May 19, 2017

දේදුනු

සේද කෙඳි පින්සල ගසාලන ගමන් අන්ද්‍රක තමන්ගේ නිර්මාණය දිහා හොඳට බැලුවා. 'ම්ම්ම්.. රෝස පාට ටිකක් වැඩිද මන්දා!' තමන්ටම මුමුණා ගත්තා. චිත්‍රය අඳින අන්තිම හරියේදී, ලොකු අඩ කවයකට රත්-තැඹිලි පාට දාන්න හිතුන එක හොඳයි කියලා තේරුණේ ඈත තියා බලද්දියි.

අන්ද්‍රක ගේ රාජකාරිය අහස පාට කරන එක. හරියටම කියනවා නම්  අහස් පසුතල නිර්මාණ ශිල්පී (සන්ධ්‍යා). වරහන ඕන වෙන්නේ උදේ අහස පාට ගන්වන්න වෙන කෙනෙක් ඉන්න නිසා. ඒ මාතුර. එයා අහස් පසුතල නිර්මාණ ශිල්පී (උදෑසන). මේ රස්සා දෙකම එක්කෙනෙකුට සාර්ථකව කරන්න බැරි බවට ඉහළින් නියෝගයක් ඇවිත් තිබුණේ ටික කලකට කළින්. 'විකාර!' ඒ ගැන කතාකරන හැම වේලාවකම අන්ද්‍රක කේන්තියෙන් පිපිරෙනවා. 'හවස වැඩ මුරය උපරිම හත වෙද්දී ඉවරයි- ඉතින් උදේ පහට නැගිටලා මටම ඕක කරන්න බැරිද!' අන්ද්‍රක එහෙම කියන්නේ රාජකාරි දෙකම කරලා වැඩි පඩියක් ගන්න හිතේ කොණක තියෙන ආසාවට වඩා එහෙම වුණොත් අත් වෙන නම්බුව ගැන හිතලායි . අනික මාතුර තාම බොහොම ලාබාල තරුණයෙක් නිසා තමන්ගේ වැඩිහිටිකමට ඒ වගේ සැලකිල්ලක් තියෙන්න ඕන කියලා අන්ද්‍රක ට හිතෙනවා. මාතුර නිර්මාණ අභ්‍යාස මණ්ඩලයෙන් පිටවුණේත් ළඟදී. එකත් එකටම, එකපාරටම මෙහෙම වැදගත් රස්සාවක් හම්බවුණේ ඉහළ තැනක අඳුරුම් කමක් නිසා වෙන්න ඇති.

"මේ අද ඊයේ කොල්ලෝ මොනවා දන්නවද! හරියකට රත්තරන් පාටක් කලවම් කරගන්න පුලුවන්ද?"

අදත් අන්ද්‍රක තීන්ත පෝච්චි රාක්කෙන් අඩුක් කරන ගමන් කේන්තියෙන් ඒ ගැන හිතුවා. මාතුරගේ උදේ අහස හුස්ම හිර කරන තරමේ ලස්සන පාටින් පිරිලා බව අතන මෙතැන ඇහෙන කතා බහ අමතක කරලා දාන්න අන්ද්‍රකට ලේසි වුණේ නැහැ. මාතුර මහන්සි නොබලා උදේ අහසේ පාටින්ම මුහුදත්, උසම කඳු මුදුනුත් පාට කරන ආරංචිය මුලින්ම අන්ද්‍රක ට ගෙනාවේ කුණාටු තාක්ෂණ ශිල්පියෙක්. ඒ පාටවල් හැම එකක්ම එකට මුහුවෙලා උදේ පාන්දරට වටපිට තැවරෙන ලස්සන දැනෙන්නේ ඇස් දෙකට නෙමෙයි හදවතට කියලා මිනිස්සු කියනවාලු. මදිරා ඔඩමක් හිස් කරන අතරතුරේදී, මාතුර වරුවක් තිස්සේ මහන්සිවෙලා මේ විදිහට පාට කරපු අරුණැල්ලක් සුණු විසුණු කළ හපන්කමක් ගැන කුණාටු කාරයා උජාරුවෙන් කියද්දී අන්ද්‍රකට දැනුණේ කුරිරු සතුටක්. කොහොමත් කුණාටු එක්ක ගැවසෙන අය කිසිම අණක් ගුණක් නැති උදවිය බව අන්ද්‍රක දැනගෙන හිටියා. ඒත් එක්කම එයාට සියුම් කලකිරීමකුත් දැනුණා. මාතුර වගේ ආධුනිකයෙකුට ඉරිසියා කරන එකෙන්ම තමන්ගේ තත්ත්වය කොයි තරම් බාල වෙලාද කියලාත් එයා ට හිතුණා.

