June 26, 2019

හයේ පන්තියේ ආර්ථික විද්‍යාව

පුතාලාට ඉස්කෝලේ හැම semester එකටම එක ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. එතකොට ඒ වාරේ ගණිතය, Inquiry වගේ පාඩම් ඔක්කොම මේ මාතෘකාවට සම්බන්ධයි.

'මේ වාරේ අපි පන්තියේ ඉගෙනගන්නේ economy එක ගැන!'
අලුත් වාරේ මුල දවසක පුතා ඉස්කෝලේ ඇරිලා ඇවිත් බොහොම උනන්දුවෙන් කිව්වා. 

' economy එක? හයේ පන්තියේදී?' මම ඇහුවේ සැකෙන් වගේ. අපි ඉස්කෝලේ යද්දී පුංචි පන්තිවලදී ඔය වගේ බරපතල දේවල් කළේ නැහැනේ.

"ඔව්.. ඔව්.. බඩු වලට තියෙන ඉල්ලුම, ඒවායේ සැපයුම, මිළ තීරණය වෙන හැටි වගේ දේවල්" පුතා කටපාඩමින් කිව්වා. පාඩමට හැඳින්වීමක් එදා කෙරිලා කියලා මට හිතුණා. නැත්නම් ඒ එයා දන්නා දේවල් නෙමෙයි.

"ඕවා දැන්ම? අපි ඕවා කළේ ඒ ලෙවල් වලට නේ!" මම ඇහුවේ හිතේ සැකෙන්.

ඒත් පුතාට මගේ ඒ සැකය ගැන වගක්වත් තිබුණේ නැහැ.
"ඒ  පාඩමට හරි ආසා හිතෙනවා අම්මේ.. ඉල්ලුමට සැපයුම නැති උනාම මිළ ඉහළ යන හැටි වගේ දේවල් අපි ඉගෙනගත්තා.. මම තමයි හොඳම උදාහරණෙ කිව්වේ කියලා ටීචර් කිව්වා. හීතල කාලෙට අඹ පිටරටින් ගෙන්නන්න ඕන හින්දා ඒවා ගණන් යන හැටි තාත්තා දවසක් කිව්වානේ. ඒ කතාවයි මම කිව්වේ"

ඒක අහලා නම් මට හිනා ගියා. ඉල්ලුම සැපයුම වගේ ටිකක් සංකීර්ණ සංකල්පයක් කියලා දුන්නු ගමන්ම තේරුණු පුතා ගැන මට පුංචි ආඩම්බරයකුත් දැනුණා. අපි මේවා ඉස්කෝලෙදි ඉගෙනගත්ත මතක අවුස්සද්දි නම් මට දැනුනේ තිත්ත රසක්. අපිට උසස් පෙළ පන්තියේදී ආර්ථික විද්‍යාව ඉගැන්නුව ගුරුවරිය මට මතක් වුණා. මුල්ම දවසේ, පාඩම ගැන කිසිම හැඳින්වීමක් නොකර, ගහෙන් ගෙඩි එන්නා වගේ ඒ ගුරුවරිය අපිට ඉල්ලුම සැපයුම වක්‍රයක් අඳින්න කිව්වා. ඒ කාලේ අපි වක්‍රයක් කියන්නේ ප්‍රස්තාරයකට කියලාවත් හරියට දැනගෙන හිටියේ නැහැ. හිතේ සැකයට, එකිනෙකාගෙන් බලාගෙන අපි එදා එක එක විදිහේ ප්‍රස්තාර ඇන්දා. වචනයක්වත් නොකියා ඒවා හැම එකක්ම බැලුව ඒ ගුරුවරිය ඒවාට රතුපාටින් ලොකු වැරදි ලකුණු දාලා බින්දුවක් දැම්මා. කිසිම දෙයක් උගන්නන්නේ නැතිව පැවරුමක් දීලා, ඒකට වැරදි ලකුණු කරලා ඒ විදියට පලවෙනි දවසෙම අපේ හිත් කඩා දාලා ඒ ගුරුවරිය බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා මට අදටත් පැහැදිලි නැහැ. උසස් පෙළ අවුරුදු දෙකම ඇගේ ඉගැන්වීම් මීට වඩා ලොකු වෙනසක් වුණේ නැති බවත් පලවෙනි දවසේ විෂය ගැන ඇතිවුණු අප්‍රසන්න බව දිගටම තිබුණු බවත් මට හොඳට මතකයි.

