January 04, 2026

ලාම්පුතෙල් ගඳ



පිටතින් ඇසුණු අශ්ව හේෂාරාවය හැඳිනූ ගුලේරි නිවසින් පිටතට දිව්වාය. එහි සිටියේ තම පියාගේ ගම්මානයෙන් පැමිණි වෙළඹයි. ඈ ආදරයෙන් උගේ ගෙල වැළඳගත්තේ ඒ තම මහගෙදර දොරටුවයැයි  සලකමින් මෙනි.

ගුලේරි ගේ දෙමාපියන් වාසය කළේ චම්බා නම් ගම්මානයෙහි ය. උස් බිමක වූ ඇගේ සැමියාගේ ගම්මානයේ සිට විහිදුණු මාර්ගය එක්තරා වංගුවකින් පසු තද බෑවුමකින් යුක්ත විය. මෙතැන සිට ඒ මඟ යන එන්නන් ගේ දෙපා පාමුළ සිට බොහෝ ඈතකින් චම්බා ගම්මානය දිස් වේ. ගුලේරි ට තම උපන් ගම සිහි වී පාළුවක් දැනුණු වෙලාවල දී ඈ තම සැමියා වන මනක් ද රැගෙන මේ බෑවුම ඇරඹෙන තැනට යන්නීය. හිරු එළිය වැටී දුර ගම්මානයේ නිවෙස් දිලිසෙනු දකින ඈ ආපිට එන්නේ ආඩම්බරයෙන් තම හදවත පුරවා ගනිමිනි. 

සෑම වර්ෂයකම, අස්වනු නෙලා අවසන් වූ පසු ගුලේරි ට තම දෙමව්පියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට අවසර ලැබුණි. ඈ ව චම්බා වෙත ආපිට කැඳවාගෙන එන්නට ඔවුහු ලකරමන්දී වෙත කවුරුන් හෝ යැව්වෝය. විවාහයෙන් පසු චම්බාවෙන් පිටත විසු ඇගේ මිතුරියන් දෙදෙනෙකු ද මේ කාලයේදී තම නිවෙස් බලා පැමිණි අතර මේ තරුණියන් ඇඟිලි ගනිමින් සිටියේ මේ වාර්ෂික හමුවීමේදී තම දුක සතුට බෙදා ගැනීමටයි. එම කාලයේදී ඔවුන් ගමන් බිමන් ගියේ එකටයි. චම්බා හි අස්වනු මංගල්ලය යෙදුණේ ද මේ කාලයේ බැවින් ඔවුහු ඒ වෙනුවෙන් අලුත් ඇඳුම් සකසා ගත්හ. උත්සවය වෙනුවෙන් තම දුපත්තා සාළු විවිධ වර්ණ ගන්වා, කැඳ දමා, දිලිසුම වෙනුවෙන් මයිකා කුඩු ඉසින ඔවුහු වීදුරු වළලු සහ රිදී තෝඩු ද මිළදී ගත්හ. 

අස්වනු කාලය එළඹෙන තුරු ගුලේරි නිරතුරුවම ඇඟිලි ගැන්නා ය. ශරතයේ සුළඟින් මෝසම් වළාකුළු එළි පෙහෙළි වෙද්දී ඈ ට වෙන කිසි දෙයක් ගැන සිතන්නට වේලාවක් නොවී ය. හරකුන්ට කෑම දෙමින්, තම සැමියාගේ දෙමාපියන්ට කෑම පිසිමින් එදිනෙදා කටයුතු වල නියැලුණු ඈ, ඉනික්බිති කාලය ගත කළේ තමන් ව කැඳවා යන්නට චම්බා වෙතින් කවුරුන් හෝ පැමිණෙන්නට තව කොයිතරම් කාලයක් ගතවේදැයි සිතන්නටයි. 