අන්ද්‍රක හවස අහස පාට කරලා ඉවරවෙලා හැමදාම ඇවිදින්න යන්නේ ඔලුව නිදහස් කරගන්න. හැමෝම හිතන්නේ අහසක් පාට කරනවා කියන්නේ එහෙන් මෙහෙන් තීන්ත හලනවා වගේ දෙයක් කියලා. එක දිගට දවස් දෙකක් එක විදිහේ චිත්‍රයක් නොඅඳින්න, එකම පාට හැමදාම පාවිච්චි නොකරන්න, කුණාටු කණ්ඩායම එක්ක සහයෝගයෙන් වැඩකරලා දවස් බෙදාගන්න කොයිතරම් අමාරුද කියලා තේරෙන්නේ ඒ වැඩේට අත ගැහුව කෙනෙක් විතරයි. ඒ අතින් දවල් අහස බාර කට්ටියට කොයිතරම් වැඩ අඩුද! ඒ අයට තියෙන්නේ වලාකුළු තැන් තැන්වල තියන්න විතරයි. ඒකනේ ඒ වැඩේට ආධුනික කට්ටියක් යොදලා තියෙන්නේත්. අන්ද්‍රක ට ආධුනිකයන් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නැහැ. ආධුනිකයෙක් ඇඟේ හැප්පුනත් කතාකරන්න බලාපොරොත්තුවක්වත් නැහැ. දවල් අහසේ සමහර දාට වළාකුළු වලින් රටා හදලා ලස්සන කරලා තියෙනවා දකිද්දී අන්ද්‍රක හිනාවෙන්නේ උපහාසයෙන්. නිර්මාණ ශිල්පියෙක් වෙන්න පිං කරලා තියෙන්න ඕන බවත්, වළාකුළු එහෙන් මෙහෙන් වපුරන එක නිර්මාණයක් නොවන බවත් අන්ද්‍රක හොඳින් දන්නවා. මේ වගේ ඉර බහින වෙලාවට තැනිතලා මැද්දෙන් ඇවිදින එක අන්ද්‍රක ට බොහොම ප්‍රියජනක දෙයක්. අවුරුද්දේ හැම සෘතුවකම මේ තණබිම් වල එක එක මල් ජාති පිපිලා තියෙනවා. රස්නේම ගිම්හාන කාලෙට පිපෙන කහපාට පුංචි කරාබු මලත් හීතලම වස්සානයට පිපෙන රතුපාට තාරුකා මල් පොකුරත් එක විදිහට මේ නිම්නයට ලස්සන ගේනවා. සෙල්ලමට වගේ එහෙන් මෙහෙන් වක් වෙවී ගලන පුංචි දියපාරවල් උඩින් අඩි තිය තිය යද්දී අන්ද්‍රක ගේ හිතේ දවල් තිස්සේ ඇතිවුණු නොසන්සුන්කම්, හිත් අමාරු නැතිවෙලාම යනවා. ඒ වෙලාවට ලෝකේ වෙන දේවල් වලින් වැඩිහරියකට සමාව දෙන්න පුළුවන් තරමට හිත නිරවුල් වෙනවා. ඊළඟ දවසේ අහසට ගැලපෙන පාට තණබිස්සේ හැංගුණු දම්පාට සයාද්‍රි  මලකින් හරි දොළ පාරේ තද අළු පාට රවුම් ගලකින් හරි හිතේ ඇඳෙනවා. හවස මේ ඇවිදිල්ලෙන් කොයිතරම් හිත සන්සුන් වුණත් උදේම නැගිටලා මාතුරගේ උදේ අහස බලන්න තරම් නම් අන්ද්‍රක ගේ හිත මෙලෙක් වෙන්නේ නැහැ. උදේ ඉර නැඟෙන වෙලාවට ඉබේම වගේ ඇහැරුණත් ඒ වෙලාවට තදින් ඇස් වහගෙන ඉන්න අමාරුවෙන් වුණත් පුළුවන්. ඇඳේ ඒ මේ අත පෙරලෙද්දී කවුළුවෙන් එළිය පෙනෙයි කියලා බයට අන්ද්‍රක තිර දාලා තියෙන්නෙත් ගණ රෙදිවලින්.

