July 16, 2025

ආදරණීය මරියා



"මරියා...මරියා, ඇස් ඇරලා බලන්න මේ කවුද ඇවිත් ඉන්නේ කියලා"

ලූකාගේ පහත් හඬ කාමරයේ නිහඬ බව බින්දා. ජනේලයේ ඝන තිර රෙදි අතර පුංචි ඉඩෙන් ගලාගෙන ආව ඉර එළිය තීරුව ඒ කාමරය එළිය කරන්න සමත් වුණේ නැහැ. ඇස් දෙක වහගෙන හිටිය මරියාගේ සුදුමැලි මුහුණ කාමරයේ ලා අඳුර අතරින් පෙනුණේ බැහැගෙන යන හඳක් වගේ.

"මරියා, මම දන්නවා ඔයාට ඇහෙන බව. එක සැරයක් ඇස් ඇරලා බලන්නකෝ"

ලූකා ආයෙමත් ඇහෙන නෑහෙන හඬින් කිව්වා. ඇඳ හරහාට වැටිලා තිබුණු ලූකාගේ හෙවනැල්ලට තව හෙවනැල්ලක් එකතු වුණේ කාමරයේ දොරකඩ උන්නු අමුත්තා තව එක පියවරක් කාමරය ඇතුළට ආ නිසායි.

ලූකා ආපිට හැරිලා අමුත්තා දිහා බැලුවා. "මරියා ඇස් වහගෙන හිටියාට අපි කියන දේවල් ඇහෙනවා ලොරෙන්සෝ, මම ඒ බව සහතිකෙන්ම දන්නවා" ලූකා බැගෑබර කටහඬකින් කීවා. ලොරෙන්සෝ ඇඳ ළඟට කිට්ටු වුණේ පය පැකිලෙන ගමනකින්.

ලූකා ආයෙමත් මරියාගේ පැත්තට හැරුණා.
“ඔයා හිතන්නෙවත් නැති කෙනෙක් මේ ඔයාව බලන්න ඇවිත් ඉන්නවා මරියා. ඒ නිසා අද ඔයාට ඇස් අරින්නම වෙනවා! ඉතින් ඔය දෙන්නා කතාකරන්නකෝ. මම දවල් සුප් එකට ඕන එළවලු ගන්න කඩමණ්ඩියට ගිහින් එන්නම්. මම ඉක්මණින් එනවා!"

එහෙම කියලා ලූකා යන්න හැරුණා. කාමරේ දොර ළඟටත් ගිහින් ආපිට ආව එයා, ලොරෙන්සෝ ගේ උරහිසට අතක් තියාගෙන මොහොතක් ඉඳලා යන්න ගියා.

කාමරේ ඉතිරි වුණේ ලොරෙන්සෝත්, මරියාත්, කාමරය පුරාවට බරට දැනෙන නිහඬ බවත් විතරයි. ලොරෙන්සෝ හෙමින් වටපිට බැලුවා. කාමරයේ මඳ අඳුරට එයාගේ දෑස් හුරුවෙමින් තිබුණේ. මරියා සන්සුන් නිදි ඉරියව්වකින් ඇඳේ වැතිරිලා උන්නා. එයාගේ මූණ තිබුණේ අඳුරේ. සුදු පාට ඇඳ ඇතිරිලිත්, ඝන නිල් පොරෝනාවත් පිළිවෙලට, පිරිසිදුවට පෙනුණා. ලොරෙන්සෝගේ දෑස කාමරය පුරාවට දුවන්න වුණා. කාමරයේ එක කෙළවරක පරණ සනීප පුටුවක් තිබුණා. එතැනම කනප්පුවක් උඩ තිබුණු පොත් කීපයත්, බාගෙට නිම කළ ගෙත්තමත්, කන්නාඩි කුට්ටමත් බොහොම දවසක් තිස්සේ එහෙමම තිබුණු ලකුණු පෙනුණා. මරියාගේ ඇඳ ළඟ ම අකුලන ඇඳක් නවලා තිබුණා. ඇඳ ළඟ කනප්පුව උඩ නම් තිබුණේ බෙහෙත් බෝතල්, උණ කටු, උණු වතුර බෝතල් වගේ දේවල්. කාමරයේ බිත්තිවල රාමු කළ සේයාරූ කීපයක්ම තියෙන බව ලොරෙන්සෝට පෙනුණා. ඉන් එකක් මඟුල් පින්තූරයක්. මීට අවුරුදු විස්සකට කළින් හිටිය තරුණ මරියා ව ආයෙත් ඒ පින්තුරයෙන් දැකගන්න බලවත් ආසාවක් පපුව මැදට දැනුණත් ලොරෙන්සෝ ඒ ආසාව ආයාසයෙන් මැඩ ගත්තා. ළදරුවෙක් ගේ පින්තූර කීපයකුත්, ගැටවර කොල්ලෙක් එක්ක දෙමව්පියන් ගත්ත පින්තූරයකුත්, හමුදා නිල ඇඳුමෙන් සැරසුණු තරුණයෙක් ගේ පින්තූරයකුත් කාමරයේ අඳුර අතරින් ලොරෙන්සෝ යන්තමින් අඳුනා ගත්තා.

ජනේලය ළඟට ගිය ලොරෙන්සෝ, තිර රෙදි මෑත් කරලා උදෑසන ඉර එළියට කාමරේට නිදහසේ ගලාගෙන එන්න ඉඩ දුන්නා. ජනේලයෙන් එළියේ හේසල් ගස් ගොමුව, ළඟ එන සිසිරයට ලෑස්ති වෙලා තමන්ගේ කහ පාට පත්‍ර එකින් එක අත් හරිමින් හිටියා. අහසේ තිබුණේ හේමන්තයට නොගැලපෙන දීප්තිමත් නිලක්. ඒ නිල් පසුතලයේ තනි ලාක් කුරුල්ලෙක් කරණම් ගැහුවේ ජීවිතේ කිසි බරක් නැති තාලෙට. ලොරෙන්සෝ ආපිට හැරිලා කාමරයට අලුතින් ඉහිරුණු ඉර එළියේ උදව්වෙන් ඇඳේ වැතිරිලා ඉන්න මරියා දිහා බැලුවා. කොයිතරම් නම් කාලයක් ගෙවිලා ගිහින් ද! ඒත් ඒ කාලය මරියාට වැඩියත්ම අකාරුණික වෙලා නැති බවක් ලොරෙන්සෝ ට හිතුණේ මරියාගේ දැන් හැඩ රුව තමන්ගේ හිතේ ගොඩ ගැහිලා තිබුණු එයාගේ අතීත සේයා එක්ක සසඳමින්. ජනේලයෙන් වැටුණු ඉර එළිය තීරුවක් මරියාගේ මූන හරහා වැටිලා එයාගේ තුනී දුඹුරු කොණ්ඩය රන් පාටින් පාට කළා. මේ කොණ්ඩයේ කැරළි පිරිලා තිබුණු කාලයක, ඒ කොන්ඩ කැරැල්ලක් මරියාගේ මූන හරහා වැටුණු මතකයක් ලොරෙන්සෝ ගේ හිත ඇතුළේ අකුණු ගැහුවා.

