ඉබ්බි ගැන මතකය හදිසියේම මගේ හිතට කඩාවැදුණේ පලා මිටියක් සුද්ද කරද්දී කියා කීම එතරම්ම සම්භාව්‍ය නැත. එහෙත් ඉබ්බි එකල නම් කිසිම සම්භාව්‍ය දෙයක් නොකළ බැවින් සත්‍යයම කීම වඩාත් සුදුසු වේ. ඉබ්බි ට
උප්පැන්නයෙන් ලැබුණු බර සාර නමක් තිබිණි. දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැති ඈට
එය නොගැලපුණු නිසාදෝ කෙසේ හෝ ඈට ඉබ්බී නම ලියාපදිංචි විය. එය කෙසේ කවදාක
වූවා දැයි මට මතක නැත. එහෙත් ඈ ව ඉබ්බි හැර වෙනත් නමකින් නොදන්නා අය එමට
සිටි බව නම් මම දනිමි.
ඉබ්බි ඉතා කඩිසරය. කාර්යශුරය. උදෑසන ඇඳෙන්
බැස ඊළඟ තප්පරයේදී ඈ පොල් බෑයක් ගා හමාර ය. ඊටත් විනාඩි පහකට පසු බෝඩිමේ
මුල්ලක ඈ යළිත් තද නින්දේ සිටිනු හැකි වීම වෙනමම කතාවකි. ඉබ්බි රෑ ඇඳුම්
ලෙස ඇන්දේ ඇගේ අක්කා ගේ ගවුම් ය. අක්කා අඩි හයක් තරම් උස වීමත්, ඉබ්බි අඩි
හතරහමාරක් තරම් වීමත් නිසා ඒ දසුන ගැන වැඩි විස්තර අනවශ්‍ය ය. බිම ගෑවෙන
දිග ගවුම සරමක් සේ වලාපට ගසාගන්නා ඉබ්බි බෝඩිමේ උදෑසන ඉවුම් සටන මොහොතකින්
සිනා සාගරයක් බවට පත් කරන්නී ය. එකල රූපවාහිනියේ විකාශය වූ ඉවුම් වැඩසටහනක්
මෙහෙයවූයේ සිංහල නුහුරු කාන්තාවකි. ඇගේ උච්චාරණය අනුකරණය කරන ඉබ්බි.
"මින්න මී ආකාර්යට, ඔබ්බ කොට්ටු හැඩ්ඩයට කප්පාගත් ළුෑණු සුවල්පයා ... "
යනුවෙන් රඟ දක්වමින් හොද්දක් උයන්නීය. එය දැක අවශේෂ බෝඩිම් සගයෝ ඉවීම ද
පසෙක ලා තැන තැන වැටි වැටී සිනාසෙමින් සිටීම ඇයට අදාළ වූයේ නැත.
දිනක්
අපට බෝඩිම් ඇන්ටිගෙන් කතුරුමුරුංගා කොළ මිටියක් ලැබිණි. මැල්ලුම් සැදීමට
පෙර මෙය පිරිසිදු කර කොළ සූරා ගැනීම ඉබ්බිත් මාත් බාර ගත්තෙමු. අපි බෝඩිමේ
පඩිය උඩ හිඳ පච හලමින්, මේ ව්‍යාපෘතිය ඇරඹුවෙමු.
"ඒයි, මේකේ අරගොල්ලෝ ඉන්නවද දන්නේ නෑ නේද?" ඉබ්බි හදිසියේ කතුරුමුරුංගා ඉත්තක් පෙන්නා මට කීය.
"මොක්කුද අනේ අරගොල්ලෝ මේගොල්ලෝ කියන්නේ?" සාමාන්‍යයෙන් සිහි කල්පනාව අඩු මම ඇගෙන් ඇසුවෙමි
"අර අරගොල්ලෝ.. අර නම කියන්න හොඳ නැති කට්ටිය!" ඈ තවත් ඉත්තක් ගෙන සුපරික්ෂාකාරිව බලමින් කීවාය.
