August 27, 2025

මිතුරුකම්



බැලූ බැල්මට එයාව පෙනුණේ ඉස්කෝලේ ඇරිලා එන තවත් පිරිමි ළමයෙක් වගෙයි.

පොත් මිටියක්ම උස්සාගෙන හිටිය එයාගේ ඇස් කණ්නාඩි දෙක නහයෙන් පහතට ලෙස්සමින් තිබුණා..

ඒක සිකුරාදා දවසක්. අනෙත් හැම කෙනෙකුටම කළින් ලෑස්ති කරගත්ත ක්‍රීඩා තරඟ, සාද, යාලුවෝ මුණගැහෙන්න යන ගමන් බිමන් වගේ එක එක වැඩ තිබුණා- ඒත් මෙයා නම් යමින් හිටියේ තනියම. 

තව පොඩ්ඩෙන් මම එයා දිහා නොබලාම යනවා.

ඒත් ඒ මොහොතේම කොලු රංචුවක් අපි ව පහුකරගෙන දුවගෙන ගියා. එහෙම යද්දී එයාලා අර පිරිමි ළමයාගේ ඇඟේ හැප්පුණා. එයා බිමට ඇදගෙන වැටුණා, එයාගේ අතේ තිබුණු පොත් මිටිය සී සී කඩ විසිරුණා. කොල්ලෝ ටික නම් හිනාවෙමින් දිව්වේ නවතින්නේවත් නැතිව. මේක දැකලා මගේ හිත ඇතුළේ මොකක්දෝ වුණා. 

මම එයාට නැගිටින්න උදවු කළා, කණ්නාඩි දෙක අහුලලා දුන්නා. “අරුන් මහා පිස්සෝ ටිකක්” මම එයාට කිව්වා. 

එයා මාත් එක්ක හිනාවුණා, ඒක නිකම් හිනාවක් නෙමෙයි, කෘතඥ හිනාවක්, මතක හිටින වර්ගයේ හිනාවක්. 

අපි දෙන්නා කතාවට වැටුණා. බලද්දී එයාගේ ගෙදර මගේ ගෙවල් කිට්ටුවමයි තිබුණේ. එයා විනෝදයට බර, බුද්ධිමත් කෙනෙක් බවත්, ෆුට්බෝල් ගහන්න බොහොම කැමති බවත් කතාවේදී තේරුණා. ඒ සති අන්තයේදී අපි ආයෙත් මුණගැහුණා. ඒවගේම ඊළඟ සති අන්තයේත්, ඊටපස්සේ එකේත්… ටික කලක් යද්දී අපි හොඳම යාලුවෝ වුණා.

කාලය ගත වුණා. අපි පාසලෙන් පිටවෙන දවස ආවා. එදා පැවැත්වුණු උත්සවයේදී එයා අපි අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ශිෂ්‍යයා හැටියට සභාව ඇමතුවා. ආත්ම විශ්වාසයෙන් කෙරුණු ඒ කතාව ඉතා සාර්ථක එකක්, හැම දෙනාම ඊට බොහොම  කැමති වුණා. 

ඒ කතාවේ අන්තිමේදී එයා කීව මේ කොටස මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“අවුරුදු කීපෙකට කළින් මම මගේ ජීවිතය නැතිකරගන්න තීරණය කළා. එහෙම හිතලා සිකුරාදා දවසක ඉස්කෝලේ මගේ ලොකර් එකේ තිබුණු ඔක්කොම බඩු ටික අස් කරලා ගෙදර ගෙනියන්න ගත්තා. එහෙම නොකළා නම්  ඒ වැඩේ මගේ අම්මාට කරන්න වෙන නිසායි ඒක කළේ. මං ගැන කවුරුවත් හිතන්නේ නැහැ කියලායි මම එදා හිතාගෙන හිටියේ. ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා. එයා මගේ පොත් ටික බිමට වැටුණු වෙලාවේ අහුලලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, නොදැනුවත්වම මගේ ජීවිතයත් බේරලා දුන්නා.”

මේක අහලා සභාව ම නිහඬ වුණා. මාව ගල් ගැහුණා. ඒ වෙනකම්ම මම ඒ බව දැනගෙන හිටියේ වත් නැහැ. 

සමහර වෙලාවට අපි කරන පුංචි දෙයක් තවත් කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් කරුණාවන්ත වෙන්න. අවදියෙන් ඉන්න.

උදවු උවමනා කෙනෙක් ඔබ ළඟම ඉන්නවා වෙන්න පුළුවන් 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of a note from Old Photo Club


Digital art

8 comments:

  1. ඕ.............හිත ගත්තු කතාවක්

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔව් අඩු වැඩි හැටියට මේ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා නේද අපි කවුරුත්?

      Delete
  2. අහා! ලස්සන කෙටි කතාවක්.👌🙏💐

    ReplyDelete
    Replies
    1. thank you බස්සා, chicken soup for the soul පොත් මතකද? ඒවායේත් තිබුණේ මේ වගේ පොඩි පොඩි කතානේ.

      Delete
  3. මරු මරු මරු !

    "ඒත් එක්කෙනෙක් මං ගැන හිතුවා..." power of one!

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් සමහර වෙලාවට එකම එක්කෙනෙකුට පුළුවන් වෙනසක් කරන්න.
      අපේ පුතා ප්‍රයිමරි පන්තිවල ඉන්න කාලේ යාලුවෙකුගේ මේ වගේ සිද්ධියකට අහම්බෙන් සම්බන්ධ වුණා. ඒ කාලේ එයා පොඩි නිසා ඒකේ බරපතලකම වැඩියම තේරුණේ නැහැ. අන්තිමේදී පුතාටත් නොදැනෙන්න මම ගුරුවරියට කියලා, එයා ඒක විසඳන්න මැදිහත් වුණා. දැන් ඒ දරුවා බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒකෙන් මම ඉගෙනගත්තු පාඩම තමයි සමහර වෙලාවට ඒ මොහොතේ දරාගන්න බැරි ප්‍රශ්නයක් නිසා මිනිස්සු මේ වගේ තීරණ ගන්න බවත්, එයාලට ඒ ප්‍රශ්නේ පීඩනය මිසක් ජීවිතය නැතිකරගන්න අවශ්‍ය නැති බවත්.

      Sometimes a friend can change your life- perhaps not the way you thought- but somehow!

      Delete
  4. මේක අර මම උපන් දිනේ ගැන ලිව්ව කතාව එකක් ටිකක් ගැලපෙනවා . ඒත් මට ඌ ව බෙර ගන්න බැරිවුනා . මවුන්ටන් ෆ්ලවර් නෝනා අපේ පැත්තේ එන්නේ නැත්තේ තරහ වෙලා වත්ද

    ReplyDelete
    Replies
    1. අජිත් - සමහර වෙලාවට අපිට සමහරුන්ව බේරාගන්න බැරිවෙනවා. එයාලා අපිට life lesson එකක් දීලා යන්න යනවා .
      සමාවෙන්න, මම ඉඳහිට බ්ලොග් එකේ මොනවහරි දැම්මත් අනිත් බ්ලොග් වල ඇවිදලා එනවා හරිම අඩුයි. ඒක නරකම පුරුද්දක් බව දන්නවා. වෙනස් කරගන්න ට්‍රයි කරමින් ඉන්නේ. තරහා නැහැ හොඳේ :)

      Delete