ලොරෙන්සෝ ඇඳ ළඟ තිබුණු පුටුවේ වාඩිවුණා. තවමත් දෑස් පියාගෙන උන්නු මරියා සැහැල්ලුවෙන් හුස්ම ගනිමින් උන්නු නිසා එයා නින්දක පසු නොවෙන බවක් ලොරෙන්සෝ ට හිතුණා. හිතට දහිරිය අරගෙන ලොරෙන්සෝ ඇඳ ඇතිරිල්ල උඩ නිසොල්මන්ව තිබුණු මරියාගේ අතක් අල්ලා ගත්තා. අසනීපයෙන් පහුවෙන මරියාගේ අත සීතලව ඇති කියලා තමන් හිතාගෙන උන්නු නිසාදෝ ඒ අතේ නොහිතුව තරමේ උණුසුමක්, මෘදු බවක් දැනිලා එයා පුදුම වුණා. ඒ උණුසුමත් එක්ක එක සැණින් එයා අතීතයට ඉගිලිලා ගියා.

ඒ ගිම්හාන කාලය බොහොම උණුසුම් එකක්. ලොරෙන්සෝ, සැන්ටා මාසේලි කඳු පන්තිය පාමුල තිබුණු තමන්ගේ ගම්මානයෙන් පිටවුණේ ඒ අවුරුද්දේ. එයාගේ තාත්තාට නම් වුවමනා වුණේ පවුලේ වැඩිමලා වුණු ලොරෙන්සෝ තමන්ගේ ගොවිතැන් වලට එකතුවෙනවා දකින්න. ඒත් ලොරෙන්සෝ ට තිබුණේ කරදිය උමතුවක්. එයාගේ හීනේ වුණේ කඳු වළල්ලෙන් එහාට ගිහින් සේලරුවෙක් වෙලා නැව් නැඟලා ලෝකේ වටේ යන්න. අන්තිමේදී දවසක් තාත්තා එක්ක වුණු ලොකු රණ්ඩුවකින් පස්සේ ලොරෙන්සෝ ගෙදරින් පිට වුණේ පැදුරටත් නොකියා. මුහුදුකරේට යන්න හිතාගෙන පාරේ යමින් තිබුණු ලොරියක ඉඩක් ඉල්ලගත්ත ලොරෙන්සෝ මඟදී තද නින්දකට වැටුණා. පැය කීපයකට පස්සේ ඇහැරෙද්දි ලොරිය තමන්ගේ ගමනාන්තය වුණු මුහුදට කිට්ටුවට වත් ඇවිත් නැති බව දැකලා එයා කලබලයෙන් ලොරියෙන් බැස්සා. තමන් ඒ විදිහට අහම්බෙන් පියාවේ ගඟේ නිම්නයක තිබුණු මිදි වත්තක් ළඟ නතර වෙලා තිබුණේ දෛවයේ සරදමක් නිසාද හාස්කමක් නිසාද කියලා ලොරෙන්සෝට තාම හිතාගන්න බැහැ. තමන්ගේ බඩු පොට්ටනියත් කිහිල්ලේ ගන්නාගෙන ලොරියෙන් බැහැලා වටපිට බලද්දී ලොරෙන්සෝ මුලින්ම දැක්කේ මරියා ව.

මරියා එක අතකින් මොනවොදෝ එළවළුවක් පුරවපු කූඩයකුත්, සූරියකාන්ත මල් මිටියකුත් අරගෙන මිදිවැල් අතරේ අඩිපාරක් දිගේ එමින් හිටියා. එයාගේ අනිත් අතේ තිබුණු කඹයේ කෙලවර ගැටගහලා උන්නේ බූරුවෙක්! එදා උදේ ලා ඉර එළිය වැටිලා මරියාගේ කැරළි දුඹුරු කොන්ඩේ රත්තරන් පාටින් දිලිසුණේ අද දිලිසුණු විදිහටමයි.

මරියා ඇස් පියාගෙනම හීන් කෙඳිරියක් නැඟුවා. ඒ හඬින් ලොරෙන්සෝ අතීතයෙන් වර්තමානයට කඩාගෙන වැටුණා. ‘කතා නොකළාට මරියාට හැමදෙයක්ම ඇහෙනවා’ කියලා ලූකා පුන පුනා කී දේ එයාට මතක් වුණා. එයා නිසොල්මන් ව තියෙන මරියාගේ අත තම දෑතින්ම තද කරගෙන කතාකරන්න පටන් ගත්තා. නිහඬ කෙනෙක් එක්ක කතා කරන්න මුලදී අමාරු වුණත් ටික වෙලාවක් ගිහින් ලොරෙන්සෝ ගේ වචන ගලාගෙන ආවේ නිරායාසයෙන්. සමහර තැන්වලදී එයාගේ හඬ බිඳුණා තමයි. ඒ වගේම මරියා ඇස් ඇරලා බැලුවා නම් ඒ කතාව අතරේදී එයා කවදාවත් නොදැක්ක ලොරෙන්සෝ ගේ කඳුළු බලන්නත් තිබුණා. ඒක මුලක්, මැදක්, අගක් නැති කතාවක්. මරියාටත් ලොරෙන්සෝටත් විතරක් තේරෙන කතාවක්.