ඒ වෙද්දී මගේ කුතුහලය බලවත් ලෙස ඇවිස්සී තිබිණි. පලා අහුලද්දී නම නොකිය යුතු 'කට්ටියක්' සිටින බව මම දැන සිටියේ නැත
"ඔයා කියන්නේ.. පනුවෝද?" මම ඇගෙන් රහසින් ඇසුවෙමි.
"චඃ ඔයා කෑවනේ වැඩේ.. ඒගොල්ලන්ගේ නම කිව්වම ලු ඒගොල්ලෝ පලා මිටියේ ඉන්නේ!" ඈ මුහුණ බෙරි කරගත්තා ය.
එතෙක්
පලා මිටියක නොසිටි පණුවෙක් නම කී සැණින් මැවෙන්නේ කෙලෙසද යන තර්කමය ගැටලුව
ඈ වෙත ඉදිරිපත් නොකර මා සිනාව තද කරගත්තේ ඉබ්බි එසේ කීවේ විහිලුවට නොවන
බව වැටහුණු බැවිනි. ඉතින් ඈ ඉබ්බී ය. ඈට තර්ක ශාස්ත්‍රය වත් ඈ තර්ක
ශාස්ත්‍රයට වත් අනුගත වූයේ නැත.
ඉබ්බි සරසවි යද්දීම රැකියාවක නියැලුණා ය. එබැවින් අන් අයට මෙන් නොව, රැකියාවකට ඔබින අත් බෑගයක් ඈ සතු විය.
"මේ කෙහෙල්මල වහන්න බැහැනේ අප්පා.. අපරාදේ තව එකක් ගන්න වෙයිද මන්දා!" ඈ නිතර මේ අත්බෑගය ගැන නෝක්කාඩු කීවාය.
"කෝ
දෙන්න බලන්න ලොක් එක හදන්න පුලුවන්ද කියලා" බෝඩිමේ කුඩා අලුත්වැඩියා
කටයුතු භාරව උන් තනුජා ඉබ්බිට දිනක් පැවසුවේ මේ කන්කරච්චලය අසා ඉන්න බැරිම
තැන විය යුතුය.
ඉනික්බිති ඉබ්බී ඇද වී අංග විකල වී තිබුණු අත්බෑගය
පාඩම් මේසය වෙත ගෙන ආවාය. අත තැබූ සැණින් විවර වූ එයින් ඉවතට පැන්නේ බෑගය
මිළ දී ගත් දින සිට ඉබ්බි ගමන් කළ හැම බසයෙන්ම, දුම්රියෙන්ම ලද ටිකට් පත්
ය. ඈ මිලදී ගත සෑම භාණ්ඩයකටම ලද රිසිට්පත් ය. මීට අමතරව විශේෂ කාර්යයක්
නොපවරුණු කොළ කැබලි, පත්තර කැබලි සමූහයක් ද එහි විය.
"මොනවද බං මේ කුණු ගොඩවල්? මොකටද මේවා තියාගෙන ඉන්නේ?" තනුජා විමසුවේ කොළ කැබලි කන්දට යට වූ ඇගේ සටහන් පොත බේරාගනිමිනි
"ඕවා
තියන් ඉන්නේ එක එක දේවල් මතක් වෙන්න!' ඉබ්බි ගාණක් නැතිවම කීවාය. "ඔන්න
බලන්න මේක- සඳමාලි ටුවර්ස්, 138 විජේරාම-නුගේගොඩ, මෙදා නේ අපි අර
ඇක්සිඩන්ට් එකක් දැක්කේ, අර අපි අයිස්ක්‍රීම් කකා බලන් හිටියේ නුගේගොඩ
හන්දියේ!.. එතකොට මේක.. ම්ම්ම් .. කොටුව-කැලණිය, සීටීබී බස් එකක් .. කෝ
බලන්න මතක් කරන්න.."