ඉතින්, මෙවරත් ඇගේ වාර්ෂික ගමනට කාලය එළැඹි තිබිණි. ඈ තමා කැඳවාගෙන යාමට ආ වෙළඹ ව ආදරයෙන් අත ගා, තම පියාගේ සේවකයකු වූ නාතු ව පිළිගෙන, පසු දින ගමන ට සූදානම් වූවා ය. මේ ගමන ගැන අගේ සතුට වදනින් විස්තර කිරීම අවශ්‍ය වූයේ නැත, එය ඇගේ මුහුණින් පැහැදිලි ව දිස් විය. ඇගේ සැමියා දුම් උරමින්, තම දෑස වසාගත්වනම පසුවිය. එක්කෝ ඔහු දුම්කොළට අකමැති බවක්, එසේ නොමැති නම් ඔහුට තම බිරිඳට මුහුණ දීමට නොහැකි බවක් පෙනුණි. 

“ඔයා එනවා නේද චම්බා වල අස්වනු මංගල්ලෙට? එක දවසකට හරි එන්න හොඳේ,” ඈ බැගෑපත් වූවාය. 

මනක් තම දුම් පයිප්පය පසෙකින් තැබුවත් ඊට පිළිතුරු දුන්නේ නැත. 

“ඇයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ?” ඈ තරමක් නොරිස්සුමින් විමසුවාය. “මම දෙයක් කියන්නද?”

“මම දන්නවා ඔයා කියන්න යන දේ, ඔයා අම්මලා බලන්න යන්නේ අවුරුද්දට සැරයයි කියලානේ කියන්න හදන්නේ. මේ තරම් කාලෙකට කවුරුවත් ඔයාව නැවැත්තුවේ නැහැනේ.” 

“එහෙනම් දැන් ඇයි මාව නවත්තන්න හදන්නේ?” 

“මේ වතාවේ විතරක් ඔය ගමන නොගිහින් ඉන්න,” ඔහු බැගෑපත් වූයේය.

“ඔයාගේ අම්මා කිසි දෙයක් කීවේ නැහැනේ, ඉතින් ඔයා මොකද මට බාධා කරන්නේ?” ගුලේරි කුඩා දැරියකු සේ මුරණ්ඩු වෙමින් ඇසුවාය.

“අපේ අම්මා..” මනක් යමක් කියන්නට ඇරඹුවත් ඒ වාක්‍යය අවසන් කළේ නැත. 

අන්තිමේදී ගුලේරි කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් උන් දිනය එළඹිණි. ඈ අරුණෝදයට පෙරාතුවම ගමනට සූදානම් වී සිටියාය. ඇයට දරුවන් නොවූ බැවින් ඔවුන් ව දමා යාමේ හෝ ඈ හා රැගෙන යාමේ ගැටළු පැන නැඟුණේ නැත. නාතු වෙළඹ ගේ සෑදලය සකස් කරද්දී ඈ මනක්ගේ දෙමව්පියන්ගෙන් සමුගත්තා ය. ඔවුහු ඇගේ හිස අතගා ඇයට ආශීර්වාද කළ හ. 

“මම මඟක් දුරට ඔයා එක්ක එන්නම්,” මනක් කීවේය. 

ඔවුන් පිටත් වෙද්දී සතුටින් පසු වූ ගුලේරි, මනක් ගේ බටනලාව ඇගේ දුපත්තා සාළුව අස්සේ සඟවා ගත්තා ය. කජ්ජාර් ගම්මානය පසු වූ පසු මාර්ගය ඍජුවම බෑවුම් වූයේ චම්බා වෙතටයි. ඒ ඉසව්වේදී ඈ සඟවාගෙන සිටි බටනලාව පිටතට ගෙන ඔහුට දුන්නා ය. 

“තාලයක් පිඹින්නකෝ,” ඇය ඔහුගේ අත අල්ලා ඉල්ලා සිටි නමුත් තම සිතිවිලි වල අතරමං වී සිටි ඔහු ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 

“ඇයි ඔයා බටනලාව පිඹින්නේ නැත්තේ?” 