“ඔයාව කවදාවත් ආයෙත් දකින්න ලැබේවි කියලා මම හිතුවේ නැහැ මරියා- දකින්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව නම් හැමදාම හිත යට තිබුණා- බොරු කියන්නේ මොකටද? ඒත් ඒක කවදාවත් ඉටු නොවෙන ප්‍රාර්ථනා ගොඩටයි මම දාලා තිබුණේ. ඇත්තටම නම් අතීතයක්, අනාගතයක් නැති මිනිහෙක් විදිහටයි මම දැන් ජීවත්වෙන්න උත්සාහ කරන්නේ. එහෙම ඉන්දැද්දී රිදෙනවා අඩුයි කියලා මට තේරිලා තියෙනවා. මගේ ජීවිතයේ අතීතයෙන් සෑහෙන්න පිටු ඉරලා දාන්න මට පුළුවන් වුණා මරියා. අම්මා තාත්තා ගැන, මල්ලිලා ගැන, ගමේ ගෙවුණු ළමා කාලේ ගැන- ඒවා දැන් මට අමතකම ගානයි. ඒත් ඔයා ඉන්න පිටු ටික නම් මට මොනවා කරලාවත් ඉරලා දාන්න බැරිවුණා මරියා. පුදුමේ කියන්නේ ඒ කාලෙන් පුංචිම දේවල් පවා මට තාම මතක එක! මට මතක තියෙන සමහර දේවල් ඇහුවොත් ඔයාට නම් හිනාත් යයි.”

“ඔයාට මතකද මරියා අපි පියාවේ ගඟේ ට්‍රවුට් මාළු අල්ලන්න ගිය දවස? අර ජුලියානෝ පොඩි කොල්ලා වතුරට වැටිලා තෙතබත් වුණු හැටි? ඇත්තටම එදා අපි අල්ලපු මාලුවෙකුත් නැහැ නේද? මතකද ජුලියානෝ ට හීතලක් හැදෙයි කියලා බය වෙලා අපි කෑම තියන්න ගෙනාව පික්නික් බ්ලැන්කට්ටුව කොල්ලාගේ ඔලුවේ ඉඳන් ඔතපු හැටි! ඔයාට මතකද ගඟ අද්දර ෆිග් ගස්වල ගෙඩි ඉදිලා තිබුණු හැටි? ෆිග් කඩන්න කියලා ජුලියානෝ ව ගහකට නග්ගලා ගහ පාමුල ඉඳන් මම ඔයාව සිපගත්ත හැටි? අදටත් මට ෆිග් ගෙඩියක් දැක්කාම ඔයාව මතක් වෙනවා මරියා, මේ බොරුවක් එහෙම නම් නෙමෙයි..”

“මරියා ඔයාට මතකද අපි විටෝරියෝ වෙනේටෝ ගිය දවස? මට මතක හැටියට අපි ගියේ ඔයාගේ තාත්තාගේ පරණ ෆෝඩ් ට්‍රක් එකේ. තාත්තා බැංකුවටයි, පෝර ගන්නයි, පැල ගන්නයි ගිය අතරේ අපි දෙන්නා නගරය පුරාම රස්තියාදු ගහපු හැටි මතකද? ඒ නගරේ හැමතැනම ජෙරනියම් මල් පෝච්චි තිබුණා ඔයාට මතකද මරියා? ලිවෙන්සියා ගඟ අයිනේ බැම්ම දිගේ ඇවිදිමින් අපි ඒ මල් පෝච්චි ගණන් කළා. එදා තමයි ඔයා මට කිව්වේ රිදී දම්වැලක දාපු පුංචි රිදී කුරුසයක් බෙල්ලේ දාන්න ඔයාට ආසාවක් තියෙනවා කියලා. අම්මා නැතිව තාත්තා එක්ක හැදුන නිසා ඔයාගේ ඒ වගේ පුංචි පුංචි ආසාවල් තාත්තාට තේරුණේ නැහැ. ඒ වගේ දේවල් වලට තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න ඔයාට හිත දුන්නෙත් නැහැ. ඇත්තමයි මරියා එදා මගේ අතේ සල්ලි තිබුණා නම් මම ඒ නගරේ රිදී බඩු විකුණන කඩේකින් ඔයාට එයින් දම්වැලක් අරන් දෙනවා. ඒත් මමත් ඔයාලගේ ගොවිපොළේ වැඩකළේ පඩියකට නෙමෙයිනේ. කෑමත් නවාතැනුත් විතරක් වෙනුවෙන් වෙන කෙනෙක් නම් ඒ රස්සාව කරන්නේ නැහැ මරියා, ඇත්තටම මමත් හිටියේ ඔයා නිසා”

එක දිගට කතා කළ ලොරෙන්සෝ එයාගේ කම්මුල ඇඳ උඩ මරියාගේ අත උඩින් තිබ්බා. මරියා ට සමහරවිට ඒ කම්මුල්වල කඳුළු පාරවල් වල තෙත දැනෙන්න ඇති. ලොරෙන්සෝ ඉතුරු ටික කීවේ ඒ ඉරියව්වෙන් ඉඳගෙන.

