May 14, 2021

ගිනි පුළිඟු


මගී පාලමේ කෙටි බිත්තියට වාරු වී අහස දෙස බලා සිටි අර්ජුන් මොහොතකට ඉන් ඉවත් වී පහතින් පෙනෙන කලබලකාරී මාවත දෙස නෙත් යොමුකළේය. වෙලාව උදෑසන නවයට ආසන්න වූවත් පහතින් තවමත් වැඩිපුරම පෙනුණේ කඩිමුඩියේ රාජකාරී වෙත දුවන මිනිසුන් සහ ගැහැණුන්ය. අවට රත් වෙමින් තිබුණු වා තලයේ අලුත් දුහුවිලි වළාවක් පැතිරිණි. පහත නගරයෙන් විහිදෙන නාටාමි ඝෝෂාවත්, තුන් රෝද රියවලින් මතුවන කන් කීරි ගස්වන නළා හඬත්, පෙට්ටි කඩයකින් නික්මෙන කඨෝර බයිලා නාදයත් අසන්නට තවමත් උදෑසන වැඩියැයි අර්ජුන්ට සිතිණි. තම දෑස පසුපසින් මෝදුවන හිසරදය මේ අවට කලබලය නිසාම නොවන බව ඔහු දැන සිටියේය. දෙදිනක් තිස්සේ නිදි නොලැබූ මිනිසෙක්ගේ මත් බවින් ඔහුගේ හිස බමමින් තිබිණි.

අද මුණගැසීම සඳහා වෙනදා මෙන් විහාරමහාදේවි උද්‍යානය තෝරා නොගැනීම ගැන ඊයේ දුරකථන සංවාදයේදී ජනනි නෝක්කාඩු පෑවත් ඒ සුළු මොහොතකට පමණි. තමන්ට හදිසියේ කොළඹින් පිටතට යෑමට සිදුව ඇති බවත්, ඒ නිසා දුම්රියපළට ආසන්න තැනකදී සුළු වෙලාවකට මුණගැසිය හැකි බවත් යෝජනා කරද්දී තම කටහඬ බිඳක්වත් නොසැලුණු බව අර්ජුන් දැන සිටියේය. ඒ ගැන ආඩම්බර විය යුතුද, කම්පා විය යුතුදැයි ඔහු කල්පනා කළේ ඈත බෝ ගසේ මුදුන වෙත නෙත රඳවමිනි. තමන්ගේ හැඟීම් දැනීම් නහර එකින් එක කපා හරිමින් ගත කළ පසුගිය වසර කිහිපය පිළිබඳව ඔහු ආවර්ජනය කරන්නට විය. හද තුළ නිරතුරුව වෛරයම වැපිරූ විට අස්වැන්න ලෙස වෛරය නෙලා ගත හැකි බවත් එවිට හැඟීම් දැනීම් ආදියෙන් වියුක්ත වීම පහසු බවත් ඔහු අත්දකිමින් පසුවිය. එහෙත් මෙතෙක් කාලයකට තමාට අත්හැරිය නොහැකි වූ එකම හැඟීමත්, මහරු සම්පතත් වූයේ ජනනිගෙන් ලද ආදරයයි. කෝටියක් නොගැලපීම් මැද සෘජුව, රේඛීයව ගලා යන ඒ ආදරය බොහෝ දුෂ්කර අවස්ථාවලදී තමන්ව ජීවත් කළ බව ඔහු දැන සිටියේය.


