September 09, 2025
The Paradox of Life
September 05, 2025
කල්පනා කිරීම
විසිත්ත කාමරයේ සැප පුටුවක හිඳ
බැලූ බැල්මට
කිසි දෙයක් නොකරමින් සිටිද්දී
පර්සි ට පැහැදිලි කිරීමක් කළ යුතු විය
“මා මේ කරන්නේ කල්පනා කිරීමයි
ගහ කොළ, මල් හෝ බල්ලන් මෙන්
මිනිසුන්-
සම්පූර්ණයෙන්ම
මිහිකතගේ දරුවන් නොවන බැවින්
එය ඔවුන් සාමාන්‍යයෙන් කරන දෙයකි”
පර්සිගේ දෑසේ
මේ ක්‍රියාව ගැන ප්‍රශ්නාර්ථයක් විය
‘හරි, ඔයා කියන දෙයක් තමයි
ඇත්තම කියනවා නම්
මම නම් ඊට වඩා කැමතියි සිප ගැනීමට’
එසේ කියා ඌ
මා අසල හරි බරි ගැසී
තම කැරළි ලොම් සහිත හිස නවා
මලක් සේ සුන්දරව නිදන්නට විය
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Percy 2002-2009' by Mary Oliver
Digital art
September 03, 2025
අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු
ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තනා, පුළුස්සා, විවිධ පැහැ තවරන ලද අශ්වයකුගේ පිළිමයකි. මේ අශ්වයා ඉතා ගාම්භීර ලෙස හිස හරවා, තම ඉදිරි ගාත් ඔසවා සිටි අතර උගේ වලිගය අලංකාර ලෙස විසිරී තිබිණි. අශ්වයාට පසුපසින් තිබුණේ රණශූරයකුගේ පිළිරුවකි. ඔහු දෑකැති වැනි උඩු රැවුලක්, පිටතට නෙරූ දෑස් සහ තියුණු නාසයකින් හෙබි විය. මේ පිළිම නෙළූ අය සටන්කරුගේ විශාල දෑසින් ශක්තියත්, ගෙලේ වූ මැණික් මාලයෙන් ඔහුගේ ධනවත් බවත් පෙන්වීමට උත්සාහ කර තිබිණි. මේ වෙද්දී හිරු එළියට පිළිස්සී, වැස්සට සේදී පැහැය වියැකී තිබුණත් අතීතයේදී මේ මාලය කොළ, රතු මැණික් හා දියමන්ති එබ්බවූ ලෙසින් දිස් විය. දැන් දැන් අශ්වයා පුල්ලි සහිත බවක් පෙනුණද අතීතයේදී ඌ ඇපිල්ලූ රෙද්දක් සේ සුදු පැහැයෙන් බැබලුණු අතර උගේ පිට මත- රතු කළු කොටු සහිත බ්‍රොකේඩ් රෙද්දක් පින්තාරු කළ බවක් පෙනුණි. සටන්කරුගේ අතෙහි වූ කඩුව විචිත්‍ර වර්ණ වලින් අලංකාර කර, ඔහුගේ ඉන බැඳි රෙදි පටිය ඊට හාත්පසින් වෙනස් වර්ණයෙන් පාට ගන්වා තිබිණි.
මේ අවට ප්‍රදේශයේ තැන තැන තිබුණු මෙවැනි අනෙත් පිළිම රැස විලසින්ම මෙයත්, හැම දෙනාටම නොපෙනී, අමතකව ගිය එකක් විය. ගඳපාන සහ පතොක් පඳුරු වැවී වල් බිහිවී තිබුණු මේ පිළිම, ගමේ රස්තියාදුකරුවෝ පවා නොසලකා හැරියෝහ. මේ දිනයේ පිළිමයට සමීපයේ වූ පතොක් පඳුරක හෙවනක මහලු මිනිසෙකු නිදි කිරමින් සිටියේය. ඔහුගේ එළුවෝ දෙදෙනා අසල උලා කමින් පසුවූහ. කොළ පැහැති බසය ඈත කන්ද බැස එදෙසට පැමිණෙන තුරු මිනිසා බලා සිටියේ ඔහුට එතැනින් ඉවත්ව නිවස බලා යන්නට ලැබෙන සංඥාව එය වූ බැවිනි. එහෙත් ඒ වෙනුවට එහි පැමිණියේ මෝටර් රථයකි. එහි රියදුරු පිළිමය දුටු සැණින් වැරෙන් තිරිංග තද කර, රථය නවත්වා, බිමට පැන, ඒ වෙත ගියේය.
“නියමයි!” ඔහු පිළිමය වටා ඇවිදිමින් කෑ ගැසුවේය.
ඔහුගේ මුහුණ අව්වට පිළිස්සී රත් පැහැ ව තිබිණි. ඔහු හැඳ සිටියේ කාකි පැහැති කොට කලිසමක් සහ කමිසයකි. අසල උන් මහලු මිනිසා දැක ඔහු ආචාරශීලීව ඉංග්‍රීසි බසින් “ඔබට කොහොමද?” කීවේය.
මහලු මිනිසා පිළිතුරු දුන්නේ ඔහුගේ එකම සන්නිවේදන මාර්ගය වූ පිරිසිදු දෙමළ බසිනි.
“මගේ නම මුනි. අර ඉන්න එළුවෝ දෙන්නා තනිකරම මගේ. මුළු ගමක්ම ඕකට අනම් මනම් කියන්න පුළුවන් හැබැයි මුන් දෙන්නාට වෙන කිසි කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බැහැ.”
රතු මුහුණින් යුත් ආගන්තුකයා ගල් කුළු අසල උලා කමින් සිටි එළුවන් දෙස මොහොතක් බලා, සිගරට්ටුවක් පිටතට ගෙන, “ඔබ දුම් බොනවාද?” විමසුවේය.
“මම නම් ඔය විස්තරය ඇහුවෙත් ඊයේ තමයි.” මුනි කලබලයෙන් කීවේය. ඔහු සිතුවේ මේ කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලදරුවෙකු බවත්, ළඟදී ඒ ප්‍රදේශයේ වූ මිනී මැරුමක් ගැන ඔහු තමන්ගෙන් තොරතුරු විමසන බවත් ය.
“මම ආවේ නිව් යෝක් ඉඳන්, අහලා තියෙනවාද? අමෙරිකා?”
නිව් යෝක් කෙසේ වෙතත් අමෙරිකා යන වදන තමන් උච්චාරණය කරන ලෙසට, එනම් ‘ඇහ්-මෙ-රික්යා’ ලෙසට කියනු ලැබුවේ නම් මහලු මිනිසා එය තේරුම් ගන්නට ඉඩ තිබිණි. නමුත් මේ අවස්ථාවේදී නම් ඔහුට කිසිවක් නොතේරුණි.
“මේ දවස්වල නරක මිනිස්සු හැම තැනම. ඔය සිනමා බලලා තමයි මිනිස්සු නරක් වෙන්නේ, වැරදි දේවල් කරන්න ඉගෙන ගන්නේ ඒවායින්. ඇත්තටම දැන් කාලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ඔහු යටහත් පහත් ව කීවේය.
“ඔබ දන්නවා ඇති මේ අශ්ව පිළිරුව තනන්නට ඇත්තේ කොයි කාලේද කියලා” අමුත්තා කෘතඥ ව සිනාසෙමින් ඇසුවේය.
මේ සාමකාමී වාතාවරණයට ගැලපෙන පරිද්දෙන් මහලු මිනිසා ද හිනැහුණි. හිනැහෙමින් ම ඔහු මෙසේ බැගෑපත් විය.
“අනේ මහත්තයා මෙතැනින් යන්න. මම කිසි දෙයක් දන්නේ නැහැ. වැරදි වැඩ කරන කෙනෙක් හම්බවුණොත් මහත්තයා වෙනුවෙන් අල්ලලා තියාගන්න බවට මම පොරොන්දු වෙනවා. හැබැයි අපේ ගමේ නම් කවුරුත් එහෙම නැහැ, සමහරවිට එහා ගමේ වෙන්න ඇති.”
“මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හෙමින් කතාකරන්නම්,” රතු මුහුණැති මිනිසා කීවේය. “මම මේ රටට ආවේ සති තුනකට කළින්. මේ වෙද්දී මම ඔබේ අලංකාර රට පුරා හැතැප්ම පන්දාහක් විතර ඇවිදලා තියෙනවා.”
මෙය අසා මහලු මිනිසා යටි උගුරෙන් ශබ්ද කිහිපයක් නැගුවේය. මින් දිරිමත් වූ අමුත්තා තමන් එරටට පැමිණි කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කළේ හැම වචනයක්ම සෙමින්, පැහැදිලි ව උච්චාරණය කරමිනි. ඔහු ඒ රටට කෙතරම් කැමති ද යන වග, ඔහු තම උපන් රටේ කළ රාජකාරි, ඉන්දියාවේ සංචාරය කිරීමට ඔහු වසර ගණනක් තිස්සේ සැලසුම් කළ හැටි, අනාගත බලාපොරොත්තු - මේ හැම දෙයක්ම ඔහු පැහැදිලි කළේ වරින් වර කතාව නවත්වමින්, මිතුරු සිනහවක් පාමින් ය. මහලු මිනිසා මීට පිළිතුරු ලෙස සිනාසුණත් කිසිවක් කීවේ නැත. අන්තිමේදී අමුත්තා මෙසේ කීවේය.
“ඔබගේ වයස කීයද? ඔබට හරි ලස්සන දත් දෙපෙළක් තියෙනවනේ, ඒ ඇත්ත ඒවාද? ඔබේ රහස කුමක්ද?”
මහලු මිනිසා නළල රැළි ගන්වා දුක්මුසුව මෙසේ පිළිතුරු දුන්නේය.
“සමහර වෙලාවට අපෙත් හරක් අතුරුදන් වෙනවා, එතකොට අපි ගිහින් නැකත්කාරයෙක් හම්බවෙනවා. එයා කපුරු දැල්ලක් දිහා බලලා අපිට කියනවා නැතිවුණු සත්තු හොයන්න කොයි අතට ද යන්න ඕන කියලා… මම දැන් ගෙදර යන්න ඕන,” මෙසේ කියමින් ඔහු යන්නට හැරුණේය.
අනෙකා ඔහුගේ උරෙන් අල්ලා නවත්වා ඉතා උනන්දුවෙන් මෙසේ ඇසුවේය.
“මේ හරියේ කවුරු හරි- කවුරුම හරි ඉන්නවද මම මේ කියන දේ පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්?” ඔහු මේ උණුසුම් හවස් වරුවේ පාලුවට ගොස් තිබුණු මාවතේ ඒ මේ අත බලන්නට විය. හදිසියේ හැමූ සුළඟක් දුහුවිල්ලත්, මාවත අයිනේ වූ වියළි පත්‍රත් අවුස්සා, විනිවිද පෙනෙන කුලුනක් සේ ඒවා මොහොතකට රඳවා, කඳු පාර වෙත තල්ලු කළේය.
“මේ පිළිමය ඔබේද? මට ඒක විකුණනවාද?”