“මම අදටත් ඕන තැනක් දිව්රනවා මරියා මම ඔයාගේ තාත්තාගේ රිදී කාසි පසුම්බිය ගත්තේ නැහැ කියලා. ඒ වෙලාවේ එහෙම හොරකමක් කරලා ඔයාව නැතිකරගන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි. ඒත් ඔයාගේ තාත්තා එදා හැසිරුණේ පිස්සෙක් වගේ. ඇත්තටම මම ඒ සල්ලි හොරෙන් ගත්තා නම් ඒ ටික අරගෙන පැනලා නොගිහින් මගේ ඇඳුම් කෑලි දෙක තුන අතරේ හංගයි ද? මේ ඔක්කොම අපි දෙන්නාව වෙන් කරන්න ඔයාගේ තාත්තාගේ උපායක් කියලා මට තේරුණා මරියා. ඇත්තමයි මට ඒ වෙලාවේ නම් ළඟ තිබුණු සවලක් අරගෙන එයාට ගහලා මරන්න තරම් තරහක් තිබුණා. ඒත් මම එහෙම නොකර ඔයාලගේ ගෙදරින් පිටවෙලා ගියේ ඔයාට තිබුණු ආදරේ නිසායි. ඔයා සමහරවිට මම කියන දේ විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ වෙලාවේ හිතුවක්කාරකමට, ඔයාගේ තාත්තාට පාඩමක් උගන්නන්න ඔයාව මාත් එක්ක අරගෙන ගියා නම් ඔයාටත් අපා දුක් විඳින්න වෙනවා. ඒ කාලෙත් ඒ බව තේරෙන්න තරම් මම මෝරලා හිටියේ. ඊටපස්සේ සෑහෙන්න කාලයක් යනකම් මම ජීවත් වුණේ තැනින තැනට යමින්, මරියා. ලැබෙන කුලියක් මලියක් කරගෙන මම එක එක තැන්වල ජීවත් වුණා. ඒත් මට කවදාවත් ඔයාව අමතක වුණේ නැහැ කියලා කිව්වොත් ඔයා හිතයි මම බොරු කියනවා කියලා. ඒත් ඒක තමයි ඇත්ත. අන්තිමේදී මම හීන දැකපු විදිහට සේලරුවෙක් වුණා මරියා. ලෝකේ වටේම නොවුණත් මූදු තුන හතරක ඇවිද්දා. ඒ කරදිය හීනෙත් ඈතින් ඉඳන් බලන තරම් ලස්සන නැති බව මට තේරුණේ මූද මැදදී. ඉන්පස්සේ මම හිත හදාගෙන ඒ රස්සාව අත ඇරියා. ඒ කාලේ ඔයාව හොයාගෙන එන්නත් හිතුණාට ඔයා ඒ වෙද්දී බොහොම ලස්සන ජීවිතයක් ගත කරනවා ඇති කියලා හිතිලා මම ඒ හීනේ අත් ඇරියා. තමන් ආදරේ කරන හැම දෙයක්ම අයිති වෙන්නේ නැති බවත්, අයිති නොවුණත්, දකින්න නොලැබුණත් සමහරු ගැන දැනෙන ආදරේ වෙනස් නොවෙන බවත් ඒ වෙද්දී මම තේරුම් අරගෙන හිටියේ. මගේ ළඟ ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තිබුණා මරියා. ඉතින් අන්තිමට මම ජෙසොලෝ නගරේ බෝට්ටු ආම්පන්න විකුණන කඩයක් පොඩියට පටන් ගත්තා. කරදියේ නොගියාට කරදිය සුවඳ එක්ක දවස ගතකරන්න මට ඒකෙන් ඉඩ ලැබුණා.”

ලොරෙන්සෝ සුසුමක් හෙලලා ඔලුව උස්සලා මරියා දිහා බැලුවා. තාමත් ඈ උන්නේ නිසොල්මන්ව. සන්සුන් හුස්මට ළය උස් පහත් නොවුණා නම් ඈ සදාකාලික නින්දට වැටිලා කියලා කෙනෙකුට හිතෙන්නත් ඉඩ තිබුණා.

“ලූකා මාව හොයාගත්තේ කොහොමද කියලා මම ඇහුවේ නැහැ මරියා. අඩුම ගානේ ඔයා එයාට මං ගැන මොනවද කියලා තිබුණේ කියලාවත් අහන්න මට හිත් දුන්නේ නැහැ. හදිසියේම එක දවසක, උදේ මම කඩේ අරිද්දි ඒ දොරකඩ බලාගෙන හිටිය කෙනෙක් ‘මරියා ට අසනීපයි, පොඩ්ඩක් ඇවිත් එයා එක්ක කතාකරන්න” කීවාම ඒ මගේ මරියාම ද කියලාවත් මම ඇහුවේ නැහැ. ලූකා ගේ ඇස් වල පිරිලා තිබුණු වේදනාවත්, ආදරයත් නිසා ඒ ඔයාම බව මම දැනගත්තා. ඔයාලගේ ලිපිනය ලීව පුංචි කොළ කෑල්ලක් මගේ අතේ තියලා එදා ලූකා ආපිට හැරිලා ගියා. ඇත්තම කියනවා නම් ඔයාව ආයෙත් දකින්න හිත හදාගන්න මට දවස් කීපයක් ගියා මරියා. ඒක හරි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නිසා මට සමාවෙන්න. ඒත් මෙතරම් කාලයක් තනිකමට හුරුවුණු මට ආයෙත් ඔයාව දැකලා ලේ ගලන තුවාල හදාගන්න බැහැ කියලා මට හිතුණා. එහෙම දේකින් ආයෙත් ගොඩ එන්න තරම් දැන් මගේ හිත හයිය නැහැ කියලාත් මට හිතුණා. ඒත් ඔයා අසනීපයෙන් බව ලූකා කීව දේ තිස්සෙම මගේ හිතේ උඩට මතුවුණා. සැමියෙක් ඒ වගේ ගමනක් එන්න ලොකු හේතුවක් තියෙන බව මට අන්තිමේදී ඒත්තු ගියා. ඉතින් මම ඔයාව බලන්න ආවා මරියා, අන්තිමේදී මම ආවා! ඔයා ඉක්මණින් සනීප වෙන්න ඕන, එහෙම සනීප වෙලා ඉස්සර වගේ ආයෙත් හිනාවෙලා ඉන්න ඕන. ඔයාට ලස්සන ජීවිතයක් හිමිවෙලා තියෙනවා මරියා, ඔයා තව කාලයක් ඒක විඳින්න ඕන. බොහොම ආදරබර සැමියෙක්, දරුවෙක් ඉන්න, ලස්සන ජීවිතයක් තියෙන ඔයාට සමහරවිට මම මේ කියන්න යන කතාවෙන් නම් වැඩක් නැති වෙයි. ඒත් මම හැමදාම ඔයාට ආදරේ කළ බවත්, ඔයාව ආයෙත් කවදාවත් නොදැක්කත්, ඉස්සරහටත් හැමදාම ඔයාට ආදරේ කරන බවත් මතක තියාගන්න.”

---------------------------------

ලූකා ආයෙත් ගෙදර ආවේ දෙහෝරාවක් විතර ගත වුණාම. එළවලු ගන්න ඒ තරම් වෙලාව ගත නොවුණත් ඒ කාලයෙන් වැඩි හරියක් එයා ගත කළේ උද්‍යානයේ ගහක් යට බංකුවක. මොකක්දෝ නමක් නැති දුකක් එයාගේ හිතේ පිරිලා තිබුණත් ඒ එක්කම තමන් හරි දේ කළ බවට සැනසිල්ලකුත් එයාට දැනුණා.