අර්ජුන් අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේ පුරුද්දට මෙනි. ජනනි මෙහි ඒමට තවත් පැය බාගයක්වත් ගත වනු ඇත. මේ ඔරලෝසුව පවා තෑගි ලැබුණේ ජනනිගෙන් බව සිහිවූ විට අර්ජුන්ගේ මුවේ මඳ සිනාවක් ඇඳිණි. එහෙත් එදින හරියටම මධ්‍යහ්න දොළහ පසුවූ පසු ඔහුට වේලාවෙන් පලක් නොවන බව සිහිවී ඒ සිනාව උපන් සැණින් මැකී ගියේය. අදයි ඒ දවස! වදනින් විස්තර කළ නොහැකි තරමේ බරක් සහ ඒ හා සමාන්තරව විමුක්තිදායක නිදහසක් ඔහුගේ සිත වෙලා ගැනිණි. ගත පුරා විහිදුණු උද්වේගයකින් තම සිරුර දහදියෙන් තෙත්ව යන අයුරු අර්ජුන් ට දැනෙන්නට විය. හිස් මුදුණෙන් ඇරඹී, කොපුල් තල පසු කර සිරුර පුරා ගලන දහදියට පෙඟෙන කමිසය තුළින් තම පපුව හරහා සවිකර ඇති ඇසුරුම පෙනේදැයි මොහොතකට කැළඹුණු ඔහු, මින් පෙර දහස් වාරයක් උගෙන තිබුණු පරිදි ප්‍රවේසමෙන් එහි සුරක්ෂිතබව සැක හැර ගත්තේය. ඔහු එදින තම සිරුරේ ප්‍රමාණයට වඩා විශාල කමිසයක් දේවාගෙන් ඉල්ලාගෙන ඇඳ ගත්තේත් සියල්ල සැඟවීමට ඇති වුවමනාව නිසාමය. හදිසි කැලඹුම නිසා වේගයෙන් ගැහෙන තම හදවත, ඊට ආසන්නයේම ඇති ඩිටෝනේටරය ක්‍රියාත්මක කර දමා අනපේක්ෂිත මොහොතක, සැලසුමට අදාළ නැති තැනකදී සියල්ල අවසන් කරනු නොහැකිදැයි වියරු සිතුවිල්ලක් සිතට එළඹුණෙන් මහා හඬින් සිනාසෙන්නට ඔහුට සිත් විය. එහෙත් අවුල් වූ හිසකෙසින් සහ වැවුණු රැවුලින් යුතු තරුණයෙක් කොටුවේ මගී පාලමක් මත හිඳ තනියම සිනාසෙනු දකින අය 'ඒ පිස්සෙක්යැයි' ඒකාන්තයෙන්ම සිතනු ඇති නිසා ඔහු ඒ වියරු බව ආයාසයෙන් යටපත් කරගත්තේය.

“විජේ!”

විප්‍රකාර සිතිවිලි අතරේ අතරමංව සිටි අර්ජුන්, ජනනි අත ළඟටම එන තුරු ඒ බව නොදුටුවේය. තමන් අසලටම විත් ඇය තම නම කණට කෙඳිරූ හඬ අසා ඔහු දරුණු ලෙස තිගැස්සුණත් ඒ බව වසන් කරගෙන සිනාවක් මවාගන්නට ඔහුට හැකි විය. ජනනි සදාකාලිකව ඔහුව ඇමතුවේ සරසවියේ ඔහු ලද අන්වර්ථ නාමයෙනි. සරසවියේ නවක සිසුවෙක් වූ කාලයේදී නළුවෙක් මෙන් කොණ්ඩය සකසමින්, කෙල්ලන්ට බැලුම් හෙලමින් පසුවූ තමන්හට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ප්‍රසිද්ධ ද්‍රවිඩ නළුවෙක්ගේ නම ප්‍රදානය කළ විට රහසින් දැනුණු උද්දාමය ඔහුට සිහිවිය. සරසවියේ මුල් වසර වලදී සැහැල්ලුවෙන් සිනාසෙමින්, කෙල්ලන්ට උසුළු විසුළු කරමින්, විනෝද ගමන් සැලසුම් කරමින් පසු වූ අර්ජුනාදන් යළි කිසි දිනක මතු නොවන ලෙස පාගා දමා පසු කාලයකදී සංවිධානයේ අණ හිස් මුදුණින් පිළිගන්නා, විනාශය අරමුණු කරගත් මේ අර්ජුනාදන් බිහිවූ බව දැන සිටියේ ඔහු පමණි. ඒ අනුවර්තනය ජනනිගෙන් වසන් කරන්නට ඔහුට මහත් පරිශ්‍රමයක් දරන්නට වූවත්, ඒ වෙද්දීත් තම හදවතේ පදාසයක් ජනනි හිමි කරගෙන සිටි බව තම විමුක්තිකාමී සගයන්ගෙන් වසන් කිරීම ඊටත් වඩා දුෂ්කර කාර්යයක් විය. ආපස්සට හැරී බලද්දී තමන් විසින් විශාලම වංචාව සිදු කරන ලද්දේ මේ දෙපාර්ශවයටම නොව, තමන්ටම බව ඔහුට සිතුණේ සිත හිරිවැටෙන පසුතැවීමක් සමඟය.

