ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල් පදින අයත්, මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත් magpiesලාට පේන්න බැහැ.
Magpie කියන්නේ කපුටෙකුට වැඩිය ටිකක් ලොකු, කළු සුදු පිහාටු තියෙන කුරුල්ලෙකුට. මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් තමයි එකට ඉන්නේ. ගොඩක් වෙලාවට ඒ එක පවුලක දෙමව්පියෝ සහ දරුවෝ බව පේන්නේ වැඩිහිටි තරමේ කුරුළු පැටවුන්ටත් අම්මලා කෑම හොයාගෙන ඇවිත් කවනවා පෙනෙද්දී. මම නම් කැමතිම මෙයාලගේ ගායනයට. පෙනුමයි වැඩයි ටිකක් ගොරහැඩි උනත් මෙයාලගේ සංගීතය නම් හරිම මිහිරියි. හීතල උදේ පාන්දරවලට ගස් වල මුදුන් වලින් එක එක තාන වල magpie ගීත දෝංකාර දෙන එක හරි අපූරු ඕස්ට්‍රේලියානු අත්දැකීමක්.
මීට අමතරව magpie කුරුල්ලෝ විනෝදයට බර කට්ටියක් කියලා මම අහලා තිබුණට ඒක හරියටම දකින්න ලැබුණේ ළඟදී. පුතාගේ ඉස්කෝලේ ළඟ magpie පවුලක්ම සැරිසරමින් ඉන්නවා මම කළින් ඉඳන්ම දැකලා තිබුණා. ළඟදී දවසක් මම මෙයාලගේ හරි ලස්සන සෙල්ලමක් දැක්කා. හවසක, පාලු වෙලා තිබුණු badminton court එකක දැලේ යට දාරයේ මේ magpie කණ්ඩායම ම එල්ලිලා උඩු යටිකුරුව පැද්දී පැද්දී හිටියා! එහෙම ඉන්න ගමන් කට්ටියම තරඟෙට වගේ මහා හයියෙන් සින්දුත් කියනවා. ටිකක් වෙලා ඉඳලා බිමට බැහැලා තටු දිග ඇරලා හිරි ඇරලා ආයෙත් උඩු යටිකුරුව එල්ලෙනවා. මේ සෙල්ලමට මාත් කොයි තරම් වශී වෙලා බලාගෙන හිටියද කියනවා නම් වීඩියෝ එකක් වත් ගන්න මතක් උනේ නැහැ නේද කියලාත් මතක් වුණේත් පස්සේ.
මේ සිද්ධිය දැක්කාට පස්සේ මේ විදිහට තනියම හිතලා විනෝද වෙන්න පුළුවන් තරමට තේරුමක් තියෙන magpie කුරුල්ලන්ට මගේ තියෙන සැලකිල්ල වැඩි වුණා! ඉඳ හිට ගහක් ළඟින් යද්දී ඔලුවට කොටන්න වගේ පාත් වෙන එකටත් එයාලට සමාව දෙන්න පුළුවන් තරමට මම දැන් එයාලා ගැන පැහැදිලා ඉන්නේ.
-හෙල්මලී
Sketch- Ink on paper
අම්මෝ චිත්‍රය.........A 1
ReplyDeleteමම හිතාගෙන හිටියේ magpie කියන්නෙ අපේ පොල්කිච්චා size එක්කෙනෙක් කියලනේ
කුමුදු - වැඩිහිටි Magpie කුරුල්ලෙක් පොල්කිච්චෝ තුන් හතර දෙනෙක් තරම් ලොකුයි :D
Deleteහිතන්නකෝ ඉතින් කොටන්න පාත් වෙද්දී!
මම හිතන් හිටියෙ කවුඩා කියලා. මේකා කපුටු පවුලේ එකෙක්ලු. කපුටා වගේම බුද්ධිමත්ලු. කොහොමත් ඔය කපුටු පවුලේ jackdaw වගේ එවුනුත් ලංකාවෙ නෑ නේද?
