November 16, 2016

ජ'පුරට ආයෙමත්





කැම්පස් එකේ අන්තිම අවුරුද්ද වෙද්දී මම නම් හිටියේ ඇතිවෙලා. තුන්වේලම කඩෙන් කාලා, සතිඅන්තෙත් ගෙදර නොගිහින්, හරිහමන් නින්දක් නැතිව පාඩම් කරලා, හෙම්බත් වෙලා හිටියේ. අන්තිම විභාගේ, අන්තිම විෂය ඉවරවෙන දවස ගැනයි මම ඇඟිලි ගැන්නේ. 

"මම නම් ඉන්නේ අන්තිම පේපර් එක ලියලා මෙතැනින් පිටවෙන්නේ කොයි වෙලේද කියලා!"
පාඩමක් අහගන්න හෙවත් කුප්පියක් දාන්න එකතු වුණු වෙලාවේ මම අපේ මිතුරු සංගමයට කිව්වේ නොරිස්සුමෙන්. මට මතක හැටියට ඒ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව වගේ එපා කරපු විෂයක්. 

"බොට එහෙම හිතෙන්නයි අපිට මේක දාලා යන බැහැ කියලා හිතෙන්නයි ඇයි දන්නවද?"
කසයා මැදට පැනලා ඇහුවා. හැම දෙයක් ගැනම කියන්න මොනවාම හරි දෙයක් කසයා ට තිබ්බා. "උඹ මේකේ ඇතුලේ කොක්කක් ගැහුවේ නැහැ.. අපි ගැහුවා! ඒකයි වෙනස!!අවුට් නොවී මේක ඇතුලටම වෙලා මල් කඩ කඩ ඉන්න හිතෙනවා අපිට නම්!"

විහිළුවෙන් වුනත් කසයා කී දේ ඇත්ත. මම කැම්පස් එක ඇතුලේදී ආදරයක පැටලිලා හිටියේ නැහැ. ඒ නිසාද කොහේද ඉගෙනගැනිල්ලට අමතරව කැම්පස් එකට මාව ඇදලා බැඳලා තියාගන්න දෙයක් තිබ්බේ නැහැ. පිටවුණාට පස්සේ ආයෙත් ඊට නෑකමක් කියන්න, සම්බන්ධකමක් තියාගන්න, මතක් කරලා හීන මවන්න හේතුවක් තිබ්බේත් නැහැ. මේ පහුගිය අවුරුදු දාහතරටම ආයෙත් ඒ පැත්තේ ගියේ වත් නැහැ!

ඉතින් මෙහෙම බොහොම දුරස්ථ මතකයක් වුණු තැනකින් ආයෙත් හදිසියේ පොඩි ආමන්ත්‍රණයක් වගේ දෙයක් ඇතිවුනහම දැනෙන්නේ පුදුමයක්. ඒකාලේ එකට පාඩම් කරපු, කුප්පි දැම්ම මගේ මිතුරියක් දැන් කැම්පස් එකේ ආචාර්යවරියක්. ඈ ඇතුළු තව බොහෝ දෙනෙකුගේ මහන්සියෙන් අපේ අධ්‍යනාංශයේ වත්මන් හා ආදි ශිෂ්‍ය නිර්මාණ ඇතුලත් සඟරාවක් පළ කෙරෙනවා. මම ලියන පුංචි දේවල් දැකලා තිබුණු මගේ මිතුරිය, පවිත්‍රා- මේ සඟරාවට මගේ නිර්මාණ එවන්න කියලා මට පණිවිඩයක් එවලා තිබුණා. 'අනේ ඉතින් අපි ලියන ඒවා ඕවාට හරියයි ද, දැන් අවුට් වෙලාත් කොයිතරම් කල් ද..!' කියන සිතුවිල්ලෙන් මම ටිකක් අදි මදි කළා. ඒත් පවී ගේ පෙරැත්තයෙන් බේරෙන්න මට ඉඩක් ලැබුණේ නැහැ. අන්තිමට මම බ්ලොග් එකේ ලින්ක් කීපයක් ඇරලා කැමති නිර්මාණයක් තෝරාගැනිල්ල ඈට ම  පවරලා ඇඟ බේරාගත්තා. දහසක් වැඩ තියෙද්දී මගේ බ්ලොගය පීරලා පවිත්‍රා මගේ සති අන්ත කෙටිකතාව තෝරාගත්තා. කැම්පස් එක ගැනම ලියවිලා තිබුණු කතාවක් නිසා ඒක කියවන අයට සමීප වෙයි කියලා ඈ කිව්වා. කසයා කිව්වා වගේ මට ඒකාලේ 'කොක්කක්' නොතිබ්බට මේක කැම්පස් එකේ උන්නු ආදරවන්තයන් දෙන්නෙක් ගැන මම ලිව්ව කතාවක්. කරුණාසේන ජයලත් ගේ 'සතීගේ කතාව' එක හුස්මට කියවලා 'කැම්පස් කතාවක් ලියන්න' පිස්සුවක් හැදිලා ලිව්ව කතාවක්.  