මේ වගේ නොයෙක් දේවල් ගැන හිතමින් අඩිපාර දිගේ හෙමින් හෙමින් ගිය අන්ද්‍රක එකපාරට තිගැස්සුණා. වෙනදාට මේ වෙලාවේ මේ තැනිතලාවේ දිගට, දොළ පාර ගඟට වැටෙන ඉසව්වේ, ගඟ අයිනේ එහෙම කවුරුවත් නැහැ. හැමෝම වගේ තමන්ගේ රාජකාරි ඉවරකරලා තම තමන්ගේ කුටිවලට ගිහින්. ඒත් අද තොටමුණ කෙළවර ලා අඳුරේ ගඟට පහත් වුණු රුව මාතුර ගේ බව අන්ද්‍රක ට අඳුනාගන්න වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. 'කතාකරනවාද, නොදැක්කා වගේ යනවාද..' දෙගිඩියාවෙන් පහුවුණු විනාඩි කීපය ඉබේම නිමාවුණේ මාතුරගේ හඬින්.

'අන්ද්‍රක අයියා! ඇවිදින්න ආවාද?' මාතුර කට පුරා හිනාවෙලා ඇහුවේ ලෑලි අට්ටාලය උඩ ඇණ තියාගනිමින්.

'ඔව්, මම.. මේ.." අන්ද්‍රක වැදගත් උත්තරයක් දෙන්න වචන හෙව්වා.

ඒත් එක්කම අන්ද්‍රක ගේ ඔලුවේ තිබුණු මාන්නය නැතිවෙලා ගියේ මාතුර ගේ අතේ තිබුණු දේ දැකලා. මාතුරගේ අතේ දැවටිලා ගංදියේ පාවෙමින් තිබුණේ දිග සේලයක් වගේ දෙයක්. අන්ද්‍රක ගේ ඔලුවට මුලින්ම ආවේ 'මේ යකා දැන් කුලියට සේල හෝදන්නත් පටන්ගෙන ද?' කියලායි. තමන්ටත් නොදැනුවත්වම අන්ද්‍රක ගඟ අයිනටම ඇදිලා ගියා.

මම මේ පොඩි පරීක්ෂණයක්!මාතුර සුපුරුදු හිනාවෙන්ම කිව්වා. තමන්ගේ හිතේ තියෙන කහට ඒ මූණේ නම් නැති බව අන්ද්‍රක ට හිතුණා.

අන්ද්‍රක අයියලා වගේ නෙමෙයි නේ, අපි ඉතින් නිර්මාණ කරන්නේ වරුවක් තිස්සේ කල්පනා කරලා, තැවි තැවී ඉඳලා නේ. ඒ වෙලාවට එක එක අත්හදා බැලීම් කරන්න හිතෙනවා. අයියා නම් හවස අහස අඳිනවා ඇත්තේ ඇස් පියාගෙන වෙන්න ඇති නේද?’

