October 24, 2019

ජෙරනියම් තෑගි


සාමාන්‍යයෙන් වාහනය එලවාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන දේවල් නොදකින කෙනෙක් හැටියට මම නම් දරලා තියෙන්නේ. ඒත් සතියකට වතාවක් පුතාව පන්තියකට අරගෙන යන පාරක නම් මම නොවැරදීම බලන එක තැනක් තියෙනවා. ඒ හරිම පිළිවෙලට තියෙන ලස්සන මල් පිරුණු ගෙවත්තක්. ඒ වත්තේ සීරුවට, බොහොම හැඩට හැදුව පාත්ති පිරිලා තියෙන්නේ එක එක පාටවල ජෙරනියම් මල්වලින්. වත්තේ තණකොළත් පිළිවෙලට කපලා, එක වල් පැලයක්වත් දකින්න නැහැ. සමහර දවස්වලට මම එතැනින් යද්දී වයසක කෙනෙක් ඒ මල් පැළවලට සාත්තු කරනවා පේනවා. ඒ වත්ත ලස්සනට තියෙන්නේ එයාගේ මහන්සියෙන් කියලා පැහැදිලියි. 

ඒත් මේ කතාව ඒ ගෙවත්ත ගැන ම විතරක් නෙමෙයි. එක සතියක මම එතැනින් යද්දී ඒ ගෙවත්ත ළඟ පාර අයිනේ කීප දෙනෙක් හිටියා. පයින් යන කීපදෙනෙක් එතැන නැවතිලා බිම තිබුණු දෙයක් අරගෙන යනවා මම දැක්කා. වාහනේ එතැනින් යන පුංචි වෙලාවේ මට ඊට වැඩිය දෙයක් බලාගන්න බැරිවුණා. ආපහු එද්දී මම වුවමනාවෙන්ම ඒ දිහා බැලුවා. අර ගෙවත්තේ ජෙරනියම් මල් පැල කප්පාදු කරලා ඉවත් කළ දඬු එක ගොඩකට එකතු කරලා පාර අයිනෙන් තියලා තියෙනවා මම දැක්කා.

Free, Enjoy!
කියලා අතින් ලියපු කාඩ්බෝඩ් කෑල්ලකුත් ඒ ලඟින්ම තිබුණා. ඒ, ඒ ගෙවත්ත අයිතිකාරයා තමන්ගේ වත්තේ ලස්සන අනිත් අයත් එක්ක බෙදාගන්න දරපු පුංචි උත්සාහයක්. තමන්ගේ වත්තේ මල් පැලයක් කාටවත් දෙන්න අකමැති මිනිස්සු ඉන්න ලෝකෙක ඒක බොහොම ලොකු දෙයක් හැටියටයි මට නම් හිතුණේ. ඒ කිට්ටුවෙන් වාහනය නැවැත්තුව මමත් එතැනින් මල් දඬු තුනක් අරගත්තා. ඒ ගෙදර දොර ජනෙල් වහලා තිබුණු නිසා ඒ වෙනුවෙන් ස්තූති කරන්න නම් කෙනෙක් ළඟපාතක හිටියේ නැහැ. ගෙදර ඇවිත් මම ඒවා මල් පෝච්චිවල හිටෙව්වා.

ඊයේ බලද්දී ඒ ජෙරනියම් පැළවල මල් පිපිලා. බොහොම නිර්ලෝභී කෙනෙකුගෙන් ලැබුණු දෙයක් නිසා ඒ මල් දකිද්දී දැනෙන සතුට වැඩියි. ඊළඟ දවසේ ඒ ගේ ළඟින් යද්දී ඒ ගෙවත්තේ අයිතිකාරයා හිටියොත් ඒ සතුට ගැන කියන්න ඕන කියලා මට හිතුණා. සමහර වෙලාවට තව කෙනෙකුට සතුටක් දෙන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැති බවට මේක හොඳ උදාහරණයක්!


4 comments:

  1. ඔබ හොද වැඩක් කලාම ලැබෙන සතුට තමයි අපේ සැලරිය. එකට ලැබෙන ස්තූතිය තමයි බෝනස් එක. මේක තිබුනේ නිදිගේ පංචතන්තරේ බ්ලොග් අඩවියේ.
    ඉතිං ඔබතුමිය ඔවුන්ට බෝනස් එක ලැබෙන්න සලස්වන්න.

    ReplyDelete
  2. සරල සිද්ධියක්, ඒ උනත් හොඳ මිනිස් ගුණයක් පෙන්වනවා. ස්තුතියක් කර සටහනක් ඇයගේ ලියුම් පෙට්ටියට දමන්න.
    මේ දිනවල මේ ප්‍රදේශයේ කොහේ ගියත් විවිධ වර්ණයෙන් සහ විවිධ හැඩයෙන් යුක්ත ජෙරානියම් දකින්නට ලැබෙනවා. මමත් මේ ගැන බ්ළොග් පොස්ට් එකක් ලියන්නට කරුණු එකතු කරමින් සිටියේ. අද හෙටම එය පළ කරනවා.

    ReplyDelete
  3. ඒක හරිම සුන්දර වැඩක්...

    ReplyDelete