දුක්මුසු ව ඈ දෙස බැලූ ඔහු බටනලාව දෙතොලට තබා වේදනාකාරී අඳෝනාවක් වැයුවේ ය. 

“ගුලේරි, අනේ යන්න එපා,” ඔහු බැගෑපත් ව ඉල්ලා සිටියේය. “මම ආයෙමත් වතාවක් ඉල්ලනවා, මේ වතාවේ යන්න එපා.” තවදුරටත් කතාකරගනු නොහැකිව ඔහු බටනලාව ඈ අත තැබීය. 

“ඉතින් ඇයි ඒ?” ඈ ඇසුවාය. “ඔයා එන්න මා එක්ක, මම පොරොන්දු වෙනවා ඉන්පස්සේ අපි දෙන්නට එකට ආපිට එන්න පුළුවන්” 

මනක් නැවත ඇයට නවතින්නයැයි ඉල්ලීමක් කළේ නැත. 

ඔවුන් මාවත අද්දර නතර වූ වේලාවේදී නාතු, වෙළඹ ව මඳක් ඉදිරියට අරගෙන ගියේ ඔවුන් දෙදෙනාට තනිවන්නට ඉඩ හරිමිනි. මීට සත් වසරකට පෙර තමන් තම මිතුරන් රංචුවක් සමඟ චම්බා හි අස්වනු මංගල්ලයට ගියේ මේ පාරෙන් ම බව මනක් ට සිහි විය. ඔහුට ගුලේරි ව මුණගැසුණේත්, ඔවුන්ගේ හදවත් බැඳුණේත් ඒ උත්සවයේදී යි. 

“ඔයා නොපැහුණු බඩ ඉරිඟු කරලක් වගේ කිරි පාටයි,” එදා ඈ සමඟ තනි වන්නට ඉඩ ලැබුණු විට ඔහු කීවේය. 

“අමු බඩ ඉරිඟු කන්නේ හරක් නේ,” ඈ තම අත වැරෙන් ඔහු වෙතින් මුදා ගනිමින් කීවාය. “මිනිස්සු නම් බඩ ඉරිඟු කන්නේ පුළුස්සලා. ඔයාට මාව ඕන නම් ගිහින් අපේ තාත්තාගෙන් අවසර ඉල්ලන්න.”

මනමාලියක් කැන්දාගෙන ඒමේදීම ඇයට නියමිත මිළ ගෙවා දැමීම මනක් ගේ පරම්පරාවේ සිරිත විය. මනක් කැළඹුමෙන් පසු වූයේ ගුලේරි ගේ පියා ඇය වෙනුවෙන් කෙතරම් මිළක් නියම කරනු ඇත්දැයි නොදැන සිටි බැවිනි. නමුත් ගුලේරි ගේ පියා නගරබද ව පවා වාසය කර තිබුණු, අත මිට සරු පුද්ගලයෙකු වූ බැවින් තම දියණිය වෙනුවෙන් මුදලක් අය නොකරන්නත්, හොඳ පවුලක පිරිමියෙකුට ඈ ව දෙන්නත් පෙර සිට ඉටාගෙන තිබිණි. මනක් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ බව ඔහුට හැඟුණු අතර වැඩි කල් නොයවා ඒ විවාහය සිදු කෙරිණි. අතීත මතකයන් අතරේ කිමිදෙමින් උන් මනක් නැවතත් පියවි සිහියට එළඹුණේ ගුලේරි තම උර මත අත තැබූ විටයි. 

“මොනවද කල්පනා කරන්නේ?”

ඔහු පිළිතුරු දුන්නේ නැත. වෙළඹ නොඉවසිල්ලෙන් හේෂාරාවය කළ අතර ගුලේරි යන්නට නැගිට්ටාය. 

“ඔයා දන්නවාද මෙතැන ඉඳන් හැතැප්මක් දෙකක් ගියාම තියෙන බ්ලූ බෙල් කැලය?” ඇය ඇසුවාය. “කතාවක් තියෙනවා ඒක හරහා යන අය බීරි වෙනවා කියලා. අද ඔයාත් ඒ පැත්තෙන් ඇවිල්ලා වගේ, මම කියන කිසිදෙයක් ඇහෙන්නේ නැහැ.”