අමුත්තා මේ අසන්නේ අශ්ව පිළිමය ගැන බව මහලු මිනිසා ට වැටහිණි. ඔහු මඳක් කල්පනා කර මෙසේ කීවේය. “මගේ සීයා මේ අශ්වයාත්, සටන්කාරයාත් ගැන මට විස්තර කියද්දී මම මේං මේ තරම් විතර පැංචෙක්. මම හිතන්නේ සීයාට එයාගේ සීයා ඒක කියද්දීත් එයා ඒ තරම් විතර ඇති.. ඒ සීයාගේ සීයාත්…” පිළිමයේ පැරණි බව ගැන විස්තර කියන්නට ගොස් අතීතාවර්ජනය නමැති ගොහොරුවේ ඔහු තව තවත් ගිලෙන්නට වූ අතර අන්තිමේදී ඔහු මෙසේ කියමින් අමාරුවෙන් ඉන් ගොඩට පැමිණියේ ය.
“මගේ සීයාගේ සීයාගේ මාමා මේ ගැන හරියටම දන්නවා, හැබැයි මට එයාව මතක නැහැ.”
“මට මේ පිළිමය කොහොමහරි ගන්න ඕන.” අමුත්තා කීවේය. “ඔබ මට වැඩි මිළක් නොකියාවි කියලා මම හිතනවා”
“මේ අශ්වයා,” මහලු මිනිසා තවදුරටත් විස්තර කරන්නට විය. “කලියුගය අවසානේ දහවෙනි අවතාරය හැටියට පෙනී ඉන්න නියමිතයි.”
අමුත්තා එයට හිස සලා එකඟ විය. ඔහු ‘අවතාර’ යන වචනය දැන සිටියේය.
“මේ කලියුගය අවසානයේදී මේ ලෝකයත්, අනෙත් හැම ලෝකයක්මත් විනාස වෙනවා. එතකොට තමයි කල්කි කියන අශ්වයාගේ වේසයෙන් ගැලවුම්කාරයා එන්නේ. උන්නාන්සේ හොඳ මිනිස්සුන්ට උදවු කරලා නරක මිනිස්සුන්ව මහා ගං වතුරකින් යටවෙන්න අරිනවා. එදාට මේ පිළිමයේ අශ්වයාට පණ එනවා. ඒ නිසා තමයි අපේ ගම මුළු ලෝකෙන්ම උතුම් ම ගම වෙන්නේ.”
“මම සාධාරණ ගාණක් ගෙවන්න ලෑස්තියි-” අමුත්තා කියන්නට ගත් නමුත් මේ වෙද්දී මහලු මිනිසා විවිධ අවතාර හෙවත් දේව මූර්ති කතන්දරවල මායාවට වශී වී සිටි බැවින් ඒ ප්‍රකාශයට බාධා විය.
“විෂ්ණු දෙවියෝ තමයි දෙවියන් අතරින් උසස්ම- එහෙම තමයි අපේ කෝවිලේ පණ්ඩිත් ගුරු නිතරම කියන්නේ. මීට කලින් මේ ලෝකේ නපුරු මිනිස්සු බලවත් වුණු නව වතාවකදී විෂ්ණු දෙවියෝ පෙනී ඉඳලා තියෙනවා.”
“මම ලොකු පෝසතෙක් නම් නෙමෙයි..”
“පළවෙනි අවතාරය මාලුවෙක් ගේ වෙස් අරන් ආවේ,” මහලු මිනිසා කීවේය. ඉනික්බිති ඔහු විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය වේශය ගැනත් ඔහු විසින් ශුද්ධ ලියවිලි මූදුබත් වීමෙන් බේරාගත් අයුරුත් පැහැදිලි කළේය. මේ පළමු අවස්ථාව විස්තර කළ පසු විෂ්ණු දෙවියන්ගේ ඊළඟ මූර්ති- එනම් ඉබ්බෙකු, වල් ඌරෙකු ආදිය ගැන විස්තර කීම නොවැළක්විය හැකි විය.
“මේක ප්‍රවාහනය තමයි මගේ ලොකුම ගැටලුව වෙන්නේ, හැබයි මම ඒ ගැන පස්සේ වද වෙන්නම්. මට කියන්න, ඔබ මේ අශ්වයා වෙනුවෙන් විතරක් රුපියක් සීයක් භාරගන්න කැමතිද? ඇත්තම කියනවා නම් මම මේ උඩුරැවුල්කාර සොල්දාදුවාටත් කැමතියි, හැබැයි මේ වතාවේ එයාව ගෙනියන්න ඉඩ නැහැ, ඒකට ලබන අවුරුද්දේ එන්න වෙනවා.”
“විෂ්ණු දෙවියෝ තමයි හැම වතාවෙම විපත් වලින් මිනිස් සංහතිය බේරා ගන්නේ. එක වතාවක් උන් වහන්සේ රාමා හැටියට ඉපදුනා. ලෝකෙම හොල්ලපු, ඔලු දහයක් තියෙන රාවණා ව විනාශ කරන්න පුළුවන් වුණේ එයාට විතරයි. මේ මහත්තයා රාමායනය ගැන දන්නවාද?”
“මගේ ස්ටේෂන් වැගන් එක තියෙනවානේ. මට ඔබ මට පොඩි උදව්වක් දුන්නොත් මට පුළුවන් සීට් එක පහත් කරලා අශ්වයා ව දාගන්න.”
“මහත්තයා මහා භාරතය දන්නවාද? ක්‍රිෂ්ණා තමයි විෂ්ණු ගේ අට වෙනි අවතාරය. ඒ වතාවේ විෂ්ණු, සහෝදරයෝ පස් දෙනෙකුට තමන්ගේ රාජධානිය බේරාගන්න උදවු කළා. ක්‍රිෂ්ණා පුංචි බබෙක් කාලේ නයි පෙන දාහක් තියෙන විශාල නාගයෙක් ගේ ඇඟ උඩ නටලා, ඌව පාගලා මරලා දැම්මා ලු.”
මේ වෙද්දී දෙදෙනා, අනෙකා පවසන දේ නොතේරීම නිසා උපරිම ලෙස එකිනෙකාව ව්‍යාකුල කරවා තිබිණි. මහලු මිනිසා කතාබහක අන්‍යොන්‍ය බව සමබර කිරීම සඳහා තමන්ගේ වාරයේදී නොකඩවා යම් යම් දේ කියවමින් සිටියේය. අමුත්තාගේ සිත දිනාගැනීමේ අදහසින් ඔහු මෙසේ කීවේය.
“මේ උතුම් මහත්තයාට දෙවියෝ දරු මුණුබුරෝ රාශියක් තෑගි කරලා ඇති කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මම වගේ වයසක මනුස්සයෙක් ළඟ ඉඳන් මෙහෙම කතාකරන්න මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඕන නිසා. වෙනදාට නම් මේ පාරේ යන කෙනෙක් දුම්කොළ කෑල්ලක් ඉල්ලන්න මාත් එක්ක කතා කළොත් මිසක් මට කතාකරන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට ළමයි කීයක් ඉන්නවාද?”
“මහන්සි නොවී කිසි දෙයක් ලබාගන්න බැහැ” අමුත්තා තමන්ට කියා ගත්තේය.
“එහෙනම් ඔබ මේකට රුපියල් සීයක් භාරගන්න කැමතිද?” ඔහු මහලු මිනිසාගෙන් විමසූ අතර මීට පිළිතුරු ලෙස තවත් ප්‍රශ්න රැසක් ලැබිණි.
“මහත්තයා ට දූලා කීයද, පුත්තු කීයද? එයාලා කොහේද ඉන්නේ? දූලා බැඳලා ද? ඒ රටෙත් ගැලපෙන බෑණාලා හොයාගන්න අමාරුද?”
අමුත්තා තම සාක්කුවට අත දමා පසුම්බිය පිටතට ගෙන ඉන් රුපියල් සියයේ නෝට්ටුවක් එළියට ගත්තේය. මෙය දැක තම කතාබහ යම්කිසි මුල්‍යමය පරිච්ඡේදයකට පිළිපන් බව මහලු මිනිසාට වැටහිණි. ඔහු ඒ දෙස පරීක්ෂාවෙන් බලන්නට විය. රුපියල් පහේ, දහයේ නෝට්ටු වල පැහැයන් ඔහු හොඳින් දැන සිටියේ ඒවා අනුන් අත දැක තිබුණු බැවිනි. මේ නෝට්ටුව නම් ඔහු ජීවිතයේ කිසි දිනක දැක නොතිබුණේ ඔහුගේ ඉපයුම තඹ සහ නිකල් කාසි වලට සීමා වූ බැවිනි. මේ අමුත්තා නෝට්ටුවක් දිග හැර පෙන්වන්නේ කුමකටද? සමහරවිට ඔහුට මේ නෝට්ටුව මාරු කරගැනීමට උවමනා වී තිබෙනවා විය හැක. විශාල අගයකින් යුත් මුදල් නෝට්ටුවක් ගෙන හැර පා කිසිවෙකු තමන් වෙතින් මාරු සල්ලි ඉල්ලීම ගැන ඔහුට සිනා පහල විය.
“මාරු සල්ලි උවමනා නම් ගම්මුලාදෑනියාගෙන් ඉල්ලන්න වෙයි මහත්තයා. උන්දැ තමයි ගමේ උන්ට ණය දෙන්නේ. රුපියල් ලක්ෂයක් වුණත් රන් කාසි වලින් දෙයි ඉල්ලුවොත්. උන්දැගේ හිතේ කවුරුත් දන්නේ නැහැ කියලා, ඒත් උන්දැගේ පූජා කාමරේ බිම හෑරුවොත් වළලලා තියෙන වස්තු සම්භාරය දැක්කාම කලන්තේ හැදේවි. ඔය මිනිහා වැරහැලි ඇඳන් ඉන්නේ මිනිස්සුන්ව මුලා කරන්න.”
“මේ මදි නම් මට ගාන වැඩි කරන්න පුළුවන්.” අමුත්තා කීවේය.
“මහත්තයාටම තමයි ගම්මුලාදෑනියා එක්ක කතාකරන්න වෙන්නේ, උන්දැට මාව පේන්න බැහැ. කවුරුහරි මිනිහාගේ වට්ටක්කා වැලක් ගෙඩි පිටින්ම හොරකම් කරලා. උන්දැගේ හිතේ ඒක කළේ මායි මගේ එළුවෝ දෙන්නායි කියලා. ඔන්න ඕක හින්දා තමයි මම ඔය ගොවිපොළවල් පැත්තට වත් මගේ එළුවෝ යවන්නේ නැත්තේ,” මහලු මිනිසා එසේ කීවේ ගල් කුළු අතරේ ඇති කුඩා ළදළු පවා කන්නට උත්සාහ කරමින් සිටි තම එළුවන් දෙස බලමිනි.
අමුත්තා ද ඒ දෙස බැලූ අතර මහලු මිනිසාගේ සුරතලුන් වෙත ආදරය පෑම මේ අවස්ථාවට ගැලපෙන කාර්යයක් බව සිතුවේය. ඔහු උන් වෙත ගොස් සෙමෙන් උන්ගේ සිරුරු පිරිමැද්දේ ය.