පුතාගේ අලුත් පාඩම ගැන තිබුණු උනන්දුව ඉක්මනටම නැතිවෙලා යයි කියලා මම මුලදී හිතුවත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්. දවස ගානේ ම ඉස්කෝලේ ගිහින් ගෙදර ආව ගමන් පුතා මට ඒ ගැන විස්තර කිව්වේ පුදුම සතුටකින්. ඒ නිසාම ඒ අමුතු පාඩම ගැන තව ටිකක් විස්තර හොයලා බලන්න මටත් හිතුණා.

මේ පාඩමට පුතාගේ හය වසර පන්තිය කණ්ඩායම් කිහිපයකට බෙදලා තිබුණා. එක කණ්ඩායමක සාමාජිකයෝ පස්දෙනයි. මේ අයට ලැබුණු පැවරුම තමයි වෙළඳපල ට අලුත් භාණ්ඩයක් හඳුන්වලා දීම. වෙළඳපල කිව්වේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ ළමයි. මුලින්ම කණ්ඩායම සාකච්ජා කරලා අලුත් නිෂ්පාදනයක් ගැන එකඟතාවයකට එන්න ඕන. ඒ භාණ්ඩය ගුරුතුමිය දෙන අමුද්‍රව්‍ය වලින් ළමයින්ටම නිපදවන්න පුළුවන්, ඒ වගේම ඉස්කෝලේ අනිත් ළමයි මිලදී ගන්න කැමති දෙයක් වෙන්න ඕන. නිෂ්පාදනයට කලින් කණ්ඩායමේ නියෝජිතයෝ දෙන්නෙක් වෙන පන්ති කිහිපයකට ගිහින් වෙළදපල අධ්‍යයනයක් කරන්න ඕන. ඒ කියන්නේ අපි මෙහෙම භාණ්ඩයක් හැදුවෙත් ඔයගොල්ලෝ ගන්න කැමතිද, ඒ වගේ දේකට කීයක් ගෙවන්න කැමතිද කියලා අනෙත් පන්තිවල ළමයින්ගෙන් ප්‍රශ්න අහලා සටහන් කරගන්න එක. තමන්ගේ කණ්ඩායමෙන් හදන්න හිතුව භාණ්ඩයට ලැබුණු ප්‍රතිචාර හොඳ නැත්නම් ආයෙත් මුල ඉඳන් වෙන අදහසක් ගැන හිතලා බලන්නයි නියමිත වෙලා තිබුණේ.

අන්තිමේදී භාණ්ඩයක් හරියටම තීරණය කරගත්තාට පස්සේ  නිෂ්පාදන අවධිය. හැම කණ්ඩායමටම ගුරුතුමියගෙන් බොරු සල්ලි එක සමාන  ප්‍රමාණයක් ලැබුණා. ඒ තමයි ප්‍රාග්ධනය. මීට අමතරව ගුරුවරිය ළඟ කාඩ්බෝඩ්, රිබන්, පුළුන්, රෙදි කෑලි, පාට කූරු, කතුරු,  ලියුම්කවර, වගේ අමුද්‍රව්‍ය සහ මෙවලම් තිබුණා. ඒ හැම දේටම නියමිත මිළක් තිබුණා. හැම කණ්ඩායමක් ම තමන්ට ලැබුණු ප්‍රාග්ධනය කළමනාකරණය කරගෙන ගුරුවරියගෙන්  තමන්ට අවශ්‍ය දේ මිලදීගන්න ඕන. අතේ තියෙන සල්ලි එක්ක බලලා භාණ්ඩ නිෂ්පාදනයට වැයවෙන මුදල අනුව තමන් නිෂ්පාදනය කරන ඒකක ගණන තීරණය කරන්නත් ඕන. මීට අමතරව තව අතුරු නීතිත් තිබුණා. පන්තියටම තියෙන්නේ එක laminating machine එකයි. එක stapler එකයි. ඒවා පාවිච්චි කරන්නත් ගුරුතුමියට අර සල්ලි දෙන්න ඕන විතරක් නෙමෙයි, තමන්ගේ වාරය එනකම් ලැයිස්තුවකට නම දාලා බලාගෙන ඉන්නත් ඕන, මුදල් දුන්නු පිළිවෙලටයි පාවිච්චියට අවසර ලැබෙන්නේ. ඒ පියවර හරියකට කල් ඇතිව සැලසුම් කර ගත්තේ නැත්නම් තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්දැද්දී නිෂ්පාදනය පමා වෙනවා.