ඒකට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතලා අන්ද්‍රක ටිකක් නොසන්සුන් වුණා. ඔව් මම මේ රස්සාව බොහොම ලේසියෙන් කරන්නේ!කියලා ප්‍රවීණයෙක් හැටියට පෙනී ඉන්නවද, ‘ නෑ මමත් මහන්සිවෙලා සැලසුම් කරනවාකියලා ආධුනිකයෙක් ගේ ලක්ෂණ පෙන්නුම් කරනවාද කියලා අන්ද්‍රක අහස පොලොව ගැටලද්දීයි  දැක්කේ මාතුර තමන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවුණු බව. ඒ වෙනුවට මාතුර පොඩි ළමයෙක් වගේ උනන්දුවෙන් තමන් කරමින් හිටිය දේ අන්ද්‍රක ට පෙන්නන්න සූදානම් වෙනවා.

අයියා දන්නවාද මේ මොනවාද කියලා?’ මාතුර ඇහුවේ තාමත් ඉතිරෙන උද්යෝගයෙන්. ඒ වෙද්දී වතුරේ තිබුණු සේලය ගොඩට අරන් තොටමුණේ ලෑලි උඩ ගොඩගහලා තිබුණා.  දිස්නේ ගහන පාට අහුරක් ඒ සේලය පුරාවට තිබුණා.

දේදුනු!මාතුර රහසින් වගේ කිව්වා. ඊට පස්සේ මහා හයියෙන් හිනාවුණා. මාතුරගේ ගැඹුරු හිනාව ගඟේ දිය රැළි දිගේ හැපී හැපී විසිරිලා ගියා. තමන් අන්තිමට මෙහෙම සතුටින් හිනාවුණේ කවද්ද කියලා සිතුවිල්ලක් අන්ද්‍රක ගේ යටි හිතෙන් ඔලුව උස්සලා ආයෙත් යට ගියා.

දේදුනු?’ අන්ද්‍රක ප්‍රතිරාව දුන්නේ සැකෙන්. කළින් අහලා වත් නැති වචනයක්. හවස පින්නට තෙමිලා මේ කොල්ලාගේ ඔලුව නරක වේගෙන එනවාදෝ කියලත් පොඩි සැකයක් ඇතිවුණා.

දැන් අයියා හිතනවා ඇති දේදුණු කියන්නේ මොනවාද.. මේ කොල්ලාගේ ඔලුව හොඳ නැද්ද.. වගේ දේවල් නේද?’ මාතුර තවත් හිනාවුණා. තමන්ගේ හිත කියෙව්ව එක ගැන අන්ද්‍රක ට පොඩි ලැජ්ජාවක් ඇති වුණත් එයා ඒක වහගන්න ටිකක් රැව්වා.

කියන දෙයක් තේරෙන්න කියන්න කොල්ලෝ! මට පරක්කුත් වෙනවා!මෙතැන වෙන දේ දැනගන්න කිසිම උවමනාවක් නැති විදිහට අන්ද්‍රක කටහඬ උදාසීන කරන්න උත්සාහ කළා.

අයියා දන්නවාද අර මහා වීදියේ තරු විකුණන පරණ කඩේ? අර යාර ගාණට වළාකුළු එහෙමත් විකුණන්න තියෙන්නේ?’

අන්ද්‍රක ඔලුව වනලා ඔව්කියලා ඇඟෙව්වාට එයා ඒ කඩේ ඇතුලට වත් ගිහින් නැහැ. වළාකුළු, තරු වගේ සිල්ලර දේවල් අන්ද්‍රකගේ දින චරියාවට අඩංගු වුණේ නැහැ.

එහෙනම් අයියා දන්නවා ඇති නේ ඒ කඩේ අයිති දීතා ආච්චි ව? අර කුදු ගැහුණු මනුස්සයා?’ මාතුර කියාගෙන ගියා. මම එයාට කඩේ අස්පස් කරන්න උදවු වුණා නේ ළඟදී. කුලියකට නෙමෙයි, මට පවු කියලා හිතුනා ඒ මනුස්සයා හරියකට ඇහැ පේන්නෙත් නැතිව අර තරු පුරවපු කල්දේරම් එක්ක හැප්පෙනවා දැකලා. මට මගේ ආච්චිව මතක් වුණා!

ඉතින්?’ අන්ද්‍රක නොඉවසිල්ලෙන් ඇහුවේ මේ කතාවේ අග මුල  පැටලුම් ඇරගන්න.