මහලු මිනිසාට සිදුවෙමින් තිබුණු දේ වැටහුණේ එවිටයි. ඔහු ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් සැබෑ වෙමින් තිබිණි. මේ රතු මුහුණෙන් යුත් ආගන්තුකයා ඔහුගේ එළුවන් මිළට ගැනීමට ඉල්ලමිනි. ඔහු මේ එළුවන් උස් මහත් කළේ කෙදිනක හෝ උන් ව විකුණා මෙතැනම කඩයක් විවෘත කරන අරමුණ ඇතිවය. පොල් අතු සෙවිල්ලූ වහලක් යට ගෝනියක් අතුරා බදින ලද කජු, විවිධ පැහැයෙන් යුත් රසකැවිලි සහ මාවත ඔස්සේ පැමිණෙන මගීන්ගේ පවස නිවීමට කුරුම්බා විකිණීමට ඔහු සිහින මැව්වේය. මේ සඳහා ඔහුට රුපියල් විස්සක ප්‍රාග්ධනයක් අවශ්‍ය වූ අතර මඳක් පෙරැත්ත කිරීමෙන් අගන්තුකයාගෙන් ඒ මුදල ලබාගත හැකි බවට ඔහු කල්පනා කළේය. මේ සතුන් දෙදෙනා සත්ත්ව ප්‍රදර්ශනයක සම්මාන ලැබීමට තරම් සුවිශේෂී නොවුණත් ඉඳ හිට උන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඔහු වියදම් කර තිබුණු නිසා උන් හොඳ පෙනුමකින් යුතු විය.
“මේ සල්ලි ඔක්කොම ඔබට, කැමති නම් ඔබේ සගයෙක් එක්ක බෙදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ,” මෙසේ කියමින් ආගන්තුකයා මහලු මිනිසාගේ අත රුපියල් එකසිය විස්සක් තැබුවේය.
මහල්ලා මෝටර් රථය වෙත අත දිගුකර ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය.
“ඔව් ඔව්, හරියට හරි” අනෙකා පිළිතුරු දුන්නේය.
“හැබැයි මේක එළුවෝ දෙන්නා කාර් එකක යන පළවෙනි වතාව. එහෙනම් මම මෙතැනින් ගියාට පස්සේ උන් දෙන්නාව වාහනේට දාගන්න. නැත්නම් උන් කවදාවත් මහත්තයාගේ පස්සෙන් නම් එන එකක් නැහැ. මම පරලෝකෙට ගියත් උන් දෙන්නා මගේ පස්සේ තමයි!” තමන්ගේම විහිලුවට සිනාසුණු ඔහු ඉනික්බිති දෑත් එක් කර අමුත්තාට ආචාර කර අනෙත් පස හැරී පඳුරක් අතරින් රිංගා නොපෙනී ගියේය.
නිදහසේ උලාකමින් සිටි එළුවන් දෙස බැලූ අමුත්තා අශ්ව පිළිමයේ පාදම වෙත ගියේය. බැස යන හිරුගේ එළියෙන් පිළිමයේ අව පැහැ ගැන්වුණු වර්ණයන් අමුතු අලංකාරයකින් දිස් විය.
“වයසක මනුස්සයා උදව්වට කවුරු හරි අඬගහගෙන එන්න යන්න ඇත්තේ” මෙසේ සිතූ ඔහු ඔවුන් එනතුරු බලා සිටීමට හරි බරි ගැසී හිඳ ගත්තේය.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘A Horse and Two Goats’ by R. K Narayan
Picture generated by AI
August 27, 2025
මිතුරුකම්
බැලූ බැල්මට එයාව පෙනුණේ ඉස්කෝලේ ඇරිලා එන තවත් පිරිමි ළමයෙක් වගෙයි.
පොත් මිටියක්ම උස්සාගෙන හිටිය එයාගේ ඇස් කණ්නාඩි දෙක නහයෙන් පහතට ලෙස්සමින් තිබුණා..
ඒක සිකුරාදා දවසක්. අනෙත් හැම කෙනෙකුටම කළින් ලෑස්ති කරගත්ත ක්‍රීඩා තරඟ, සාද, යාලුවෝ මුණගැහෙන්න යන ගමන් බිමන් වගේ එක එක වැඩ තිබුණා- ඒත් මෙයා නම් යමින් හිටියේ තනියම.
තව පොඩ්ඩෙන් මම එයා දිහා නොබලාම යනවා.
ඒත් ඒ මොහොතේම කොලු රංචුවක් අපි ව පහුකරගෙන දුවගෙන ගියා. එහෙම යද්දී එයාලා අර පිරිමි ළමයාගේ ඇඟේ හැප්පුණා. එයා බිමට ඇදගෙන වැටුණා, එයාගේ අතේ තිබුණු පොත් මිටිය සී සී කඩ විසිරුණා. කොල්ලෝ ටික නම් හිනාවෙමින් දිව්වේ නවතින්නේවත් නැතිව. මේක දැකලා මගේ හිත ඇතුළේ මොකක්දෝ වුණා.
මම එයාට නැගිටින්න උදවු කළා, කණ්නාඩි දෙක අහුලලා දුන්නා. “අරුන් මහා පිස්සෝ ටිකක්” මම එයාට කිව්වා.
එයා මාත් එක්ක හිනාවුණා, ඒක නිකම් හිනාවක් නෙමෙයි, කෘතඥ හිනාවක්, මතක හිටින වර්ගයේ හිනාවක්.
අපි දෙන්නා කතාවට වැටුණා. බලද්දී එයාගේ ගෙදර මගේ ගෙවල් කිට්ටුවමයි තිබුණේ. එයා විනෝදයට බර, බුද්ධිමත් කෙනෙක් බවත්, ෆුට්බෝල් ගහන්න බොහොම කැමති බවත් කතාවේදී තේරුණා. ඒ සති අන්තයේදී අපි ආයෙත් මුණගැහුණා. ඒවගේම ඊළඟ සති අන්තයේත්, ඊටපස්සේ එකේත්… ටික කලක් යද්දී අපි හොඳම යාලුවෝ වුණා.
කාලය ගත වුණා. අපි පාසලෙන් පිටවෙන දවස ආවා. එදා පැවැත්වුණු උත්සවයේදී එයා අපි අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හැටියට සභාව ඇමතුවා. ආත්ම විශ්වාසයෙන් කෙරුණු ඒ කතාව ඉතා සාර්ථක එකක්, හැම දෙනාම ඊට බොහොම කැමති වුණා.
ඒ කතාවේ අන්තිමේදී එයා කීව මේ කොටස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
“අවුරුදු කීපෙකට කළින් මම මගේ ජීවිතය නැතිකරගන්න තීරණය කළා. එහෙම හිතලා සිකුරාදා දවසක ඉස්කෝලේ මගේ ලොකර් එකේ තිබුණු ඔක්කොම බඩු ටික අස් කරලා ගෙදර ගෙනියන්න ගත්තා. එහෙම නොකළා නම් ඒ වැඩේ මගේ අම්මාට කරන්න වෙන නිසායි ඒක කළේ. මං ගැන කවුරුවත් හිතන්නේ නැහැ කියලායි මම එදා හිතාගෙන හිටියේ. ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා. එයා මගේ පොත් ටික බිමට වැටුණු වෙලාවේ අහුලලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නොදැනුවත්වම මගේ ජීවිතයත් බේරලා දුන්නා.”
මේක අහලා සභාව ම නිහඬ වුණා. මාව ගල් ගැහුණා. ඒ වෙනකම්ම මම ඒ බව දැනගෙන හිටියේ වත් නැහැ.
සමහර වෙලාවට අපි කරන පුංචි දෙයක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම දෙයක් වෙන්න පුළුවන්.
ඉතින් කරුණාවන්ත වෙන්න. අවදියෙන් ඉන්න.
උදවු උවමනා කෙනෙක් ඔබ ළඟම ඉන්නවා වෙන්න පුළුවන්
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of a note from Old Photo Club
Digital art
August 20, 2025
ප්‍රේමය ගැන කියන දේ
“ප්‍රේමය සම්බන්ධ කාරණා වලදී
නැණවත් ව කටයුතු කරමි,
කල්පනාවෙන් තෝරාගනිමි”
මෙසේ කියන්නන් නොව
තමන් කිසිදු තෝරාගැනීමක් නොකළත්
අදෘශ්‍යමාන
බලගතු
කිසිවෙකුට නතු නැති
සුන්දර
නොගැලපෙන බලයකින්
තමන් ව තෝරාගනු ලද අය පමණක්
ප්‍රේමය ගැන මා කියන දෑ
තේරුම් ගනු ඇත
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Not anyone who says' by Mary Oliver
Digital art
August 11, 2025
අත්හැර යෑම්
ගොඩනැගිල්ලකින් නික්මෙන්නෙක් සේ
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න
එහි ආරුක්කු වල නැමි
ආදර බැල්මෙන් පිරිමදින්නට
එහි දොරටු අසල
ලාලසාවෙන් තාවර වන්නට
එලෙස, නිරායාසයෙන්
මට ඔබව හැර යන්න ඉඩ දෙන්න
ආලෝකය හෝ අඳුර වෙත
නික්මෙන්නට ඉඩ දෙන්න
ගොඩ වෙන්නෙක් සේ,
අන් ජීවිත වලට පිවිසෙන්නට
මට ඉඩ දෙන්න
ඒවායින් නික්මෙන්නටත් හරින්න
ඉඳ හිට පය පැකිලුනත්
නැවත ප්‍රකෘතිමත් විය හැක
යන්තමින් පණ ඇතිව
බිඳී, ලේ ගලමින්
හිරි වැටී, වෙව්ලමින්
අන් ජීවිත වෙතින්
මට නික්මෙන්නට ඉඩ නොදෙන්න
සාදයක, මහා සභාවක
අනුන්ගේ දුක රස විඳීමේ ගිජු කමින්
අසා හිඳින්නන් හට
ඒ කතාව කියන්නට ඉඩ නොතබන්න
කල් යල් නොබලා
සොඳුරු අහඹුවක් ලෙසින්
ඔබව හැර යන්නට
ඉඩ හරින්න
Translation of the poem Departures by Marianne David
like one would
a building
no turning back
to give it
second glances,
caress the curves
of its arches,
or linger in its doorways
hesitant, longing
like that,
effortlessly –
or the night
at my convenience
like one enters
a train, coach, plane,
exit just as easily –
some stumbling,
but one recovers
the way one does
a horrific accident
broken, bleeding,
barely alive
numb, trembling
and find myself
relating the tale years later
a party trick
the audience, enraptured,
indulging in the sick pleasure
of reliving visceral pain
as I found you,
unthinkingly
serendipitously
By Marianne David
පසු සටහන
Digital art
August 06, 2025
ආලෝකය
August 02, 2025
මාතෘ
July 30, 2025
පර්සි සහ පොත්
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි
‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’
‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’
‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’
Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital art
July 16, 2025
ආදරණීය මරියා
July 13, 2025
Totoro
July 10, 2025
කුරුළු කතා
ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල් පදින අයත්, මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත් magpiesලාට පේන්න බැහැ.