කාලය ගතවෙලා මට මේ සඟරාව ගැනයි කෙටිකතාව ගැනයි අමතකම වෙලා ගියා. සඟරාවට ලිපි තෝරන කමිටුවෙන් මගේ කතාව තෝරාගෙන කියලා පවිත්‍රා මට ලියලා එවලා තිබුණාමයි මට ආයෙත් ඒ ගැන මතක් වුණේ. මට පුදුමත් හිතුනා. ඒ වගේ දේකට මම ලංකාවෙන් පිට බොහොම දුරක හිඳීමත්, ගතවුණු කාලයත් වැදගත් නැහැ කියලා මට තේරුණා. ඉතින් ඉස්සර දවසක කසයා කිව්ව විදිහටම නැති වුණත්, අවුරුදු ගානකට පස්සේ ආයෙත් කැම්පස් එකත් එක්ක පුංචි බන්ධනයක් ඇති වුණා වගේ දැනෙනවා. 

ඉතින් මේ තමයි පවිත්‍රා මට එවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ, රාජ්‍ය පරිපාලන අධ්‍යයනාංශයයෙන් පළ කරන Classic සඟරාවේ පස්වෙනි  කලාපය. මගේ කතාව තියෙන්නේ 51 පිටුවේ. පවිත්‍රා ඇතුළු සඟරාවේ සංස්කරණ කමිටුවට-ස්තූතියි!! 

2 comments:

  1. කෙටිකතාව ලස්සනයි. ඒක කියවද්දි අනූ ග‍ණන්වල අග ජ'පුර අවට මතකයන් අලුත් වුණා. එවක අපි කණ්ඩායමක් සඟරාවක් කරද්දි නැවතිලා හිටි නවාතැන තිබුනේ කැම්පස් එක ළඟ ගල්හේන පාරෙ. ඉතිං ඔය අවට දිවා රාත්‍රී නිතර අපි ගැවසුණා.ශිෂ්‍ය සංගමේ සමහර‍ැ මුනගැහෙන්නත් ජ'පුරට ගොඩවැදුනා.අපේ නවාතැන ඉදිරිපිට ගෙදර පුංචි දරුවො ටිකක් හිටියා.ඔයා කියන වඳුරු රංචුව නවාතැන අවට ගස්වලට අාවම මේ පොඩි උන්ට මාර ජොලි. වැඩිහිටියො උන් එලවද්දි ඒ පුංචි දරුවො දුකෙන් වගේ බලා හිටි හැටි මතක් වෙනවා.දවසක් වඳුරන්ව එළවද්දි උන් කලබල වෙලා පනිද්දි එක වඳුරු අම්මෙක්ව බදාගෙන හිටි පැටියෙක් බිම වැටුණා. ඒසැනින් ඒ පැටියව බල්ලෙක් හැපුවා. උෟ ඉවරයි. අැත්තටම ඒ දවස්වල ජ'පුර අවට පිටිසර ගමක වගේ ලක්ෂණ තිබුණා.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත්, මමත් ජපුරේ හිටියේ අනූ ගණන් අග තමයි. තාමත් එගොඩවත්ත පාර දිගේ යද්දී කොළඹ අවට පැත්තක් කියලා හිතන්න බැහැ. අපි ඉස්සර දෙවෙනි පටුමගේ දිගටම යනවා නාවින්නට යනකම් පයින්. ඒ කාලේ ඒ පැත්ත නම් හොඳටම ගම. ගල්හේන පාරත් මට මතකයි. බෝඩිම් හොයන කාලේ ඒ පැත්තෙත් ඇවිද්දා.වඳුරෝ ටිකත් තාම ඔය පැත්තේ ඉන්නවා කියලායි ආරංචිය!

      Delete