“ඔයා හරි ගුලේරි, ඔයා කියන කිසි දෙයක් මට ඇහෙන්නේ නැහැ,” මනක් සුසුමක් හෙලුවේ ය. 

ඔවුහු මොහොතක් එකිනෙකා දෙස බලාගත්වනම පසු වූහ. දෙදෙනාටම අනෙකාගේ සිතේ වූ කිසි දෙයක් වැටහුණේ නැත. 

“මම දැන් යන්නම්” ගුලේරි මෘදු ලෙස කීවාය. “ඔයාත් ආපිට යන්න, ගෙදර ඉඳන් බොහොම දුරක් ඇවිල්ලා නේ.”

“ඔයාත් දිගටම පයින් නේ ආවේ, දැන් ඉතුරු ටික වෙළඹ පිටේ යන්න,” මනක් පිළිතුරු දුන්නේය.

“මෙන්න ඔයාගේ බට නලාව”

“ඔයා ඒක තියාගන්න.”

“උත්සවේ අන්තිම දවසේ ඇවිත් මට ඇහෙන්න බටනලාව පිඹිනවා ද?” ඈ සිනාසෙමින් ඇසුවා ය. ඇගේ දෑස හිරු එළිය සේ දීප්තිමත් ව දැල්විණි. මනක් ඉවත බලාගත්තේය. ව්‍යාකූල සිතින් ගුලේරි චම්බා බලා පිටත් වූ අතර මනක් ආපිට හැරී නිවස වෙත පැමිණියේය.

පිළට ගොඩ වූ ඔහු හිස් බැල්මෙන් යුතුව එහි ලණු ඇඳ මත හිඳ ගත්තේය. 

“උඹ ගිහින් සෑහෙන වෙලාවක් ගත වුණානේ, චම්බා වලටම ගියාද?” ඔහුගේ මව විමසුවාය.

“නැහැ කන්ද මුදුනට විතරයි ගියේ.” මනක් පිළිතුරු දෙද්දී ඔහුගේ කටහඬ ශෝකයෙන් බර වී තිබිණි. 

“මොකද උඹ වයසක ගෑනියෙක් වගේ කෙඳිරිගාන්නේ, පිරිමියෙක් වෙයන්!” ඔහුගේ මව තදින් කීවාය.

“උඹත් ගෑනියෙක් නේ, උඹට බැරිද ඉඳ හිටවත් ගෑනියෙක් වගේ අඬන්න?” යැයි ඇගෙන් අසන්නට සිතුණත් ඔහු නිහඬවම පසුවිය. 

මනක් සහ ගුලේරි විවාහ වී සත් වසක් ගත වූවත් ඇයට දරුවෙකු නොලැබුණු බැවින් මේ තත්ත්වය අටවෙනි වසරක් දක්වා ගෙන නොයාමට මනක් ගේ මව රහසින් ප්‍රතිඥා දී තිබිණි. මේ වසරේදී ඇගේ ඒ තීරණය අනුව ඈ මනක් ට දෙවෙනි බිරිඳක් ගෙන ඒමට රුපියල් පන්සීයක් වැය කර තිබුණු අතර අලුත් මනමාලිය කැඳවාගෙන ඒමට ඈ බලා සිටියේ ගුලේරි තම මව්පියන් බලන්නට ගොස් සිටි මේ වකවානුවයි. මේ බව මනක් ද දැන සිටියේය. මවටත්, චාරිත්‍රයටත් කීකරු වෙමින් මනක් ගේ සිරුර අලුත් බිරිඳ වෙත ප්‍රතිචාර දැක්වූවත් ඔහුගේ හදවත ගල් වී තිබිණි. 