Magpie කියන්නේ කපුටෙකුට වැඩිය ටිකක් ලොකු, කළු සුදු පිහාටු තියෙන කුරුල්ලෙකුට. මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් තමයි එකට ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ බව පේන්නේ වැඩිහිටි තරමේ කුරුළු පැටවුන්ටත් අම්මලා කෑම හොයාගෙන ඇවිත් කවනවා පෙනෙද්දී. මම නම් කැමතිම මෙයාලගේ ගායනයට. පෙනුමයි වැඩයි ටිකක් ගොරහැඩි උනත් මෙයාලගේ සංගීතය නම් හරිම මිහිරියි. හීතල උදේ පාන්දරවලට ගස් වල මුදුන් වලින් එක එක තාන වල magpie ගීත දෝංකාර දෙන එක හරි අපූරු ඕස්ට්‍රේලියානු අත්දැකීමක්.
මීට අමතරව magpie කුරුල්ලෝ විනෝදයට බර කට්ටියක් කියලා මම අහලා තිබුණට ඒක හරියටම දකින්න ලැබුණේ ළඟදී. පුතාගේ ඉස්කෝලේ ළඟ magpie පවුලක්ම සැරිසරමින් ඉන්නවා මම කළින් ඉඳන්ම දැකලා තිබුණා. ළඟදී දවසක් මම මෙයාලගේ හරි ලස්සන සෙල්ලමක් දැක්කා. හවසක, පාලු වෙලා තිබුණු badminton court එකක දැලේ යට දාරයේ මේ magpie කණ්ඩායම ම එල්ලිලා උඩු යටිකුරුව පැද්දී පැද්දී හිටියා! එහෙම ඉන්න ගමන් කට්ටියම තරඟෙට වගේ මහා හයියෙන් සින්දුත් කියනවා. ටිකක් වෙලා ඉඳලා බිමට බැහැලා තටු දිග ඇරලා හිරි ඇරලා ආයෙත් උඩු යටිකුරුව එල්ලෙනවා. මේ සෙල්ලමට මාත් කොයි තරම් වශී වෙලා බලාගෙන හිටියද කියනවා නම් වීඩියෝ එකක් වත් ගන්න මතක් උනේ නැහැ නේද කියලාත් මතක් වුණේත් පස්සේ.
මේ සිද්ධිය දැක්කාට පස්සේ මේ විදිහට තනියම හිතලා විනෝද වෙන්න පුළුවන් තරමට තේරුමක් තියෙන magpie කුරුල්ලන්ට මගේ තියෙන සැලකිල්ල වැඩි වුණා! ඉඳ හිට ගහක් ළඟින් යද්දී ඔලුවට කොටන්න වගේ පාත් වෙන එකටත් එයාලට සමාව දෙන්න පුළුවන් තරමට මම දැන් එයාලා ගැන පැහැදිලා ඉන්නේ.
-හෙල්මලී
Sketch- Ink on paper
July 04, 2025
ආදරණීය සීයේ
නව හැවිරිදි වන්කා ශුකොව් මීට තෙමසකට පෙර සපතේරුවකු වන අල්යාකින් වෙත වැඩ පුහුණුවීමට යොදවන ලදී. නත්තලට පෙර දින රාත්‍රියේ ඔහු නින්දට නොගොස් හාම්පුතා ත් ඔහුගේ බිරිඳත් අනෙත් සේවකයන් සමඟ දේව මෙහෙයට යනතුරු බලා සිටියේය. ඉනික්බිති ඔහු තම හාම්පුතාගේ අල්මාරියෙන් තීන්ත කූඩුවක් සහ මළ කෑ තුඩක් සහිත තීන්ත පෑනක් පිටතට ගෙන, පොඩි වුණු කඩදාසි කැබැල්ලක් තමන් ඉදිරියේ දිග හැරීය. ලිවීම ඇරඹීමට පෙර, වන්කා කුටියේ දොර සහ කවුළු වෙතත් පාවහන් තැනීමට ගන්නා අච්චු සහිත අඳුරු රාක්ක වෙතත් කිහිප වරක් බිය මුසු බැලුම් හෙලා සොවින් බර සුසුමක් හෙලුවේය. ඉනික්බිති බංකුව මත කඩදාසිය ඇතිරූ ඔහු, ඒ අසලින් දණ ගසාගෙන ලියන්නට විය.
“ආදරණීය සීයා, කොන්ස්ටන්ටින් මාකරිච්,” ඔහු ලිවීය. “ඔබට ලියුමක් ලියන්නට මට සිතුණා. ඔබට සුබ නත්තලක් වේවා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ම ලැබේවා. අම්මාත් තාත්තාත් නැති මට ඉන්නේ ඔබ විතරයි.”
තම ඉටිපන්දමේ ආලෝකය වැටී කුටියේ කෙළවරක වූ ප්‍රතිමාව දිලිසෙන අයුරු බලා සිටි වන්කා තම සීයා ගැන කල්පනා කරන්නට විය. තම සීයා වන කොන්ස්ටන්ටින් මාකරිච්, ශිවාරෙව් නම් ප්‍රභූ පවුලකට අයත් වත්තක රාත්‍රී මුරකරු ලෙස සේවය කළේය. කුඩා සිරුරකින් හෙබි හැටපස් හැවිරිදි මහල්ලෙකු වූවත් සීයා අපූරු කාර්යශූර අයෙකු විය. ඔහුට තිබුණේ මත් දෑසක් සහ නිරතුරු සිනාවෙන් පිරුණු මුවකි. දිවා කාලයට ඔහු එක්කෝ මෙහෙකරුවන් වෙනුවෙන් වෙන් වූ මුළුතැන්ගෙහි නිදා ගත්තේය. නොඑසේ නම් එහි කෝකියන් සමඟ විහිලු තහළු කරමින් පසු වූයේය. රාත්‍රී කාලයේදී බැටළු සමින් තැනූ කබා කිහිපයක් පොරොවාගෙන ඔහු ගෙඋයන වටා ඇවිද්දේ තම අත වූ කුඩා ලී මිටියෙන් ඒ මේ අතට තට්ටු දමමිනි. ‘කෂ්ටන්කා’ නම් මහලු බල්ලාත්, මුගටියකු වැනි දිගටි හැඩරුව නිසා ‘ඊල්’ නම ලද බල්ලාත් තම හිස් පහත් කරගෙන ඔහු පසුපස ඇවිද ගියහ. ඊල්, අනවශ්‍ය තරමට ආචාරශීලී බවක් සහ සුරතලයක් දැක්වූ සතෙකු විය. ඔහු ආගන්තුකයන්ටද තම ස්වාමියාටද දැක්වූයේ එක සමාන කරුණාවන්ත බවකි. නමුත් ඌ තරමක අපකීර්තියකට ලක් වූවෙකි. උගේ යටහත්පහත් බවට යටින් තිබුණේ අතිශය කපටිකමකි. ඉඳහිට රහසින් රිංගා විත් කාගේ හෝ විලුඹ සපා කන්නට, ගබඩා කාමරයකට රිංගන්නට නොඑසේ නම් ගැමි ගෙවත්තකින් කිකිළියක් සොරා කන්නට ඌට වඩා වෙනත් හපනෙකු නොවීය. කිහිප වතාවක්ම උගේ පසුපස ගාත් ගැලවී යන්නට තරම් අනතුරු සිදු වී, දෙවතාවක් පමණ ඌ ව එල්ලනු ලැබී තිබිණි. මීට අමතරව හැම සතියකම පාහේ සිරුර අඩපණ වනතුරු ඌ ගුටිකා ද තිබුණු නමුත් මේ කිනම් ව්‍යසනය වූවත් ඌ ඊළඟ දවසේත් නැවත උද්යෝගීමත්ව පෙනී සිටීමට සමත් විය.
තේ තම සීයා ගේට්ටුව අසල සිටගෙන, දෑස් කුඩා කරමින්, පල්ලියේ රතු පැහැති කවුළු දෙස බලමින්, තම ෆෙල්ට් බූට් සපත්තු වල අඩි හප්පමින්, මෙහෙකරුවන් සමඟ විහිලු තහළු කරමින් පසුවන අයුරු වන්කාට මැවී පෙනුණි. ඔහුගේ කුඩා ලී මිටිය බඳ පටියෙන් එල්ලෙමිනි. සීතල නිසා තම දෑත් අතුල්ලමින්, වරෙක මෙහෙකාර කෙල්ලද, තවත් වරෙක කෝකි කාන්තාව ද කොනිත්තමින් ඔහු සිනාසේ.
“දුම්කුඩු ටිකක් ඕන ද?” කාන්තාවන්ට ඔහු තම දුම්කුඩු පෙට්ටිය පායි.
කාන්තාවන් දුම්කුඩු උරා කිඹුහුම් හරිද්දී සීයා මහත් සේ විනෝදයට පත් ව සිනාසෙමින් කෑ ගසයි.
“ඔය නහයවල් හීතලට ගල් ගැහිලා තියෙන්නේ, ඒවා ගලවලා අරිමු!”
ඔහු බල්ලන්ටද දුම්කුඩු පායි. කෂ්ටන්කා කිඹුහුම් ඇර, තම හිස ගස්සා උරණ වී ඉවතට යයි. ඊල් නම් තම ආචාරශීලී බව නිසා කිඹුහුම් නොඇරියත්, තම වලිගය වනන්නේ ය. කාලගුණයෙහි සුන්දර බවට අමතර ව වාතය නැවුම් ව, පාරදෘශ්‍ය ව පවතින බවක් දැනේ. රාත්‍රිය අඳුරු වුවත් නිවෙස්වල සුදු පැහැති පියසි, දුම් කවුළු වලින් පිටවෙන දුම් කැරළි, තුහින වැටීමෙන් රිදී පැහැ ගැන්වුණු ගස්, හිම කණ්ඩි ආදියෙන් යුතු මුළු ගම්මානයම ඒ උස් බිමට දිස් වේ. මුළු අහසම ප්‍රීතියෙන් දිදුලන තරු වලින් පිරී ඇති අතර ක්ෂීරපථය, හිමෙන් ඔප දමන ලද කලක මෙන් පැහැදිලිව දිස් වේ.
වන්කා සුසුමක් හෙලා, පෑන තීන්තයේ ඔබා නැවතත් ලියන්නට ගත්තේය.