මේ හැම දේටම අමතරව ගුරුතුමිය තවත් ලස්සන වැඩක් සැලසුම් කරලා තිබුණා. ගුරුතුමියගේ අම්මාත් විශ්‍රාම ගිය ගුරුවරියක්. ඒ අම්මාත් දුවගේ පන්තියේ මේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට සහාය දෙන්න කැමති වෙලා. ඈට මහන්න පුළුවන් නිසා තමන්ගේ මහන මැෂිමත් අරගෙනම පන්තියට ඇවිත් සති දෙකකට හයේ පන්තියේ ළමයින්ට තමන්ගේ සේවාව සපයන්න ඉදිරිපත් වෙලා. ඒත් ඒ සේවාවත් නිකම් ගන්න බැහැ කියලා ගුරුතුමිය පන්තියට අනතුරු අඟවලා. අනිත් අමුද්‍රව්‍ය මෙවලම් වලට වගේම ගුරුවරියගේ අම්මාගේ සේවාව ගන්නවා නම් ඊට නියමිත මිලක් බොරු සල්ලි වලින් ගෙවන්න නියම කරලා.

මේ විදිහට මේ ව්‍යාපෘතියේ නිෂ්පාදන ඉවර කරන්න නියමිත දවසක් තිබුණා. එදාට ඉන්ටවල් එකට පන්තියේ පුංචි පොලක් තියලා ප්‍රාථමික අංශයේ ළමයින්ටයි ගුරුවරුන්ටයි තමන්ගේ නිෂ්පාදන විකුණන්න නියමිත වෙලා තිබුණා.

පුතාගේ පන්තියේ පුංචි ආර්ථික විද්‍යා පාඩම අහලා මට හරි පුදුම හිතුණා. අපි අවුරුදු ගණනක් ගතකරලා ඉස්කොලේදීත් සරසවියේත් ඉගෙනගත්ත ආර්ථික විද්‍යා සංකල්ප හැම එකම වගේ බොහොම සරලව, ආසා හිතෙන විදිහට එකට කැටි කළ ලස්සන! අනේ අපිට මෙහෙම ගුරුවරු හිටියේ නැහැනේ කියලා මට හීල්ලුණා.

Emoji Key Tag

පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට පුතාගේ කණ්ඩායම තෝරාගෙන තිබුණේ key tags  හදලා විකුණන්න. ඒවාත් නිකම් ආවාට ගියාට key tags නෙමෙයි. emoji වර්ගයේ ඒවා. emoji භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා පුතා කියනකම් මම නම් ඒ බව දැනගෙන හිටියෙවත් නැහැ.  ඒ නිසා හොඳ ලාභයක් ලබන්න පුළුවන් නිසාලු තෝරාගත්තේ. මේවායේ යකඩ මුදු තියෙන කොටස කෑලි දොළහේ කට්ටල හැටියට පුතාගේ කණ්ඩායම ගුරුවරියගෙන් මිළදීගෙන. වැඩිපුරම සල්ලි ගියේ ඒවාට කියලා පුතා කිව්වේ හිතේ අමාරුවෙන්. එක එක emoji වර්ග කහපාට ෆෙල්ට් රෙදි වල ඇඳලා කපන එක, ඇස්, කටවල් එහෙම කපලා ඒවායේ අලවන වැඩ එහෙම කණ්ඩායමේ සාමාජිකයෝ බෙදාගෙන කළා.  ගුරුවරියගේ අම්මාගේ සේවය මිලදීගෙන ඒ ගොල්ලෝ emojiයේ  පලු දෙක එකතුකරලා මූට්ටු කරන කොටස කරගෙන. ඒකටත් තමන්ගේ ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු කොටසක් වැය වුණත් නිමාව ඉස්තරම් කියලා පුතා ඇවිත් මට කිව්වේ හරි ආඩම්බරයෙන්. අන්තිමට පුළුන් පුරවලා ගත්තාම ළමයි ටික බලාපොරොත්තු වුණු විදිහටම key tag එකට හොඳ පෙනුමක් ලැබිලා.