එක් උදෑසනක ඔහු පිලේ හිඳ දුම් උරමින් සිටියදී ඔහුගේ පැරණි මිතුරෙකු ඒ අසලින් ගමන් ගත්තේය. 

“ආ භවානි, කොහෙද මේ උදේ පාන්දරම යන්නේ?”

භවානි එය අසා නැවතුණි. ඔහුගේ උර මත කුඩා පොට්ටනියක් විය. 

“කොහෙවත් නැහැ,” ඔහු මනක්ගේ දෑස මඟ හරිමින් කීවේය. 

“නෑ කිව්වාට කොහේ හරි යන පාටයි, ගෙට ගොඩවෙලා යන්න එනවා ද?”

භවානි පිලේ ඇන තබාගෙන මනක් වෙතින් දුම් පයිප්පය ගත්තේය. 

“මම අස්වනු මංගල්ලෙට චම්බා යනවා.” ඔහු අන්තිමේදී කීවේය. 

ඔහුගේ වචන ඉඳිකටු තුඩක් මෙන් මනක් ගේ හදවත පසාරු කරන්නට සමත් විය. 

“අද ද ඒ උත්සවේ?”

“හැම අවුරුද්දෙම එකම දවසේනේ ඒක තියෙන්නේ,” භවානි උපහාසයෙන් පිළිතුරු දුන්නේ ය. “ඇයි උඹට මතක නැද්ද මීට අවුරුදු හතකට ඉස්සෙල්ලා අපි කට්ටියක් එකතුවෙලා ඔය ගමන ගියා?” ඔහු මීට වැඩි දෙයක් නොකීවත් ඒ වදන්වල ගැබ් වූ චෝදනාව මනක් ට හොඳින් වැටහුණු අතර ඔහුට අපහසුවක් දැනුණි. භවානි දුම් පයිප්පය පසෙක තබා තම පොට්ටනිය අතට ගත්තේය. ඔහුගේ බටනලාව ඉන් පිටතට දිස් විය. භවානි නොපෙනී යන තුරු මනක් ගේ දෑස් රැඳී තිබුණේ ඒ බටනලාව වෙතයි. 

ඊට පසු දින මනක් කුඹුරේ සිටිද්දී භවානි ආපසු එනු දුටුවේය. ඔහු ඉක්මනින් ඉවත බලාගත්තේ අස්වනු මංගල්ලය ගැන කිසිවක් දැනගැනීමට ඔහුට උවමනාවක් නොතිබුණු බැවිනි. නමුත් භවානි ඔහු ව සොයා විත් ඔහු ඉදිරිපසින් හිඳ ගත්තේය. ඔහුගේ මුහුණ වේදනාවෙන් අළු පැහැ ව ගොස් තිබිණි.

“ගුලේරි මැරිලා,” භවානි හැඟීම් රහිත ව කීය.

“මොකක්?”

“උඹ තව කසාදයක් කරගත්තා කියලා ආරංචි උනාම ඒකි ඇඟේ ලාම්පුතෙල් හලාගෙන ගිනි තියාගෙන.”

වේදනාවෙන් ගොළු වූ මනක් ට තම ජීවිතය ද දැවී අළු වී යන බවක් දැනුණි. 

කාලය ගත විය. මනක් නැවතත් කුඹුරු වැඩ ඇරඹීය. ඔහු වෙත ආහාර පිළිගැන්වුණු විට ඔහු ඒවා අනුභව කළේ ය. නමුත් ඔහුගෙන් දිස් වූයේ මළ මිනියක පෙනුමකි. ඔහුගේ දෑස හිස් වී, මුහුණ හැඟීම් විරහිත ව ගොස් තිබිණි. 

“මම එයාගේ බිරිඳ නෙමෙයි,” ඔහුගේ බිරිඳ ගතු කීවා ය. “එයා මාව කසාද බැඳලා විතරයි.” 