“ඊයේ මම හොඳ බැනුමක් ඇහුවා. මෙයාලගේ පොඩි එකාව තොටිල්ලේ පද්දමින් ඉන්දැද්දී මට නින්ද ගිය නිසා ලොකු මහත්තයා මගේ කොණ්ඩයෙන් ඇදලා අරගෙන, බූට්ස් දිග අරින්න ගන්න පොල්ලකින් මට ගැහුවා. ඒ වගේම ගිය සතියේ ලොකු නෝනා මට හෙරින්ග් මාලුවෙක් සුද්ද කරන්න කිව්වාම මම උගේ වලිගෙ පැත්තෙන් සුද්ද කරන්න පටන් ගත්තා කියලා නෝනා මාළුවා මගේ මූණේ ඇතිල්ලුවා. මෙතැන වැඩකරන මිනිස්සු මාව විහිලුවකට අරන් තියෙන්නේ. එයාලා මාව වොඩ්කා ගේන්න තැබෑරුමට යවනවා. ලොකු මහත්තයාගේ පිපිඤ්ඤා හොරකම් කරන්න යවනවා. ඉතින් ඊටපස්සේ ලොකු මහත්තයා මට අතට අහුවුණු දෙයින් ගහනවා. ඒ වගේම සීයේ මෙහෙ කන්න කිසි දෙයක් නැහැ. උදේට එයාලා මට පාන් දෙනවා, දවල්ට කැඳ, රෑට ආයෙත් පාන්. තේ, සුප් එහෙම තිබුණොත් නෝනා යි මහත්තයයි ඒවා ඔක්කොම ගිලලා දානවා. මම නිදාගන්නේ කොරිඩෝවේ, මේ කාලකණ්නි පොඩි එකා අඬන සැරයක් ගානේ මම තොටිල්ල පද්දන්න ඕන නිසා මට නින්දක් නැහැ. අනේ සීයා මට අනුකම්පා කරලා මාව මෙහෙන් ගමට අරගෙන යන්න. මට මේක ඉවසන්න බැහැ. මම සීයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්, සීයා වෙනුවෙන් මම සදාකාලිකව දෙවියන්ට යාඥා කරන්නම්, මාව මෙහෙන් අරගෙන ගියේ නැත්නම් මාව මැරිලා යාවි.”
වන්කාගේ දෙතොල් වෙව්ලන්නට විය. දැලි වැකුණු සුරතින් තම දෑස පිස දැමූ ඔහු ඉකියක් මැඩ ගත්තේය.
“මම සීයාගේ දුම්කුඩු කොටලා දෙන්නම්,” ඔහු තවදුරටත් ලියන්නට විය. “මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. මම වැරද්දක් කළොත් සීයාට පුළුවන් සීඩෝර් ගේ එළුවාට වගේ මට තලන්න. මට රස්සාවක් නැතිව හරියන්නේ නැහැ කියලා සීයාට හිතෙනවා නම් මම ගබඩා කාරයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලන්නම් එයාගේ බූට්ස් සපත්තු පිරිසිදු කරන්න මට ඉඩ දෙන්න කියලා. එහෙම නැත්නම් මම ෆෙද්කා වෙනුවට එඬේර රස්සාවට යන්නම්. අනේ සීයේ, මෙහෙ කිසිම ජීවිතයක් නැහැ, මට මේක ඉවසන්න බැහැ. මට මෙහෙන් පැනලා ගමට එන්න උවමනා උනත් මට ඒ ගමනට දාන්න බූට්ස් නැහැ, මාව මඟදී සීතලට ගල් වෙයි කියලා මට බයයි. මම ලොකු වුණාම සීයාව බලාගන්න පොරොන්දු වෙනවා, කිසි කෙනෙකුට සීයාට කරදර කරන්න ඉඩ දෙන්නේ නැහැ. සීයා ස්වර්ගස්ථ වුණාම මම දැන් අම්මාගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනවා වගේම සීයා වෙනුවෙනුත් යාඥා කරන්නම්.
මොස්කව් කියන්නේ ලොකු නගරයක්. බැලූ බැලූ අත තියෙන්නේ ලොකු මහත්තුරුන්ගේ ගෙවල්. ඒ වගේම හැමතැනම අශ්වයෝ ඉන්නවා, හැබැයි බැටළුවෝ නම් නැහැ. මෙහෙ ඉන්න බල්ලෝ නපුරුත් නැහැ. මෙහෙ කොල්ලෝ රංචුව කිසි කෙනෙකුට පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ පළාතේ කඩවල ඕන මාලුවෙක් අල්ලන්න ගැලපෙන බිලී කොකු විකුණන්න තියෙනවා. ඒවා බොහොම හොඳ මට්ටමේ ඒවා, රාත්තල් හතලිහක මාලුවෙක් උනත් ඒවායින් අල්ලන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කඩවල තුවක්කු පවා විකුණන්න තියෙනවා. ඒවා මෙහෙ ලොකු මහත්තයාගේ ළඟ තියෙන තුවක්කු වගෙයි, ඒ නිසා ඒවා එකක් රූබල් සීයක් තරම් මිළ වුණත් මම පුදුම වෙන්නේ නැහැ. මෙහෙ මස් කඩ වල කැලෑ කුකුළෝ, හාවෝ, මාළු එහෙම විකුණන්න තියෙනවා, ඒත් ඒ සත්තු දඩයම් කළේ කොහෙන්ද කියලා කවුරුවත් කියන්නේ නැහැ.
අනේ සීයේ, මහා මන්දිරයේ නත්තල් ගහ සැරසුවාම මට රත්තරන් පාට ගෑව වෝල්නට් එකක් අරන් තියාගන්නවාද? ඒක මගේ කොළ පාට පෙට්ටගමට දාලා තියන්න. ඔල්ගා ඉන්ත්යවේනා පුංචි නෝනාට කියන්න ඒක වන්කා ට කියලා.”
හැඬුම්බර සුසුමක් හෙලූ වන්කා නැවතත් කවුළුවෙන් එපිටට නෙත් යොමු කළේය. හැම වසරකම සීයා තම හාම්පුතා වෙනුවෙන් නත්තල් ගසක් සොයන්නට කැළයට යන අයුරුත් ඒ ගමනට තමන් එකතු වන අයුරුත් ඔහුට සිහි විය. එය කෙතරම් සුන්දර කාලයක්ද! ඒ ගමන් වලදී වනය හිම පතනයෙන් ගුම් දුන් අයුරු, සීයා උගුර පෑදු අයුරු සහ තමන්ගේ සිනා හඬ පවා වන්කා ට ඇසෙනවා සේ විය. තෝරාගත් නත්තල් ගස කපා බිම හෙලීමට පෙර සීයා තම දුම් පයිප්පය උරා, දුම්කුඩු බිඳක් ආශ්වාස කර සීතලෙන් ගල් ව සිටි වන්කා ට සිනාසෙන්නේය. තුහිනයෙන් වැසුණු තරුණ දේවදාර ගස් සීරුවෙන් සිටින්නේ කපා දැමීමට තෝරාගනු ලබන්නේ තමන්ගේ කවරෙකුදැයි සිතමින් මෙනි. බැලූ බැලූ අත හාවුන් හිම කණ්ඩිවලට ඉහළින් පැන දුවනු පෙනුණේ ඊතල මෙනි. “ඕකාව අල්ලපන්.. අල්ලපන්.. ආ වලිග කොට යක්ෂ පැටව්!” ඒ වෙලාවට සීයාට මෙසේ කෑ නොගසා සිටින්නට නොහැකි විය.
නත්තල් ගස කපා ගත් පසු සීයා එය බිම දිගේ ඇදගෙන මන්දිරය වෙතට ගෙනගොස් ඉනික්බිති එය සැරසුවේය.ඒ නිවැසියන් අතරින් වන්කා ගේ ප්‍රියතම සාමාජිකාව වූ ඔල්ගා ඉන්ත්යවේනා ට වසරේ කලබලම කාලය එයයි. වන්කා ගේ මව වන පෙලගේයා මිය යන්නට පෙර, ඈ මන්දිරයේ මෙහෙකාරියක්ව රැකියාව කරද්දී ඔල්ගා වන්කාට නෙක රසකැවිලි දුන්නාය. එමෙන්ම ඈ අලස කම මකාගන්නට ඔහුට ලියන්නට, කියවන්නටත්, සියයට ගණන් කරන්නටත්, නටන්නටත් ඉගැන්වූවාය. පෙලගේයා අන්ත්‍රා වූ පසු වන්කා තම සීයා සමඟ ජීවත් වීමට මෙහෙකරුවන්ගේ මුළුතැන්ගෙය වෙතත් ඉන් ටික කලකට පසු මොස්කව් හි සපතේරුවාගේ නිවසටත් මාරු කෙරිණි.
“අනේ සීයේ කොහොම හරි එන්න,” වන්කා දිගටම ලිපිය ලියන්නට විය. “දෙවියන්ගේ නාමෙට මාව මෙතැනින් ගලවා ගන්න. මම වගේ අසරණ අනාථ දරුවෙකුට අනුකම්පා කරන්න. මෙහෙ හැම කෙනෙක්ම මට කරදර කරනවා, මම හැම තිස්සෙම බඩගින්නේ ඉන්නේ, මට පුදුම දුකක් දැනෙන්නේ, මට නිතරම ඇඬෙනවා. ලඟදි දවසක් ලොකු මහත්තයා ගහද්දි මාව බිම ඇදගෙන වැටුණා. මගේ ජීවිතය බල්ලෙකුගේ ජීවිතේටත් අන්තයි…
සීයේ අල්යෝනාවත්, එකැස් යෙගෝකාවත්, අශ්ව කරත්තකාරයාත් මම මතක් කළා කියන්න. සීයේ මගේ සර්පිනාව කාටවත් දෙන්න එපා. මම නවතිනවා, ඔබේ මුණුබුරා ඉවාන් ශුකොව්. අනේ සීයේ ඉක්මණින් එන්න.”
වන්කා තම ලිපිය ලියූ කඩදාසිය දෙවරක් නවා, පෙර දිනයේදී කොපෙක් එකක් දී මිළදී ගත් ලියුම් කවරයට බහාලූයේය. මඳක් කල්පනා කළ ඔහු පෑන තීන්ත කූඩුවේ ඔබා ලිපිනය ලියන්නට විය.
ගමේ ඉන්න සීයාට
ඉනික්බිති ඔහු හිස කසමින් මඳක් කල්පනා කර ඊට මෙලෙස එකතු කළේය.
කොන්ස්ටන්ටින් මාකරිච්
බාධාවකින් තොරව තම ලිපිය ලියාගැනීමට හැකි වීම ගැන සතුටු වූ වන්කා, තම තොප්පිය හිස ලාගෙන, කබාය පළඳින්නට වත් තාවර නොවී, කමිසය පිටින්ම වීදියට දිව ගියේය.
පෙර දිනයේදී ඔහු මස් වෙළඳ සැලේ සේවකයන්ගෙන් තැපෑල ක්‍රියාත්මක වන ආකාරය විමසා තිබිණි. ලියුම් පෙට්ටි වලට දමන ලද ලියුම්, බේබදු අසරුවන් එළවනු ලබන, සීනු සවිකරන ලද තැපැල් අස් රිය මඟින් ලෝකය පුරාවට රැගෙන යන බව ඔවුහු කීහ. වන්කා කිට්ටුවෙන්ම තිබුණු ලියුම් පෙට්ටිය වෙතට ගොස් එහි විවරය තුළින් තම වටිනා ලියමන ඇතුල් කළේය.
ඉන් පැයක් ගතවෙද්දී, මිහිරි බලාපොරොත්තු හද පොදි බැඳගෙන ඔහු නිදන්නට විය. ඔහු සිහිනෙන් දුටුවේ ඔහුගේ සීයාවයි. සීයා ගිනි උදුන අසල හිඳගෙන දෙපා පද්දමින් තමන්ගේ ලියමන කියවනවා ඔහු දුටුවේය. සීයාගේ දෙපා අසල, තම වලිගය වනමින් ඊල් වැතිර සිටියේය.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘Vanka’ by Anton Chekov
සිසිල සඟරාව - ජූලි 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)
Image generated by Meta AI
July 02, 2025
'ප්‍රේමයේ දහමේ හැටි'
සමහර සින්දු මට මුණගැහෙන්නේ ඒවා එළි දක්වලා අවුරුද්දක් හමාරක් ගියාම, සමහර වෙලාවට ඊටත් වැඩියි. එහෙම පස්සේ, අහම්බෙන් මුණ ගැහෙන එකෙත් විශේෂ බවක් තියෙනවා, එතකොට ඒක discovery එකක් වගේ දැනෙනවා. මේ එහෙම සින්දුවක්.