ඉතින් කඩේ රාක්කයක් අස්සට වැටිලා, පොඩි වෙලා, ඉරිලා මේ සේල ටික තිබුණා. මොනවාට ගෙනාපු දෙයක්ද කියලා දීතා ආච්චිටවත් මතක නැතිලු. ඒවා කුණු ගොඩට දාන්න හදද්දි මම ඉල්ලා ගත්තා. ඉරිලා ගියාට බලන්න ඒවායේ පාට! තාම දිස්නේ දෙන හැටි! මේවා උස්සගෙන ඇවිත් මගේ ඇඟම පාට පාට වෙලා!මාතුර ආයෙත් උස් හඬින් හිනාවුණේ උන් තැනින් නැඟිටලා වටයක් කැරකෙමින්.

ඒ පාර නම් අන්ද්‍රකටත් හිනා ගියා. මාතුරගේ සුදු කපු කමිසේ හරහට පාට තීරුවක් ඇඳිලා තිබුණා. සේල ටික කරේ දාගෙන ආව පැත්තේ කම්මුලත්, දිග කැරළි කොන්ඩේත්  දිස්නේ දිදී තිබුණා.

දැන් මේවායින් මොනවාද කරන්න හදන්නේ?” අන්ද්‍රක සේල පොදිය ළඟින් බිම ඇණ තියා ගන්නා ගමන් ඇහුවා. මේතරම් කාලෙකට කවදාවත් මාතුර එක්ක මේ විදිහට තමන් කුළුපගව කතාකරලා නැහැ නේද කියලා හීනි පසුතැවිල්ලකුත් දැනුණා.

මම මේ දූවිලි ටික යන්න ඒවා හේදුවා. වේලලා අරන් පොඩි සැරසිල්ලක් හදන්න පුලුවන්ද බලන්න මම හිතාගෙන ඉන්නේ, සැරසිල්ලක් කිව්වේ- අහසට!මාතුර ගේ මූණේ බලාපොරොත්තු පිරිලා. කළුවර වැටිලා තිබුණත් එයාගේ ඇස් වල සතුට දිලිසුණා.

අහසට?” අන්ද්‍රක ට වචන ගොත ගැහුණා. මේතරම් වෙලාවක් හිත යට හැංගිලා උන්නු ඉරිසියාවේ සර්පයා ආයෙත් ඔලුව උස්සගෙන එන බව එයාට දැනුණා. අහසට අලුත් සැරසිලි කරන්න හිතෙන්න ඕන අත්දැකීම් වැඩි තමන් වගේ අය කියන සිතිවිල්ල අන්ද්‍රකගේ හුස්ම හිරකරගෙන උඩට ආවා.

මෙහෙමයි අයියේ, මේක පොඩි අදහසක් විතරයි. මම වගේ පොඩි මිනිහෙක් යෝජනා කරලා මේවා ඉහලින් අනුමත වෙයිද දන්නෙත් නැහැ.. අයියාත් දන්නවානේ සමහර දවස්වලට කාලසටහන් ගැටිලා වැස්සයි අව්වයි එකට තියෙන දවස්. ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථක දවස් හැටියට නේ වර්ග කරන්න කියලා තියෙන්නේ. මට හිතුණා එහෙම දවසකට ඒ සිද්දවුණු පටලැවිල්ල හැමෝටම අමතක වෙන්න වැස්සයි අව්වයි මැද්දෙන් මේ පාට සේලයක් එල්ලුවොත් මොකද කියලා. හරියට නිකම් දුකයි සතුටයි  අතර මැද අවස්තාවක් වගේ! මිනිස්සුන්ට අර අසාර්ථක දවස වෙනුවට ඒක මතක හිටීවි නේ. හොඳයිද අදහස?” මාතුර අන්ද්‍රක ගේ මූණට එබිලා අහනවා.

