනෙකුටම සීයාව එක්කෝ මුණගැහිලා නැහැ නැත්නම් මතක නැහැ. ඒ මල්ලිලා නංගිලාට සීයා ගැන හිතේ චිත්‍රයක් ඇඳ ගන්නත් මෙහෙම මතක ලියලා තියන එක ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා.

      Delete
  4. මේ මගේ තාත්තාගේ කතාවක්.
    ඒක ලියලා තියෙන්නේ තාත්තාගේ ලෙන්ගතුකම උපරිමයෙන් ලබාගත් 'මාලී' බාලම මිණිපිරියයි. තාත්තා පරලෝ සැපත්වී මේ දෙසැම්බර් මාසයට වසර විසි පහක් වෙනවා. ඒ වෙනුවෙන් සාංඝික දාන මාන පින්කම් සූදානම් කර තිබෙනවා. පස්දුන් කෝරලයේ ඉපිද නියම ගැමියෙකු ලෙස ජීවත්වූ තාත්තා රබර් වගාකිරීම සහ කොටු ගොවිතැන් කිරීමේ අති දක්ෂයෙක්. ගමේ අයට වගාවන් ගැන උපදෙස් දුන්නෙත් තාත්තා. ඩඩ්ලි සේනානායක මැතිතුමා කෘෂිකර්ම ඇමතිව සිටි කාලයේ හොරණ පැවැත්වූ 'අලවර්ග ප්‍රදර්ශනයකට' තාත්තා ඉදිරිපත් කළ රාත්තල් විසිපහක් පමණ බරින් යුක්ත, වැලත් සමග හාරාගත් කොඬොල් අලයකට තෑග්ගක් වශයෙන් උදලු තලයක් සහ පොල් පැලයක් ලැබුණු බව මට මතකයි.
    මිණිපිරීලා සීයා බලන්නට මහගෙදරට ගිය අවස්ථාවල තොර තුරු සහ කළ කී දේ පිළිබඳව හුඟක් දේවල් ලියන්නට හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. තාත්තා, සීයාගේ ජීවිතේ ගැන මම දන්නේ බොහොම පොඩ්ඩයි. ඒත් ඒ පොඩ්ඩත් ඇති ඒ බොහොම සුවිශේෂී චරිතයක් බව ඒත්තු යන්න. තාත්තාගේ ඊළඟ පොත හැටියට සීයා ගැන ලියමු! :)

      Delete
  5. මගේ අවාසනාවකට මගේ සීයලා දෙන්නාම මට මතක තියෙන කාල වෙනකොට නැතිවෙලා. ආච්චි අම්මල දෙන්න නම් හොඳටම මතකයි. ඔබගේ සීයාට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්, ඔව් සීයලා ආච්චිලා ඇසුරේ වැඩෙන්න හැමෝටම ඉඩ ලැබෙන්නේ නැති බව ඇත්ත. ඒ වගේම ජීවත්ව හිටියත් ඒ හැම සීයාටම ආච්චි අම්මාටමත් බැහැ පුංචි ළමයින්ගේ හිත දිනාගන්න. ඒ නිසා ඉතින් මේ දෙකම සිද්ධ වෙනවා කියන්නේ කලාතුරකින් වෙන වැඩක්!

      Delete
  6. මිසීගෙ my century රචනාවනං බොහොම අගෙයි.
    හැට්ටර්ට නං එකසීය උනාට හැට්ටර්ගේ ලොකු කෙලීට නං දෙසීයම හිටියා.
    ගමේ ගියාම ගිය සැනින් අනිවාර්යයෙන්ම ඩබල සෙට් වෙනවා සිමෙන්ති පොළොවේ චිත්‍ර අඳින්න.
    මිසීට මේවා කොහොම මතක් වෙනවද දන්තැනෑ . (හාඩ් ඩිස්ක් ඉස්ටයිල් එකේ කෙනෙක්ද කොහෙද )
    තැන්කිව් වෙනවා අපිටත් පරණ ඉස්ටෝරි මතක් කොරල දෙනවට.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. //my century// :D

      හැට්ටර් ගේ එකසීය ගැන හරි ලියන්නකෝ බලන්න අරෙහෙ බ්ලොග් එක පාලුවට යන එකේ!

      ඔව් මගේ හාඩ් ඩිස්ක් එකේ ඔය වගේ අනං මනං නම් එමටයි. මෑත කාලේ දේවල් වලට ඉඩ නැති වෙන තත්ත්වයක් දැන් තියෙන්නේ!

      Delete
    2. මීසිට කියන්ඩ මේ දවස්වලනං B&W පාලුවටම ගොහින් නැහැ. පොඩි පොඩි කුණු කේස් ටිකක් ලිව්වා මිසී.
      Myself Hattor!

      Delete