එහෙත් වැඩි කල් යාමට මත්තෙන් ඈ ගැබ් ගත් බැවින් මනක් ගේ මව අලුත් ලේලිය ගැන සතුටු වූවා ය. ඈ ඒ ආරංචිය ගැන මනක් ට කී විට ඔහු බලා සිටියේ ඒ කිසිවක් නොවැටහුණු ලෙසිනි. ඔහුගේ දෑස හිස් ව ම පැවතිණි. මනක් ගේ මේ ගතිගුණ ටික කලකට ඉවසන මෙන් ඔහුගේ මව සිය ලේලියගෙන් ඉල්ලා සිටියාය. අලුත උපන් දරුවා තම පියා වෙතට දුන් විට මනක් වෙනස් වන බවට ඇයගේ විශ්වාසය විය.

නොබෝ දිනකින් ඇගේ ප්‍රාර්ථනය ඉටු වෙමින් මනක් ගේ බිරිඳ පුතෙකු බිහි කළා ය. සතුටින් ඉපිලෙමින් උන් ඔහුගේ මව බිළිඳා නහවා, අලුත් ඇඳුම් අන්දවා මනක් ගේ උකුලෙන් තැබුවේය. ඔහු කිසිත් නොවැටහුණු ලෙසින් බොහෝ වෙලාවක් දරුවා දෙස බලා සිටියේ හැඟීම් විරහිත මුහුණෙනි. හදිසියේම ඔහුගේ හිස් දෑස ත්‍රාසයෙන් පිරුණි.

“මූව අයින් කරපියව්..අයින් කරපියව්..” ඔහු උමතුවෙන් කෑ ගසන්නට විය. “මූ ළඟ ලාම්පුතෙල් ගඳයි!”

පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

Translation of the short story 'The Stench of Kerosene' by Amrita Pritam

Picture- Gemini

December 29, 2025

මිස්ටර් පෝක්


මිස්ටර් පෝක් කියන්නේ මම දන්නා අඳුනන ඌරෙක්. එයා මගේ මිතුරියක් වන සැලීගේ සුරතලා. සැලී උද්‍යාන නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම එයාට තියෙනවා ගෙවතු නඩත්තු ව්‍යාපාරයක්. තමන්ගේ ගෙවත්තේ කැලෑව වැවිලා නම් සැලීගේ ආයතනයට කිව්වාම එයාලා ඇවිත් ඒක ලස්සන කරලා දෙනවා. 

මිස්ටර් පෝක්ව සැලී ගොවිපොළකින් බේරාගෙන තියෙන්නේ ඌ පුංචිම පුංචි කාලේ. එයාව මසට ඇතිකරමින් ඉන්දැද්දී බේරාගත්තු නිසාලු ඒ නම දැම්මේ. "හොඳ වෙලාවට මිස්ට පෝක් එයාගේ නමේ තේරුම දන්නේ නැහැ!" සැලී මට කියන්නේ හිනාවෙමින්. ගෙනෙද්දී දෑතට වඩාගෙන ආව පුංචි ඌරු පැටියා දැන් නම් කිලෝ හාර පන්සීයක් බර ඌරු තඩියෙක්. හැබැයි එයා හරි ප්‍රිය මනාප පෙනුමක් තියෙන ලස්සන හිනාවක් තියෙන ඌරු මහත්තයෙක්! 

සැලී යන සමහර ගෙවතු අලංකරණ, නඩත්තු වැඩ වලටත් මිස්ටර් පෝක් ව අරගෙන යනවා. වැඩියත්ම පොලොව හාරන්න, පස බුරුල් කරන්න තියෙන දවස්වලට. ඒවාට මිස්ටර් පෝක් ලොකු සහයෝගයක් දෙනවාලු. එහෙම හාරද්දී හම්බවෙන අල ජාති, මුල් එහෙම එයාට කන්න ලැබෙන එක බෝනස් එකක් ඉතින්. වැඩ කරන වෙලාවට වැස්සක් එහෙම වැටෙන්න ගත්තොත් ආයෙත් මිස්ටර් පෝක් ව ගෙදර ගෙනියනවා බොරු ලු. එයා ඒ තරමට වැස්සට ආසයි. මේ ගමන් වලදී සැලී ගේ පොඩි ට්‍රක් එකේ පිටිපස්ස ඇරලා මිස්ටර් පෝක් ව එළියට ගනිද්දී ගෙහිමියන්ගේ මූනු වල පුදුමය බලන්න සැලී හරි ආසයි. I love to see their jaws drop when they see him! සැලී කියන්නේ හරි විනෝදෙන්.