පන්ති භාර ගුරුවරියත් නොහිතුව තව පියවරක් ඉස්සරහට යන්න මේ කණ්ඩායමට පුළුවන් වෙලා. ඒ තමයි ඉස්කෝලේ වටේ ගිහින් තමන්ගේ අනාගත පාරිභෝගිකයන්ගෙන් pre- orders ගත්තු එක. ඒ කියන්නේ 'අපි emoji key tags හදනවා, ඔයා කැමති එක කිව්වොත් අපි හදලා දෙන්නම්' කියලා ගැනුම්කරුවන් එක්ක පොඩි deal එකක් ගහන එක. මේ වගේ පියවර නිසා මේ කණ්ඩායමට නොහිතුව තරමේ ඇනවුම් ලැබිලා. ආර්ථික විද්‍යාව ගැන ගැඹුරින් නොදැන හිටියත් මේගොල්ලෝ එක එක වර්ගයේ වෙළඳපල කොටස් වල කැමැත්තට අනුව තමන්ගේ භාණ්ඩය බොහොම සීරුවට ස්ථානගත කරලා කියලා මට තේරුණා. පන්තියේ අනිත් කණ්ඩායම් බිත්ති සැරසිලි, සුබපැතුම් පත්, පෑන් රඳවන, කාසි දාන පුංචි පර්ස් වගේ දේවල් හදන බව පුතා දවස ගානේ ඇවිත් වාර්තා කළා. එයා ඒ දවස් ටිකේ ඉස්කෝලේ ගියේ හරිම ආසාවෙන්. 'key tag project එකේ වැඩ තියෙනවා!' කියලා හැමදාම වගේ පාන්දරින්ම ඉස්කෝලේ යන්න පෙරළි කළා. ඉස්කෝලේ වැඩකට පුතාගේ මේ වගේ උනන්දුවක් ඊට කලින් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ.

පුතාගේ කණ්ඩායමේ key tags උණු කැවුම් වගේ විකුණුනු බව පන්තියේ පොළ දවසේ පුතා ගෙදර ඇවිත් කිව්වේ බොහොම සන්තෝසයෙන්. ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ පුංචි පාරිභෝගිකයන්ට මේ පොළ ගැන දැනුවත් කරන්න කල් ඇතිව පුතාගේ පන්තියේ ළමයි ඉස්කෝලේ පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරලා, උදය රැස්වීමේ නිවේදන කරලා තිබුණු එක මීට හේතු වෙන්න ඇති. එදා pre- orders දීපු අය වේලාසනින්ම ඇවිත් තමන්ගේ බඩු අරගෙන ගියාලු. ප්‍රාග්ධනයට යෙදෙව්වේ බොරු සල්ලි උනත් බඩු විකුණලා පුතාලාට අදායම ලැබිලා තිබුණේ ඇත්ත සල්ලිවලින්. හැම භාණ්ඩයකම මිළ ඩොලර් 4-5 වගේ ගණනකට නියම කරන්න ගුරුවරිය උපදෙස් දීලා තිබුණා. ලැබුණු ආදායම පිළිවෙලට ලියාගන්න එක, මුළු ආදායම කණ්ඩායමේ සාමාජිකයන් අතරේ සමානව බෙදාගන්න එකත් මේ ව්‍යාපෘතියේම කොටසක්. ඉතින් අන්තිමට පුතාගේ කණ්ඩායම හැදුව හැම key tag එකක් ම  විකිණිලා, ආදායමෙන් තමන්ගේ කොටසත් අරගෙන පුතා එදා ගෙදර ආවේ රටක් රාජ්‍යයක් දිනුව ගාණට.

ගුරුවරියගේ අම්මා පන්තියට කරපු උදවු වලට පන්තියේම ළමයි තමන්ට ලැබුණු සල්ලි වලින් කොටසක් දාලා පුංචි තෑග්ගක් අරන්, කාඩ් එකක හැමෝම අත්සන් කරලා දීලා තිබුණේ කවුරුවත් කියලා නෙමයි.
'අපි ටීචර් ගේ අම්මා ගේ සේවය ගත්තාට දුන්නේ බොරු සල්ලි නේ, එයා ආවේ අපිට මේ project එක කරන්න උදවු වෙන්න නේ.. ඒනිසා අපි හිතුවා තෑග්ගක් දෙන එක හොඳයි කියලා' පුතා මට ඒගැන පැහැදිලි කළේ එහෙමයි.