Artist | Nipuna Randula
Lyrics | Neluka S Fernando
Melody & Music Director | Kapila Aparakka
(සින්දු + visual වලට මගේ වැඩි මනාපයක් නැති නිසායි සින්දුව link එකක් හැටියට දාන්නේ)
June 28, 2025
වැසි දිනක දී
ඇදී යන ගොළුබෙල්ලන්
රෝස පැහැති හිම යානා පදවන්නන් මෙනි
රාස්බෙරි පඳුරේ
රත් පැහැ ඇඟිලි වන් එල මැද
මකුළුවෙකු තද නින්දේ ය
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?
වැස්ස සෙමෙන් ඇද හැලේ
ඒ මැද පුංචි කුරුල්ලන් පමණක් නොව
කුරුමිණියන් පවා ප්‍රීතියෙනි
හරිත පැහැ පත්‍ර
වැසි දිය සියල්ල උරාගනිමිනි
මා කුමක් කළ යුතු ද?
මා කුමක් කළ යුතු ද?
දෙබෙරෙකු,
තම කඩදාසි මාලිගාවේ පිල උඩ සිටී
නිල් පැහැති කෙකින්න වළාකුලකින් පාව එමිනි
අඳුරු දියෙන් ඉහළට පනින මාළුන්ගේ
අද උදෑසන
විලේ වූ නෙලුම් මල්
මොනේ ගේ චිත්‍රයේ නෙලුම් මල් වලට නොදෙවෙනි විය
දෙනියේ ගැවසෙන කුඩා දරුවන්
ඉන් ඉවතට කැඳවාගෙන විත්
කීකරු ලෙස, ප්‍රයෝජනවත් ලෙස
ශිෂ්ටත්වයේ අකුරු වෙත යොමු කරන්නට
මට තවදුරටත් උවමනා නැත
ඔවුන් තෘණ පැලයකට වඩා උසස් යැයි උගන්වන්නට
මට අවශ්‍ය නැත
(ඔවුන් ඊට වඩා උසස් නැත)
Translation of the poem 'Early Morning, My Birthday' by Mary Oliver
June 17, 2025
"ඉතින් මම ඉන්නවා..."
අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ
අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නෑසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
.
.
.
ඉතින් මම ඉන්නවා
Lyrics - Sanuka Wickramasinghe
Composition, Music Arrangement, Programming & Production - Sanuka Wickramasinghe
Mix & Master - Sanuka Wickramasinghe
Music Video Created by Chamil Pathirana
June 14, 2025
ඩිජිටල් චිත්‍ර- 2
මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා ගිය අවුරුද්දේ යෝජනා කළේ මගේ බ්ලොග් මිතුරු මිතුරියෝ තමයි. ඒ නිසා මම ඒ වෙද්දී ඇඳලා තිබුණු චිත්‍ර එකතු කරලා වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දෙත් තව වීඩියෝ එකක් දාන්න හිතුණේ ඊටපස්සේ ඇන්ද චිත්‍ර සෑහෙන්න තියෙන බව තේරුණු නිසා. මෙතැන චිත්‍ර 52ක් තියෙනවා. ගණන් හදලා බැලුවාම මම සතියට එක චිත්‍රයක් විතර ඇඳලා කියලා තේරුණේ තව මීට ඇතුළත් නොකළ ඩිජිටල් චිත්‍ර ටිකකුත් තියෙන නිසා! අතින් අඳින චිත්‍ර නම් sketch books පිරෙද්දී තියෙන ගාණ තේරුණත් ඩිජිටල් චිත්‍ර ටික මෙහෙම එක තැනකට එකතු කරනකම් මේ තරම් තියෙයි කියලා හිතුණේ නැහැ.
මෙහෙම චිත්‍ර අඳින්න වෙලාව කොයින්ද කියන එක මට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. බහුතරයක් ඩිජිටල් චිත්‍ර මම හරි ඉක්මණින් අඳිනවා. (සියුම් වැඩ කිඩ නැති ඒවා) මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්. ඒ කියන්නේ audio book එකක් අහද්දී, නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්. ඉස්සර ස්ටයිලස් එකෙන් ඇන්දාට ඒ කම්පියුටරේ ඇණ හිටි නිසා මේවා නම් ඔක්කොම වගේ mouse හෝ touch pad එකෙන් ඇන්ද ඒවා.
මම ඩිජිටල් චිත්‍ර ඇඳීම ගැන කිසිම හැදෑරීමක් කරලා නැති බවත්, තනිකරම self taught බවත්, හරියට අඳින්න පටන් අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ බවත් මේ එක්කම කියන්න ඕන. පොදුවේ කොයි මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් ඒක මට බොහොමත්ම හිත නිවන වැඩක්. මම ලියන, පරිවර්තනය කරන දේවල් ලස්සන කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් වීම බෝනස් එකක්.
ඉතින් මේ අවුරුද්දේ මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය රස විඳින ගමන් තමන් කැමතිම චිත්‍ර ගැන කියන්න කියලා මගේ ෆෑන්ස්ලාට ආරාධනා කරනවා!
June 09, 2025
වැහි ලිලී මල්
වැහි ලිලී මලක පින්තූරයක් අහම්බෙන් ඇහැ ගැටිලා මට ඒක බලාගෙන චිත්‍රයක් අඳින්න ලොකු ආසාවක් ආවා. වැහි ලිලී මල් දකිද්දී මට මතක් වෙන්නේ අපේ ලංකාවේ ගෙදර මිදුල. අපේ අම්මා ඒ මිදුල පුංචි මල් වත්තක් කරලා තිබුණේ. ලස්සනට මල් හිටවලා තිබුණු පාත්ති වල ගැට්ටේ එක දිගට රෝස පාටත් සුදු පාටත් වැහි ලිලී මල් පඳුරු සිය ගාණක් තිබුණා. මේ මල් ජාතියට මේ නම ලැබිලා තියෙන්නේ ඒවා වැස්ස එක්කම පිපෙන නිසා කියලා තමයි කියන්නේ. ලංකාවේ වැස්සෙන් හිඟයක් නැති නිසාද කොහෙද මේ පඳුරු වල නිතරම මල් පිරිලා තිබුණා.
අපේ ගෙදර මිදුල සුදු වැලි අතුරලා තිබුණේ. බොහොම කාලෙකට ඉස්සර, ඒ ගෙදරට පදිංචි වුණු අලුත, තාත්තා මිදුලේ කෙළවරක හිටවපු යාපනේ අඹ පැළය පස්සේ කාලෙක මුළු මිදුලම වැහෙන්න අතු විහිදලා අපට හෙවනත්, රසම රස අඹත් දුන්නා. අපි පොඩි කාලේ ඉඳන්ම හැමදාම ඒකෙ අත්තක ඔන්චිල්ලාවක් තිබුණා. මුලදී අපිත්, පස්සේ කාලෙක අපේ ළමයිනුත් මේ ඔන්චිල්ලාව පැද්දා. අඹ ගහෙන් නිතර කොළ වැටිලා මිදුල හැඩි වුණ නිසා ඒ දවස්වල අපේ ගෙදර කවුරු හරි ඉඩක් ලැබුන විදිහට දවසට සැරයක් දෙකක් මිදුල අතු ගෑවා. අක්කලාත් මාත් ඒ දවස්වල මිදුල අතුගාන්නෙ තරඟෙට. පොල් අත්තේ රටාවට මිදුල අතුගාන එක මම ආසාම වැඩක්.
වැහි ලිලී මල් වලට අමතරව අපේ ගෙවත්තේ ආරුක්කුවකට යවපු rain of gold කහ මල් වැලකුත්, තව සුදු රෝස මල් ආරුක්කුවකුත් තිබුණා. ඒ වගේම ඒ මතකය දිගේ යද්දී අම්මාගේ ආදර සාත්තුව ලබලා මල් පුරවාගෙන හිටිය ඉට්සෝරා සහ ඇන්තූරියම් පඳුරුත්, පෙබරවාරි මාසෙට මනමාලියක් වගේ සැරසෙන නිසා වැලන්ටයින් කියලා අඳුන්වපු රෝස පාට මල් පොකුරු පිරුණු ගහත්, පේර ගහ වැහෙන්න හැදිලා තැඹිලි පාට මල් කිණිති පුරවාගත්ත මකුළු මල් වැලත් මට මතක් වෙනවා. අඹ ගහේ දෙබලක තාත්තා රඳවලා තිබුණු ඕකිඩ් මල් වර්ග එකිනෙකාට තරඟෙට වගේ පිපුණා. හැම පෝයටම 'පරෙවි මල්' කියලා අපි කියපු පරෙවියෙකුගේ හැඩේ ඕකිඩ් මලුත්, වෙසක් මාසෙට විතරක් පිපෙන රෝස පාට ඕකිඩ් මල් වර්ගයකුත් මේ අතර තිබුණා. වත්තේ එක කෙළවරක තිබුණු බට පඳුරු හැඩේට කපලා තියාගන්න එක ඒ කාලේ ලොකු අක්කා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන කරපු වැඩක්. ඒ කාලේ අක්කලාත් මාත් මේ මල් වලටත් ගේ පිටිපස්සේ තිබුණු එළවලු වගාවටත් වතුර දාන්න උදවු වෙනවා. සමහර වෙලාවට එක පාරට හයියෙන් වැහලා පාත්තිවල වැහි ලිලී මලුත් යටකරගෙන මිදුලේ වතුර පිරුණු දවසුත් තිබුණා. එහෙම දාට පොඩි අක්කායි මායි වැස්සේම උදලු අරගෙන මිදුලේ වාරි මාර්ග හදලා වතුර බැස්සුව හැටි මතක් වෙද්දී දැන් නම් හිනා.
අපේ ගෙදර තිබුණේ ටවුමට බොහොම කිට්ටුවෙන් උනත්, මල් හිටවලා, සාත්තු කරලා ගෙවත්ත ලස්සනට තිබුණු නිසා ගේ ඉස්සරහා පාරේ යන එන අය, බස් වල යන අයගේ අවධානයට නිතරම ලක් වුණා. අඳුරන්නේ නැති අයත් ගේ ඉස්සරහින් යද්දී නැවතිලා, මල් වලට සාත්තු කරමින් ඉන්න අම්මාට කතා කරලා ඒ ලස්සන හරියට අගය කළ බව මට මතකයි. ඒ වචන අම්මාට ලොකු සතුටක් ගෙනාවා. ලංකාවේ නොවුනත්, දැන් මමත් මගේම ගෙවත්තක මල් හිටවමින්, පෝර දමමින්, ඒවායේ ලස්සන බලමින් ඉන්න කෙනෙක්. ඉස්සර අපේ ගෙවත්තේ තිබුණු ලස්සන උපද්දන්න අම්මාත් තාත්තාත් කොයිතරම් මහන්සි උනාද, ඒ ගස් වැල් වලට කොයිතරම් ආදරය දුන්නාද කියලා මට හරියටම තේරෙන්නේ දැන්.