තමන්ට බාර වුණු හවස අහස පාට කරන එකට අමතරව මේ වගේ කිසිම සංසිද්ධියක් ගැන තමන් මෙතරම් කල් කල්පනා නොකළේ ඇයි කියලා අන්ද්‍රක තනියම හිතුවා. නීති ගරුක වෙන්න තියෙන තදබල කැමැත්තද , කිසිම විප්ලවකාරී බවක් තමන්ගේ ලේ වල නැති කමද එහෙම නැත්නම් තමන්ගේ පරිකල්පන ශක්තිය බින්දුව නිසාද කියලා තැවුලක් දැනුණා. දැන් මේ කොහේවත් නැති කොල්ලෙක් අලුත් දේවල් හිතලා ඒකට ගෞරවයත් අරගන්නයි හදන්නේ!

මම තාම ඔක්කොම විස්තර හිතුවේ නැහැ. ඕකට වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙයි අනිවාර්යෙන්. මගේ අදහස කිව්වාම දේදුන්න කියලා නම නම් කිව්වේ දීතා ආච්චි. එයා ඔය පරණ මන්තර එහෙම දන්නවානේ. එයින් වචනයක් වෙන්න ඇති. මටත් ඒ නම අල්ලලා ගියා. හිතන්න... දේදුන්නක්!මාතුර තාමත් කියවනවා.
හරි ගියොත් අන්ද්‍රක අයියා මට උදවු කරනවද මේ දේදුනු හදන්න? අයියාගේ චිත්‍ර වල වැඩ පාඩු වෙන්නේ නැත්නම් විතරක්. මම නම් මොන වැඩ තිබුණත් අයියාගේ හවස අහස බලනවා කොහොමහරි.. හැමදාම ඒවායින් මොනවා හරි ඉගෙනගන්නවා. අද හවස තැඹිලි පාට! ෂුහ්! මට නම් මේ කපේදී බැරි වෙයි එහෙම පාටක් හදාගන්න. මේක හරිගියොත් අයියාට චිත්‍ර අඳින්න කම්මැලි හිතුන දවසක හවස අහසට බැරියැ දේදුන්නක් එල්ලන්න. මටත් ආඩම්බරයි එහෙම වුණොත්!මාතුර තාම කියවගෙන යනවා. එයාගේ අවධානය සේල ටිකෙන් වතුර මිරිකන්න යොමු වෙලා තියෙන නිසායි, අවට පැතිරිලා තියෙන අඳුර නිසායි  තමන්ගේ මූණේ ඇඳිලා මැකෙන හැඟීම් ටික නොපෙනුණු එක ගැන අන්ද්‍රක සතුටු වුණා. මාතුර ගේ ගෞරවය විඳින්න තියෙන ආසාවත්, එයා තමන්ට වඩා බබලයි කියලා හිතේ තියෙන කුහක කමත් එකිනෙක පාගාගෙන ඉහළට එන්න උත්සාහ කරනවා එයාට හොඳට දැනුණා. තමන් නිශ්ශබ්දව නොඉඳ යමක් කිව යුතු බව හිතුණත් ගැලපෙන දෙයක් හිතාගන්නට අන්ද්‍රක අසමත් වුණා. හොඳ වෙලාවට මාතුර තනියම වුණත් කතාකරන්න පුළුවන් තරුණකමක හිටියා.

අපි යමුද අයියාකළුවර වැටුණාට පස්සේ මේ අඩි පාරවල් හරියට පේන්නේත් නැහැනේ. අයියාට පුලුවන්ද මට මේ දේදුනු ටික අරන් යන්න උදවු කරන්න? තෙමුනාම මේවා බර වැඩියි!මාතුර රවුමට කැරළි ගැහුව සේල කීපයක් අන්ද්‍රකගේ අතට දෙන ගමන් කිව්වා. තමන්ගේ හිතේ තියෙන ද්වේශය බින්දු මාත්‍රයක්වත් මේ අපූරු තරුණයාගේ හිතේ නැති බව ඒවා අතට ගන්නා ගමන් අන්ද්‍රක නිහඬව හිතුවා.