ගෙදරට ඇතුළු වෙද්දී ලූකා ව පිළිගත්තෙ නිහඬ බව විතරයි. බඩු මල්ල දොරකඩ බිමින් තියලා ලූකා මරියාගේ ඇඳ ළඟට පියමැන්නා. ඒ වෙද්දී අමුත්තා යන්න ගිහින්. මරියාගේ අතේ ගුලිවෙලා රිදී දම්වැලකුත් කුරුසයකුත් තිබුණා, තාම තදින් වැහිලා තිබුණු එයාගේ දෑස් යටින් ගලාගෙන ගිහින් කොපුල් හරහා ඇඳුණු කඳුළු ඉරි දෙකක් තිබුණා.

-හෙල්මලී ගුණතිලක


2024 ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරඟයේ අවසන් වටයට තේරී ‘වෙද නෝනා සහ තවත් කතා’ කෙටි කතා එකතුවට ඇතුළත් වූ කෙටිකතාවකි.

වෙද නෝනා සහ තවත් කතා (2024)
සංස්කරණය - ජගත් ජේ. එදිරිසිංහ
ප්‍රකාශය - සරසවි ප්‍රකාශකයෝ

Digital art

July 13, 2025

Totoro

මට ජපන් anime කාටූන් බලන්න පුරුදු කළේ පුතා. එයා ඉස්සර ඒවා සැහෙන්න බලනවා විතරක් නෙමෙයි දිගට හරහට ඒවායේ heroes ලා ඇන්දාත් එක්ක. එයා නම් ඒ කාලේ බැලුවේ action වැඩි ඒවා. පුතාගෙන් පුරුදු උනාට පස්සේ මම බැලුවේ fantasy වැඩි ඒවා. ඒ අතරින් My Neighbor Totoro, Spirited Away, Howl's Moving Castle වගේ ඒවා විශේෂයි, හැබැයි මගේ ප්‍රියතම කතාව නම් Arietty. ඒක කොයිතරම් වාරයක් බලලා ඇතිද කියලා මටම මතක නැහැ, බලන හැම වාරයක්ම ඒ කතාව හරි නැවුම්.

දැන් පුතාට anime බලන්න වෙලාවක් නැහැ, ඒ වුණාට අම්මා නම් තාම බලනවා!
 

අද ඇන්දේ Totoro, Chibi Totoro & Soot Sprites 

Mixed media painting






July 10, 2025

කුරුළු කතා

ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා  ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල් පදින අයත්, මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත් magpiesලාට පේන්න බැහැ.

Magpie කියන්නේ කපුටෙකුට වැඩිය ටිකක් ලොකු, කළු සුදු පිහාටු තියෙන කුරුල්ලෙකුට. මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් තමයි එකට ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ බව පේන්නේ වැඩිහිටි තරමේ කුරුළු පැටවුන්ටත් අම්මලා කෑම හොයාගෙන ඇවිත් කවනවා පෙනෙද්දී. මම නම් කැමතිම මෙයාලගේ ගායනයට. පෙනුමයි වැඩයි ටිකක් ගොරහැඩි උනත් මෙයාලගේ සංගීතය නම් හරිම මිහිරියි. හීතල උදේ පාන්දරවලට ගස් වල මුදුන් වලින් එක එක තාන වල magpie ගීත දෝංකාර දෙන එක හරි අපූරු ඕස්ට්‍රේලියානු අත්දැකීමක්.

මීට අමතරව magpie  කුරුල්ලෝ විනෝදයට බර කට්ටියක් කියලා මම අහලා තිබුණට ඒක හරියටම දකින්න ලැබුණේ ළඟදී. පුතාගේ ඉස්කෝලේ ළඟ  magpie  පවුලක්ම සැරිසරමින් ඉන්නවා මම කළින් ඉඳන්ම දැකලා තිබුණා. ළඟදී දවසක් මම මෙයාලගේ හරි ලස්සන සෙල්ලමක් දැක්කා. හවසක, පාලු වෙලා තිබුණු badminton court එකක දැලේ යට දාරයේ මේ  magpie  කණ්ඩායම ම එල්ලිලා උඩු යටිකුරුව පැද්දී පැද්දී හිටියා! එහෙම ඉන්න ගමන් කට්ටියම තරඟෙට වගේ මහා හයියෙන් සින්දුත් කියනවා. ටිකක් වෙලා ඉඳලා බිමට බැහැලා තටු දිග ඇරලා හිරි ඇරලා ආයෙත් උඩු යටිකුරුව එල්ලෙනවා. මේ සෙල්ලමට මාත් කොයි තරම් වශී වෙලා බලාගෙන හිටියද කියනවා නම් වීඩියෝ එකක් වත් ගන්න මතක් උනේ නැහැ නේද කියලාත් මතක් වුණේත් පස්සේ. 

මේ සිද්ධිය දැක්කාට පස්සේ මේ විදිහට තනියම හිතලා විනෝද වෙන්න පුළුවන් තරමට තේරුමක් තියෙන magpie කුරුල්ලන්ට මගේ තියෙන සැලකිල්ල වැඩි වුණා! ඉඳ හිට ගහක් ළඟින් යද්දී ඔලුවට කොටන්න වගේ පාත් වෙන එකටත් එයාලට සමාව දෙන්න පුළුවන් තරමට මම දැන් එයාලා ගැන පැහැදිලා ඉන්නේ.

-හෙල්මලී 

Sketch- Ink on paper



July 04, 2025

ආදරණීය සීයේ



නව හැවිරිදි වන්කා ශුකොව් මීට තෙමසකට පෙර සපතේරුවකු වන අල්යාකින් වෙත වැඩ පුහුණුවීමට යොදවන ලදී. නත්තලට පෙර දින රාත්‍රියේ ඔහු නින්දට නොගොස්  හාම්පුතා ත් ඔහුගේ බිරිඳත් අනෙත් සේවකයන් සමඟ දේව මෙහෙයට යනතුරු බලා සිටියේය. ඉනික්බිති ඔහු තම හාම්පුතාගේ අල්මාරියෙන් තීන්ත කූඩුවක් සහ මළ කෑ තුඩක් සහිත තීන්ත පෑනක් පිටතට ගෙන, පොඩි වුණු කඩදාසි කැබැල්ලක් තමන් ඉදිරියේ දිග හැරීය. ලිවීම ඇරඹීමට පෙර, වන්කා කුටියේ දොර සහ කවුළු වෙතත් පාවහන් තැනීමට ගන්නා අච්චු සහිත අඳුරු රාක්ක වෙතත් කිහිප වරක් බිය මුසු බැලුම් හෙලා සොවින් බර සුසුමක් හෙලුවේය. ඉනික්බිති බංකුව මත කඩදාසිය ඇතිරූ ඔහු, ඒ අසලින් දණ ගසාගෙන ලියන්නට විය.