මේ අපූරු ආර්ථික විද්‍යා පාඩම මතක් වෙන්න මටත් key tag එකක් ගේන්න කියලා මම පුතාට සල්ලි දුන්නා. මගේ ළඟ තියෙන ඒ  සිහිවටනයේ පින්තූරයක් තමයි ඉහතින් තියෙන්නේ. 

සංකීර්ණයි කියලා අපි හිතාගෙන ඉන්න ආර්ථික විද්‍යා සංකල්ප හරිම සරලව, ළමයි පුංචි කාලෙම කියලා දෙන්න පුළුවන් බවට මේ හයේ පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතිය හොඳ උදාහරණයක්. මේ වගේ දේවල් විෂය මාලාවලට එකතුකරන අධ්‍යාපනඥයින් වගේම ඒවා බොහොම ලස්සන විදිහට පන්තියට ඉදිරිපත් කරන ගුරුවරුත් ඉන්න එක වාසනාවක්. ඊට අමතරව කිසිම වාසියක් නොලබා තමන්ගේ කාලය ශ්‍රමය හයේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් වෙනුවෙන් සති දෙකක් දන් දෙන්න ලෑස්ති ගුරුවරියගේ අම්මා වගේ අය නම් බොහොම සුවිශේෂී උදවිය. මෙහෙම ඉගෙනගත්තු ආර්ථික විද්‍යා සංකල්ප පුතාට ලේසියෙන් අමතක වෙන එකක් නැති බව නම් මට හොඳටම විශ්වාසයි.

පසු ස‍ටහන

මේ මාතෘකාවට අදාළ නොවුණත් පසු සටහනක් එකතු කරන්න හිතුණා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ගැන. ඉස්කෝලෙදි විෂය එපා කරපු ගුරුවරියක් හිටියට මගේ මොකක්දෝ වාසනාවකට මට බොහොම ඉස්තරම් ටියුෂන් ගුරුවරයෙක් ලැබුණා ඒ විෂයට. ඒ, ඒ කාලේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ඉගැන්නුව ජයසිරි සිල්වා සර්. සර් නිකම් විනොදෙට වගේ ටියුෂන් කළේ. කවදාවත් මහා පරිමාණයෙන් පන්ති කරන්න, tutes ගහලා බෙදන්න සර් ට වුවමනාවක් තිබුණේ නැහැ. ළමයි හත් අට දෙනෙක් එකතුකරගෙන විෂය කියලා දෙන්න විතරයි ඕන වුණේ. උසස් පෙළට ගිය අලුත ඒ ටියුෂන් පන්තියට ගිය මුල්ම දවසේ ජයසිරි සර් පන්තියේ ළමයින්ට ආර්ථික විද්‍යාව ඇසුරෙන් ඔප්පු කරලා පෙන්නුවා ඇයි අපි කැම්පස් යන්න ඕන කියන එක. ඒකට ලොකු ගණනය කිරීමක් ඇතුලත් වුණා. අම්මාගෙන් බීපු කිරි වල ණය, තාත්තාලා අම්මලා අපි වෙනුවෙන් වෙහෙස වුණු, නිදිමරපු, වියදම් කළ, අවස්ථා කැප කළ ඒවායේ ණය වගේ ලොකු විස්තරයක් ඒකට ඇතුලත් වුණා. අවසාන නිගමනය තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කළාම ඒ ණය කැපිලා යන හැටි. මේ විස්තරය කොයිතරම් තාත්විකව, හිත ඇද ගන්න විදිහට කියලා දුන්නාද කියනවානම් පන්තියේ ළමයි ටික අහගෙන හිටියේ කටවල් ඇරගෙන. ඒ දේවල් අපි හැමෝම දැනගෙන හිටිය දේවල් උනත් මට නම් කවදාවත් එහෙම තර්කානුකූලව හිතට දැනිලා තිබුණේ නැහැ. මං හිතන්නේ මං වගේම එදා පන්තියේ හිටිය හැමෝම තමන්ට උපරිමයෙන් මහන්සි වෙන්න අධිෂ්ටාන කරගන්න ඒ කතාව හේතු වුණා. සර් ඒ අවුරුදු දෙකේ පුදුම ලස්සනකට ආර්ථික විද්‍යාව ඉගැන්නුවා. අන්තිමට සර්ගෙන් ලැබුණු විෂය දැනුම නිසා මමත් ආර්ථික විද්‍යාව ඉහලින් සමත් වුණා. 