ආයාසයෙන් මවාගත් සිනහවකින් ඔහු ජනනි වෙත හැරුණි. ඇය හැඳ සිටියේ සුදු පසුබිමේ සිහින් නිල් මෝස්තරයක් සහිත සල්වාර් ඇඳුමකි. තමන් අතර කිසිදිනයක එවන් ඉල්ලීමක්, එකඟතාවයක් සිදු නොවුණත් ඈ ඔහු හා ගමන් බිමන් යද්දී දමිළ යුවතියක් සේ සැරසෙන බවත් ඇතැම් දිනවල නළලේ තිලකයක් පවා තබන බවත් ඔහු දැක තිබිණි. ඒ ගැන තමන්ට ගැඹුරු රිදුමක් සහ සතුටක් එක වර දැනෙන්නේ ඇයිදැයි ඔහු නොයෙක් වර කල්පනා කළත් කිසිදිනක තම හෘද සාක්ෂියෙන් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.

“අද මෙතැනද අපි කතාකරන්නේ?” ඇය හිස ඇළ කර සිනාසෙමින් ඇසුවාය. ඒ සිනාවේ ඊයේ දුරකථන කතාබහේදී ඇසුණු නොක්කාඩුවේ ශේෂයක් සහ දරුවෙක්ගේ දඟකම ඉවසන මවකගේ සෙනෙහසත් කැටිව තිබිණි.

තමන් ජනනිට පවසන්නට පෙළගස්වාගෙන ආ සියල්ල ඒ දෑසේ කාන්තිය හමුවේ ඇවිලෙන කපුරු පෙත්තක් සේ දියවී අතුරුදහන් වූ බවක් අර්ජුන්හට දැනුණි. සංවිධානය විසින් අද තමාට පවරා තිබෙන්නේ එහි ජ්‍යෙෂ්ඨයන්ට සහ ශ්‍රේෂ්ඨයන්ට වෙන් කළ රාජකාරියක් බැවින් එය මඟහරින්නට ක්‍රමයක් නැත. ඔවුන්ගේ අවසාන හමුවීම අත ළඟ වග ඇය හට කිව යුතු බව පසුගිය මාස කිහිපය පුරාවටම දැන සිටියත් ඔහු එය දිනෙන් දින කල් දැම්මේ තමන්ගේම සිත රවටා ගනිමිනි. ගෙවුණු සතියේදී සටන් පුහුණුවට සහභාගී වෙද්දීත්, පිපිරුම් මෙවලම් එකලස් කරද්දීත් ඇයගෙන් සමුගැනීමට යොදාගන්නා දෙබස ඔහු මුල සිට අගටත් අග සිට මුලටත් කට පාඩම් කරගත්තේය. එහෙත් කෙමෙන් රත්වන කොළඹ අහස යට, සෙනඟ තෙරපෙන මගී පාලමක අත් වැටකට බරදී මේ දැන් පිපුණු මලක් සේ සුන්දරව තමා දෙස සිනාමුසුව බලා සිටින ඇගේ දෙනෙත් කාන්තිය හමුවේ ඒ සැලසුම් සියල්ල සුණු විසුණු වී ගියේ ඔහු නොසිතූ අයුරිනි.

“විජේ, ඇයි? මොකද මේ අමුතු වෙලා?” ජනනි ඔහුගේ බාහුවෙන් අල්ලා සෙලවූයේ ඔහුගේ නොබිඳුණු නිහඬ බව නිසා ඉපදුණු නොරිස්සුමෙනි. තම හද ගැස්ම වේගවත් වන බව අර්ජුන් හට දැනුණි. ඇගේ අත ගිලිහෙන පරිද්දෙන් ඇය වෙතින් මඳක් ඉවත්වූ ඔහු, ඈත බෝ ගස මුදුණේ කැදලිවල බහින්බස් වන කපුටු ජෝඩු වෙත ආයාසයෙන් දෑස යොමු කළේය.

“මට ටික දවසකට කොළඹින් පිටට යනවා,” ඔහු ඇගේ දෑස මඟහරිමින් කීවේය. “කවදා ආයෙත් එන්න වෙයිද නැහැ”

“කොහෙද යන්නේ, සමන්තුරේද?” ඈ ඔහුට පිළිතුර සපයා දී ම පැණයක් නැඟුවාය.