“ආදරණීය සීයා, කොන්ස්ටන්ටින් මාකරිච්,” ඔහු ලිවීය. “ඔබට ලියුමක් ලියන්නට මට සිතුණා. ඔබට සුබ නත්තලක් වේවා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ම ලැබේවා. අම්මාත් තාත්තාත් නැති මට ඉන්නේ ඔබ විතරයි.”

තම ඉටිපන්දමේ ආලෝකය වැටී කුටියේ කෙළවරක වූ ප්‍රතිමාව දිලිසෙන අයුරු බලා සිටි වන්කා තම සීයා ගැන කල්පනා කරන්නට විය. තම සීයා වන කොන්ස්ටන්ටින් මාකරිච්, ශිවාරෙව් නම් ප්‍රභූ පවුලකට අයත් වත්තක රාත්‍රී මුරකරු ලෙස සේවය කළේය. කුඩා සිරුරකින් හෙබි හැටපස් හැවිරිදි මහල්ලෙකු වූවත් සීයා අපූරු කාර්යශූර අයෙකු විය. ඔහුට තිබුණේ මත් දෑසක් සහ නිරතුරු සිනාවෙන් පිරුණු මුවකි. දිවා කාලයට ඔහු එක්කෝ මෙහෙකරුවන් වෙනුවෙන් වෙන් වූ මුළුතැන්ගෙහි නිදා ගත්තේය. නොඑසේ නම් එහි කෝකියන් සමඟ විහිලු තහළු කරමින් පසු වූයේය. රාත්‍රී කාලයේදී බැටළු සමින් තැනූ කබා කිහිපයක් පොරොවාගෙන ඔහු ගෙඋයන වටා ඇවිද්දේ තම අත වූ කුඩා ලී මිටියෙන් ඒ මේ අතට තට්ටු දමමිනි. ‘කෂ්ටන්කා’ නම් මහලු බල්ලාත්, මුගටියකු වැනි දිගටි හැඩරුව නිසා ‘ඊල්’ නම ලද බල්ලාත් තම හිස් පහත් කරගෙන ඔහු පසුපස ඇවිද ගියහ. ඊල්, අනවශ්‍ය තරමට ආචාරශීලී බවක් සහ සුරතලයක් දැක්වූ සතෙකු විය. ඔහු ආගන්තුකයන්ටද තම ස්වාමියාටද දැක්වූයේ එක සමාන කරුණාවන්ත බවකි. නමුත් ඌ තරමක අපකීර්තියකට ලක් වූවෙකි. උගේ යටහත්පහත් බවට යටින් තිබුණේ අතිශය කපටිකමකි. ඉඳහිට රහසින් රිංගා විත් කාගේ හෝ විලුඹ සපා කන්නට, ගබඩා කාමරයකට රිංගන්නට නොඑසේ නම් ගැමි ගෙවත්තකින් කිකිළියක් සොරා කන්නට ඌට වඩා වෙනත් හපනෙකු නොවීය. කිහිප වතාවක්ම උගේ පසුපස ගාත් ගැලවී යන්නට තරම් අනතුරු සිදු වී,  දෙවතාවක් පමණ ඌ ව එල්ලනු ලැබී තිබිණි. මීට අමතරව හැම සතියකම පාහේ සිරුර අඩපණ වනතුරු ඌ ගුටිකා ද තිබුණු නමුත් මේ කිනම් ව්‍යසනය වූවත් ඌ ඊළඟ දවසේත් නැවත උද්යෝගීමත්ව පෙනී සිටීමට සමත් විය.

තේ තම සීයා ගේට්ටුව අසල සිටගෙන, දෑස් කුඩා කරමින්, පල්ලියේ රතු පැහැති කවුළු දෙස බලමින්, තම ෆෙල්ට් බූට් සපත්තු වල අඩි හප්පමින්, මෙහෙකරුවන් සමඟ විහිලු තහළු කරමින් පසුවන අයුරු වන්කාට මැවී පෙනුණි. ඔහුගේ කුඩා ලී මිටිය බඳ පටියෙන් එල්ලෙමිනි. සීතල නිසා තම දෑත් අතුල්ලමින්, වරෙක මෙහෙකාර කෙල්ලද, තවත් වරෙක කෝකි කාන්තාව ද කොනිත්තමින් ඔහු සිනාසේ. 

“දුම්කුඩු ටිකක් ඕන ද?” කාන්තාවන්ට ඔහු තම දුම්කුඩු පෙට්ටිය පායි. 

කාන්තාවන් දුම්කුඩු උරා කිඹුහුම් හරිද්දී සීයා මහත් සේ විනෝදයට පත් ව සිනාසෙමින් කෑ ගසයි. 

“ඔය නහයවල් හීතලට ගල් ගැහිලා තියෙන්නේ, ඒවා ගලවලා අරිමු!”

ඔහු බල්ලන්ටද දුම්කුඩු පායි. කෂ්ටන්කා කිඹුහුම් ඇර, තම හිස ගස්සා උරණ වී ඉවතට යයි. ඊල් නම් තම ආචාරශීලී බව නිසා කිඹුහුම් නොඇරියත්, තම වලිගය වනන්නේ ය. කාලගුණයෙහි සුන්දර බවට අමතර ව වාතය නැවුම් ව, පාරදෘශ්‍ය ව පවතින බවක් දැනේ. රාත්‍රිය අඳුරු වුවත් නිවෙස්වල සුදු පැහැති පියසි, දුම් කවුළු වලින් පිටවෙන දුම් කැරළි, තුහින වැටීමෙන් රිදී පැහැ ගැන්වුණු ගස්, හිම කණ්ඩි ආදියෙන් යුතු මුළු ගම්මානයම ඒ උස් බිමට දිස් වේ. මුළු අහසම ප්‍රීතියෙන් දිදුලන තරු වලින් පිරී ඇති අතර ක්ෂීරපථය, හිමෙන් ඔප දමන ලද කලක මෙන් පැහැදිලිව දිස් වේ.  