ජයසිරි සර් ඊට වැඩිකල් නොගිහින් රිය අනතුරකින් අකාලේ නැතිවුණා. ඒ වෙද්දී සර් ට අවුරුදු පනහක්වත් නැහැ මං හිතන්නේ. හොඳ මිනිස්සු යන්න ගියත් තමන්ගේ හොඳ ඉතිරිවෙන බවට ජයසිරි සර් හොඳ උදාහරණයක්.




16 comments:

  1. ඕනෑම විෂයයක් ඔය ආකාරයට උගන්වන්නට පුළුවනි. ඒකට මුලින්ම දායක විය යුත්තේ විෂයය මාලා සකස් කරන අය. මේ වාගේ සරල ව්‍යාපෘති සකස් කිරීමේදී කරුණු රැසක් ගැන අවධානය යොමු කල යුතුයි. ඊළඟට වැදගත් වන කොටස තිබෙන්නේ ගුරුවරයාට. ව්‍යාපෘති ක්රියාතමක් කිරීමේදී මනා සැලසුමක් අවශ්‍යයි. එම ගුරු මහත්මිය තමන්ගේ මවත් මෙයට සම්බන්ධ කර ගැනීමත් දරුවෝ ඇයට තෑග්ගක් දීමත් අගය කලයුතුයි. දරුවන්ද තම වැඩ කොටස ඉතා හොඳින් කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. තාත්තා- ඔව්, සෙල්ලමින් වගේ ඉගෙනගත්තාම වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. පුතාලාගේ key tags ගත්ත පාරිභෝගිකයෝ ඒවා තමන්ගේ ඉස්කෝලේ බෑග් වල එල්ලාගෙන යනවා ඊටපස්සේත් නිතරම දකින්න ලැබෙනවා. ඒ වෙලාවට පුතාගේ මූණේ තියෙන ආඩම්බරය priceless! :)

      Delete
  2. Replies
    1. thanks Likhitha, I was very impressed too- which prompted me to write this

      Delete
  3. ඔය රට මොකක්ද අයියේ...?

    ReplyDelete
  4. මේ තමයි ඉගෙනීමට මග පෙන්වීම. අගය කළ යුතුයි. මෙවැන්නක් සඳහා පද්ධතිය සුදානම් කරන්න ඕන. විෂය මාලාවේ සිට

    ReplyDelete
    Replies
    1. මාලනී ඇන්ටි- ඔව් ඇත්තටම සැලසුම් අවධියේ ඉඳන්ම මේවාට පදනම වැටෙන්න ඕන. ඒවගේම 'අයියෝ කාටද ඕවා කරන්න පුළුවන්?' කියලා නොහිතන ගුරුවරු ඉන්නත් ඕන. ලංකාවේත් පුංචි පන්තිවල ළමයි එළවලු පලතුරු එහෙම ගෙනත් පොළක් කරන පාඩමක් තියෙනවා මට මතක හැටියට. ඒකෙනුත් මෙතරම් නැති උනත් සල්ලි අඳුනගන්න, ගනුදෙනු කරන හැටි ඉගෙනගන්න වගේ දේවල් කෙරෙනවා.

      Delete
  5. උඩ ඇනෝට වගේම මටත් හරිම කුතුහලයක් ආවා මේ මොන රටේද කියල, ඉතින් ඔන්න මම හොරෙන් ගිහින් ඔයාගේ බ්ලොගර් ප්‍රොෆයිල් එක stalk කරලා හොයාගත්තා මේ කියන්නේ ඔස්ට්‍රේලියාව ගැන කියල. කලින් මෙහෙ ඇවිත් තිබුණත්, ඔයා ලියන්නේ විදෙස් රටක ඉඳල බව දැනන් හිටියත්, ඒ මොන රටේද කියල හරියටම දැනන් හිටියේ නෑ.

    මේ වැඩේ නම් පංකාදුයි, ඒ වගේම ඒ දරුවොත් හරිම ස්මාට් නේද? pre orders ගනිපු එක එහෙම. ඒ වගේම ඔයත් ඒක හරිම ලස්සනට ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානවිකා- ඔව් මට සඳහන් කරන්න අමතක වුණා මේ ඕස්ට්‍රේලියාවේ කියලා. ඉන්න තැන නිසා ඒක අමුතුවෙන් කියන්න මතක් වෙන්නේ නැහැ! :)
      ළමයි ටිකත් පුංචි කපටිකමක් ඇතිව pre- orders ගත්ත එකෙන් win-win situation එකක් වෙලා. එහෙම කළ එකෙන් තමන්ගේ බඩු ගන්න කට්ටිය අනිවාර්යයෙන්ම එන බවත්, ආවාම වෙන දේවල් දැකලා අවධානය බිඳෙන්නේ නැතිව තමන් ඕඩර් කරපුවාම ගන්න බවත් ෂුවර් නේ!