Deleteබස්සා - කවුඩා ත් පොල්කිච්චෙක් තරම් නේ නේද? ලංකාවේ කපුටෝත් ප්‍රමාණයෙන් පුංචියි මං හිතන්නේ ඒ පවුලේ අනිත් අයට වඩා
Delete
ReplyDeleteYou remember Castafiore's jewel in Tintin?
Apparently, not exactly a thief of shiny objects.
https://www.audubon.org/news/do-magpies-stealing-shiny-things
https://www.youtube.com/watch?v=60Zg9sGnQf8
DeletePra- That theory would mess with the theory in that Tintin story :D
Deleteබස්සා - ඒ වීඩියෝ එකේ Magpie ලා අපේ ඔසී කට්ටියට වඩා පොඩියිනේ. අපේ කට්ටියට ඔහොම පැහැදිලි වලිග පෙඳයක් නෑ. බලාගෙන ගියාම මෙයාලගේ පවුලේ එක එක වර්ගයේ කට්ටිය ඉන්නවා.
මේ ඔසී කට්ටිය
https://www.youtube.com/shorts/xPzduGSH7jw
magpie ලගේ නාදය ගැන පොත් වල (කතා පොත්) හරියට කියවෙනවා නේද. රුසියානු, ඇමරිකන්, පොත් වලත්. ඒ නාදය ඒ තරමටම ලස්සන ඇති. ඇත්තටම කිව්වොත් බකමුණු සද්දේ බලන්න. ඒකෙ අමුතු thrill එකක් තියෙනවා. ඩුගුලා කියල සතෙක් අහල තියෙනවද? ඒ සද්දෙත් උළමගේ තරම්ම creepy නැතත් අහන්න ආසයි. හැබැයි තනියම නෙවෙයි.
ReplyDeleteකුමුදු - මට හිතෙන විදිහට magpie සින්දුව ලස්සන ඒකට නියම tune එකක් නැති නිසාද කොහෙද. උස් පහත් වෙන ස්වර ටික කොහොම ගලාගෙන යයිද කියලා දන්නේ නැති වීමද කොහෙද ඒකේ ලස්සන. උඩ ලින්ක් එකක් දැම්මා, බලන්නකෝ.
Deleteමම පොඩි කාලේ පණ බයයි බකමූණු සද්දෙට :D ඒක කළුවරත් එක්ක ඇතිවෙන බයක් වෙන්නැති. ඩුගුලා ගැන අහලම නෑනේ. බලමුකෝ ඒකෙත් හැටි! ඒ Brown wood owl කියලා තමයි google කියන්නේ.
මලී, your drawing is a wow.
ReplyDeleteෆුල් ජොලියෙන් ඉන්න කුරුල්ලො ජාතියක්නෙ එහෙම බලනකොට 😉.
"මට වගේ කොණ්ඩ බූසි තියෙන අයත්..." ලංකාවෙ අය අඳුරගන්න එක ලේසි ක්‍රමයක් තමයි ඔය frizzy hair ස්වබාවය 😍
Thank you Lotus!
Deleteමේ සීතල කාලේ මට frozen shoulder වගේ ඇවිත්. ඒත් නිවාඩු කාලේ චිත්‍රයක් දෙකක් අඳින්නේ නැතිව කොහොමද? ඒ නිසා පාට දෙකක වගේ සරල චිත්‍රයක් අඳිනවා කියලා තමයි මේක අඳින්න ගත්තේ :D
ලංකාවේ අපේ ජෙනරේෂන් එකේ අයගේ ඔය යුනික් බූසි කොණ්ඩේ එන්නේ කොහොමද දන්නවද? පොඩි කාලේ ඇඟේ ගෑව රාණි, නයිට් ඇන්ඩ් ඩේ, රෙක්සෝනා වගේ සබන් කොණ්ඩෙත් ගෑව නිසා! පස්සේ මොන සාත්තු කළත් වැඩක් නැහැ ඉතින් :D :D
බලලා නැත්නම් Penguin Bloom චිත්‍රපටිය බලන්න. Magpie කතාවක් :)
frozen shoulder ඉක්මනින් සුව වේවා යයි පතමි.🙏
Deleteඅර සබන් බූසි කොණ්ඩේ කතාව ඇත්ත වෙන්න ඉඩ තියනවා. 🤔