October 07, 2019

රාත්‍රී භෝජන සංග්‍රහය

Translation of the The Dinner Party by Mona Gardner



මෙය ඉන්දියාවේදී සිදුවූ සිදුවීමකි. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ උත්කර්ෂවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඔවුන් ද ඔවුන්ගේ අමුත්තන් සමඟ කෑම මේසයට වාඩි වී සිටි අතර මේ අමුත්තන් අතර විදේශ තානාපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම සංචාරයකට ආ ඇමෙරිකානු ස්වභාවික විද්‍යාඥයෙක් ද විය. මොවුන් වාඩිවී සිටියේ කිරිගරුඬ පොළොවක් සහ සිවිලිම් රහිත උස් වහලක් ඇති, බරාඳයට ඇරෙන විශාල වීදුරු ජනෙල් ඇති, හොඳින් ඉඩකඩ ඇති කෑම කාමරයක ය. 

තරුණ කෙල්ලක් සහ වියපත් හමුදා නිලධාරියෙක් අතර උණුසුම් සාකච්ඡාවක් පැන නැඟුණි. ඈ කීවේ මේ වෙද්දී ගැහැණුන් මීයෙක් දුටු සැණින් පුටුවක් උඩට නඟින යුගය පසුකර ඇති බවයි. ඔහු කීවේ එය එසේ නොවන බවයි. 

"ඕනෑම අර්බුදයකදී ගැහැනියක් නොවරදවා දක්වන ප්‍රතිචාරය බෙරිහන් දෙන එක" හමුදා නිලධාරියා කීවේය. "පිරිමියෙකුටත් කෑගහන්න හිතෙන්න පුළුවන්, ඒත් ඔහුට ගැහැනියකට වඩා තමන්ව පාලනය කරගැනීමේ හැකියාව අවුන්සයක් හරි වැඩියෙන් තියෙනවා. ඒ අවුන්සය තමයි අන්තිමේදී වැදගත් වෙන්නේ"

ඇමෙරිකානුවා මේ සාකච්ඡාවට සම්බන්ධ නොවී අනෙත් අමුත්තන් දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ඔහු එසේ බලා හිඳිද්දී ගෙහිමි කාන්තාවගේ මුහුණේ අමුතු පෙනුමක් ඇතිවන අයුරු ඔහුගේ නෙත ගැටුණි. ඇය සීරුවෙන් ඉදිරිය බලා සිටි අතර ඇගේ මාංශ පේශීන් සියුම් ලෙස වෙවුලුම්කන බව පෙනුණි. සුළු ඉඟියකින් ඇය තමන්ගේ පුටුව පසුපසින් සිටි වැඩකාර කොලුවා කැඳවා, ඔහුට යමක් රහසින් කීවාය. ඔහුගේ දෑස පුදුමයෙන් මහත් වූ අතර ඔහු වහා වහා කාමරයෙන් පිටතට ගියේය. 

මේ සිදුවීමවත්, කොලුවා බරාඳයේ විවෘත දොරවල් වලට එපිටින් කිරි බඳුනක් තබන අයුරු වත් ඇමෙරිකන්කරු හැර අමුත්තන් අතරින් වෙන කිසිවෙක් දුටුවේ නැත. 

ඔහු වහා පියවි සිහියට එළඹුණි. ඉන්දියාවේදී කිරි බඳුනක් තැබීමෙන් අදහස් වූයේ එකම දෙයකි- ඒ නාගයෙක් ඇල්ලීමට ඇමක් හැටියටය. කාමරයේ කොතැනක හෝ නාගයෙක් සිටිය යුතු බව ඔහුට තේරුම් ගියේය. මීට සුදුසුම තැන වන වහලයේ පරාල දෙස ඔහු නෙත් යොමු කළ නමුත් එතැන කිසිවක් තිබුණේ නැත. කාමරයේ අනෙත් තුන් කෙළවර ම හිස්ව තිබුණු අතර හතරවෙනි කෙළවරෙහි සිටියේ ඊළඟ කෑම බඳුන් ගෙන එන්නට බලා සිටින වැඩකරුවන් පමණි. ඉතිරිව තිබුණේ එකම තැනකි - ඒ මේසය යටයි.

මේසයෙන් පසුපසට පැන අනෙත් අයට අනතුරු ඇඟවීමට ඔහුට මුලින්ම මහත් ආවේගයක් දැනුණි. ඒත් එසේ කළහොත් නාගයා ද කලබල වී කවරෙකුට හෝ දෂ්ඨ කළ හැකි බව ඔහු දැන සිටියේය. ඔහු ඉක්මණින් කතාකරන්නට වූ අතර, එසේ කතාකරද්දී ඔහුගේ කටහඬ කෙතරම් ප්‍රබල වීද යත් හැමදෙනාම ඉක්මණින්ම සන්සුන් වූහ.

"මට දැනගන්න ඕන මේ මේසේ වාඩිවෙලා ඉන්න අයගේ ස්වයං පාලන මට්ටම හරියටම කොයිතරම් ද කියලා. මම තුන්සීයට ගණන් කරනවා- ඒ කියන්නේ විනාඩි පහක්- ඔය එක්කෙනෙක් වත් එක මාංශ පේශියක්වත් හොලවන්න බැහැ. හෙලවුණු කෙනා රුපියල් පනහක දඩයක් ගෙවන්න ඕන. ලෑස්තියි නේ?"

ඔහු ගණන් කරද්දී මේසය වටා උන් විසි දෙනා හිඳ සිටියේ ගල් පිළිම ලෙසයි. "දෙසිය අසූවයි.." කියද්දී මේසය යටින් මතු වූ නාගයා කිරි බඳුන වෙත ඇදී යන අයුරු ඔහු නෙත් කොණින් දුටුවේය. ඔහු වහා වහා පැන බරාඳයට ඇරුණු දොරවල් වසා දමද්දී කාමරය පුරා කෑ ගැසීම් දෝංකාර දෙන්නට විය. 

"ඔබ කීව දේ හරියටම හරි කර්නල්!" ගෙහිමියා පුදුමයෙන් කෑගසන්නට විය. "සම්පූර්ණ ස්වයං පාලනය ගැන උදාහරණයක් මේ දැන් අපිට පිරිමියෙක් පෙන්නුවා" 

"විනාඩියක් ඉන්න" කියමින් ඇමෙරිකන්කරුවා ගෙහිමි කාන්තාව වෙත හැරුණේය. "වින්ස් මහත්මිය, කාමරය ඇතුලේ නයෙක් උන්නු බව ඔබ කොහොමද දැනගත්තේ?"

ඇය පිළිතුරු දෙද්දී ඇගේ මුහුණ සිහින් සිනාවකින් එළිය විය. "ඌ මගේ කකුල උඩින් ඇදිලා ගිය නිසා!" ඈ කීවාය.


Painting- ‘The Dinner Party’ by Jules-Alexandre Grün, source Wikimedia Commons

Published in Sannasa Newspaper- October 2019, page 20



No comments:

Post a Comment