      Delete
  6. Econ නම් මට සෙට් උනේම නෑ....වක්‍ර ඇඳිමෙදි තමා මටත් අවුල්ම ගියේ....කිසිම අයිඩියා එකක් නැතුව ඉගෙන ගත්ත මාරක විෂයක්..අනේ මරු ඉස්කෝලයක් ටීච කෙනෙක්

    ReplyDelete
    Replies
    1. කිඹුලී- ඔව් මගෙත් ආසාම විෂය නම් උනේ නැහැ, ඉස්කෝලෙදි එපා වුණු හින්දාද මන්දා. කැම්පස් එකේත් අවුරුදු හතරේම එක එක නම් වලින් econ පස්සෙන්ම ආවා! :D

      Delete
  7. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ ඉදගෙන මේ සටහන කියවද්දි හිතුනෙම මේක ගොතපු කතන්දරයක් කියලා.

    මතක ටොට්ටො චන්ගෙ පුදුම ඉස්කෝලෙත් මේවගේ ගුරැවරැ හිටියා

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දක්ෂ ගුරුවරු, දක්ෂ ළමයි ඉන්නවා පවන්. ආකල්ප වෙනසක් විතරයි ඕන

      Delete
  8. ලංකාව වගේ රටවල කාන්තාවන් ගුරුවරියන් වෙන්නේ එයාලට ඒක කරන්න ආසාවක් කරන්න දැනීමක් පළපුරුද්දක් තියෙන නිසා නෙවෙයි. හුඟක් අය බලන්නේ උදේ අටට ගිහිල්ලා හවස දෙකට ගෙදර එන්න පුළුවන් නේද කියන මානසිකත්වයෙන්
    ලංකාවේ හැකියාව මත කුශලතා මත රස්සා දෙනවා ගොඩක් අඩුයි දෙන්නෙ තනිකරම කඩදාසි කොළවලට
    ඒ වගේ අය රස්සාවට ආවහම දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා නං නම් එයාට උගන්නන්න දෙන්නෙත් හරි අඩුවෙන් දක්ෂ ගුරුවරයෙක් හොඳට උගන්නගෙන යනව නං එයාට තියෙන කැපිලි කතා කතාකරලා වැඩක් නෑ.
    මටත් හිටියා ඔය වගේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් දෙමල ටීචර් කෙනෙක් කවදාවත් ඒ විෂයයන් දිහා වි සැහැල්ලුවෙන් ආසාවෙන් බලන්න බැරි වුණා ඉස්කෝලෙන් එලියට එනකම්ම. එ්කමද කොහෙද අදටත් හරියට ඉංග්‍රීසි ටිකක් දෙමළ ටිකක් ඉගෙන ගන්න එක හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් ඒක නම් ඇත්ත.ඉස්කෝලේ කාලේ හොඳට ඉගැන්නුවා, ආසා විදිහට විෂය කියලා දුන්නා කියලා මතක් කරන්න පුළුවන් ගුරුවරු හිටියේ අතලොස්සයි නේද? ඒවා පස්සේ කාලෙකත් බලාපාන බවත් ඇත්ත. ඒ අප්‍රසන්න කමෙන් මිදෙන්න නිකම් අපරාදේ දෙගුණයක් මහන්සිවෙන්න ඕන. පුතා තාම ප්‍රාථමික පන්ති වල නිසා පන්තියේ විෂයන් බහුතරයක් උගන්නනේ එකම ගුරුවරිය. ඒ නිසා හොඳ කෙනෙක් හම්බවෙන එක වාසනාවක්. මෙහෙත් හරියට උගන්නන්නේ නැති අය නැත්තේ නැහැ. ඒත් මට හිතෙනවා ලංකාවට සාපේක්ෂව අඩුයි කියලා. ගුරුවරු අතරත් නිතරම සාකච්ඡා, ෆීඩ් බැක් වගේ දේවල් අනිවාර්යයෙන් කරන්න ඕන නිසා එහෙම වෙනවා ඇති කියලා මට හිතෙනවා.

      Delete