වන්කා සුසුමක් හෙලා, පෑන තීන්තයේ ඔබා නැවතත් ලියන්නට ගත්තේය. 

“ඊයේ මම හොඳ බැනුමක් ඇහුවා. මෙයාලගේ පොඩි එකාව තොටිල්ලේ පද්දමින් ඉන්දැද්දී මට නින්ද ගිය නිසා ලොකු මහත්තයා මගේ කොණ්ඩයෙන් ඇදලා අරගෙන, බූට්ස් දිග අරින්න ගන්න පොල්ලකින් මට ගැහුවා. ඒ වගේම ගිය සතියේ ලොකු නෝනා මට හෙරින්ග් මාලුවෙක් සුද්ද කරන්න කිව්වාම මම උගේ වලිගෙ පැත්තෙන් සුද්ද කරන්න පටන් ගත්තා කියලා නෝනා මාළුවා මගේ මූණේ ඇතිල්ලුවා. මෙතැන වැඩකරන මිනිස්සු මාව විහිලුවකට අරන් තියෙන්නේ. එයාලා මාව වොඩ්කා ගේන්න තැබෑරුමට යවනවා. ලොකු මහත්තයාගේ පිපිඤ්ඤා හොරකම් කරන්න යවනවා. ඉතින් ඊටපස්සේ ලොකු මහත්තයා මට අතට අහුවුණු දෙයින් ගහනවා. ඒ වගේම සීයේ මෙහෙ කන්න කිසි දෙයක් නැහැ. උදේට එයාලා මට පාන් දෙනවා, දවල්ට කැඳ, රෑට ආයෙත් පාන්. තේ, සුප් එහෙම තිබුණොත් නෝනා යි මහත්තයයි ඒවා ඔක්කොම ගිලලා දානවා. මම නිදාගන්නේ කොරිඩෝවේ, මේ කාලකණ්නි පොඩි එකා අඬන සැරයක් ගානේ මම තොටිල්ල පද්දන්න ඕන නිසා මට නින්දක් නැහැ. අනේ සීයා මට අනුකම්පා කරලා මාව මෙහෙන් ගමට අරගෙන යන්න. මට මේක ඉවසන්න බැහැ. මම සීයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්, සීයා වෙනුවෙන් මම සදාකාලිකව දෙවියන්ට යාඥා කරන්නම්, මාව මෙහෙන් අරගෙන ගියේ නැත්නම් මාව මැරිලා යාවි.”

වන්කාගේ දෙතොල් වෙව්ලන්නට විය. දැලි වැකුණු සුරතින් තම දෑස පිස දැමූ ඔහු ඉකියක් මැඩ ගත්තේය. 

“මම සීයාගේ දුම්කුඩු කොටලා දෙන්නම්,” ඔහු තවදුරටත් ලියන්නට විය. “මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්. මම වැරද්දක් කළොත් සීයාට පුළුවන් සීඩෝර් ගේ එළුවාට වගේ මට තලන්න. මට රස්සාවක් නැතිව හරියන්නේ නැහැ කියලා සීයාට හිතෙනවා නම් මම ගබඩා කාරයාගෙන්  බැගෑපත් වෙලා ඉල්ලන්නම් එයාගේ බූට්ස් සපත්තු පිරිසිදු කරන්න මට ඉඩ දෙන්න කියලා. එහෙම නැත්නම් මම ෆෙද්කා වෙනුවට එඬේර රස්සාවට යන්නම්. අනේ සීයේ, මෙහෙ කිසිම ජීවිතයක් නැහැ, මට මේක ඉවසන්න බැහැ. මට මෙහෙන් පැනලා ගමට එන්න උවමනා උනත් මට ඒ ගමනට දාන්න බූට්ස් නැහැ, මාව මඟදී සීතලට ගල් වෙයි කියලා මට බයයි. මම ලොකු වුණාම සීයාව බලාගන්න පොරොන්දු වෙනවා, කිසි කෙනෙකුට සීයාට කරදර කරන්න ඉඩ දෙන්නේ නැහැ. සීයා ස්වර්ගස්ථ වුණාම මම දැන් අම්මාගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනවා වගේම සීයා වෙනුවෙනුත් යාඥා කරන්නම්. 

මොස්කව් කියන්නේ ලොකු නගරයක්. බැලූ බැලූ අත තියෙන්නේ ලොකු මහත්තුරුන්ගේ ගෙවල්. ඒ වගේම හැමතැනම අශ්වයෝ ඉන්නවා, හැබැයි බැටළුවෝ නම් නැහැ. මෙහෙ ඉන්න බල්ලෝ නපුරුත් නැහැ. මෙහෙ කොල්ලෝ රංචුව කිසි කෙනෙකුට පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ පළාතේ කඩවල ඕන මාලුවෙක් අල්ලන්න ගැලපෙන බිලී කොකු විකුණන්න තියෙනවා. ඒවා බොහොම හොඳ මට්ටමේ ඒවා, රාත්තල් හතලිහක මාලුවෙක් උනත් ඒවායින් අල්ලන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර කඩවල තුවක්කු පවා විකුණන්න තියෙනවා. ඒවා මෙහෙ ලොකු මහත්තයාගේ ළඟ තියෙන තුවක්කු වගෙයි, ඒ නිසා ඒවා එකක් රූබල් සීයක් තරම් මිළ වුණත් මම පුදුම වෙන්නේ නැහැ. මෙහෙ මස් කඩ වල කැලෑ කුකුළෝ, හාවෝ, මාළු එහෙම විකුණන්න තියෙනවා, ඒත් ඒ සත්තු දඩයම් කළේ කොහෙන්ද කියලා කවුරුවත් කියන්නේ නැහැ.

අනේ සීයේ, මහා මන්දිරයේ නත්තල් ගහ සැරසුවාම මට රත්තරන් පාට ගෑව වෝල්නට් එකක් අරන් තියාගන්නවාද? ඒක මගේ කොළ පාට පෙට්ටගමට දාලා තියන්න. ඔල්ගා ඉන්ත්යවේනා පුංචි නෝනාට කියන්න ඒක වන්කා ට කියලා.”