"අනේ තියාගනින් උඹේ බස් ටිකට් සැමරුම්!" තනුජා
ඉවසුම් නොමැතිව කෑ ගැසුවාය. "මං කියන්නම් වැඩක්- උඹ කොට්ටේ උරේ අයින් කරගෙන
ඒකේ දාගෙන පලයන් මතක සටහන් ටික.. මේ කුණු ටික අයින් කලහම යසට වැහෙනවා
හෑන්ඩ් බෑග් එක!"
"එහෙම කියලා කොහොමද..?" ඉබ්බි නෝක්කාඩුවෙන්ම යළිත් කොළ කැබලි රැස බෑගයට දමාගන්නට විය. "මේවා කවදාහරි..."
"මේ...
දන්නේ නැති නිසයි අහන්නේ.. " මෙම කතාවට පැත්තක සිට අසංගි හොට දැම්මා ය.
"ඉබ්බි ට කොහොමද ඔය මතකේ බින්දුවක් වත් නැත්තේ විභාගවලට?"
"ෂික්!
පාප මිත්‍රයෝ!" මහා හඬින් සිනාසෙමින් උන් අපට බණිමින් ඉබ්බි එතැනින් යන්න
ගියේ ඇද වුණු අත්බෑගය ට නැවතත් හැකි තරම් කොළ කැබලි ඔබා ගනිමිනි.
ඒ
බෝඩිමේදී අපි ඉඳහිට ඇඳුමක් දෙකක් හුවමාරු කරගෙන ඇන්දෙමු. හදිසියකට සුදු
ඇඳුමක්, කළු සායක් හුවමාරු කරගැනීමේ මේ කාර්යය කොමඩියක් බවට පත්වූයේ ඒ
සමීකරණයට ඉබ්බි එකතු වූ විට ය. බෝඩිමේ උසම සාමාජිකාවගේ බ්ලවුසයක් ඉබ්බිට
ගවුමක් තරම් විය. 'අද රෑට ඉක්මනට නිදාගෙන හෙට පාන්දරින් නැගිටිනවා පාඩම්
කරන්න!' වැනි උදාර චේතනාවෙන් ඇඳට යන අප බොහෝ දිනවල රෑ දෙගොඩහරි ජාමය තෙක්ම
කඳුළු එනතෙක් හිනැහෙමින් උන්නේ ඉබ්බිගේ 'මොඩ්ලින්ග්' නිසයි. එවැනි
බ්ලවුසයක් පැළඳගන්නා ඉබ්බි, බෝඩිමේ ඇඳන් අතර පටු තීරය තම කැට් වෝක් එක බවට
පත් කරගෙන අඟර දඟර ගමනක් යන්නී ය. වෘත්තිමය නිරූපිකාවක් මෙන් කාමරයේ කෙළවර
දක්වා මෙසේ ඇවිද ගොස් හිස ගස්සා අප දෙස රවා බලන්නීය.
පසුදාට බෝඩිමේ
ගේට්ටුවෙන් පිටවෙද්දී "ඊයේ මහා රෑ වෙනකම් මොකද මේ පැත්තෙන් හිනා සද්දේ
ඇහුනේ?" යැයි අසා ඕපදූපයක් අහුලාගැනීමට බෝඩිමේ ඇන්ටි මාන බලන්නේ මෙවැනි
අවස්ථාවල ය. එවැනි දිනවල ඒ ජවනිකාව වදනින් විස්තර කරගනු නොහැකිව, උනුන්
දෙස බලා සිනහා සිර කරගෙන. ඈට පිළිතුරු නොදී ම අපි බේරී දිව යන්නෙමු
වසර
බර ගණනකට පසු පලා කොළ අහුලද්දී මට මේසේ ඉබ්බි ගැන මතක රැසක් පෙළගැසුනි.
දැන් ඉබ්බී තිදරු මවකි. ආණ්ඩුවේ ඉහළ නිලයක් දරන්නියකි. එහෙත් තවමත් සාරිය
දෙකට නවා අඳින තරමට සිඟිති පෙනුමෙන් යුක්තය. ඇගේ හැසිරීමේත් මහා වෙනසක්
සිදු වී නැති බව මට වැටහුණේ මෑතකදී ඈ හා කළ කතා බහකදී ය.