දැන් අපේ ඒ මහගෙදරත්, ඒ ලස්සන මල් පිරුණු ගෙවත්තත්, ඒ මල් වලට ආදරය දුන්නු අම්මාත් නැහැ. ඒත් අදටත් වැහි ලිලී මලකින් මතුවෙලා හරි ලේසියෙන් මතක ගොන්නකට පිවිසෙන්නට අපිට තාම පුළුවන් නිසා ඒ කිසිදෙයක්, කිසි කෙනෙක් කවදාවත් මැකිලා යන්නේ නැහැ කියලා මට සහතිකයි.
Digital painting
June 06, 2025
A House for Mr. Biswas by V. S Naipaul

මිස්ටර් බිස්වාස් ට හැමදාම වුවමනා වුණේ තමන්ටම කියලා ගෙයක්. මුල ඉඳලාම එක එක්කෙනාගේ අගු පිල් වල ජීවත් වෙලා, පස්සේ කාලෙකදී බිරිඳගේ පවුලේ මහා සෙනඟක් එක්ක එකම ගෙදර ජීවත් වෙන්න සිද්ධ වෙලා, මේ ‘තමන්ගේම ගෙදරක්’ කියන හීනය එයාගේ හිත රිදවමින්, හිතට තදින් කා වැදිලා තිබුණේ. ඒත් ඒ හීනය එළි කරගන්න එයාට ජීවිත කාලයක්ම ගත වුණා. අපි කතාවට කියන විදිහට ඒ හීනේ එළි කරගන්න ගිහින් මිස්ටර් බිස්වාස් ට ‘හෙණ ගැහුවේ නැතිවා විතරයි’!
A House for Mr. Biswas, V. S Naipaul 1961දී ලියූ නවකතාවක්. Naipaul ගේ නිර්මාණ ලෝකය පුරා ප්‍රචලිත වුණේ මේ පොත නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. උපහාසය, සෝපාහසය, හාස්‍යය වගේම නිර්මාණ රසය එකිනෙකට නොදෙවෙනි මාත්‍රා වලින් මේ වගේ කැටිවුණු වෙනත් පොතක් නම් මම මීට කලින් කියවලා නැහැ. ඒ වර්ණනාවන්, රූපක, උපමා! මේක ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි පදිංචි ඉන්දියානු සම්භවයක් ඇති පවුල් කීපයක කතාවක්. මේ කතාව පුරාවටම-ඒ කියන්නේ ළමා කාලයේ පටන් වැඩිහිටි වයස දක්වාම- කතා නායකයාව හඳුන්වන්නේ ‘මිස්ටර් බිස්වාස්’ නමින්. A House for Mr. Biswas පොතේදී මිස්ටර් බිස්වාස් ජීවිත ගමනේ ගිරි දුර්ග, දිනුම් කණු පහු කරන් යන ගමන පාඨකයාවත් එක පෙළට කැඳවාගෙන යන්න Naipaul සමත් වෙලා තියෙනවා. කියවාගෙන යද්දී මිස්ටර් බිස්වාස්ගේ ජීවිතයේ කරදර වැඩිහරියකට හේතුව එයාගේම උද්ධච්චකමත්, පණ්ඩිතකමත් බව තේරුණත් මොකක්දෝ නොතේරෙන හේතුවකට කියවන අපිත් වශී වෙලා ලේඛකයාගේ පස්සෙන් මේ ගමන යනවා.
There is, in some weak people who feel their own weakness and resent it, a certain mechanism which, operating suddenly and without conscious direction, releases them from final humiliation. Mr. Biswas, who had up till then been viewing his blasphemies as acts of the blackest ingratitude, now abruptly lost his temper. “The whole pack of you could go to hell!” he shouted. “I not going to apologize to one of the damn lot of you.” Astonishment and even apprehension appeared on their faces. He noted this for a lucid moment, turned and ran up the stairs to the long room, where he began to pack with unnecessary energy. (Page 50)
මේ කතාවේදී ලේඛකයා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල ආර්ථික, දේශපාලනික අර්බුද වගේම සමාජ ගැටළු ස්පර්ශ කරන්නේ තමන්ට ආවේනික සැහැල්ලු ලිවීමේ ආරෙන්මයි. තමන්ගේ උපන් බිමින් වෙන රටකට සංක්‍රමණය වෙලා කොයි තරම් කාලයක් ගත වුණත්, ඒ මුල් රටේ සිරිත් විරිත් සහ ජීවන ක්‍රම කරපින්නාගෙන යන, ඒවායේ බරින් හෙම්බත් වන මනුස්ස ස්වභාවය ගැන හාස්‍යයෙන් කතා කරන්න ඔහු සමත්.
He put fresh sandalwood paste on the foreheads of the gods, on the smooth black and rose and yellow pebbles, and on his own forehead; lit the camphor, circled the flame about the shrine with his right hand while with his left he tried to ring the bell; blew at the conch shell, emitting a sound like that of a heavy wardrobe scraping on a wooden floor; then, his cheeks aching from the effort of blowing the conch shell, he hurried out to eat. (Page 199)
මේ හැම දේටම වැඩිය මගේ නම් හිත ගන්නේ මේ කතාවේ තියෙන විචිත්‍ර විස්තර. ලේඛකයා විස්තර කරන්නේ දූවිලි පිරුණු අර්වකාස් ගමද, පොර්ට් ඔෆ් ස්පේන් නගරයේ මුඩුක්කු පේළියක්ද, සැඩ සුළං හමන සන් සුසී වෙරළ තීරයද, තනි කොළ පාටට පේන ෂෝට්හිල්ස් වතු යාය ද එහෙම නැත්නම් ඒ කොයි තැනක හරි තියෙන, හැම කාමරේම උතුරන තරමට සෙනඟ පිරුණු ගෙයක්ද කියන එක වැදගත් නැහැ. ඒ හැම තැනින්ම හමන හඳුන් කූරු සුවඳ, දාඩිය ගඳ, මුහුදු හුළඟ, පිළුණු කෑම ගඳ, බෙරි වුණු පළතුරු සුවඳ දැනි දැනී, දිය සෙවෙල් වල ලෙස්සමින්, මඩේ එරෙමින්, ලී බඩු වල හැප්පෙමින් මේ කතාව කියවන අපිවත් එකතු කරගෙන යන ගමන හරිම අපූරුයි.
The land between the road and the gully widened; the gully grew shallower. Beyond it Mr. Biswas saw the tall immortelles and their red and yellow flowers. And then the untrodden road blazed with the flowers. Mr. Biswas picked one up, put it between his lips, tasted the nectar, blew, and the bird-shaped flower whistled. Even as they stood flowers fell on them. Under the immortelles he saw the cocoa trees, stunted, their branches black and dry, the cocoa pods gleaming with all the colours between yellow and red and crimson and purple, not like things that had grown, but like varnished wax models stuck on to dead branches. Then there were orange trees, heavy with leaf and fruit. (Page 190)
නවකතා සහ සංචාරක සටහන් ඇතුළු වෙනත් කෘති තිහකට වඩා ලියලා තියෙන ලේඛක Naipaul ට 1990දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ උසස්ම සාහිත්‍ය සම්මානයත්, 2001 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. මේ තරම් කීර්තියක් ලැබුව Naipaul මුලදී තමන්ගේ ලේඛන ජීවිතයේ කොයි තරම් පසු බෑම් වලට ලක් වුණාද කියනවා නම් එයා A House for Mr. Biswas පොතේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් නැතිව ඒක සම්පූර්ණයෙන්ම ලීවේ පැන්සලෙන් ලු.
A House for Mr. Biswas කෘතිය විසි වන ශතවර්ෂයේ පළ වුණු හොඳම නවකතා සීයට අයිති බව පිළිගත් කාරණාවක්. මේ කතාව Naipaul ගේ තාත්තාගේ ජීවිතය ඇසුරෙන් ලියවුණු එකක් බව ඔහු කියලා තියෙනවා. ඒ බව දැනගත්තාම මේ පොතේ මිස්ටර් බිස්වාස් ගේ එකම පුත්‍රයා වන ආනන්ද් ගේ මුරණ්ඩු කම්, දක්ෂකම්, මෝඩකම්, මුඛරිකම් ගැන ඔහු ලියලා තියෙන්නේ ස්වයං චරිතාපදානයක් හැටියට නේද කියලා අපට හිතෙන්න ගන්නවා. තමන්ගේත්, තාත්තාගේත් ජීවිතවල කටුක අත්දැකීම්, දුකත් සතුටත් තවරලා, අපේ ඇස් ඉස්සරහා මවලා දීලා අකුරු කළ V. S Naipaulගේ ලේඛන හැකියාව අති විශිෂ්ඨ බවට මේ පොත හොඳ සාක්කියක්.
By V.S. Naipaul (1932-2018)
Published by André Deutsch
June 03, 2025
පැක්ල්ටයිඩ් මහත්මියගේ කොටියා
පැක්ල්ටයිඩ් මහත්මියට වාසි වන අයුරින් සියලු දේ පෙළගැස්වෙන්නට විය. වැඩි මහන්සියක් හෝ අවදානමක් රහිතව කොටියෙකු වෙඩි තැබීමේ අවස්ථාව වෙනුවෙන් ඈ රුපියල් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබිණි. වයස්ගත වීම නිසා ඇතිවූ දුර්වලකම් හේතුකොටගෙන වන සතුන් දඩයම් කිරීම නවතා අවට ගම්මානවල නිවෙස්හි ඇතිකරන සතුන් දඩයම් කිරීමට තෝරාගෙන තිබුණු කොටියෙකු ගැන ආරංචියක් ලැබුණේ මේ වකවානුවේදී ය. රුපියල් දහසක් ලැබීමේ පොරොන්දුව නිසා ඒ ගම්වැසියන්ගේ වාණිජමය සහ ක්‍රීඩාකාරී සහජාශය පිබිදී තිබිණි. මේ නිසා ඔවුන් දිවා රෑ නොබලා වනයේ මායිම් හි ගැමි දරුවන් රැඳවූයේ කොටියා තම ගොදුරු බිමින් ඈතට යාම වැළක්වීමටයි. මීට අමතරව මිළෙන් අඩු එළුවන් නොපරීක්ෂාකාරී ලෙසින් තැන තැන රඳවා තිබුණේ කොටියා ව තවදුරටත් ගම්මානය වෙතට ආකර්ෂණය කර ගැනීමේ අදහසිනි. නගරයේ නෝනා ගේ කොටි දඩයම් දිනයට පෙර වයෝවෘද්ධ බව නිසාම කොටියා මිය යයිද යන්න ගම්වැසියන්ගේ එකම ගැටලුව විය. ගැමි ගැහැනුන් කුඹුරු වැඩ කිරීමෙන් පසු කැලය මැද්දෙන් තම බිළිඳුන් වඩාගෙන ගමන් කරද්දී ගී ගැයීම නැවත්වූයේ ගරු කටයුතු ගව පට්ටි පහරන්නාගේ නින්ද කැඩේවි යන බියෙනි.