ඔහු යන්තමින් හිස සෙලවුවා පමණි. ඔවුන්ට පහතින් ගිලන් රථයක් මහා හඬ නංවමින් වාහන පෙළ අතරින් ඉදිරියට ඇදෙන්නට උත්සාහ දරමින් පසුවිය. දෙදෙනා අතර දිගු මොහොතක් ගත වූයේ ඒ දෙස නිහඬවම බලා සිටිද්දීය.

“යන්න එපා විජේ!” ඈ නැවත වරක් ඔහුගේ බාහුව තදින් අල්ලා ගත්තාය. යළිත් හද ගැස්ම ඉක්මන් වෙද්දී ඔහු ඈ දෙස බැලුවේ විමතියෙනි. ඈ මෙතෙක් කාලයකට කිසි දිනෙක සම්ප්‍රදායික පෙම්වතියගේ භූමිකාව රඟපා තිබුණේ නැත. ජීවිතය බෙදා ගැනීමට ඔහුව තෝරාගැනීමේ තීරණයේ පටන් සරසවි දිවියේද, ඉන් ඔබ්බට කොළඹ ගෙන්දගම් පොළොවෙහි පය ගසා ගෙවුණු වසර කිහිපයේදීද, අන් පෙම්වතියන් කළ බවට ඔහු අසා තිබුණු බොළඳ දෙඩවිලි හෝ සුරතල් බහින් බස් වීම් ඇය සිදුකර නොතිබුණි. ඔහුගේ 'කාර්යබහුල බව' තර්කයකින් තොරව පිළිගෙන තිබුණු ඈ ඉල්ලා සිටියේ ඉඩක් ලද විටක ඇය හා දොඩමළු වන්නට පැයක් හෝ වෙන් කරන ලෙස පමණි. තම ජීවිතයේ වැදගත්ම මෙන්ම අවසාන දිනයේදී ජනනිගේ හැසිරීම මෙලෙස වෙනස් වීම ඔහු කිසිසේත් අපේක්ෂා කළේ නැත.

ගොළුව ගිය මුවින් ජනනි දෙස බලා සිටිද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී යනු අර්ජුන් දුටුවේය. මෙහි සිටින්නේ තම මවගේ දේහය අසළ පවා එක කඳුලක්වත් නොහෙලා නොසැලී උන් ඇයමද යන්න ඔහුට අදහාගනු නොහැකි විය. ගිනියම් වූ නගරයේ, කැකෑරෙන අවු කූටකය යට ඒ කඳුළු නොඉහුරුණු දෙනෙත් පත්ලට එබී බලද්දී එහි දිස් වූ අප්‍රමාණ ආදරය සහ අපේක්ෂාවන් ඔහුගේ දෑස් නිලංකාර කළේය. අර්ජුන් මේ සමුගැනීම සඳහා කලබල තැනක් තොරාගත්තේද ඒ වෙන්වීම වඩාත් පහසු සහ ඉක්මන් වනු පිණිස වූවත් එය එසේ වන්නට යෙදී නැති බව ඔහුට වැටහිණි. එබැවින් තවත් වදනකුදු නොදොඩා ඇයගෙන් ඉවත් වන්නට ඔහු තීරණය කළේය.

තමන් වෙතින් ඉවත්ව යන ඔහු දෙස මොහොතක් බලා සිටි ජනනි, ඉන් පෙර කිසි දිනෙක මහා සෙනඟක් මැදදි තමන් නොකර තිබුණු දෙයක් කළාය. අර්ජුන්ගේ පසුපසින් දිව ගිය ඈ ඔහුගේ බඳ වටා දෑත් යවා ඔහුව තරයේ වැළඳගත්තාය.

………………………..

හාත්පස ගිනි පුළිඟු සහ දුම් වළාවන් වියැකී බොහෝ වේලාවක් යන තුරු ඈත බෝ ගස මුදුණේ කපුටු කැදලි හිස් වී පැවතිණි.



Sketch - Ink on paper

4 comments:

  1. Fatal attraction එකක්. ආදරේ අපරාදෙද මන්දා.

    ReplyDelete
    Replies
    1. Fatal attraction indeed.
      එකටම යන්න හිටිය දෙන්නෙක්! :)

      Delete
  2. භෞතික වස්තු විනාස කිරීමෙන් මිනිස් හැඟීම් හා අතීත මතක විනාස කළහැකි යයි සිතන සමාජය තවමත් ක්‍රියාකාරීය.

    ReplyDelete
    Replies
    1. ඔව්, අවාසනාවකට!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...