සැලී ගේ අතේ පුංචි ඌරු පැටියෙකුගේ ටැටූ එකක් තියෙනවා. ඒක නම් එයා ගහලා තියෙන්නේ මිස්ටර් පෝක් හම්බවෙන්න කළින් ලු. පොඩි කාලේ එයාගේ ආසම පොත Charlotte's Web කියන ළමා කතාව ලු. ඒකෙ විල්බර් කියන ඌරු පැටියා වෙනුවෙනුයි ඒ ටැටූ එක එයා පස්සේ කාලෙක ගහගෙන තියෙන්නේ. සැලී ගේ මේ ඌරු ආදරය නිසා මම එයාට මේ ඌරාව ඇඳලා දුන්නා. මේ ඉන්නේ වැස්සේ නටන මිස්ටර් පෝක්. මේක කලින් ලැබුණා නම් දැනට තියෙන ටැටූ එක වෙනුවට මේක ගහන්නත් තිබ්බා කියලා සැලී හිනාවෙනවා!

December 24, 2025

සිහිනය



මා තුළ මෙවැනි සිහිනයක් ඇත
තුරුවැලින් වටවූ නිහඬ නිවසක්

කරදරකාරී නගර වලින් එපිට
කම්හල්, පාසල්
සහ දුක් අඳෝනා වලින් ඔබ්බෙහි
හරිත පැහැ අක්කර කීපයක්

එතැන,
මට විවේකීව ගෙවන්නට
වුවමනාවටත් වඩා කාලය තිබෙනු ඇත
මගේ තනියට
දොළ පාරක් සහ කුරුල්ලන් පමණි

එහිදී
මගේ දිවිය තුළින්
වනයේ සිලෝ හඬ මවන්නට
වරමක් ලැබෙනු ඇත

ඉනික්බිති මට කල්පනා විය
මරණයද මෙවැන්නකි
එයද,
හුරුපුරුදු හැම තැනකින්ම
මඳ දුරක් ඔබ්බෙනි

Translation of the poem A Dream of Trees by Mary Oliver
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital art

December 11, 2025

Mother Mary Comes to Me- Arundhati Roy



මේ අවුරුද්දේ මම කියවපු හොඳම පොත නම් කරන්න කිව්වොත් ඒ අරුන්දතී රෝයි ගේ Mother Mary Comes to Me පොත බව කිසිම විවාදයක් නැතිව කියන්න පුළුවන්. මේ  අරුන්දතී රෝයිගේ ජීවිත කතාව, ඒ වගේම මේ ඇගේ අම්මාගේ කතාව. අරුන්දතී තමන්ගේ ළමා කාලයේදී ලැබුණු ශාරීරික සහ මානසික පීඩාවන්, ජීවිතය පුරා ඈ මුහුණ දුන් විවිධ අවමන්, කම්කටොලු වගේම ලෝකයේ ජය කෙහෙළි නංවමින් ඈ ලැබුව ජයග්‍රහණත් ඒ හා බැඳුණු ප්‍රසිද්ධිය ගැනත් විස්තර මේ පොතට කැටි කරලා තියෙනවා. ඇගේ ලේඛන ශෛලියේ විශේෂත්වය තමයි කටුක දුකත්, ඉහළම ප්‍රහර්ෂය ත් එකම සැහැල්ලු තානයෙන් විස්තර කරන්න ඇයට තියෙන අපූරු ම හැකියාව.  