වංගු පාර දිගේ යද්දී ඈත නගරය පෙනුණේ කණාමැදිරි එළි අහුරක් වගේ. අඳුර කළු පාට ලෝගුවෙන් හැමතැනම එක විදිහට වහගෙන තිබුණා. ඇවිදගෙන යන ගමන් මාතුර එක්ක කතාකරන්න ප්‍රවේසම් මාතෘකාවක් ගැන හිතමින් අන්ද්‍රක ඔලුව අවුල් කරගත්තා. රස්සාව ගැන කතාකරන්න බැරිකමකුත්, වෙන දෙයක් ගැන කතාකරන්න මාතුරගේ පෞද්ගලික විස්තර නොදන්නා කමකුත් එයාගේ දිව ගොළු කළා. 

මාතුර මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ?” අන්තිමට නිහඬ බව බිඳිමින් අන්ද්‍රක ඇහුවා. තමන්ගේ කටහඬේ වෙනදාට නැති බොරු ගැඹුරක් තියෙන බවක් වචන පිටවෙද්දීමත් එයාට හිතුණා.
ඉස්සරහට!එහෙම වැඩිය දුර හිතලා නැහැ අන්ද්‍රක අයියා.මාතුර එයාගේ සුපුරුදු සැහැල්ලු හිනාවෙන්ම උත්තර දුන්නා. එහා නිම්නයේ කැලයක ගස් වල කොළ හැම සරත් කාලෙකදිම පාට කරන්න සිත්තරෙක් හොයනවා කියලා මට ආරංචියක් ආවා. හිස් පසුබිම් වල වැඩකරනවාට වඩා ගහකොළ එක්ක වැඩකරන්න මම ආසයි. ඒත් ඉතින් එක සෘතුවක් විතරක් රස්සාවක් කරලා ජීවත්වෙන්න බැහැනේ!ඒ රස්සාවට ගියත් නැතත් මට වැඩිකල් අහස පාට කරන වැඩේ කරන්න බැරි වෙයි, මට ළඟදීම ආපහු ගමට යන්න වෙයි.මාතුර අන්තිම ටික කිව්වේ කනස්සල්ලෙන්.

මේ තමයි මට සතුටක් දැනෙන්න ඕන වේලාව!අන්ද්‍රක තමන්ටම කියාගත්තා. මේකා යන්නම යනවා නම් මට ඉහළට කරුණු කියලා ඒ රස්සාවත් මටම ගන්න පුළුවන්!ඒත් නොහිතුව විදිහට ඒ විදිහේ සතුටක් අන්ද්‍රකට දැනුණේ නැහැ. විවෘත හිනාවක් තියෙන මේ තරුණයා එක්ක ගත කළ කෙටි කාලය අන්ද්‍රකගේ ඇතුලාන්තය මෘදු කරලා තිබුණා.

ඇයි මල්ලි මෙහෙම රස්සාවක් දාලා ගමට යන්න හදන්නේ?” ඒ මෘදු බවින් මිදෙන්නේ නැතිවම අන්ද්‍රකගේ කටින් පිටවුණා.  ඒ එක්කම තමන් නෑදෑ නොවන කෙනෙකුට කවදාවත් මල්ලිනොකිව් බවත් අන්ද්‍රකට මතක් වුණා.

ඒ ළබැඳි බව දැනිලාද කොහේදෝ මාතුර නැවතුණා. අඩිපාර අයිනේ තිබුණු කණ්ඩියකට බර වුණා. මේතරම් වෙලා සතුටින් දිලිසුණු ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා තියෙනවා අන්ද්‍රක ට කළුවරේත් පෙනුණා.
මගේ ආච්චිට සනීප නැහැ අයියා. මට ඉන්නේ ආච්චි විතරයිඊට එහාට විස්තර කරන්න වචන නැතිව මාතුර ගොළු වුණා. එයාගේ අතේ තිබුණු දේදුණු-සේල ටික එයාගේ දෙපා ළඟ තාමත් දිලිසි දිලිසි තිබුණා.
අන්ද්‍රකත් මාතුර ළඟින් නැවතුණා. ජීවිතේත් වැස්ස දවස්, අව්ව දවස් එකතුවෙලා, උදේ අහසින්, හවස අහසින් පාට වෙලා, කුණාටු වලින් කැඩිලා බිඳිලා යන දෙයක් නේද කියලා එයාට හිතුණා. දේදුනු සේලයකින් වත් ඒවගේ බිඳෙන සුළු දෙයක් ලස්සන කරන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්දබැබලිලා මැකිලා ගියත් මතකයක් වත් ඉතිරි කරලා යන දෙයක්!