අන්තිමේදී වැදගත් දවස උදා විය. එය සඳ එළිය දිලිසුණු, වළාකුළු රහිත දිනයක් විය. ගසක් මත තැනූ වේදිකාවක පැක්ල්ටයිඩ් මහත්මියත් ඇගේ පඩි ලබන සේවිකාවක් වන මෙබින් මෙනෙවියත් උක්කුටිකව වාඩි වී සිටියෝය. නියමිත දුරකින් වූ ගසක බැඳ තිබුණු එළුවා උපතින්ම තියුණු හඬක් හිමි වූ එකෙකු වූ අතර උගේ හඬ නිහඬ රාත්‍රියක තරමක් බිහිරි කොටියෙකුට වුව ඇහෙන මට්ටමේ විය. දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්නිය රයිෆලයක් සහ කාලය ගත කිරීමට කාඩ් කුට්ටමක් අතැතිව දඩයම පැමිණෙන තුරු බලා සිටියාය.
“අපිට මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්ද?” මෙබින් මෙනෙවිය විමසුවාය.
ඇත්ත වශයෙන්ම ඈ තුළ වන සත්ත්වයා ගැන බියක් නොතිබුණු අතර ඇයට මාරාන්තික බියක් තිබුණේ තමන්ට ගෙවන ලද ගාස්තුවට වඩා ක්ෂුද්‍ර හෝ සේවාවක් සැපයීම ගැනයි.
“පිස්සුද?” පැක්ල්ටයිඩ් මහත්මිය පිළිතුරු දුන්නාය. “මේ හොඳටම වයසක කොටියෙක්. ඌට උවමනා උනත් මේ තරම් උසකට පැනගන්න බැරිවෙයි.”
“කොටියා වයසයි නම් ඔයිට ලාබෙට ඔය වැඩේ කරගන්න තිබුණා කියලා මට හිතෙනවා. රුපියල් දාහක් කියන්නේ ලොකු ගාණක්නේ.”
කවර රටක කොයි වර්ගයක මුදලක් ගැනත් ලුවීසා මෙබින් දැක්වූයේ පරීක්ෂාකාරී ආකල්පයකි. ඇගේ උනන්දු සහගත මැදිහත් වීම නිසා මොස්කව් නගරයේ හෝටල් වලදී සන්තෝසම් ලෙස රූබල් අතුරුදන් වීම වැළකුණු අතර, ප්‍රංශයේදී අනුකම්පා විරහිත ඩැහැගැනීම් වලින් බේරෙන්නට ෆ්‍රෑන්ක් නෝට්ටු ඇගේ අතේ එල්ලිණි. කොටියා වෙනුවෙන් ගෙවිය යුතු වෙළඳපොල මිල ගැන ඇගේ ගණනය කිරීම් හදිසියේ නැවතුණේ අදාළ සත්ත්වයා හදිසියේම පෙනී සිටි බැවිනි. ගැට ගසා තිබුණු එළුවා දුටු සැණින් කොටියා බිමට පහත් වනු පෙනිණි. ඌ මෙසේ කළේ මුවා වීමේ අරමුණකට වඩා කඩා පනින්නට පෙර විවේකයක් ගැනීමේ අරමුණින සේ විය.
“මම හිතන්නේ ඌ අසනීපෙන්’ ලුවීසා මෙබින් හින්දි බසින් හඬ නඟා කීවේ යාබද ගසක උන් ගම්මුලාදෑනියාට ඇසෙන්නයි.
“ෂ් ෂ් ..” පැක්ල්ටයිඩ් මහත්මිය කීවාය. මේ මොහොතේ ම කොටියා හෙමි හෙමින් ගොදුර වෙත කිට්ටු වන්නට විය.
“දැන්!.. දැන්!” මෙබින් මහත්මිය උද්යෝගයෙන් කෑ ගැසුවාය. “කොටියා එළුවාගේ ඇඟට පැනලා නැත්නම් අපි එළුවා වෙනුවෙන් ගෙවන්න ඕන නැහැ.” (ඇම සඳහා අයකිරීම වෙනම සිදුවිය.)
රයිෆලය මහා හඬක් නඟමින් පත්තු වූ අතර කොටියා පසෙකට පැන මරණයේ නිසොල්මන් බව පාමින් බිම වැතිරුණි. මොහොතින් උද්යෝගිමත් ගම් වැසියන් එහි රොක් වූ අතර ඔවුන්ගේ කෑ ගැසීම් වලින් මේ සතුටු ආරංචිය ගම්මානයට සැළ වී, එහි බෙර හඬ නැඟෙන්නත්, ප්‍රීති ඝෝෂා ඇසෙන්නත් විය. කර්සන් වීදියේ නිවසේ සැලසුම් කළ සාදය සැබෑ වෙමින් තිබුණු නිසා මේ ජය හඬ පැක්ල්ටයිඩ් මහත්මියගේ සිත තුළ ද දෝංකාර දෙන්නට විය.
එළුවා වෙඩිල්ලක් වැදීම නිසා මාරාන්තික තුවාල ලබා සිටි බව මුලින්ම දුටුවේ ලුවීසා මෙබින් ය. කොටියාගේ සිරුරේ රයිෆලය සිදු කළ කිසිම හපන්කමක් දක්නට තිබුණේ නැත. වෙඩිල්ල වැදී තිබුණේ වැරදි සතාට බවත්, වයස්ගත කොටියා මිය ගියේ වෙඩි හඬ නිසා ඇතිවූ හෘදයාබධයකින් බවත් අවසානයේදී නිගමනය විය. මේ සොයාගැනීමෙන් පැක්ල්ටයිඩ් මහත්මියට යම් නොරිස්සීමක් ඇති වූවද ඈ මියගිය කොටියාගේ අයිතිකාරිය නිසාත්, රුපියල් දහස ලබාගැනීමට ගම්වැසියන් විශාල උනන්දුවක් දැක්වූ නිසාත්, ඈ විසින් කොටියා ව වෙඩි තබා මරණ ලද බව ප්‍රසිද්ධ කරන්නට එකඟතාවයක් ඇති විය. මෙබින් මෙනවිය වැටුප් ලබන සේවිකාවක් පමණක් වූ බැවින් ඈ ගැන වධ වීමක් සිදු වූයේ නැත. අවසානයේදී පැක්ල්ටයිඩ් මහත්මිය ප්‍රීතිමත් මුහුණින් කැමරාවට මුහුණ දුන් අතර ඇගේ සේයාරූ ටෙක්සාස් සිට රුසියාව දක්වා පරාසයක පුවත්පත්වල පළ විය. ලූනා බිම්බර්ටන් නම් දෙසතියක්ම ගත වන තුරු පුවත් පතක් දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ අතර කොටියාගේ නිය පහුරින් තැනූ හාරිච්චිය තෑගි ලැබූ විට ඊට ස්තූති කර පිළිතුරු යැව්වේ මැඩගත් ආවේගයෙනි.
කොටි හමෙන් තැනු පලස කර්සන් වීදියේ නිවසේ සිට පළාතේ ප්‍රභූ මන්දිරය වෙත ගමන් කර ප්‍රභූවරුන් ගේ ප්‍රශංසාවට ලක් විය. මේ නිසා මන්දිරයේ පැවැත්වූ බාල් නැටුම වෙනුවෙන් පැක්ල්ටයිඩ් මහත්මිය දඩයමට අධිපති ඩයනා දෙවඟන ලෙස සැරසී යාම ඉතා ගැලපෙන බව පිළිගැනිණි. ඇගේ මිතුරෙකු වන ක්ලොවිස් යෝජනා කළ ලෙස ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ හැම කෙනෙකුම තමන් මෑතක දඩයම් කළ සතෙකුගේ ලොමින් සෑදුණු ඇඳුමක් ඇඳගෙන බාල් නැටුමට යාම නම් ඈ ප්‍රතික්ෂේප කළා ය.
“එහෙම කළොත් හැබැයි මට නම් අත දරුවෙක් වගේ තමයි ඇඳගෙන යන්න වෙන්නේ,” ක්ලොවිස් පාපොච්චාරණය කළේය. “මොකද මට අඳින්න වෙන්නේ ළඟදී දඩයම් කළ හාවෙක්ගේ දෙන්නෙක්ගේ ලොමින් හැදුව පොඩි ඇඳුමක්.”
“ඇත්තටම සිද්ධ වුණු දේ දැනගත්තොත් නම් හැමෝම හරි විනෝදයට පත් වේවි නේද?” බාල් නැටුමට දින කීපයකට පසු ලුවීසා මෙබින් කීවාය.
“ඒ කියන්නේ මොකක්ද?” පැක්ල්ටයිඩ් මහත්මිය ඉක්මණින් ඇසුවාය.
“නෑ ඉතින්, ඔයා එළුවා ට වෙඩි තියලා ඒකට බය වෙලා කොටියා මළා කියලා,” මෙබින් මෙනවිය කීවේ ප්‍රසන්න සිනාවකිනි.
“දැනගත්තත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.” පැක්ල්ටයිඩ් මහත්මිය කියද්දී ඇගේ මුහුණේ පැහැය වෙනස් විය.
“ලූනා බිම්බර්ටන් නම් විශ්වාස කරයි,” මෙබින් මෙනවිය කීවාය.
එය අසා පැක්ල්ටයිඩ් මහත්මියගේ මුව කොළ පැහැය මුසු සුදුමැලි පාටක් විය.
“ඔයා මගේ රහස එළි කරන්නේ නැහැනේ?” ඈ ඇසුවාය.
“ඩොර්කින්ග් කිට්ටුව මම සල්ලිවලට ගන්න කැමත්තක් තියෙන පොඩි බංගලාවක් තියෙනවා,” මාතෘකාවට අදාළ නැතිව මෙබින් මෙනවිය කියවාගෙන ගියාය. “හයසිය පනහක් දුන්නාම නිරවුල් අයිතිය ලැබෙනවා, සෑහෙන්න ලාබයි. එකම ප්‍රශ්නේ මගේ අතේ සල්ලි නැති එක.”
----------------------
ලුවිසා මෙබින් ගේ අලංකාර බංගලාවට ඈ දුන් නම ‘වන සත්ත්ව පියස’යි. ගිම්හාන කාලයේදී එහි ගෙඋයනේ ටයිගර්-ලිලී මල් පිපී අලංකාර ව දිස් වෙද්දී ඊට ඇගේ මිතුරු මිතුරියන්ගේ විශ්මය ත් ප්‍රශංසාවත් හිමිවිය.
“ලුවීසා කොහොම මේවා කරගන්නවාද මන්දා,” පොදු මතය එය විය.
පැක්ල්ටයිඩ් මහත්මිය නම් නැවත සත්ත්ව දඩයමේ ගියේ නැත.
“ඒකට යන අමතර වියදම් වැඩියි,” ඒ ගැන විමසන මිතුරියන්ට ඈ පිළිතුරු දුන්නාය.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘Mrs Packletide’s Tiger’ by Saki
සිසිල සඟරාව - ජුනි 2025 කලාපය
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)