අරුන්දතීගේ කතාව කියවද්දී ඇගේ ජීවිතයේ ප්‍රධාන චරිතය ඇගේ මව බව පැහැදිලියි. නමුත් මේ, සම්ප්‍රදායික ලෙස මවක් සහ දුවක් අතර අපට හුරු ළබැඳි බව, ළතෙත් බව ආදියෙන් යුතු එකක් නම් නෙමෙයි. “She was my shelter and my storm.”අම්මා ගැන ඈ කියන්නේ එහෙමයි. මේ කතාව පුරාවටම පාහේ අරුන්දතී තමන්ගේ මව අමතන්නේ Mrs Roy නමින්. ඊට හේතුව ලෙස ඈ දක්වන්නේ කාලයක් ඇයත් ඇගේ සොයුරාත් මව මෙහෙයවූ පාසලේ සිසුන් ව ඉන්දැද්දී ඔවුන්ට ද එසේ ඇයට අමතන්නට ඇගෙන් අණ ලැබුණු නිසා කියන කාරණය. නමුත් ඇයට හැමදාම ඇගේ මව Mrs Roy කෙනෙක් මිසක් 'අම්මා' කෙනෙක් නොවුණු බව කියවන්නාට දැනෙනවා. 

“When it came to me, Mrs Roy taught me how to think, then raged against my thoughts. She taught me to be free and raged against my freedom. She taught me to write and resented the author I became”

වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පිනියක් වන්නට සැලසුම් කළ අරුන්දතී, අහඹු විදිහට චිත්‍රපට තිර පිටපත් ලිවීමටත් පොත් ලිවීමටත් යොමු වීමේ ගමන ගැන ඈ මේ පොතෙන් විස්තර කරනවා. ඇගේ පළමු නවකතාව වන The God of Small Things වෙනුවෙන් 1997 දී Booker සම්මානය ලැබීම ඇගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඉන් ඇගේ ජීවිතය උඩු යටිකුරු වුණත් ඉනික්බිති ඇයට ලැබුණු ප්‍රසිද්ධිය ඈ පාවිච්චි කළේ කාලීන සමාජ, දේශපාලන ගැටළු ගැන හඬ නඟන්නයි. 

අහම්බෙන් ලේඛිකාවක් වීම ගැන ඇය මේ පොතේ විස්තර කරන්නේ මෙහෙමයි.

I knew even then that language was outside me, not inside me. I knew it would not come to me on its own. I needed to hunt it down like prey. Disembowel it, eat it. And when I did, I knew that language, my language, would ease the way blood flowed through my body. It was out there somewhere, a live language-animal, a striped and spotted thing, grazing, waiting for me-the predator. That was the law of my jungle. It wasn't a non-violent, vegetarian dream.”

“I was puzzled, because I realized that I wasn’t writing it from beginning to end. I felt as though I were sculpting smoke. Generating it, then organizing and disciplining it.

අරුන්දතී ගේ ජීවිත කතාවේ පාඨකයාව හඬවන තැන් බොහොමයක් හමු වෙනවා. ඒත් ඈ ඒ දුක්බර කතා කියන සිනා මුසු විලාසය නිසාම අපේ කඳුළු ත් එසැණින් මැකිලා යනවා. 

කේරළයේ කොට්ටායම් වැනි අප්‍රකට ගම්මානයක හැදී වැඩී ලෝකයටම ප්‍රකට ලේඛිකාවක් බවට පත්වුණු අරුන්දතී රෝයි ගෙන් අපට ලේඛනය ගැන උගත හැකි පාඩම් බොහොමයි. ඒත් ඇගේ චරිතාපදානය වන Mother Mary Comes to Me සුවිශේෂී පොතක් වෙන්නේ, ඉන් ඇගේ නොසැලෙන ගුණයත් එඩිතර බවත් ගැන ඈ ලෝකයට බොහෝ කරුණු හෙළි කරන නිසාමයි.

Mother Mary Comes to Me  (2025) - Arundhati Roy

Penguin Books