අපි යමු මල්ලි!කියලා අන්ද්‍රක බිම තිබුණු සේල  පොදිය කරට ගත්තා. මාතුරගේ කරට අත දාගෙන  ආයෙත් අඩි පාරට ආවා.

ඔයා ගිහින් ඔයාගේ උදේ අහසේ ලස්සන බලන්න  ආච්චිව මෙහේ එක්කගෙන එන්න, ඔයා එනකම් මම වැඩ ටික බලාගන්නම්... ඊටපස්සේ අපි එකතුවෙලා දේදුණු හදමු!අන්ද්‍රක හෙමින් සැරේ කිව්වා. මාතුර පුදුම වෙලා අන්ද්‍රක ගේ මූණ බැලුවා. කවදාවත් නැති විදිහට අන්ද්‍රකගේ ඇස් දෙකත් දිලිසෙනවා පෙනුණා. ඒ සතුටකටද කඳුළු නිසාද කියලා මාතුරට හිතාගන්න බැරිවුණා.


දෙන්නා එක්ක ඇවිදගෙන ගිය අඩි පාරේ දිගටම දේදුනු -සේල වලින් ඉහිරුණ පාට තැවරිලා තිබුණා.


8 comments:

  1. ස්වාභාවික සංසිද්ධි චිත්ත රුප මැවෙන ආකාරයට ගොනු කර පෙළ ගස්වා තිබීම හරි අගෙයි.
    අවසානයේදී අන්ද්‍රකගේ සිතේ තිබුණු කුහක කම නැති වුයේ මාතුරගේ ලාබාල කමත් අහිංසක කමත් නිසානේ. ඒ දුර්ගුණ සිතින් ඉවත් කරගෙන සාමුහිකව කටයුතු කිරීම නිසා චන්ඩ මාරුතය පවතින, අහස කලු වලාකුලින් බරවී තිබෙන විටත් නව නිර්මාණයක් වන 'දේදුන්න' මැවෙනවා. කොහොම වෙතත් දේදුන්න මැවීමට වලාකුළු අතරින් හිරු කිරණ පොදක් වැටෙන්නට ඕනෑ වෙනවා. වලාකුළු වල බල මහිමය පෙන්වන අකුණු සැර නිසා දේදුන්න තවත් දීප්තිමත් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. නිමිත්ත- හවස අහසක්! :)

      Delete
  2. මලී. මම කැමතිම විදිහේ කතාවක් මේ. පරිසර සංසිද්ධීන් හා යොදාගෙන තියෙන ඒ වචන අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද, හදිසියේම මේ වගේ ඒවා ලියැවෙනවා :)

      Delete
  3. හරිම සුන්දර හිතුවිලි! සොබාදහමේ වෙනස්වීම් හැමදාම කලා සිතුවිලි වලට උත්ප්‍රේරක දේවි! චිත්‍රෙ ඇන්දෙත් ඔයාද? කතාවට හරියටම ගැළපෙනවා

    දන්නවද ඉස්කෝලේ යන කාලේදී මාත් ලිව්වා උදේ, දවල්,හවස, රෑ කියල එකම පවුලේ සහෝදරියෝ හතර දෙනෙක් ගැන :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිරෝ! ඔව් මමයි චිත්‍රෙ ඇන්දේ. අතේ තීන්ත ගාගන්නේ නැතිව Paint වල අඳින්නේ. :) හැබැයි mouse එකකින් බැහැ, touchpad එකෙන් විතරයි පුළුවන්.

      කෝ.. දාමු බලන්න ඒ කතාව ආයෙත් මතක් කරලා.. :)

      Delete
  4. Wow. මේක මාර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. thank you Hiranya! :) කාලෙකින් මේ පැත්තේ දැක්කේ ඔයාව

      Delete