හැඬුම්බර සුසුමක් හෙලූ වන්කා නැවතත් කවුළුවෙන් එපිටට නෙත් යොමු කළේය. හැම වසරකම සීයා තම හාම්පුතා වෙනුවෙන් නත්තල් ගසක් සොයන්නට කැළයට යන අයුරුත් ඒ ගමනට තමන් එකතු වන අයුරුත් ඔහුට සිහි විය. එය කෙතරම් සුන්දර කාලයක්ද! ඒ ගමන් වලදී වනය හිම පතනයෙන් ගුම් දුන් අයුරු, සීයා උගුර පෑදු අයුරු සහ තමන්ගේ සිනා හඬ පවා වන්කා ට ඇසෙනවා සේ විය. තෝරාගත් නත්තල් ගස කපා බිම හෙලීමට පෙර සීයා තම දුම් පයිප්පය උරා, දුම්කුඩු බිඳක් ආශ්වාස කර සීතලෙන් ගල් ව සිටි වන්කා ට  සිනාසෙන්නේය. තුහිනයෙන් වැසුණු තරුණ දේවදාර ගස් සීරුවෙන් සිටින්නේ කපා දැමීමට තෝරාගනු ලබන්නේ තමන්ගේ කවරෙකුදැයි සිතමින් මෙනි. බැලූ බැලූ අත හාවුන් හිම කණ්ඩිවලට ඉහළින් පැන දුවනු පෙනුණේ  ඊතල මෙනි. “ඕකාව අල්ලපන්.. අල්ලපන්.. ආ වලිග කොට යක්ෂ පැටව්!” ඒ වෙලාවට සීයාට මෙසේ කෑ නොගසා සිටින්නට නොහැකි විය. 

නත්තල් ගස කපා ගත් පසු සීයා එය බිම දිගේ ඇදගෙන මන්දිරය වෙතට ගෙනගොස් ඉනික්බිති එය සැරසුවේය.ඒ නිවැසියන් අතරින් වන්කා ගේ ප්‍රියතම සාමාජිකාව වූ ඔල්ගා ඉන්ත්යවේනා ට වසරේ කලබලම කාලය එයයි. වන්කා ගේ මව වන පෙලගේයා මිය යන්නට පෙර, ඈ මන්දිරයේ මෙහෙකාරියක්ව රැකියාව කරද්දී ඔල්ගා වන්කාට නෙක රසකැවිලි දුන්නාය. එමෙන්ම ඈ අලස කම මකාගන්නට ඔහුට ලියන්නට, කියවන්නටත්, සියයට ගණන් කරන්නටත්, නටන්නටත් ඉගැන්වූවාය. පෙලගේයා අන්ත්‍රා වූ පසු වන්කා තම සීයා සමඟ ජීවත් වීමට මෙහෙකරුවන්ගේ මුළුතැන්ගෙය වෙතත් ඉන් ටික කලකට පසු මොස්කව් හි සපතේරුවාගේ නිවසටත් මාරු කෙරිණි.

අනේ සීයේ කොහොම හරි එන්න,” වන්කා දිගටම ලිපිය ලියන්නට විය. “දෙවියන්ගේ නාමෙට මාව මෙතැනින් ගලවා ගන්න. මම වගේ අසරණ අනාථ දරුවෙකුට අනුකම්පා කරන්න. මෙහෙ හැම කෙනෙක්ම මට කරදර කරනවා, මම හැම තිස්සෙම බඩගින්නේ ඉන්නේ, මට පුදුම දුකක් දැනෙන්නේ, මට නිතරම ඇඬෙනවා. ලඟදි දවසක් ලොකු මහත්තයා ගහද්දි මාව බිම ඇදගෙන වැටුණා. මගේ ජීවිතය බල්ලෙකුගේ ජීවිතේටත් අන්තයි… 

සීයේ අල්යෝනාවත්, එකැස් යෙගෝකාවත්, අශ්ව කරත්තකාරයාත් මම මතක් කළා කියන්න. සීයේ මගේ සර්පිනාව කාටවත් දෙන්න එපා. මම නවතිනවා, ඔබේ මුණුබුරා ඉවාන් ශුකොව්. අනේ සීයේ ඉක්මණින් එන්න.”

වන්කා තම ලිපිය ලියූ කඩදාසිය දෙවරක් නවා, පෙර දිනයේදී කොපෙක් එකක් දී මිළදී ගත් ලියුම් කවරයට බහාලූයේය. මඳක් කල්පනා කළ ඔහු පෑන තීන්ත කූඩුවේ ඔබා ලිපිනය ලියන්නට විය. 

ගමේ ඉන්න සීයාට

ඉනික්බිති ඔහු හිස කසමින් මඳක් කල්පනා කර ඊට මෙලෙස එකතු කළේය. 

කොන්ස්ටන්ටින් මාකරිච්

බාධාවකින් තොරව තම ලිපිය ලියාගැනීමට හැකි වීම ගැන සතුටු වූ වන්කා, තම තොප්පිය හිස ලාගෙන, කබාය පළඳින්නට වත් තාවර නොවී, කමිසය පිටින්ම වීදියට දිව ගියේය. 

පෙර දිනයේදී ඔහු මස් වෙළඳ සැලේ සේවකයන්ගෙන් තැපෑල ක්‍රියාත්මක වන ආකාරය විමසා තිබිණි. ලියුම් පෙට්ටි වලට දමන ලද ලියුම්, බේබදු අසරුවන් එළවනු ලබන, සීනු සවිකරන ලද තැපැල් අස් රිය මඟින් ලෝකය පුරාවට රැගෙන යන බව ඔවුහු කීහ. වන්කා කිට්ටුවෙන්ම තිබුණු ලියුම් පෙට්ටිය වෙතට ගොස් එහි විවරය තුළින් තම වටිනා ලියමන ඇතුල් කළේය. 

ඉන් පැයක් ගතවෙද්දී, මිහිරි බලාපොරොත්තු හද පොදි බැඳගෙන ඔහු නිදන්නට විය. ඔහු සිහිනෙන් දුටුවේ ඔහුගේ සීයාවයි. සීයා ගිනි උදුන අසල හිඳගෙන දෙපා පද්දමින් තමන්ගේ ලියමන කියවනවා ඔහු දුටුවේය. සීයාගේ දෙපා අසල, තම වලිගය වනමින් ඊල් වැතිර සිටියේය. 


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Vanka’ by Anton Chekov

සිසිල සඟරාව - ජූලි 2025 කලාපය 


(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Image generated by Meta AI