"කිසි ජොලියක් නැහැ බං දැන් කාලේ ළමයි!" ඈ සත් වියැති ඇගේ වැඩිමහල් පුතු ගැන පැවසුවාය.
"
ළඟදී දවසක අපි සෙල්ලම් කර කර ඉන්දැද්දී කොලුවා ඇහුවා නේ 'අම්මේ දැන් උයන්න
තියෙනවා නේද.. සෙල්ලම් කළා ඇති නේද?' කියලා! 'අම්මටත් ඉතින් සෙල්ලම් කරන්න
ගියහම මෙලෝ සිහියක් නැහැ නේද?' ඇහුවා. මහා සවුත්තුව!"
ඉතින් කාලය ගත වූවත් ඉබ්බී තවමත් ඉබ්බීම ය.
හරිම ලස්සන මතක සැමරුම් ටිකක්. ඒ කාලෙ මතක් වෙනකොට ආපහු දුවලා යන්න හිතෙනවා නේද?
ReplyDeleteඔව්නේ රන්දුලා, දැන් තමයි ඒ කාලේ අගේ!
DeleteHarima asa hithena sundara kathawak!
ReplyDeleteස්තූතියි!
Deleteසිංපල් ජොලි පොරවල්
ReplyDeleteඅන්න හරි :)
Deleteඔහොම සැහැල්ලුවෙන් ඉන්න එක හිතට හරි නිදහසක් කරලා බලන්න
ReplyDeleteඔව්, ඒ කාලේ තිබුණු හිතේ නිදහස ආයෙත් නම් දැනුණේ නැහැ!
Deleteඒක මරු
ReplyDeleteතෑන්ක් යූ!:)
Deleteමම බොහොම කාලෙකින් කියවපු අමතක නොවන සටහනක්..ස්තූතියි මලී...:)
ReplyDeleteනඩු නොවැටෙන්න යන්තම් මේ මට්ටමින් ලියලා නැවැත්තුවා! :)
Deleteඊයෙ ඉඳල මතක් කරල දැන් තමයි ඔන්න නම මතක් වුනේ....අර ඉවුම් පිහුම් පාඩම කලේ මල්ලිකා ජෝසප්. ඒ කාලෙ අපි මල්ලිකාගෙ වැඩසටහන නොවරදවාම බලනවා. "ටික්ක ටික්ක ඇඩ් කරන්න" එහෙමයි එතුමී කියන්නෙ...:)
ReplyDeleteමදැයි දවසක්ම මතක් කරලා මතක් කරගත්තා! එයා තමයි කෙනා. අපිත් හරි ආසාවෙන් එයා ඉන්න ඒවා බැලුවේ උයන්න ඉගෙන ගන්නම නෙමෙයි-සිංහල වචන ලස්සනට අදින හැටි බලන්න..මම ඉතින් මේකට මල්ලිකාගේ නම දැම්මේ නැහැ-'ඔන්න ඔහේ කාගේවත් හරි නම්-ගම්-තැපැල් නොදා ඉන්නෙමි' කියලා හිතලා! ඒත් රවී ලා වගේ අය දවසක්ම මතක් කරලා හරි හොයාගන්නවා නේ! :D
Deleteඉබ්බි ජ'පුරෙද?
ReplyDeleteඕ...
Deleteඅඳුරනවා ද? :)
" ළඟදී දවසක අපි සෙල්ලම් කර කර ඉන්දැද්දී කොලුවා ඇහුවා නේ 'අම්මේ දැන් උයන්න තියෙනවා නේද.. සෙල්ලම් කළා ඇති නේද?' කියලා! 'අම්මටත් ඉතින් සෙල්ලම් කරන්න ගියහම මෙලෝ සිහියක් නැහැ නේද?' ඇහුවා. මහා සවුත්තුව!"
ReplyDeleteහත්තික්කේ ඒක නම් මාරම සවුත්තුව😂😂😂